ලෝකයේ ලේසර් තාක්ෂණය වෙනස් කළ අපේ මහාචාර්යවරයා | සිළුමිණ

ලෝකයේ ලේසර් තාක්ෂණය වෙනස් කළ අපේ මහාචාර්යවරයා

අපි කළ සොයාගැනීම ලෝකයම බැහැයි කී එකක්

ලේසර් තාක්ෂණයේ වියදම අඩුවෙයි භාවිතය සරල වෙයි

අපට ජපානයේ සරසවියක ඉගෙනුම් කටයුතුවල නියැළෙන ශ්‍රී ලාංකික තරුණයකුගෙන් හදිසියේ දුරකතන ඇමතුමක් ලැබිණි. “ලෝකයේ අලුත්ම සොයාගැනීමකට නායකත්වය දුන්න ලංකාවේ මහාචාර්යවරයෙක් හෙට අනිද්දා ලංකාවට එනවා. එතුමා ලේසර් තාක්ෂණය ගැන මෑතදී කළ සොයාගැනීම සමහර විට නොබෙල් තෑග්ගට පවා හිමිකම් කියන්න පුළුවන් තරමේ එකක්. මට පුළුවන් සම්බන්ධ කරලා දෙන්න.,, ශ්‍රී ලාංකේය අභිමානය ලෝ පතළ කරන්නට තරම් වැදගත් පර්යේෂණයක් කළ මේ මහාචාර්යවරයා ගැන අප තුළ උපන්නේ මහත් කුහුලකි.

“අපි කැමතියි හොඳ ලිපියක් ලියන්න අපිට සම්බන්ධ කරල දෙන්න.

ලේසර් ගැන වැඩිමනත් නොදන්නා වුවත් අප ඔහු සමඟ සම්බන්ධ වෙන්නට සිතුවේ ඔහුගේ මේ මහත් වෑයමේ ප්‍රතිඵලය ඔහුගෙන්ම දැනගැනීමේ අටියෙනි. ලංකාවට පැමිණි, ලෝකයේ තාක්ෂණයක් වෙනස් කිරීමට තරම් තීරණාත්මක මෙහෙයක් කළ මහාචාර්යවරයා පසුගියදා කොළඹ දී අපට හමුවන්නට අවස්ථාවක් පාදා ගත්තේ ඒ අනුවය.

ඔහුගේ පර්යේෂණයේ ඇති විප්ලවකාරීත්වය ගැන අප ද දැන ගත්තේ ඔහුගේම හඬිනි.

“විදුලි පන්දමේ ආලෝකය දුරට ගමන් කිරීමේදී විසිරි යනවා ඔබ දැක ඇති. එහෙත් ලේසර් කදම්භයක වෙනස වන්නේ ආලෝකය කොපමණ දුරක් ගමන් කළත් එහි විසිරීමක් නැති වීමයි. වර්තමානයේ ප්‍රසංග වේදිකාවල ආලෝකකරණයට පවා ලේසර් ධාරා යොදා ගන්නවා. ඒ සඳහා මෙතෙක් කල් යොදා ගත්තේ ගැලියම් ආසනයිඩ්, ගැලියම් නයිට්‍රයිඩ් වැනි මිලෙන් අධික, දුර්ලභ, කාබනික නොවන මූලාශ්‍ර. ඒවා අඩංගු ලේසර් උපාංග භාවිතයෙන් පසු ඉවතලෑම පරිසරයට හිතකාමී නැහැ. එබැවින් අපගේ පර්යේෂණයේ අරමුණ වූයේ මීට විකල්පයක් ලෙස කාබනික අර්ධ සන්නායක ආශ්‍රයෙන් ලේසර් නිපදවීමයි. කොහොම වුණත් ලෝකයේ බොහෝ පර්යේෂකයන්ගේ අදහස වූයේ මෙය සැබෑ කරගත නොහැකි සිහිනයක් කියලයි.“

ඔහුගේ එම කෙටි පැහැදිලි කිරීමෙන්ම අපට ලොකු අරුතක් වටහා ගන්නට ප්‍රමාණවත් විය.

ලේසර් ගැන අද දන්නේ නව තාක්ෂණය පිළිබඳ යාන්තම් හෝ අවබෝධයක් ඇත්තන්ම පමණක් නොවේ. ලේසර් තාක්ෂණයේ විස්කම් ගැන අද තාක්ෂණය ගැන නිසි අවබෝධයක් නැති ගමේ අත්තම්මලා පවා දැන ගන්නේ බොහෝ විට වෛද්‍ය ප්‍රතිකාරවලදී ලේසර් ගැන කියවෙන නිසාය. “ඇහැ ලේසර් කළා, හමට ලේසර් ඇල්ලුවා” ඔවුන්ට නිරන්තරයෙන් අසන්නට ලැබෙන වැකි කීපයකි.

අද ඡායා පිටපත් ගැනීමේදීත් ඇඟිලි සලකුණු සටහන් කිරීමේදීත් ලේසර් අත්‍යවශ්‍ය වී තිබේ. ඔබ අද සුපිරි වෙළෙඳ සලකට ගොස් බඩු මිලදී ගත් විට Bar code ස්කෑනරයක් භාවිත වනු නිතැතින්ම ඔබ දැක ඇත. ලේසර් ආලෝකයේ විසිරි නොයන රේඛීය බව නොවන්නට එවැනි උපාංග ඔබට දක්නට නොලැබේ.

එලෙස අද ලෝකයේ සුලබව භාවිත වන ලේසර් කදම්භ පිළිබඳ මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් 1906 වසරේදී න්‍යායත්මකව ප්‍රකාශ කළ ද, එහි ප්‍රායෝගික පර්යේෂණ සාර්ථක වූයේ 1960 වසරේදීය.

අද ලෝකයේ කාබනික ද්‍රව්‍ය භාවිතයෙන් OLED තිරයන් ජංගම දුරකතනය හා නම්‍යශීලී පුළුල් රූපවාහිනී තිර පවා ලෝකයේ දක්නට ලැබුණත්, කාබනික ලේසර් තාක්ෂණය ප්‍රායෝගිකව ළඟා කර තිබුණේ නැත.

එවන් පසුබිමක මහාචාර්ය අතුල සන්දනායක ජපානයේ කියුෂු විශ්වවිද්‍යාලයේ කාබනික ෆෝටොනික සහ ඉලෙක්ට්‍රොනික පර්යේෂණ මධ්‍යස්ථානයට (organic photonics and Electronics Research Centre) සම්බන්ධ වන්නේ කාබනික ලේසර් ඩයෝඩය යථාර්ථයක් කර ගැනීමටයි. ඔහුගේ විශිෂ්ට හැකියාවන් හඳුනාගන්නා එහි අධ්‍යක්ෂ මහාචාර්ය එහායා අඩාමි මහතා ඔහුට හැට දෙනෙක් පමණ වූ මුළු පර්යේෂණ කණ්ඩායමේ හතරෙන් එකකට නායකත්වය පැවරීය.

ලේසර් ක්ෂේත්‍රයේ නව විප්ලවීය කාබනික ලේසර් ඩයෝඩය සොයා ගත් කණ්ඩායමේ නායකත්වය දරන මේ මහාචාර්යවරයා කෙටි සංචාරයක් සඳහා පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණි අතර අප හමුවන්නේ ඒ කාලය තුළදීය.

ඔහුගෙන් අපි මේ පර්යේෂණය ගැන තවදුරටත් විමසීමු.

“අර මුලින් කීවා වගේ OLED සොයාගැනීමත් සමඟ ලේසර් ක්‍රියාවලිය ද කාබනික ද්‍රව්‍ය උපයෝගි කරගෙන නිර්මාණය කළ හැකිදැයි ලෝකයේ නොයෙක් තැන්වල පර්යේෂණ සිදු වුණා. විවිධ විද්‍යාඥයන් එම පරීක්ෂණ සිදු කෙරෙන අතරවාරයේදී ජපානයේ කියුෂු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ කණ්ඩායමක් ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා. මේ පර්යේෂණ කණ්ඩායමේ නායකයා වුණේ මම. අපිත් මේ ඉලක්කය ඔස්සේ රෑ දවල් නැතිව වසර 5ක් මුළුල්ලේ විද්‍යාගාරවලට වැදී පර්යේෂණ කළා. ඒ ගැන සාකච්ඡා කළා. නව දැනුම් රැස් කර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ලෝකයේ මුල් වතාවට අපට ලේසර් නිපදවිය හැකි කාබනික ඩයෝඩයක් නිපදවන්න පුළුවන් වුණේ.,,

