කුඩු මතෙන් වාහන එළවන නුවර අම්මලා | Page 2 | සිළුමිණ

කුඩු මතෙන් වාහන එළවන නුවර අම්මලා

කුඩු ගත්තෙ නැත්නම් එළවන්න බෑලු

දරුවා ඉස්කෝලෙ අරන් එන්නෙ කුඩු වඩියක් ගහලා...

වැඩියෙන්ම කුඩු විකිණෙන්නෙ අම්පිටියෙ

උදෑසන හිරු කිරණ බෝගම්බර වැව ඉස්මත්තෙන් දළදා වීදියට වැටී දෝරේ ගලයි. නුවරින් බලාපොරොත්තු වන සුපුරුදු සිසිලස වෙනුවට ඇත්තේ උදෑසන ඝෝෂාකාරී වාහන පෙළින් කැකෑරෙන උණුසුමකි. දළදා වීදියේ වැටකට හේත්තු වී හිඳිමි. මා ගැන කලබලකාරී නුවරුන්ට කිසිදු නිනව්වක් නැති සේය. මා ගැන නම් කම් නැත. මේ හඬ දීගෙන දළදා වීදිය දිගේ ඉහළට ඇදෙන වාහන දකින විට නගරයේ යන එන්නන්ට නිනව්වක් නැති වීම ගැන මට ඇත්තේ යම් නොසන්සුන්කාරී හැඟීමකි. මා ඒ මොහොතේ එතැන රඳවන්නේද ඒ නොසන්සුන් මනෝභාවයමය. “කුඩු මතෙන් වාහන එළවන නුවර අම්මලා“ ඒ අශෝභන කතාව මා සිත පීඩාවට පත් කරමින් යළි යළිත් දෙසවන් පාරවයි.

මේ කතාව මට කීවේ මගේ මිතුරු වෛද්‍යවරයෙකි.

“අපි හිතන්නේ කුඩු ගහන ගෑනු ඉන්නේ කොළඹ මුඩුක්කුවල විතරයි කියලනේ. දන්නවද නුවර ටවුමේ ළමයි ඉස්කෝලෙට අරන් එන අම්මලා අතරේ කුඩුවලට ඇබ්බැහි වුණු අය කී දෙනෙක් ඉන්නවද කියල?. දුක හිතෙන්නෙ ඒකමත් නෙමෙයි. මේ සමහරු කුඩු ගහලා තමන්ගේ වාහනේම ළමයා ඉස්කෝලේට ගේනවා.“

මට මුලින්ම ඇති වූයේ කුහුලකට වඩා වැඩි කම්පනයකි. මේ කතාව මට කී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව කටයුතු කරන මගේ මිත්‍ර වෛද්‍යවරයා වෙත මේ අම්මලාගෙන් කෙනකු ප්‍රතිකාර සඳහා පැමිණ තිබේ.

“මට මේ අම්මලාගෙන් කෙනෙක් හම්බවෙන්න පුළුවන්ද?.“ මම විමසීමි.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ප්‍රතිකාර ගන්නා අදාළ කාන්තාවගෙන් සහ ඇයගේ සැමියාගෙන් ඒ සඳහා අවසරය ලැබිණි. කතා කරගත් පරිදි මට කොළඹ සිට හිමිදිරියේම නුවරට එන්නට සිදු වන්නේ මේ යුවළ උදෑසන දරුවා පාසලට ඇරලවා ඉන් අනතුරුව හමුවීම වඩාත් පහසු බව කී නිසාය. ඒ අනුව පසුගිය දිනෙක උදෑසන අපි හමුවන්නට තීරණය කළෙමු. මා ගොස් මඳ වේලාවකින් එහි පැමිණියේ තිදෙනෙකි. මා හමුවන්නට පොරොන්දු වූ මවුපිය යුවළ එහි පැමිණියේ තවත් තරුණියකද සමඟිනි.

