අම්බලම හා බැඳුණු පුරාණ ජන සංස්කෘතිය | සිළුමිණ

අම්බලම හා බැඳුණු පුරාණ ජන සංස්කෘතිය

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් අම්බලම් ලෙස හඳුන්වා ඇත්තේ මඟීන්ට විශ්‍රාම ගැනීම සඳහා මාර්ගාසන්නයේ ඉදි කළ ගෙවල් යනුවෙනි. ‘අඩිපලම්’ නැමති දෙමළ ශබ්දයෙන් අම්බලම් නැමති සිංහල වචනය බිඳී එන්නා ඇතැයි තවත් මතයකි.

අරිසෙන් අහුබුදු සූරීන්ගේ ‘ලංකා ගම් වහර’ කෘතියේ අම්බලම් යන්න නැවතුම්පළ හෙවත් විශ්‍රාම ශාලාව යනුවෙන් ද අම්බලම් දෙමළ භාෂාවට හුරු සිංහල යෙදුමක් ලෙස ද හඳුන්වා තිබේ. අම්බලම් යනු තමන්ගේ පළ හෙවත් ගෙදර වන නිසා නවාතැන් දුන් පළ යන්නෙන් ‘අම්බලම්’ වන බව තර්ක කරන අරිසෙන් අහුබුදු සූරීහු ඒ වචනය දෙමළ බසට ගිය වදනක් ලෙසත් හඳුන්වා දෙති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ‘අම්බලවානපොත්තිරි’ ගම කලින් ‘අම්බලවාන පොකුර’ නමින් හැඳින්වූ සිංහල ගම්මානයක් ලෙස ද දකින අරිසෙන් අහුබුදු සූරීන් ඔහුගේ විශ්ව සාහිත්‍ය නම් වූ ග්‍රන්ථයේ දක්වා ඇත්තේ අම්බලම තමන්ගේ ගෙදරය. අනුන්ගේ පළ අන් පළ අන්පළම අම්බලම නම් වූ වගය.

අම්බලම් පිළිබඳ ආචාර්ය ගොඩකුඹුරගේ මතය

පුරාණ සුවිශේෂි අම්බලමක් ලෙස හැඳින්වෙන පනාවිටිය අම්බලම පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර මහතා විසින් ලියන ලද ‘පනාවිටිය අම්බලම් කැටයම්’ නැමති ග්‍රන්ථයේ අම්බලම් හඳුන්වා දී ඇත්තේ මෙලෙසිනි.

“අම්බලම් නම් විඩා හැරීම සඳහා ස්ථානයකි. අම්බලම් විශේෂයෙන් සාදන ලද්දේ ප්‍රසිද්ධ මංමාවත් අසලය. මාවත් වැටී තිබුණේ කුඹුරු යායවල් ඔස්සේ හෙයින් බොහෝ කුඹුරු යායවල් අසල පාරවල් අයිනේ අම්බලම් දක්නට ලැබේ. මේ අම්බලම් විශේෂයෙන් කරවන ලද්දේ දුරබැහැර රාජකාරි සඳහා හෝ නෑ ගමන් හෝ යන එන්නන් උදෙසා පමණක් නොව ගම්මුන්ගේ ප්‍රයෝජනය පිණිසය.

රොබට් නොක්ස් සහ අම්බලම්

වසර 20කට ආසන්න කාලයක් උඩරට රාජධානියේ සිරකරුවකු ලෙස කාලය ගත කළ බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ රොබට් නොක්ස් ශ්‍රී ලාංකික සමාජ සංවිධානය හා ජීවන තොරතුරු අළලා ඔහුගේ ම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද ‘An Historical Relation of island ceylon’ නම් කෘතියේ අම්බලම් පිළිබඳ සඳහන් කොට ඇත්තේ මෙසේය.

“ඔවුහු ඔවුන්ගේ භාෂාවෙන් අම්බලම් කියන ආගන්තුකයන්ගේ හා මඟීන්ගේ නැවතීම සඳහා සාදා තිබෙන ස්ථානයන්ට රැස් වී වාඩිගෙන බුලත්කමින් එකිනෙකා දෙස සන්සුන් ලෙසත් උදාර ලෙසින් බලාගෙන රාජ සභාවේ කටයුතු රජු සහ ප්‍රධානීන් අතර කටයුතු හා නගරයේ මිනිසුන් යෙදී සිටින රැකී රක්ෂා සම්බන්ධයෙන් කතාබහේ යෙදෙති.

අම්බලම් සහ ජෝන් ඩොයිලි

19 වැනි සියවසේ ලක්දිව සිවිල් නිලධාරියෙකු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි පවසන ආකාරයට අම්බලම් ප්‍රාදේශීය අධිකරණ තන්ත්‍රය වූ ගම්සභාව රැස් වූ මධ්‍යස්ථානවලින් එකක් ද වේ.