ලොවක් වෙනස් කරන මේ සොයාගැනීම කළ ද ඒ අභිමානය බාහිරින් පෙන්නනු වෙනුවට ඔහුට ඇත්තේ නිහතමානී ඇවතුමකි. පැවතුමකි. කලින් සඳහන් කළ OLED නිර්මාණ සිදු කරනු ලබන්නේ ඉලෙක්ට්‍රෝඩ 2කට මැදි කරන ලද නැනෝ මීටර් ප්‍රමාණයේ කාබනික ස්ථර කීපයකිනි. එමඟින් විමෝචනය කරනු ලබන ආලෝකයේ තරංග ආයාමය පුළුල් පදාසයක් පුරා පැතිරී පවතී. එය ලේසර් ධාරාවක් බවට පත් කරගැනීමට ලිතෝග්‍රැෆි නම් වූ සුවිශේෂි නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කර ගනිමින් තරංග අනුනාදකයක් (Resonator) අන්තර්ගත කිරීමට සිදු වේ.

“එය හරියට කුඩා චිප් එකක් වගෙයි. ලොකු වියදමක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාබනික ලේසර් ඩයෝඩය හරි සරලයි. මිලත් පහසුයි. ඒ නිසා අලුත්වැඩියා කටයුත්තකදී වුණත් චිප් එක පහසුවෙන් මාරු කරන්න පුළුවන්. කාබනික ලේසර් ඩයෝඩය වඩාත් තීව්‍ර ආලෝක කදම්බයක් ලබා දෙන නිසා එහි කාර්යක්ෂමතාව ඉහළයි. අකාබනික ද්‍රව්‍යය භාවිතයෙන් ලේසර් නිර්මාණයේදී විවිධ වූ වර්ණ ලබාගැනීමට අපහසු වූවත්, කාබනික අණුවේ ව්‍යුහක වෙනස් කීරීම මඟින් සෑම වර්ණයකම ලේසර් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.,, මහාචාර්ය අතුල සන්දනායක එහි ඇති යහපත් ප්‍රතිඵල පෙන්වා දුන්නේ එසේය. වසර 5ක් පුරා සිදු කළ පර්යේෂණයේදී ඔවුන් මුහුණ දුන් බාධා, අභියෝග ද අපමණය.

“අපි මුහුණ දුන් ලොකුම අභියෝගය තමයි, පර්යේෂණවලදී මේ කාබනික ද්‍රව්‍යවලට විදුලි ධාරා ලබා දීම. ඒවායින් ඇති වන දැඩි ප්‍රතිරෝධය නිසා බොහෝමයක් ඒවා පිලිස්සී විනාශ වී ගියා. සමහර අවස්ථාවලදී අපට මේ පර්යේෂණය නවත්වන තැනටම අපේ සිත් පසුබැස්සා. එහෙත් අවසානයේ අපි යළි යළිත් දැඩි කැපවීමකින් අත්හදා බැලීම් කළා. අවසානයේ අපේ පර්යේෂණ ඉලක්කය සාර්ථක වුණා.,,

මේ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෝ සත් දෙනෙකි. එම කණ්ඩායමට මහාචාර්ය අතුල සන්දනායක හැර ජපන් ජාතිකයෝ දෙදෙනෙක්ද ප්‍රංශ ජාතිකයෝ ‍දෙදෙනෙක් ද චීන ජාතිකයෙක් සහ ඇමෙරිකා ජාතිකයෙක් අයත් වෙති.

බොහෝ දෙනකුගේ සිහිනයක් වූ කාබනික ලේසර් ඩයෝඩය යථාර්ථයක් බවට පත් කළේ එම කණ්ඩායම යි. ඉන් අනතුරුව 2019 මැයි මස එම විද්‍යාඥයන් විසින් Applied physics Express සඟරාවේ ඒ පිළිබඳ පූර්ණ විද්‍යාත්මක වාර්තාව පළ කරන ලදී. මේ වන විට එම වාර්තාව අන්තර්ජාලයේ භාගත කිරීම පන්දහස ඉක්මවයි. ඒ අනුව කාබනික ලේසර් ඩයෝඩය ලොවට ප්‍රථම වරට හඳුන්වා දීමේ ගෞරවය මහාචාර්ය අතුල සන්දනායක ඇතුළු කණ්ඩායමට හිමි වේ. මේ වන විට කාබනික ලේසර් ඩයෝඩය සඳහා පේටන්ට් බලපත්‍ර 9ක් ලැබී තිබේ.

