උදෑ­සනක මල් අසු­නක් පිරි­සුදු කර විහාර මළු­වක් අතුගා ලබන සතුට ලොව කොතැ­න­කි­න්වත් ලබන්න බෑ | සිළුමිණ

උදෑ­සනක මල් අසු­නක් පිරි­සුදු කර විහාර මළු­වක් අතුගා ලබන සතුට ලොව කොතැ­න­කි­න්වත් ලබන්න බෑ

ගාල්ල කරා­පි­ටිය රෝහලේ හෘද රෝග වි‍ශේෂඥ වෛද්‍ය හර්ෂණ සම­ර­සිංහ

හෘද රෝගි­ය­කුට ප්‍රති­කාර පිණිස අපට නහ­ර­යක් ශුද්ධ කළ හැකියි. ඒත් එම නාළ අව­හිර වීම වළ­ක්වන්න බෑ. පාල­නය කරන්න පුළු­වන්. නමුත් හේතුව නැති කරන්න බෑ. බෞද්ධ දර්ශ­නයේ මේ සියලු දේ ඇති වීමට හේතු තියෙ­නවා. අප නවීන වෛද්‍ය විද්‍යා­වෙන් ලබන දැනුම බුදු දහ­මෙන් ලබන දැනු­මට වඩා අල්පයි.

වෙද­ක­මත් හෙද­ක­මත් සමඟ දයාව කරු­ණා­වත් කැටි වූ කල එතැන බිහි වන්නේ අපූරු මිනි­ස­ත්ක­මකි. එවැනි දයා­වෙන් පිරි­පුන් වෛද්‍ය­ව­ර­යකු ගැන මේ පොසොන් මාසයේ කතා­බ­හට ලක් කෙරෙන්නේ ඔහු වෙද­ක­මට එහා ගිය මිනි­ස­ත්ක­මෙන් හා බෞද්ධ දර්ශ­න­යට අනුව හැඩ ගැසුණු ජීවි­තා­බෝ­ධ­ය­කින් යුතු පුද්ග­ල­යකු වීම හේතු­වෙනි. අප සමා­ජයේ වෛද්‍ය­ව­රුන් ගැන ජන­තාව අතර ඇත්තේ විවිධ මත­වා­දය. ඇතැම් වෛද්‍ය­ව­රුන් රෝගීන්ගේ අත­මිට සූරන් කද්දී තවත් පිරි­සක් තම අතින් විය­හි­ය­දම් දර­මින් රෝගීන් සුව­පත් කරති. කෙසේ වුව ඉල්ලීම් දිනා­ගැ­නීම උදෙසා කෙරෙන වෛද්‍ය වැඩ­ව­ර්ජන ඔස්සේ වුව අද අප රටේ ඇතැම් වෛද්‍ය­ව­රුන් ගැන ජන­තාව අතර ඇත්තේ කල­කි­රී­මකි. එසේ තිබි­යදී තමන් උගත් දෙයින් හැකි­තාක් දුරට ජන­තා­වට සේවය කර­මින් බෞද්ධ දර්ශ­නය ඔස්සේ සිය වෘත්තීය මෙන්ම පෞද්ග­ලික ජීවි­ත­යද හැඩ ගස්වා ගත් තරුණ වෛද්‍ය­ව­ර­යකු ගැන සට­හ­නකි මේ.

ඔහු ගාල්ල කරා­පි­ටිය රෝහලේ හෘද රෝග වි‍ශේෂඥ වෛද්‍ය හර්ෂණ සම­ර­සිං­හය. මාතර රාහුල විද්‍යා­ල­යෙන් කොළඹ වෛද්‍ය පීඨ­යට තේරී එතැ­නින් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා ලොව ඉහ­ළම පෙළේ හෘද රෝග පිළි­බඳ අධ්‍ය­යන ආය­ත­න­ය­කට යොමු වී හෙතෙම ලංකා­වට පැමි­ණියේ මෑත­ක­දීය. මේ තරුණ වෛද්‍ය­ව­රයා පව­සන්නේ තමා ලෝකයේ කොතැන ගියත් කුමන මහ­චා­ර්ය­ව­ර­ය­කු­ගෙන් ඉගෙන ගත්තත් බෞද්ධ දර්ශ­න­යෙන් අප ලබන දැනුම එම කිසිම දැනු­ම­කට සමාන කළ නොහැකි බවයි.

“හෘද රෝගි­ය­කුට ප්‍රති­කාර පිණිස අපට නහ­ර­යක් ශුද්ධ කළ හැකියි. ඒත් එම නාළ අව­හි­ර­වීම වළ­ක්වන්න බෑ. පාල­නය කරන්න පුළු­වන්. නමුත් හේතුව නැති කරන්න බෑ. ඒත් බෞද්ධ දර්ශ­නය ඇතු­ළා­න්තයේ මේ සියලු දේ ඇති­වී­මට හේතු තියෙ­නවා. බොදු දර්ශ­නය අනුව ගත්විට එයට සාපේ­ක්ෂව අපේ වෛද්‍ය විද්‍යා දැනුම ඉතා අල්ප­යැයි” විශේ­ෂඳ වෛද්‍ය හර්ෂණ සම­ර­සිංහ පව­සයි.

පාසල් වියේදී ඉගෙ­නී­මට අම­ත­රව ක්‍රීඩා­ව­ටත් සංගී­ත­ය­ටත් නර්ත­න­ය­ටත් එකසේ දස්කම් පෑ මේ තරුණ වෛද්‍ය­ව­රයා සිය ජීවි­තයේ ගම­න්මඟ වෙනස් කළේ කොළඹ වෛද්‍ය පීඨ­යට තේරී­මත් සම­ඟය.

“දෙදාහ වස­රේදී වෛද්‍ය පීඨ­යට තේරී­මත් සම­ඟම මගේ සිත බෞද්ධ දර්ශ­නය පැත්තට යොමු වුණා. විවේකී හැම වේලා­වෙම බෞද්ධ පත­පොත වැඩි­පුර කියෙව්වා. හැදෑ­රුවා. ත්‍රිපි­ට­කය, සිංහල අටු­වාව, අමා­ව­තුර, අට්ඨ කථා මෙන්ම දඹ­දෙණි හා අනු­රා­ධ­පු­රය ගැන කියැ­වෙන පත­පොත බොහෝ ඇසුරු කරද්දී ඉන් ලබන දැනුම කිසිම මහා­චා­ර්ය­ව­ර­ය­කුගේ දැනු­මට සමාන කරන්න බැරි­යැයි මට හැඟුණා. ඒ දැනුම මහා විශා­ලයි ” ඔහු පව­සයි.

වෛද්‍ය පීඨ­යට තේරී වෛද්‍ය­ව­ර­යකු වීමේ ඉල­ක්ක­යක සිටි­යත් තමා ශල්‍ය වෛද්‍ය විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වන­වාද නැත­හොත් හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වන­වාද යන්න ගැන ඔහුට තීර­ණ­යක් නොවීය.

“වැඩි­දුර අධ්‍යා­ප­නය හදා­රද්දී හෘද රෝග පැත්ත දිනෙන් දින තාක්ෂ­ණය අතින් දියුණ වන අන්දම වැට­හෙද්දී රෝගීන්ට වැඩි සේව­යක් කිරීමේ අව­ස්ථාව ලැබෙන බව වැට­හී­මත් සමඟ මං හෘද රෝග පැත්ත තෝරා­ගෙන ඒ වෙනු­වෙන් මහන්සි වී ඉගෙන ගත්තා. මං හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වුණේ වෛද්‍ය විද්‍යාව ඉගෙ­නී­මට අරන් වසර 18කට පසු­වයි. ”

මේ අතරේ එංග­ල­න්තයේ බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහලේ හෘද රෝග පිළි­බඳ වැඩි­දුර ඉගෙ­නී­මට ඔහු ශිෂ්‍ය­ත්ව­යක් ලැබු­වේය. ලෝකයේ හෘද රෝග පිළි­බඳ ඉහ­ළම පෙළේ විද්‍යා­ය­ත­න­යක් වන එම රෝහල හෘද රෝග පිළි­බඳ අති නවීන තාක්ෂ­ණ­ය­කින් යුක්තය. අප තරුණ වෛද්‍ය­ව­රයා සිය ක්ෂේත්‍රය වෙනු­වෙන් කළ උප­රිම කැප කිරීම නිසා ඔහුට විද්‍යා­ය­ත­නයේ ඉහ­ළම පිළි­ගැ­නී­මක් සහි­තව වැඩි­දුර ඉගෙ­නීම සඳහා සියලු විය­දම් එම විද්‍යා­ය­ත­නය මගින් දරනු ලැබීය.

“මං එම රෝහලේ ඉගෙන ගන්නා අතර උදේ 8 සිට රාත්‍රී 10 වන තුරුත් වැඩ කළා. හෘද කපාට පටු­වීම නිසා ඇති වන රෝගී තත්ත්ව­ව­ලදී කකුලේ නහ­ර­යක් හරහා කෘත්‍රිම කපාට බද්ධ කිරීම සිදු කිරීම එහිදී ඉගෙන ගත්තා. එය ඉංග්‍රි­සි­යෙන් TAVI හෙවත් Trans Avotic Valve Implantation ලෙස හඳු­න්ව­නවා. ලංකාවේ දැනට මෙය සිදු කෙරෙන්නේ නැහැ. වරක් විදෙස් වෛද්‍ය­ව­රුන් අප රටට පැමිණ මේ සැත්කම් සිදු කළත් දැන් එය සිදු කෙරෙන්නේ නැහැ. අප රටේ එම සැත්කම සිදු කෙරෙන්නේ සම්පූ­ර්ණ­යෙන්ම උරස් කුහ­රය විවෘත කිරී­මෙ­නුයි. TAVI ක්‍රම­යේදී උරස් කුහ­රය විවෘත කිරී­මක් සිදු වන්නේ නැහැ. සිහි නැති කිරී­මක් නැහැ. හිරි­වැ­ටී­මක් පම­ණයි සිදු වන්නේ. එනිසා අව­දා­නම අඩුයි. රෝගියා දින ගණ­නක් රෝහ­ල්ගත වී සිටීම අවශ්‍ය නැහැ.

මීට අම­ත­රව දැන­ටත් අප රටේ සිදු කෙරෙන කිරී­ටක ධමනි ශුද්ධ කර ස්ටෙන්ට් දැමී­මත් ඉගෙන ගත්තා. බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහල හෘදය ආශ්‍රිත රෝග ප්‍රති­කාර සඳහා ලෝකයේ දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂ­ණය භාවිත කරන ආය­ත­න­යක්. එහිදී මා එම්ආ­ර්අයි හා සීටී ස්කෑන් පරී­ක්ෂණ සිදු කිරී­මත් වැඩි­දුර හැදෑ­රුවා. ඒ වගේම ඉගැ­න්වීම් කිරීමේ අව­ස්ථා­වත් මට හිමි වුණා.

අප රටේ වර්ත­මා­නයේ හෘද පේශී­වල රෝග­ව­ලින් පෙළෙන රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට තියෙ­නවා. එම්ආ­ර්අයි පරී­ක්ෂ­ණ­ව­ලින් එවන් රෝග හඳු­නා­ගැ­නීම ඉතා පහ­සුයි. එප­ම­ණක් නොවෙයි එම්ආ­ර්අයි පරී­ක්ෂ­ණ­ය­කින් හඳු­නා­ගත හැකි දෑ බොහෝයි. හෘදයේ ව්‍යුහා­ත්මක ගැටලු, උප­තින් එන රෝග තත්ත්ව අධ්‍ය­ය­නය කිරීම්, පේශී­වල රෝග තත්ත්ව මෙන්ම හෘද මාංශ පේශි­ව­ලට රුධි­රය සැප­යීම් අඩාළ වීම් ද හෘදයේ ක්‍රියා­කා­රි­ත්වය ද එම්ආ­ර්අයි පරී­ක්ෂ­ණය මඟින් අධ්‍ය­ය­නය කරන්න පුළු­වන්.