මාවත් මඩු

පාලකයන් සහ පින් කැමැත්තන් විසින් මඟීන්ගේ ප්‍රයෝජන පිරිස ඉදි කරන ලද අම්බලම් හෙවත් විශ්‍රාම ශාලා අසල ඇතැම් විට පිං ළිඳ හෝ පින්තාලියක් ද විය. පසු කාලයේදී අම්බලම් නම් දෙමළ ව්‍යවහාරයෙන් හැඳින්වූ ඒ විශ්‍රාම ශාලා පුරාණ ග්‍රන්ථවල හඳුන්වා තිබුණේ ‘මාවත්මඩු’ ලෙසිනි. මාවතේ යන එන මඟීන්ගේ හිතසුව පිණිස එකී මඩු ඉදි කොට තිබිණි. ව්‍යවහාරික ජන බසින් සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන් ද අම්බලම් හැඳින්වීම සඳහා මාවත් මඩු නාමය උපයෝගි කරගෙන තිබිණි. ගම්පොළ සහ දඹදෙණි යුගවලදී මෙරට සිංහල ජනතාව ද අම්බලම් මෙන් ම මාවත් මඩු යනුවෙන් එකී ගෙවල් හඳුන්වන්නට ඇතැයි ‘ගුණසේන විතාන මහතා ලියූ අම්බලම් සාහිත්‍ය කෘතියේ සඳහන් කර තිබේ.

උම්මග්ග ජාතකයේ සඳහන් අන්දමට මාවත් මඩු කොටස් ‍තුනකට බෙදේ‍. ඒ ධනවතුන්, දුගියන් හා ගිලනුන් උදෙසා ඉදි කළ ඒවා වශයෙනි‍. දැනට ඉතිරි වී ඇති අම්බලම් පිළිබඳ සහ විනාශ වී ගොස් ඇති අම්බලම් පිළිබඳ විමසීමේදී රදලයන් උදෙසා ඉදි කරන ලද අම්බලම් පමණක් තවමත් ශක්තිමත්ව පවතින බව පෙනී යයි. ‘පනාවිටිය’ මංගලගම වැනි ස්ථානයන්හි අම්බලම් ඉදි කර ඇත්තේ එවක මාවත්වල ගමන්ගත් සාමාන්‍ය ජනයාට නොව උඩරට රදළයන්ට පමණක් විය හැකි බවත් ඒ අම්බලම් දක්ෂ කැටයම් ශිල්පීන් ලවා නිම කරවන ලද බවත් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් ලියන ලද ‘මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.

ගම්පොළ යුගයේ දී එළිදක්වා ඇති මයුර සන්දේශයේ ‘මාවත් මඩු’ පිළිබඳව මෙසේ හඳුන්වා තිබේ.

‘පෑපත් සදම් සබයේ සිරි පහළ කොට
යාපත් විලස පානා මෙන් නර ලොවට
මාවත් පතානුවන් වන් විට වන පිහිට
මාවත් මඩුව දැක යාගත් පුරවරට

ශිව භක්තික සමාජය

අපූරු රිද්මයක් දෙන අම්බලම් යන වචනය දෙමළ ශිව භක්තික සමාජය මුල් කාලයේ දී සිය පුද්ගල නාමයන් සඳහා ද යොදාගෙන තිබේ. ශිව දෙවියන්ගේ සේවක අරුතින් අම්බලම් නම යොදාගෙන ඇති බව ‘ජෙරම්බලම්’, ‘සිදම්බලම්’, පොන්නම්බලම්, චිත්තම්බලම්, සිත්තම්බලම් ආදි වශයෙන් පමණක් නොව අම්බලවතාර් වශයෙන් ද දෙමළ ජනශ්‍රැති අම්බලම් යන පදය පුද්ගල නාම සඳහා යොදාගෙන තිබේ.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘සිංහල ලකුණ’ ග්‍රන්ථයට අනුව දෙමළ ව්‍යවහාරයේදී අම්බලම් ශිව දෙවියන් සිය සුප්‍රකට ‘කාණ්ඩව’ නැටුම ඉදිරිපත් කරන ස්ථානය ලෙස සැලකෙන අතර එහෙත් සමහරුන්ගේ මතය අනුව ශිව මෙකී නැටුම පවත්වන්නේ සෙවණ දෙන ස්ථානයක නොව සුසාන භූමියකදී යන මතයක් පවතින බව ද සඳහන් කරයි.

ගිරා සන්දේශය හා අම්බලම් සංවාදය

ගිරා සන්දේශයේ සඳහන් අම්බලම් සංවාදය ප්‍රබල සන්නිවේදන ක්‍රමයක් ලෙස සැලකිය හැකි ය. එය වෙනස් ආකාරයක දෙස් - විදෙස් බුද්ධිමතුන්, උගතුන් සහ කවීන්ගේ සංවාද මණ්ඩපයක් ලෙස ද හැඳින්විය හැකිය.

“අම්බලමේ නොමඳ
දන රැස උනුන් මන් බැඳ
මෙලෙසින් කියන සොඳ
තෙපුල් හා අස අසා උන් සