පොළොව යටින් මතු වන වසර 1800ක් පැරැණි කන්නියාවේ බොදු උරුමය | සිළුමිණ

පොළොව යටින් මතු වන වසර 1800ක් පැරැණි කන්නියාවේ බොදු උරුමය

උණුවතුර ළිං පරිශ්‍රයම සංඝාරාමයක්...

සෙල්ලිපි සාධකවලින් ඒ බව තහවුරු වෙලා...

ක්‍රි.ව 2-3 සියවස්වලට අයත් දාගැබ සහ පිළිමගෙයක තොරතුරු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්නියා පිහිටි ස්වභාවික සහ පුරාවිද්‍යාත්මක ද්විත්ව වටිනාකම්වලින් යුක්ත උණුවතුර ළිං සහ එම භූමිය දිස්ත්‍රික්කයේ ඓතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකම වැඩි කරන මෙන්ම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට ලක් වන පුරාවිද්‍යා බිම් කඩකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එම භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම් මඟින් 2-3 සියවස්වලට අයත් යැයි සැලකිය හැකි දාගැබ සහ පිළිම ගෙය පදාගන්නා ලදී. මෑතක දී එම ස්ථානයේ ඇති උණුවතුර ළිං හතද, දාගැබ සහ පිළිමගෙයද 2011.09.09 දිනැති 1723 දරන ගැසට් පත්‍රය මගින් ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එම ස්ථානයෙන් හමු වූ ක්‍රිස්තු වර්ෂයෙන් 2-3 සියවස්වලට අයත් අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු ”.......මහරජ කුජවිය.........මරුදවිය හ බොජියපති.........බොජියපති හ ච පල.........මෙ එතක තනහි.......සගහය......දිනි” යන සෙල්ලිපියට අනුව යම් මහරජෙකු විසින් කුරුවිය, මරුදවිය, පලවැව ආදී යාබදව පිහිටි වැව් කිහිපයකින් ලද දිය බද්ද එම බෞද්ධ විහාරයට පුජා කළ බව කියැවේ.

එයින් පැහැදිලි වන කාරණා කිහිපයකි. ඉන් එකක් නම් එම බෞද්ධ ආරාමවල කාල පරිච්ජේදය තහවුරු කරගැනීමට හැකියාවක් ඇති වීමය. දෙවැනි කාරණය ඉහත කාලය වන විට එම ප්‍රදේශයේ තිබූ ප්‍රකට විශාල මෙන්ම වටිනා විහාරස්ථානයක් ලෙස ද විශාල භික්ෂු පිරිසක් සිටි විහාරයක් ලෙස ද, වැව් තුනකින් ලද ජල බද්ද රජු විසින් ම පූජා කළ ආරාමයක් ලෙසද මෙය පැවතුණු බවය.

මෙතෙක් ත්‍රිකුණාමලයේ ඓතිහාසිකත්වය මෙන්ම බෞද්ධ විහාරාරාමවල ඉතිහාසය ද ගණනය කිරීමට හුරු වී සිටියේ පොලොන්නරු යුගයට සමගාමීවය. එහෙත් ලක්දිව පැරැණි බුදුසමයේ සාධක අනුරාධපුර මුල් යුගයට සමගාමීව දිවයිනේ නැඟෙනහිර පළාතේ ව්‍යාප්ත වී තිබුණු බව මේ වන විට පුරාවිද්‍යාත්මක සාධක මඟින් තහවුරු වී ඇත. එම ස්ථානයේ ඇති ස්වාභාවික උණුවතුර ළිං භාවිතය සඳහා අතීත විදෙස් ජනයා ද එම ස්ථානයට පැමිණි බවට පුරාවස්තු සාධක ලැබේ. විදේශවලින් හමු වන ගල්වලින් කරන ලද වළලු සහ පබළු සහිත පුරාවිද්‍යා සාධක ඊට සාක්ෂි දරයි. එසේම දේශීය ජනයා ද නො අඩුව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බව එම ස්ථානවල පැවැති අතීත දියුණුව මඟින් තහවුරු වේ.

කැණීම්වලින් මතු කරගෙන ඇති අවශේෂ පුරාවස්තූන් වන සිරිපතුල්ගල්, ආසන, යූපගල්, ප්‍රතිමා කොටස් සහ මැටි බඳුන් සහ මෙවලම මේ භූමියේ අතීත බොදු උරුමය තහවුරු කරයි. එම කැණීම් මඟින් මතු කොටගෙන ඇති ස්මාරක සංරක්ෂණය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තදාශ්‍රිත භූමියේ ඇති පොකුණු සහ අවශේෂ ගොඩනැගිලි කැණීම් කිරීමෙන් පසු ඒවාද දෙවන අදියර යටතේ සංරක්ෂණය කොට ජනතාව වෙත සිය උරුමය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා සැලසුම් කර තිබේ. එම සමස්ත භූමියේ කැණීම් අවසන් වීමෙන් පසු මීට වඩා විචිත්‍ර ඉතිහාසයක තොරතුරු හෙළිදරව් කරගත හැකි වනු ඇත.

එසේම පසුගිය කාලයේ එම ස්මාරක සංරක්ෂණයට සුදානම් කිරීමේ දී එම ස්ථානයේ ඇති හින්දු ආගමික ස්ථානයක් විනාශ කර බෞද්ධ ඉදිකිරීම් කරන බවට යම් පිරිසක් විසින් ප්‍රචාරය කළ දුර්මතයන් ද එයින් ඇති වූ ජනාතාවගේ කලබලකාරී තත්ත්වය ද 2019 ජුනි මස 06 වන දින ත්‍රිකුණාමලය දිසාපතිතුමන්ගේ ආරාධනයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ පුරාවිද්‍යා අඥා පනතට අනුව මේ භූමියේ නීතීමය තත්ත්වය සහ සහ එම ස්ථානයේ ඇති උරුමයේ ස්වභාවය පැහැදිලි කිරිමෙන් පසුව සමනය විය.

කන්නියා උණුවතුර ළිං පරිශ්‍රය සහ එහි ඇති පුරාවිද්‍යාත්මක උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රැකිය යුතු ජාතික උරුමයක් බව රටට පැහැදිලි වී ඇත. මේ භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන්නේ බෞද්ධ විහාරයක් ගොඩනැඟීම නොව, පුරාණ උරුමය ආරක්ෂා කිරීම බව මෙහි දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා පැහැදිලි කර දී තිබිණි. ඒ සංවාදය අවසානයේ ලාභ දේශපාලන හා වාර්ගික හැඟීම්වලින් මෙතෙක් හසුරුවමින් සිටි ප්‍රදේශයේ පොදු ජනතාව ජාතික උරුමයක් යනු කුමක්ද යන්න පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත්තේය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලබාගත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් සේ සැලකිය හැකිය.

Comments