එම්ආ­ර්අයි පරී­ක්ෂණ මඟින් රජයේ රෝහ­ල්ව­ලත් මේ රෝග හඳු­නා­ගැ­නීම් ඉතා ඉක්ම­නින් ආරම්භ කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යං­ශය අපෙන් අධ්‍ය­යන වාර්තා­වක් ඉල්ලා තියෙ­නවා. දැන­ටත් රෝහ­ල්වල යන්ත්‍ර තියෙ­නවා. අවශ්‍ය තාක්ෂණ ශිල්පීන් වැඩි­දුර පුහු­ණු­වීම් කළ යුතුයි. එංග­ල­න්තයේ මා ඉගෙන ගත් බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහල් බල­ධා­රීන් ඒ පුහු­ණු­වීම් නොමි­ලයේ ලබා­දී­මට හා අවශ්‍ය උප­දෙස් සැප­යී­මට ඉතා කැමැ­ත්තෙන් ඉදි­රි­පත්ව සිටි­නවා. එනිසා මුලින්ම පෞද්ග­ලික අංශයේ ආරම්භ කර ඉතා ඉක්ම­නින්ම රජයේ රෝහ­ල්ව­ලත් මෙය පටන් ගන්න හැකි­වේවි.

එංග­ල­න්තයේ අධ්‍ය­යන කට­යු­තු­ව­ලින් පසු දැන­ටත් මං ගෞර­ව­නීය සේව­යක් ලෙස බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහලේ හෘද රෝගීන්ගේ එම්ආ­ර්අයි පරී­ක්ෂණ වාර්තා ඔන්ල­යින් මාර්ග­යෙන් නිරී­ක්ෂ­ණය කිරීමේ යෙදී ඉන්නවා. එසේම එම්ආ­ර්අයි සම්බන්ධ ලොව පිළි­ගත් විශ්ව­වි­ද්‍යාල සමඟ එක්ව දිගින් දිග­ටම නව ප්‍රව­ණතා ගැන වාර්ෂි­කව දීර්ඝ කාලී­නව අධ්‍ය­ය­නය කර­නවා. වෛද්‍ය­ව­රුන් වශ­යෙන් ක්ෂේත්‍රයේ අත්දැ­කීම් ලැබී­මට එය අව­ශ්‍යයි.

එංග­ල­න්තයේ සිටින අව­දියේ TAVI සැත්කම් 70ක් පමණ කිරී­මෙන් ලද අත්දැ­කීම් ඔස්සේ අප රටේත් දීර්ඝ­කා­ලී­නව එම සැත්කම් ආරම්භ කිරී­ම­ටත් බලා­පො­රොත්තු වෙනවා. එම සැත්කම්ද මුලදී පෞද්ග­ලික අංශ­යෙන් ආරම්භ කර පසුව රජයේ රෝහ­ල්ව­ලත් කරන්න අපේක්ෂා කර­නවා. මේ ගැන දැන­ට­මත් සෞඛ්‍ය අමා­ත්‍යං­ශය සමඟ එක්ව අවශ්‍ය පහ­සු­කම් පිළි­බඳ සොයා බල­නවා.”

රෝගි­ය­කුගේ රුධිර පීඩ­නය මැනී­මෙන් පසු ගාස්තුව ලෙස රුපි­යල් පන­හක් ඉල්ලා සිටින ඇතැම් බංකො­ළොත් වෛද්‍ය­ව­රුන් ගැනද කලා­තු­ර­කින් හෝ අස­න්නට ලැබීම කන­ගා­ටු­වට කරු­ණකි. එහෙත් ලොව ප්‍රධාන පෙළේ රෝහ­ල්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකීය වෛද්‍ය විශේ­ෂ­ඥ­වරු පිරි­සක් අප රටේ පෙණ­හලු හා හෘද බද්ධ කිරීමේ සැත්කම් තව­දු­ර­ටත් සාර්ථ­කව කර­ගෙන යෑමට සහාය දීමට ඉදි­රි­පත්ව සිටිති. අප රටේ ප්‍රථම හද­වත් බද්ධ කිරීමේ සැත්කම සිදු කළ මහ­නු­වර රෝහලේ හෘද ශල්‍ය විශේ­ෂඥ වෛද්‍ය අනිල් අබේ­වි­ක්‍රම මහතා මේ දින­වල මෙරට ප්‍රථම වරට පෙණ­හලු බද්ධ කිරීම් සිදු කිරී­මට ප්‍රයත්න දරන බවට වාර්තා විය. ඒ පිළි­බඳ අපි විශේ­ෂඳ වෛද්‍ය හර්ෂණ සම­ර­සිංහ විම­සීමු.

