ලොකු සමාගම් විකුණන්නේ නමට විතරක් ‘පාරම්පරික, හාල් | සිළුමිණ

ලොකු සමාගම් විකුණන්නේ නමට විතරක් ‘පාරම්පරික, හාල්

පුදුමයකි. හෝමාගම නගර මැද පිහිටි පුංචි ගොවි ගෙදරකි. තවත් අතකින් එය තනිකරම පාරම්පරික බීජ බැංකුවකි. යාබදව දේශීය බිත්තර වී ගබඩාවකි. මසුරං, හීනටි, දික්වී, මඩතවාලු, සුදු හීනටි, මාවී වැනි පාරම්පරික වී කරල් එල්ලෙන ඒ ‍පුංචි ගොවි ගෙදර පිහිටියේ හෝමාගම පොලිසිය අසල රවුම් පාර ආරම්භයේ ය. එහි ගෘහමූලිකයා වන තම ජිවිතය පාරම්පරික වී වගාව වෙනුවෙන් ම කැප කළ පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ සංවිධානයේ ගරු සභාපති ප්‍රේමදාස ගුරුසිංහ මහතා අප ඉදිරියේ සිටියි.

චාම් දිවි පෙවෙතක් ගත කරන ඔහු සමඟ අපි වසර 2500කට වඩා පැරැණි පාරම්පරික ගොවිතැනේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන කතා කළෙමු.

මොකක්ද මේ පාරම්පරික ගොවිතැන කියන්නේ?

පාරම්පරික ගොවිතැන කියන්නේ වසර 2500 කටත් ඈත අතීතයේ ඉඳන් අපේ ර‍ෙට් ජනතාව කරගෙන ආ ගොවිතැනයි. රසායනික පොහොර ‍රසායනික කෘමිනාශක පාවිච්චි කරන්නේ නැති මේ ගොවිතැන රටේ ජනතාවගේ සුවසෙත හා රටේ පරිසරය සුරැකීමට මහඟු මෙහෙවරක් කරනවා. සිංහල හාලේ බත පිසින්න මේ පාරම්පරික ගොවිතැන නැතුව බැහැ. අපේ ආතා මුත්තාගේ කාලේ ඉඳන් අද වෙනකම් රටට හිතැති දේශීය දේවලට හිතැති ගොවීන් පිරිසක් මේ පාරම්පරික ගොවිතැන රැකගෙන ඉදිරියට ගෙනයනවා.

මේ යටතේ මසුරං, ගොඩ හීනටි, මඩතවාලු, මාවී, සුවඳැල්, දික්වී වැනි පාරම්පරික වී ප්‍රභේද වර්ග 12 ජනප්‍රිය කරන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. නමුත් අද අපේ මේ ගොවිතැනට සමහර කෘෂිකර්ම නිලධාරින්ගෙන් හා රජයේ බැංකු හා පරිපාලන ආයතනවලින් කිසිම පිළිසරණක් නැහැ. ඒවගේම මේ කෘෂිකර්ම ක්‍රමය ඉදිරියට ගෙනයන්න අප සමඟ ඉන්න ගොවි පරපුර හැරුණහම වෙන කිසිම කෙනෙක් නැහැ. මේ ගොවියො ටික ‍නැතිදාට මේ ක්‍රමය අභාවයට යයි.

පාරම්පරික ගොවිතැන පිළිබඳව පාසල් විෂය මාලාවේ නැහැ. කෘෂිකර්ම ඩිප්ලෝමාවලත් නැහැ, හාඩි එකෙත් නැහැ, විශ්ව විද්‍යාලවලත් නැහැ. මේ නිසා මේ වැදගත් ගොවි ශිල්පය ඉදිරියට ගෙනියන්න රජය මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ ය.

හරිත විප්ලවයෙන් අපේ පාරම්පරික කෘෂිකර්මයට මොකද වුණේ?