“අපි කාබනික ලේසර් ඩයෝඩය සොයාගත්තාට මේක වෙළෙඳපළට අලෙවි කරන්න ඕනෑ. වෙළෙඳපළට අලෙවි කළොත් විතරයි මෙය යොදාගත් නිෂ්පාදන බිහි වෙන්නේ. කාබනික ලේසර් උපයෝගි කරගෙන නිෂ්පාදනය කරන ස්මාට් දුරකතන, රථවාහන වැනි නිපැයුම් අපිට හදන්න බැහැ. ඒ නිසා අපි කාබනික ලේසර් ඩයෝඩය වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා ජපානයේ කෝලා (KOALA) නමින් සමාගමක් ආරම්භ කළා. මම ඒ සමාගමෙත් උපදේශකයෙක්. කාබනික ලේසර් උපයෝගි කරගෙන හදන නිෂ්පාදන වෙළෙඳපළට එන්න තව කාලයක් ගත වේවී.

ඔවුන්ගේ ආරම්භක ප්‍රයත්නය වන්නේ රථවාහනවල ලේසර් රේඩාර් (LIDAR) සංවේදක පරිපථ සඳහා අධෝරක්ත ලේසර් කදම්භ භාවිත කිරීමයි. කලින් සඳහන් කළ පරිදි Bar codeවලට ලේසර් යොදා ගන්නා සේ ස්වයංක්‍රීයව ධාවනය වන වාහන හා නියමුවන් රහිත වාහනවලට ලේසර් යොදාගැනීමෙන් මෝටර්රථ පාලකවල නිරවද්‍යතාව ඉහළ නංවා ගත හැකිය.

“මේ ආකාරයට මුලින්ම රථවාහන සඳහා කාබනික ලේසර් ඩයෝඩය ක්‍රියාත්මක කරවීම තමයි නිෂ්පාදකයන්ගේ අරමුණ . ලංකාවටත් ජපානයේ එළිදකින අලුත්ම තාක්ෂණ එන්නේ මෝටර් රථ එක්ක. ඒ නිසා එය වාණිජ මට්ටට ගිය සැණින්ම වාගේ ලංකාවේ අයටත් මෝටර් රථ හරහා අප ලෝකයට හඳුන්වා දුන් මේ තාක්ෂණය අත්විඳින්න ලැබේවි. මහාචාර්යවරයා පවසයි. ශ්‍රී ලාංකික නාමය රන් අකුරෙන් බබළවන මහාචාර්ය අතුල සන්දනායක මහතා බණ්ඩාරගම මැදි විදුහලෙන් අධ්‍යාපනය ලබා ජයවර්ධනපුර සරසවියෙන් රසායන විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් ලබා ගත්තේය.

ඔහු ජපානයේ තොහොකු විශ්වවිද්‍යාලය තුළ ගෞරවනීය මහාචාර්ය ඔසමු ඉතෝ යටතේ පර්යේෂණ හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබ විදේශගත වූ අයෙකි. විද්‍යාපති උපාධියෙන් පසු ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන අවධිය වන විට විද්‍යා පර්යේෂණ ලිපි විසි හතක් පළ කර තිබීමෙන් ඔහුගේ විශිෂ්ටත්වය අපූරුවට විදහා පානු ඇත.

ජපානයේ පිහිටි Advance Institute of Science Centre හි විද්‍යාඥයකු ලෙස සේවය කර ඇති ඔහු කියුෂු විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ 2014 වසරේදීය. ඔහුගේ එම සම්ප්‍රාප්තිය ඔහුට වෙස් වළාගත් ආශිර්වාදයක් වූයේ ඔහුගේ නාමය සදාතනික නාමයක් ලෙස සනිටුහන් වීමට දොරගුළු විවර වූයේ කියුෂු සරසවියෙන් වන බැවිනි.

Comments