මුල්‍ය වෘත්තිකයන් ගනුදෙනුකරුවාට මග පෙන්විය යුතුයි | සිළුමිණ

මුල්‍ය වෘත්තිකයන් ගනුදෙනුකරුවාට මග පෙන්විය යුතුයි

සමස්ත ආර්ථිකයටම බලපෑමක් වී ඇති මුත්, බොහෝ ඉක්මනින් අප යථා තත්ත්වයට පැමිණිය යුතුය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා නියුක්තිකයන් ඇතුළු සමස්ත ව්‍යාපාර ක්‍ෂේත්‍රයටම බලපා ඇති මේ අවස්ථාව, වඩාත් හොඳින් කළමනාකරණය කර ගන්නේ කෙසේදැයි තරුණ වෘත්තියවේදියෙකුගෙන් විමසුවෙමු. ඒ අනූව එල්. බී ෆිනෑන්ස් අලෙවි ප්‍රධානී, සුදීප් පෙරේරා දැක්වූ අදහස් මේ.

පවතින තත්වය සමස්ත මූල්‍ය ව්‍යාපාර ක්‍ෂේත්‍රයටම ඇති කර තිබෙන බලපෑම කෙබදු ද?

රටක ආරක්ෂාවට යම්කිසි බලපෑමක් ඇති වූ විට එය සමාජයේ සෑම කොටසකටම එය සෘජුව හෝ වක්‍රාකාරව බලපෑමක් ඇති කරනවා. ඒ තුළින් රටේ සමස්ත ආර්ථිකයම පසුබෑමකට ලක්වීම නිසා රටේ විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන මේ පිරිස මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වය, ඔවුන් මූල්‍ය සේවා ලබාගත් ආයතන වලටත් යම් බලපෑමක් ඇති කරන්නට පුළුවන්.

කොහොමද එහෙම වෙන්නෙ, මිනිස්සු වාරික නොගෙව්වොත් මූල්‍ය ව්‍යාපාර ආයතන පවතීද?

ශක්තිමත් මූල්‍ය ආයතනයන් වලට මෙවැනි සිදුවීම් සඳහා මුහුණ දීමට හැකියාවක් තිබෙනවා. අපේ විශ්වාසය මෙය තාවකාලික පසුබෑමක් බවයි. ලෝකයේ මෙවැනි දේවල් බොහෝ අවස්ථා වල සිදුවී තිබෙනවා. හැබැයි වැදගත් වෙන්නෙ කොච්චර ඉක්මනින් අපිට ඒවායින් එලියට එන්න පුළුවන්ද කියන එකයි.

මෑතකදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම් ව්‍යාපාර ක්‍ෂේත්‍ර කිහිපයකට සෘජුව බලපෑම් ඇති කරනමුත්, විවිධ ක්‍ෂේත්‍රයන්හි ව්‍යාපාර වලට මූල්‍ය පහසුකම් සපයන ශක්තිමත් මූල්‍ය ආයතනවලට මෙම තත්වයට මුහුණ දීමේ හැකියාවක් තිබෙනවා. මූල්‍ය කළමනාකරණයක් තුළින් මෙම තත්වය මගහරවා ගත හැකි බවට විශ්වාසයි.

ලීසිං පිළිබඳ මේ වෙලාවෙ ජනතාවගේ උනන්දුව කෙබදුද?

ලීසිං ගන්නේ වාහනයක් ගන්නනෙ. වාහනයක් ගන්න අවශ්‍ය නම්, ඒක අවශ්‍යම තමයි. රටේ විවිධ අවස්ථා වල ගැටළුකාරී තත්ව නිසා, කෙටිකාලීනව බලපෑමක් ඇතිවිය හැකි වුවද මිනිස්සු තමන්ගේ බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. එකම දේ, ඔවුන් ඒ අවශ්‍යතාව ටිකක් කල්දානවා. ඒ නිසා දිගුකාලීනව ඒක ලොකු බලපෑමක් වෙන්නේ නෑ.