ඔවන් දුටු සැණින්ම යම් අසාමාන්‍ය පෙනුමක් සහ හැසිරීමක් හැඳ පැලඳ සිටි ඇඳුම් පැලදුම් සේම ගති ස්වභාවයෙන්ද තේරුම් ගත හැකි විය. තරුණ යුවළ ඔවුන් සමඟ පැමිණි අනෙක් තරුණියද හඳුන්වා දුන්නේ කුඩුවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය පතන තවත් මවක ලෙසිනි.

තරුණියන් දෙදෙනාම ඩෙනිම් කලිසම් සහ උඩු කය ටීෂර්ට්වලින් සැරසී සිටි අතර නිරාවරණය වූ සමෙහි ටැටූ කිහිපයක්ද දක්නට ලැබිණි. තරුණියන් දෙදෙනාගේම හිස් තැඹිලි පැහැයට හුරු දුඹුරු පැහැයෙන් සහ කහ පැහැයකට හුරු පාට දෙකකින් වර්ණ ගන්වා තිබිණි. තොල් රතු වෙන්නට ආලේපන ගා සිටි මේ අම්මලා තම අව් කන්නාඩි ටී ෂර්ටයේ රඳවාගෙන අප සමඟ වාඩි වූහ. ඔවුන්ගේ බාහිර ස්වරූපයේ ඇති සමානතා ගැන මට කුහුලක් ඇති වුවද දැන හඳුනා ගන්නටත් පෙර ඒ ගැන ඇසීම නුසුදුසු හෙයින් එය පසුවට අසන්නට සිතුවෙමි.

“අනේ බොහෝම ස්තූතියි ඔයාලා ආවට . මම මේ කතාව සිළුමිණ පත්තරේට ලියන්නයි හදන්නේ.“ මගේ යෝජනාවට ඔවුහු එකහෙළාම හිස වනමින් අවනත වූහ. එසේම මේ තරුණ පියා ඊට වචනයෙන්ද පිළිතුරු බැන්ඳේය.

“ඔව් අයියේ. මේක ලියන්න ඕන කතාවක්.“

“අපි දෙන්නම ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වෙලා හිටියා. දැන් බෙහෙත් බීලා අමාරුවෙන් මේකෙන් ටිකක් ඈත් වෙලා ඉන්නවා. අපිටම විශ්වාසයක් තාම නෑ ආයෙත් අපි මේ වලේම වැටෙයිද කියලා.“

“ඔය දෙන්න කොහොමද මේකට පුරුදු වුණේ?“

තරුණ මවුවරුන් දෙදෙනාම මොහොතක් මා දෙසත් යළිත් අර තරුණ පියා දෙසත් බලන්නේ මේ ප්‍රශ්නයටද ඔහුගෙන්ම පිළිතුර බලාගෙන මෙනි. යළිත් මේ තරුණයා විපිළිසර වනු පෙනිණි.

“මම යාළුවෝ එක්ක තමයි මුලින්ම මේකට පුරුදු වුණේ. මගේ ගම කටුගස්තොට ( ගම නිශ්චිතවම කීවද එය ඔහුගේ අනන්‍යතාව හෙළි වන නිසා කිව නොහැකිය). යාළුවෝ තමයි මුලින්ම පුරුදු කළේ . එතකොටත් මම කසාද බැඳලා. අපිට දුවත් හම්බවෙලා හිටියේ. අපි දෙන්නා අදටත් හරිම ආදරෙන් ඉන්නේ. මුලින්ම මෙයා මාත් එක්ක සණ්ඩු කළා ඕක නවත්වන්න කියල. දවසක් වෙනසකටත් එක්ක අත්හදා බලන්න කියල මම හෙරොයින් ටිකක් වයිෆ්ටත් දුන්නා. එදා මෙයාත් ඒකෙන් සතුටක් ලබන්න ඇති . ඊට පස්සෙ දවසක එයාම ඉල්ලුවා. එහෙම අපි දෙන්නම මේකට නිකම්ම වාගේ ඇබ්බැහි වුණා.“

තරුණියද මහනුවර ප්‍රදේශයේම ඉපදුණු සාමාන්‍ය පවුලක ගැහැනු ළමයෙකි. ඇය මෙන්ම මේ තරුණයාද අධ්‍යාපනය නිසි ලෙස සිදු කර නැත. තරුණයාගේ පියා යමක් කමක් ඇති තොග වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන ව්‍යාපාරිකයෙකි. පියාගේ ව්‍යාපාරවලට හවුල් වූ මේ තරුණයා තරමක් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ අතර නරක මිතුරන් ඇසුරද මවුපියන්ට ප්‍රශ්නයක් විය. එහෙත් මේ රූමත් තරුණිය මුණ ගැසීමෙන් පසුව දලු ලෑ ප්‍රේමය ඔහුගේ ජිවිතය වෙනස් කරතැයි මවුපියෝ සිතූහ. ඒ නිසාම ඔවුන්ගේ විවාහයට මවුපියෝ ද විරුද්ධත්වයක් නොදැක්වූහ.

“ගොඩක් මවුපියන් දරුවා එක්ක ඉඳලා දරු සුරතල් බලලා ලබන සතුටට වඩා සතුටක් අපි ලැබුවේ මේ කුඩුවලින්. දරුවාගේ වුවමනා එපාකම් බැලුවෙත් අපේ අම්මලා.“ තරුණයා පදිංචි වී සිටියේ ඔවුන්ගේ මවුපියන් විසූ නිවස ආසන්යේමය. මේ නිසා ඔවුන්ගේ අඩුපාඩු මේ දෙමාල්ලන් විසින් පිරිමසින ලදී.

තරුණයන් කුඩුවලට ඇබ්බැහි වී ගැන කතා ඕනෑ තරම් අසා තිබේ. එහෙත් මගේ කුහුල අර වෛද්‍යවරයා කී කුඩු ගසා වාහන එළවන අම්මලා ගැන දැනගැනීමටය.

“නංගි ඔයාද අර ඩොක්ටර් කිව්ව වාහන එළවන අම්මා. ?“

ඇය ලජ්ජාවෙන් බිම බලා ගත්තා මිස වචනයක් වත් කතා කළේ නැත. ඒ වෙනුවට ද පිළිතුරු බැන්ඳේ සැමියා ය. “කියන්න... ඔයා කියන්න. ඔව් අයියේ මෙයා එක්කෙනෙක්. තව දෙතුන් දෙනෙක්ම අපි දන්න අය ඉන්නවා.“ මගේ ඇස් උඩ ගියත් එකවර ලද කම්පනය එළියට පළ වීම ආයාසයෙන් වළක්වා ගතිමි. මේ තරුණ මව කිසිවක් නොකියනු ඇති බවට වූ බිය නිසාය.

“ඔව් අයියේ. මම කාලයක්ම දරුවා එක්ක කඩු ගහලා වාහනේ අරගෙන දරුවාව පාසලට දාන්න ආවා“.

අපි ඇයගේ කතාව එතැනින් පටන් ගනිමු. මේ තරුණ මවගේ වයස අවුරුදු 26කි. දරුවාට අවුරුදු 5කි. ඇය දැන් කුඩුවලට ඇබ්බැහි වී ගත වී ඇත්තේ අවුරුද්දක පමණ කාලයකි. සැමියා වසර ගණනක සිට එය සිදු කළද ඇය හෙරොයින්වලට ඇබ්බැහි වන්නෙ වයස අවුරුදු 25ක් පසුවෙද්දීය.

“අපි හැමදාම නැඟිටින්නේ මේ කුඩු ඕනෑකමත් එක්ක. නැඟිට්ට ගමන් තේ එකක් බීල මුලින්ම කරන්නේ කුඩු වේල අදින එක. මම ඊට පස්සේ දරුවා ඇහැරවලා උදේට මොනව හරි කන්න බොන්න දීල ඉස්කෝලේ එක්කන් යනවා. මහත්තයා එයාගේ බිස්නස්වලට යනවා. මහත්තයා බයික් එකේ යනවා. මම කාර් එකේ දරුවාව ඉස්කෝලෙට ගේනවා. උදේට ඩ්‍රග්ස් ගත්තේ නැත් නම් මට කාර් එක එළවන්න තරම් විශ්වාසයක් හිතට එන්නේ නෑ. ඒක පාවිච්චි කළේ නැත් නම් ඇත්තටම නුවර ට්‍රැෆික් එකේ හරියට එළවන්න බැරිවෙයි කියල හිතෙනවා. මොකද නුවර ටවුමේ උදේට ලොකු වාහන තදබදයක් තියෙනවා. මම හිතන්නේ ඒක කොළඹටත් වඩා දරුණුයි.“

“ඊට පස්සේ ?“

මුලින් ලජ්ජාවෙන් පැකිළුණු තරුණිය දැන් වේගයෙන් කියවයි.

“ඊට පස්සේ දරුවා දාලා අටට අට හමාරට විතර ගෙදර යනවා. ගිහින් ආයෙත් 10ට විතර තවත් කුඩු වේලක් ගන්නවා. මේ වේලාවට මහත්තයත් කොහොම හරි ගෙදරට එනවා. එයා ඒක අරන් ආයෙත් බිස්නස්වලට යනවා. මම ගෙදර කරන්න තියෙන වැඩපළ ටික කරලා ටිකක් නිදා ගන්නවා. ඊට පස්සේ දරුවා ඉස්කෝලේන් අරන් ඇවිත් ආයෙත් ඩ්‍රග්ස් ගන්නවා. දවල් කෑමට කියල ගෙදර එන මහත්තයා යි මායි ආයෙත් වේලක් ගන්නවා.

එතකොට දවල්ට කන්නේ?

“ඇත්තටම අයියේ ඒ දවස්වල අපි උදේටයි දවල්ටයි කෑවෙම නෑ. රෑට විතරක් මොනවා හරි පොඩ්ඩක් කනවා. අපිට කන්න නෙවෙයි ඕනෑ කුඩු ටික ගන්න විතරයි. රෑටත් කෑම කාලා දහය හමාරට එකොළහට විතර නිදාගන්නේ “

කුඩුවලට ඇබ්බැහි වුවන් ඉතා ඉක්මනින් වැහැරෙන්නේ මේ නිසාදැයි මට එවේලේ සිතිණි. ඔවුන් පවසන පරිදි සමහර දවස්වලට රෑටද ආහාරයක් ගන්නේ නැත. එහෙත් කුඩු වේල් හතර කිසිම දවසක වරද්දන්නේ නැත. ඔවුන් අඹුසැමියන් ලෙස මේ කුඩු සබඳතාව හැර වෙත් සබඳතාවක්ද පවත්වා නැත.

මට තිබුණු තවත් ලොකු ප්‍රශ්නයක් වූයේ මහනුවර අතිශය ජනාකීර්ණ වාහන තදබදය අධික නගරයක උදේ පාන්දර කුඩු මතෙන් වාහන එළවන මෙහෙම අම්මලාත් සිටීද යන්න දැන ගැනීමටය.

“ඔයාලා දන්න තවත් අය එහෙම කුඩු පාවිච්චි කරල වාහන එළවනවද?“

“ඇය එසැණින් අනෙක් තරුණියගේ අත අල්ලා මේ ඉන්නේත් එහෙම අම්මා කෙනෙක්. අපි දන්න තවත් තුන් හතර දෙනෙක් ඉන්නවා.“ මම ඇය දෙස බැලීමි.

ඇයගේ පදිංචිය පේරාදෙණිය පැත්තට වන්නටය. ඇයගේ සැමියා ඒ වන විට කුඩු ළඟ තබාගැනීමේ වරදට බන්ධනාගාර ගතවී සිටී. ඇය ස්කූටරයෙන් තම පුතු ඇරලවා ඇත්තේ අලුයම කුඩු වේල සප්පායමින් පසුවය. මේ තරුණියගේ කතාවද අනෙක් යුවළගේ කතාවට ඉතාම සමීපය. ඇයද කුඩුවලට ඇබ්බැහි වන්නේ තම සැමියාගේ මඟ පෙන්වීමෙනි. ඔහු කුඩු ජාවාරම් කරන්නෙකි. ඔහු කලක් මේ ව්‍යාපාරය යහමින් කරගෙන ගොස් ඇති අතර ඔවුහු සති දෙකකට පමණ වරක් කොළඹ ගොස් තම වාහනයෙන් කුඩු ගෙන එති. මේ සඳහා ඔවුන් යොදාගෙන ඇති ආරක්ෂක පළිහ තම සිඟිති පුතුය.

“අපි ඉස්සර කොළඹ ගිහින් කුඩු ගෙනාවා. ඒ දවස්වල අපිට පොඩි කාර් එකක් තිබුණා. අපි දරුවා පොඩි කාලේ මේ කාර් එකෙන් කොළඹ ගිහින් කුඩු ගේනවා. දරුවත් මාත් එක්ක යන නිසා කවදාවත් පොලිසියේ සැකයට ලක් වෙන්නේ නෑ. මෙහෙ ඇවිත් කුඩු විකුණනවා. ඉස්කෝලේ යන වයසේ කියල හිතෙන දරුවන් හැරෙන්න අනෙක් ඔක්කොටම අපි කුඩු විකිණුවා. විකුණන අතරේ අපිත් පාවිච්චි කළා. මාත් දවසට තුන් පාරක් විතර පාවිච්චි කළා. මේ අක්ක කිව්ව වගේ මටත් බයික් එක පදින්න හොඳටම විශ්වාසයක් එන්නේ ඒවා උදේම පාවිච්චි කළාම.“

ඇයට මේ දුකින් මිදීමට හැකි වන්නේ තම සැමියා කුඩු ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට පත් වීමෙන් පසුවය.

“එයා රිමාන්ඩ් කළාට පස්සේ මට ඩ්‍රග්ස් ගන්න තැනක් නැති වුණා. මට තනියම ඒවා විකුණන තැන්වලට යන්න බැහැනේ. මම ලෙඩ වුණා. අත පය දැඩි වේදනාවක් ආවා. ඉවසන්නම බැහැ. පපුව හිර වෙනව වගේ දැනුණා. පිස්සුවෙන් වගේ ගෙදර බඩු මුට්ටු පොළොවේ ගහල විකාර කරනකොට තමයි මහත්තයාගේ මවුපියන්ට තේරුණේ මමත් කුඩුවලට ඇබ්බැහි වෙලා කියල. ඔවුන් තමයි මාව ප්‍රතිකාරවලට යොමු කළේ.“ මේ වන විට ඇයද පාලනය කළ තත්ත්වයේ පසුවන්නීය.

“ඔයාලා කොහොමද අඳුනන්නේ?“ මගෙන් පැනයකි. අපිට බඩු නැති වුණාම නුවර ගන්න තියෙන තැන් කිහිපයක් තියෙනවා. ඇය තැන් කියන්නට මැළි වෙයි. එහෙත් ප්‍රදේශ හැටියට කියයි.

“අම්පිටියේ තැන් කිහිපයක්ම තියෙනවා. මම හිතන්නේ වැඩයෙන්ම තියෙන්නේ අම්පිටියේ. දංගොල්ල, උඩ පේරාදෙණිය පැත්තෙත් කියනවා. සමහර තැන්වල වෙළෙදාම කරන්නේ ගෑනු. කටුගස්තොට, තියෙනවා. නුවර නැති වුණොත් ගම්පොළට යනවා. තව කඩුගන්නාවෙත් පිළිමතලාවෙත් පහුගිය දවස්වල විකුණපු කට්ටිය හිටියා. කුඩුවලට එරෙහිව මෙහෙයුම යනකොට ගොඩක් තැන්වල බඩු නැති වුණා. ඒ කාලේ පිස්සො වගේ මේ තැන් තැන්වල ගියා. එහෙම යද්දී තමයි අපි හඳුනා ගත්තේ. “

ඔවුන්ට අනුව මහනුවර දිස්ත්‍රික්කය තුළද මේ වන විට කුඩු ජාවාරමෙහි විශාල ජාලයක් ඇත. ඒවා අලෙවි කරන්නන්ද ස්ථර කිහිපයකින් සංවිධානය වී ඇති බව පෙනෙන අතර භාවිත කරන්නන්ද එක් එක් කණ්ඩායම් ලෙසින් ඔවුන්ගේ සමාජ මට්ටම්, වයස් මට්ටම් අනුව සංවිධාන ගත වී ඇති සැටියක් මේ තරුණියන්ගේ කතාවලින් ගම්‍ය වෙයි.

“දුම්බර හිරගෙදර ඉන්න කෙනෙක් එයාගේ ගෝලයෝ දාලා කුඩු විකුණනවා. අපි ඒ අය කවුද කියලවත් දන්නේ නෑ. ඊසි කෑෂ්වලින් සල්ලි ගෙව්වාම එක එක තැන්වල ඒ අය කුඩු දාලා යනවා. දවසක් අපිට තැන්නේකුඹුර පාලම කිට්ටුව තැනක අපේ පංගුව දාල යනවා කියල කිව්වම මම ගියා එතෙන්ට. යනකොට තවත් කට්ටියක් ඇවිත් මොනවදෝ හොයනවා. මම හිතන්නේ එයාලත් හෙව්වේ එයාලගේ පංගුව වෙන්න ඇති. මම ඒ වෙලාවේ එතැන ඉන්නේ නැතිව පස්සේ ඇවිත් මගේ පංගුව හොයා ගත්තා.“ තරුණයා දෙන්නේ තවත් ඉඟියකි.

මේ තරුණ යුවළ දෙකම දවසකට රුපියල් 6000ත් 15000ත් අතර පරාසයක් කුඩු සඳහා වියදම් කර ඇත. එක් යුවළක් තම පවුලේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මෙසේ කුඩුවලට දිය කරද්දී අනෙක් පවුල කර ඇත්තේ කුඩු විකුණා උපයාගත් මුදලින් කුඩු ගැසීමය.

කටුගස්තොට තරුණ යුවළ මතින් මිදෙන්නේ ඔවුන් ගේ ළඟම ඥාතීන්ගේ බල කිරීම මතය. පේරාදෙණියේ තරුණ මව කුඩු නැතිව විකාර කරද්දී සැමියාගේ මවුපියන් හරහා එයින් මිදීමට පෙලඹී ඇත.

පසුගිය කාලය තුළ මත් කුඩු ජාවාරමට එරෙහිව දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙද්දී යම් පාලනයක් තිබුණද තවමත් අසීරුවෙන් හෝ මෙම ජාවාරම ගෙන යන්නට එය මෙහෙයවන්නන් කටයුතු කරන බව ඔවුන් හෙළි කරන්නේය. මේ වන විට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වී සිටින මේ අම්මලා දෙදෙනා ගැන අපට සුබවාදී ලෙස බැලිය හැකිය. එසේ වුවද දරුවා පාසලට ඇරළවන්නට පෙර කුඩු වේලක් ගෙන වාහනය පදවන අම්මලා තවත් සිටීම හෝ මේ ගොඩට තවත් අම්මා කෙනකු නොව තාත්තා කෙනකු වුව එකතු වීම ප්‍රකාශ කරන්නේ මේ සමාජය පිරිහී ගොස් ඇති බිහිසුණු ආකාරය ය. රටේ සංස්කෘතික සම්ප්‍රදාය රක්ෂා වී ඇතැයි අප විශ්වාස කරන මහනුවර වැනි ප්‍රදේශයක තත්ත්වය මෙසේ නම් රටේ අගනුවර හෝ වෙනත් පළාත්වල තත්ත්වය කෙබඳුද යන්න ගැන අපට අදහසක් නැත.

මේ සමාජ ව්‍යසනය හමුවේ මේ වන විටත් රටේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. අන්තර්ජාතික කුඩු ජාවාරමුන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගෙන තිබුණත් පසුගිය දවස්වල කුඩු ටොන් ගණනින් අල්ලාගත්තත් මේ ජාවාරම්හු අපේ සමාජ දේහය මත් කුඩු තුළ ජීර්ණය කරවමින් සිටිති. ඒ නිසා අප කවුරුත් මේ දරුණු ව්‍යසනය ගැන මීටත් වඩා ඇස් හැර බැලිය යුතු කාලයක් පැමිණ ඇත

අදහස්