“වෛද්‍ය අබේ­වි­ක්‍රම මහ­තාගේ උත්සා­හ­යට සහාය දීමට ලෝකයේ ප්‍රධාන පෙළේ රෝහ­ල්වල සේවය කරන අපේ වෛද්‍ය­ව­රුන් ඉදි­රි­පත් වී සිටි­නවා. මා මෑත­කදී වෛද්‍ය වෘත්තී­මය කට­යුතු සඳහා විදේ­ශ­ගත වූ අව­ස්ථා­ව­ලදී ඒ සඳහා අවශ්‍ය උප­ක­රණ හා ඖෂධ ඔවුන්ගේ සහ­යෝ­ග­යෙන් අපට ලැබුණා. පෙණ­හලු බද්ධ කිරීමේ සැත්ක­මට කෙළින්ම සම්බන්ධ නොවු­ණත් අප දැනු­මින් මුද­ලින් හා තාක්ෂ­ණ­යෙන් ඒ සඳහා දායක වෙනවා. මීට අවශ්‍ය සම­හර එන්නත් වර්ග රුපි­යල් ලක්ෂ ගණ­නක් වටි­නවා. අපේ වෛද්‍ය පිරිස සිය පෞද්ග­ලික් මුද­ලින් එම එන්නත් වර්ග ලබා දුන්නා.”

මෙයට කල­කට පෙරදී අප රටේ හෘද රෝගීන් ලෙස බහු­ලව වාර්තා වූයේ වැඩි­හිටි පර­පු­රය. එහෙත් දැන් තරුණ වය­ස්වල උද­වි­යද වැඩි­පුර හෘද රෝග­ව­ලට ලක්වීමේ අව­දා­න­ම­කින් පෙළෙති.

“ගාල්ල කරා­පි­ටිය රෝහ­ලේ වයස අවු­රුදු 30 ගණ­න්වල තරුණ ළමයි හෘද අක­ර්මණ්‍ය වීම් හේතු­වෙන් රෝහ­ල්ගත වීමේ ප්‍රව­ණ­තා­වක් පෙන්නුම් කර­නවා. ඇතැම් අය එක්ව­රම හට­ගත් හුස්ම ගැනීමේ අප­හ­සුතා ගැන පැමි­ණිලි කර­නවා. එලෙස පැමි­ණෙන සංඛ්‍යාව පෙරට වඩා වැඩියි කියා පෙනෙන නිසා මෙයට කිසි­යම් ජාන­මය හේතු­වක් බලපා ඇත්දැයි යන්න ගැන සොයන්න අප පෞද්ග­ලි­කව අව­ධා­නය යොමු කර­නවා. මං පර්යේ­ෂ­ණ­යක් විදි­හට දැන් ඒ ගැන සොයා බල­මින් සිටි­නවා.

කෙසේ වුවත් දිය­වැ­ඩි­යාව හෝ අධික රුධිර පීඩ­නය හෝ මවට පියාට හෘද රෝග නැති නම් සාමා­න්‍ය­යෙන් ඊසීජී, ව්‍යායාම ඊසීජී හා එකෝ පරී­ක්ෂ­ණ­යක් මගින් සමාන්‍ය ලෙසින් හෘද රෝග අව­දා­නම ගැන දැන ගන්න පුළු­වන්.

අඩුම තරමේ දව­සක් හැර දව­සක් වේග­යෙන් ඇවි­දීම එසේ නැත් නම් දින­කට විනාඩි 20ක්වත් නොක­ඩවා ඇවි­දි­මින් තම සෞඛ්‍ය රැක ගැනී­මට උත්සාහ කළ යුතුයි.

