LOLC තවත් ශක්තිමත් මූල්‍ය වසරක් නිමා කරයි | සිළුමිණ

LOLC තවත් ශක්තිමත් මූල්‍ය වසරක් නිමා කරයි

LOLC සමූහය, පසුගිය දශකය පුරා ප්‍රදර්ශනය කළ විශිෂ්ට ක්‍රියාකාරිත්වය යළි තහවුරු කරමින් 2019 මාර්තු 31 වැනිදායින් අවසන්වූ මූල්‍ය වසර සඳහා තවත් විශිෂ්ට වසරක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. එහිදී, 2018 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 24.66 ක බදු පෙර ලාභයට සාපේක්ෂව රු.බි. 26.81 ක ශක්තිමත් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට හැකිව තිබේ. අඛණ්ඩව සිය ජයග්‍රහණ අබිබවා යෑමට සමත්වූ LOLC සමූහය 2019 මාර්තු 31 න් අවසන්වූ මූල්‍ය වසර තුළ රු.බි. 19.62 ක බදු වලට පසු ලාභයක් වාර්තා කෙළේය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍ර වලට සිය සුවිශේෂී ස්‌වයං ශක්තියෙන් උපරිම සේවාවක් සපයන LOLC සමූහය ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ග්‍රහණයේ පෙරගමන්කරුවෙකු වෙයි. ජාතික මට්ටමෙන් විශිෂ්ටත්වය සලකුණු කළ LOLC, කාලානුරූපව කලාපීය වශයෙන් ව්‍යාප්ත වෙමින්, මෙහෙයුම් සිදු කරන රටවල ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට ස්ථාපිත වෙමින් සිටී.

බාහිර ක්‍රියාකාරකම්වලට නැඹුරු වීමේ අවදානම මැඬලමින් ස්ථාවර වර්ධනයක් ලැබීම සඳහා සමූහයට ශක්තියක් ලැබී ඇත. LOLC හි ප්‍රථම විදේශීය ආයෝජනය වන PRASAC ඊට කදිම උදාහරණයකි. 2007 වසරේ 18 % ක ආයෝජනයක් සිදු කළ PRASAC අතු පතර විහිදුවා අද ඩොලර් ආර්ථිකයක් වන කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට වර්ධනය වී තිබේ. අද වන විට LOLC, PRASAC හි 70 % ක හිමිකාරත්වය දරන අතර වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බි. 2.6 ඉක්මවයි. ආයෝජන කලඹ ඇ.ඩො.බි. 2.2 කි. තැන්පතු ඇ.ඩො.බි. 1.5 ක් වන අතර, 2019 මාර්තු 31 න් අවසන්වූ මූල්‍ය වසර තුළ බදු පෙර ලාභය ඇ.ඩො.මි. 103 කි.

කාම්බෝජයේ 4 වන විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය වන LOLC කම්බෝජියා ඇ.ඩො.මි. 687ක වත්කම් සංචිතයක් සහිතය. 97% ක කොටස් හිමිකාරත්වය සමූහය විසින් දරනු ලබයි. සමාගමේ ආයෝජන කලඹ ඇ.ඩො.මි. 564 ක් වන අතර, තැන්පතු සංචිතය ඇ.ඩො.මි. 286 ක් සහ බදු පෙර ලාභය ඇ.ඩො.මි. 28.5 ක් වේ.

LOLC 2013 වසරේදී මියන්මාරයට පිවිසිණි. ඍජු විදේශ ආයෝජනයක් ලෙස LOLC Myanmar Microfinance Company Limited, විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් ප්‍රදර්ශනය කරමින් මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 176ක් අතුරින් 3 වන විශාලතම ආයතනය බවට පත්ව සිටී. ඇ.ඩො.මි. 52.4 ක වත්කම් සංචිතයක් සහිත LOLC මියන්මාර්, වසර 5 ක මෙහෙයුම් වලින් පසු ඇ.ඩො.මි. 39.5 ක ආයෝජන කළඹක් සහ ඇ.ඩො.මි. 2 ක බදු පෙර ලාභයක් පසුගිය වසරේදී වාර්තා කර තිබේ.

2017 වසරේදී පාකිස්තාන රජය සහ ඕමාන සුල්තාන් ජනරජය, සිය ඒකාබද්ධ ව්‍යාපාරය වූ පාක් - ඕමාන් බැංකුවේ ප්‍රධාන කොටස්කරු ලෙස එක් වීමට ආරාධනා කළේය. අවදානම් කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍රවල සමූහයේ තාක්ෂණික දැනුම සහ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පරිණතභාවයෙන් පාක් - ඕමාන් අද මිලියන 200 කට වැඩි ජනගහනයක් සහිත පාකිස්ථාන ආර්ථිකයේ වැදගත් ක්‍රියාකාරිකයකු බවට ශීඝ්‍ර වර්ධනයක් අත් කරගනිමින් සිටී.

PT. Sarana Sumut Ventura (PTSSV) හි පාලන කොටස් අත්පත්කර ගනිමින් LOLC සමූහය 2018 වසරේදී ඉන්දුනීසියාවේ ව්‍යාපාර කටයුතුවලට ප්‍රවේශ විය. ඉන්දුනීසියාවේ ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත වූයේ ආයෝජන කලඹින් 95% ක්ම කාන්තා ගනුදෙනුකරුවන්වන්ට සේවා සලසමිනි.

LOLC, සිය ජාත්‍යන්තර පියසටහන් තවදුරටත් පුළුල් කරමින් LOLC ASKI ෆිනෑන්ස් සහ LOLC සංවර්ධන බැංකුව හරහා පිලිපීනයේ ආයෝජනය සිදුකළේය.

අද සමූහයේ දළ ආදායමෙන් 41 % ක් නියෝජනය කරන කාම්බෝජය, මියන්මාරය, පාකිස්තානය, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ මූල්‍ය සේවා මෙහෙයුම් තුලින් LOLC ශක්තිමත් කලාපීය මූල්‍ය පවුරක් ලෙස පූර්ණ වශයෙන් ස්ථාපිතවී තිබේ. මෙම ස්ථාවරය සමඟ සමූහය අනාගතයේදී බහුවිනිමය හසුරුවන, භූගෝලීයව පැතිරුණු, ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වේදිකාවක් ලෙස ගෝලීය ක්‍රියාකාරිකයකු බවට පත්වීමේ දැක්ම යථාර්ථයක් කිරීමට අධිෂ්ඨානයෙන් පසුවේ.

 

Comments