හරිත විප්ලවයෙන් මේ ක්‍රමය විනාශ කළා. හරිත විප්ලවයෙන් කිව්වෙ රසායනික පොහොර කෘමිනාශක වල් නාශක දාල වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙන් අපේ රටේ පරිසරයත් ආහාරවල ගුණාත්මය විනාශ කළ අතර නිෂ්පාදන වියදම වැඩි කළා. දැනට වසර 200 පමණ පෙර අපේ පාරම්පරික වී ප්‍රභේද 3000ක් විතර තිබුණා. හරිත විප්ලවය නිසාම එයින් ප්‍රභේද 2736 ක් අභාවයට ගිහිල්ලා. දැන් අපිට වවන්න තියෙන්නේ සියලු ප්‍රභේද 264ක් විතරයි. ඒ වී වල බිත්තර වී අපට ලැබෙන්නේ ගන්නෝරුව, පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයෙන්. ඉතා සුළු වශයෙන් ග්‍රෑම් 2ක් පමණයි. අපේ ගොවීන් ඒ ඇට ටික වවලා අවුරුදු 4 ක් ඇතුළත වී ග්‍රෑම් 500ක් ගන්නෝරුව පැළෑටි මධ්‍යස්ථානයට දෙන්න ඕනෑ. මීට අමතරව ඉතා දුර්ලභ පාරම්පරික වී ප්‍රභේද 1400ක ආරක්ෂිත වී බීජ ඉතා සුළු ප්‍රමාණයක් පැළෑටි ජාන මධ්‍යස්ථානයේ ගබඩා කර තිබෙනවා.

පාරම්පරික වී ගොවිතැන දැනට අපේ රටේ පැතිරී තිබෙන ආකාරය පිළිබඳ පැවසුවොත්?

පාරම්පරික වී ගොවිතැන කරනගොවීන් 6000 ක් විතර දිස්ත්‍රික්ක 19ක් තුළ ඉන්නවා. ඔවුන් සෑම කන්නයකම කුඹුරු අක්කර 4000 – 5000 අතර අමාරුකම් මැද අස්වද්දනවා. මේ අය සම්පූර්ණයෙන් පාරම්රික වී ගොවිතැන කරන්නේ කාබනික වගාවක් ලෙසයි. රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක ආදිය දාන්නේ නැහැ. හරක් කටු, කොළ පොහොර, කොළ මිරිකාගත් වතුර හා ගොම ආදිය තමයි මේ වී වගාවේ යෙදවුම් ලෙස භාවිතා කරන්නේ.

අපේ පාරම්පරික වී වගාවල අක්කරයකින් වී බුසල් 60 – 80 අතර සාමාන්‍යයෙන් ගන්න පුළුවන්‍‍. හැබැයි 2013 වසරේ පිළියන්දල, නිවන්දම ප්‍රදේශයේ ධර්මකීර්ති මහතාගේ ගොවි පළේ අපේ උපදෙස් අනුව වගා කළ දික් වී අක්කරයකින් වී බුසල් 104ක් ලැබුණා. ඒ වගාව අධීක්ෂණය කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමා.

පාරම්පරික ක්‍රමයට වී අක්කරයක් වවන්න යන නිෂ්පාදන වියදම රුපියල් 27000 ක් පමණයි. ඒ විදියට අක්කරයකින් වී බුසල් 60 – 80ක් ගන්න පුළුවන්. අපි ඒ වී කිලෝ එකට රුපියල් 80 ක් ගෙවනවා.

දෙමුහුන් වී වගාකරන්න අක්කරයකට රුපියල් 46000ක් විතර වැය වනවා. ඒ විදියට වවල අක්කරයකට ගන්න පුළුවන් සාමාන්‍ය අස්වැන්න වී බුසල් 80 යි. ඒ අය‍ගේ වී කිලෝ එකට ලැබෙන්නේ රුපියල් 30 – 35 අතර ගණනක්. මේ අනුව පාරම්පරික වී වගාව නියමිත විදියට කරගත්තොත් ගොවීන්ටත් ඒවා පරිභෝජනය කරන අයටත් ඉහළ ඵලදායිත්වයක් ලැබෙන බව පෙන්වා දෙන්න පුළුවන්.