වයස අවු­රුදු 45ට වැඩි උද­විය වස­ර­කට වර­ක්වත් කොලෙ­ස්ට­රොල් මට්ට­මත් මාස 6කට වර­ක්වත් ශරී­රයේ සීනි මට්ට­මත් පරික්ෂා කිරීම සුදු­සුයි. වසස අවු­රුදු 25ට වැඩි උද­විය පස් අවු­රු­ද්ද­කට වරක් මේ පරී­ක්ෂණ කිරීම හොඳයි. ශරීර සෞඛ්‍යය ප්‍රශස්ත මට්ටමේ තබා ගැනී­මට එය උප­කාරී වේවි.”

විශේ­ෂඥ වෛද්‍ය හර්ෂණ සම­ර­සිංහ සිය වෘත්තීය ජීවි­තයේ කෙත­රම් කාර්ය­බ­හුල වුවද ඉසු­ඹු­වක් ලද සෑම මොහො­ත­ක­දීම කත­ර­ගම කිරි වෙහෙර වහන්සේ වෙත යෑම පුරු­ද්දක් කර­ගෙන සිටී.

“මං උදේම ගිහින් මල් ආසන පිරි­සුදු කරලා වෙහෙර බිම සුද්ද කර අතු ගානවා. පිට­ර­ට­වල ගොස් කොතැන සිටි­යත් ඉන් ලබන මාන­සික සුවය මට වෙන කොතැ­න­ක­දී­වත් ලැබෙන්නේ නෑ. වෙහෙර වහන්සේ වෙත එන සම­හර පිරිස් මාත් සමඟ ඒ වැඩ­ව­ලට එකතු වෙනවා. සම­හරු මා හඳු­නා­ගෙන කතා කර­නවා. ඒ අයත් මා කර­ගෙන යන සද්කා­ර්යන්ට දායක වෙනවා.

පොදු ජන සේවය හා ධර්ම දානය සඳහා අප මිතුරු පිරි­සක් එක් වී සිද්ධාර්ථ පද­නම නමින් සංවි­ධා­නය වී සිටි­නවා. එම­ඟින් අපි පන්ස­ල්වල අඩු­පාඩු සම්පූර්ණ කර­මින් දුෂ්කර පන්සල් ගැන සොයා බල­නවා. ත්‍රිපි­ටක ග්‍රන්ථ නැති සම­හර පන්ස­ල්ව­ලට ත්‍රිපි­ටක පූජා කර­නවා. භික්ෂුන්ට උප­ස්ථාන කිරීම් වගේම පාසල් දරු­වන්ට පොත්පත් හා උප­ක­රණ පරි­ත්‍යාග කිරීම් ද සිද්ධාර්ථ පද­න­මෙන් සිදු කර­නවා. නුවර අනු­රා­ධ­පුර හා මාතර ප්‍රදේ­ශ­වල බෞද්ධ සංස්කෘ­තික මධ්‍ය­ස්ථාන හා සම්බන්ධ වෙමින් මේ සද්කා­ර්ය­යන් දිග­ටම පව­ත්වා­ගෙන යෑම මගේ අර­මු­ණයි.”

මේ තරුණ වෛද්‍ය­ව­ර­යාට ලෙඩෙ­කුට පිහිට වීමට තැනක් නොතැ­නක් නැත. බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහල හෘදය රෝග පිළි­බඳ කීර්ති­මත් ආය­ත­න­යකි. එහි සුදු­සු­කම් ලද වෛද්‍ය­ව­ර­යකු වීම නිසාද ලෝකයේ කොතැන ගියත් ලබන පිළි­ගැ­නීම සිය වෘත්තීය සාර්ථ­කව කර­ගෙන යෑම සඳහා මහත් පිටි­ව­හ­ලක් බව විශේ­ෂඳ වෛද්‍ය හර්ෂණ සම­ර­සිංහ පව­සයි.

සේයාරූ - විමල් කරු­ණා­ති­ලක

Comments