මේ තත්වය යටතේ මූල්‍ය සමාගමක වගකීම කෙබදුද?

මේ තත්වය යටතේ ණය ලබාගන්නා පාර්ශවයන් ගෙන් මෙම තත්වය නිසා යම් අපහසුතා වලට වැටී ඇති පාරිභෝගිකයන් වෙත වඩාත් නම්‍යශීලී සේවාවන් ලබාදීමටත්, ඇතිවී තිබෙන ගැටළු නිරාකරණය කිරීමට සුදුසුම මූල්‍ය සේවා සහ උපදේශන ලබාදීම තමයි අපි සිදු කරන්නේ.

රටේ ආර්ථිකයේ හදිසි බලපෑමක් තිබියදී මිනිසුන්ට අනිසි පෙළඹවීමක් ඇතිකරවලා ණය ලබාගැනීමට යොමු කරවීම සුදුසු දෙයක් නෙවෙයි. අනික, මූල්‍ය ව්‍යාපාරයක් එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපේ අරමුණ පාරිභෝගිකයින් සමග දිගුකාලීනව ගනුදෙනු කිරීමටයි. ස්ථාවර මූල්‍ය ආයතනයක් කිසිවිටකත් එහෙම කරන්නෙත් නැහැ. පෙළඹෙන්නෙත් නැහැ. විධිමත් ලෙස මූල්‍ය කළමනාකරණය කල හැකි මූල්‍ය සේවා හඳුන්වාදීමත් ඒ අනූව ජනතාවට සුදුසු මූල්‍ය උපදේශන ලබාදීමත් මූල්‍ය ආයතන වල වගකීමක්.

එතකොට මේ තත්වයෙන් ගොඩ එන්න මූල්‍ය කළමනාකරණයේ අප හැසිරිය යුත්තේ කෙසේද?

වෘත්තිකයන් වශයෙන් අප වැනි අයගේ වැඩි අවධානය යොමුවිය යුත්තේ මේ කාරණය ප්‍රමුඛ කොටගෙනයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම, මිනිසුන් උද්යෝගිමත් කිරීම, උපදේශනය ලබාදීම සහ ආර්ථිකයට දායකවීම වෘත්තියවේදීන් ලෙස අපගෙන් සිදුවිය යුතුවේ. අප වැනි අයගේ මගපෙන්වීම තුළ, මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ කළමනාකාරිත්වයක් ඇති කර ගැනීමට ඔවුන් පෙළඹවිය හැකියි. මොකද, බොහෝ අයට පුළුවන්කම තිබෙනවා, වෘත්තියවේදියෙකු කියන දෙයක් විශ්වාසයෙන් පිළිගන්න.

ඉතින්, මොකක්ද ඔබ ඒ වෙනුවෙන් දෙන උපදෙස?

හැමදේටම කලින් සිදුවූ අවාසනාවන්ත සිදුවීම් පිලිබඳ තැතිගැන්ම ඉවත්කරගන්න. අපි යළි නැගිටිය යුතුයි, ඒ වෙනුවන් සාධනීයව හිතන්න පටන්ගත යුතුයි. රටේ ආරක්ෂාවට සහයදීම සහ ජනතාව ලෙස ඉතාමත් වගකීමෙන් වැඩකිරීම මේ මොහොතේ අපෙන් ඉටු විය යුතු ප්‍රබලම කාරණා. ඒ එක්කම රටේ ආර්ථිකයට දායක වෙන්න ඔබට ලැබෙන්නේ යම් අවස්ථාවක්ද එය පැහැර නොහැර බාරගන්න, ඉටු කරන්න අත්‍යවශ්‍ය කටයුතුවලට මුල්තැන දෙමින් අරපිරිමැස්මෙන් ඉදිරියට යෑමයි, මේ වෙලාවෙ වැදගත්ම දේ.

Comments