ඔබ පාරම්පරික ගොවිතැන ව්‍යාප්ත කිරීමට සිදු කරන කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කළොත්...

අපි ළඟ බිත්තර වී බැංකුවක් තිබෙනවා. ඒකෙන් අපි අපේ සංවිධානයේ ගොවීන්ට අවශ්‍ය බිත්තර වී ලබාදෙනවා. හැබැයි සල්ලි ගන්නේ නැහැ. ගත්ත වී ප්‍රමාණය මෙන් 1 ½ක් අපට දෙන්න ඕනෑ. ඒ කියන්නේ 50% වැඩියෙන් දෙන්න ඕනෑ. අපට අවශ්‍ය මුදල් ම නොවෙයි. පාරම්පරික බීජ රට පුරා වගා කිරීමට සැලැස්වීමයි. මේ වගාව පිළිබඳව රටපුරා ජනතාව දැනුම්වත් කිරීම් වැඩසටහනක් ද අපි ක්‍රියාත්මක කරනවා. ඒ මඟින් රටේ ජනතාවට අඩු මිලට පාරම්පරික සහල් ලබාදීමටයි අපේ උත්සාහය‍.

ඔබ එසේ කීවාට අද නාගරික වෙළෙඳ පොළේ පාරම්පරික සහල් කි.ග්‍රෑ. 1ක් රුපියල් 350.00 ක් විතර වනවා. ඒ ගාන දීලා මේ හාල් ගන්නේ කවුද?

ඒක ඇත්ත. මේක‍ට හේතුව මෑතක ඉඳලා මේ පාරම්පරික සහල් විකිණීමේ බල අධිකාරිය මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාර විසින් පවරාගෙන තිබීමයි. ඒ සමඟම කාබනික ආහාර කියලා රසායනික පොහොර දාලා හදන දේවල් විකුණන අයත් අර අපේ පාරම්පරික සහල් වැඩි ලාභ ඇතිව විකුණනවා‍.

ලංකාවේ අඩු මිලට පාරම්පරික සහල් ලබාදෙන්නේ අපි. කිලෝවක් රුපියල් 200 ටත් අපි ගාව තියෙනවා. බිත්තර වීත් අපෙන් ලබාගන්න පුළුවන්. මේ වායේ ආදායම අපිට නෙවෙයි අපේ ගොවියන් හැම දෙනාටමයි. මේ අතර පාරම්පරික සහල් කියලා රසායනික පොහොර යොදලා හදන සහලුත් විකුණන අය ඉන්නවා.

මේකට පිළියමක් වශයෙන් අපි දැන් පාරම්පරික වී ප්‍රභේද 12ක් සහතික කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතිනවා.

පාරම්පරික වී වල ගුණදායක බව පිළිබඳව පැහැදිලි කළොත්?

මේ සියලු පාරම්පරික වී ප්‍රබේදවල සහල් දියවැඩියාවට, පිළිකාවලට ගැස්ට්‍රයිටිස් සුව කරන්න ඉතා සුදුසු බව විද්‍යාත්මකව ඔප්පුවී තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කරන කාර්මික තාක්ෂණ ආයතනය, අනුරාධපුර සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතන වැනි ආයතන මඟින් මේ සහල් බේත් අල්ලන්නෙ නැති ලෙඩ රෝග රාශියකට ගුණදායක බව විද්‍යාත්මකව ඔප්පුකර තිබෙනවා. විශේෂයෙන් මසුරං. සුදු හීනටි, ගොඩ හීනටි, දික්වී යන ප්‍රභේද මඟින් පිළිකා සෛල වැඩීම අඩාල කරන බවත් පෙන්වා දී තිබෙනවා‍. ඊට අමතරව මා වී හා මඩතවාලු මගින් තරබාරකම අඩු කරනවා.

රජය මේ පාරම්පරික ගොවිතැන පිළිබඳව අවධානය යොමු කර ඇත්තේ මොන අකාරයෙන් ද?

මේ ගොවිතැන පිළිබඳව රජයේ අවධානය හුඟක් මදි. අපට යම්තම් උදව් කරන්නේ ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යසථානය විතරයි.

අපේ වී වගා ක්‍රමයට කිසිම සහනාධාරයක් රජයෙන් දෙන්නෑ. ඉස්සර අක්කරයකට රුපියල් 5000ක කාබනික පොහොර සහනාධාර ලබා දුන්නා. දැන් ඒක නවත්වලා. ඒ වගේ ම කෘෂිරක්ෂණයෙනුත් රක්ෂණය කරල තිබ්බත් අපේ වගාවලට වන්දි ගෙවන්නෙ නැහැ. අපි වවන්නේ වල් වී කියලයි රක්ෂණ නිලධාරීන් කියන්නේ.

ඔවුන්ට දී ඇති චක්‍රලේඛන වල මසුරං, මා වී, හීනටි වගේ ප්‍රභේද වලට වන්දි ගෙවීම ගැන සඳහන් වෙලා නැතිලු. අපට අපේ වගාවන් කරන්න කිසිම බැංකුවකින් කිසිම ණයක් දෙන්නෙ නැහැ. මේ සියලු දේවල් නිසා අපේ ගොවීන් මේ ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ බාධා රැසක් මධ්‍ය‍ෙය්. මේ ගැන රජයේ වගකිව යුතු සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි.

රජය මේ ගොවිතැන් දියුණු කිරීමට කළ යුත්තේ කුමක්ද?

අප සතුව ඇති පාරම්පරික බීජ ලෝකයේ වෙන කොහෙවත් නැහැ. සිංහල හාලේ බතට සහල් හදන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පමණයි. ඒ අනුව මේ පාරම්පරික කෘෂිකර්මය ආරක්ෂා‍ කිරීම රජයේ යුතුකමක්. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා.

මුලින්ම මේ කෘෂිකර්මය කරන ගොවීන් දිරිමත් කරන්න සහනදායි ණය ක්‍රමයක් ලබාදෙන්න ඕනෑ. මේ පාරම්පරික කෘෂිකර්මය හා පාරම්පරික වී පිළිබඳව අපේ රටේ 5 වැනි පන්තියේ සිට පාසල් විෂයමාලාවට ඇතුළත් කළ යුතුයි. කෘෂිකර්ම ඩිප්ලෝමා විෂය මාලාවට හාඩි පාඨමාලාවලට පාරම්පරික කෘෂිකර්මය ඇතුළු කරගත යුතුයි. විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂය ධාරාවේ කෘෂිකර්ම විෂය ධාරාවට වහාම මේ පාරම්පරික වී ගොවිතැන පිළිබඳව ඇතුළත් කළයුතුය.

එවිට අපේ නව යොවුන් පරපුරට හා යොවුන් පරපුරට මේ පාරම්පරික ගොවිතැන ගැන සුළු අවබෝධයක් හෝ ලැබේවි. මේ වගා ක්‍රමයට රජය සහනාධාර ක්‍රමයක් ද ක්‍රියාවට නැංවිය යුතුයි. ඉස්සර දුන්න 5000 කාබනික පොහොර සහනාධාරය යළි ලබා දිය යුතුයි. පුරන් කුඹුරු අස්වද්දන්න අක්කරයකට 20000 සහනාධාර ලබාදී මේ වී වගාවට අත හිත දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා‍. ඒ සමඟම අපේ පාරම්පරික වගාවන් කෘෂි රක්ෂණය මගින් ආවරණය කළ යුතුයි. වගා විනාශ වුණාම වන්දි ගෙවන්න ඕනෑ. අපේ ගොවි සංවිධාන මගින් කලක් තිස්සේ කරන අපේ පාරම්පරික බීජ ලෝක උරුමයක් කළ යුතුයි යන ඉල්ලීම රජය ඉටුකිරීම කාලීන අවශ්‍යතාවක්.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්න

අදහස්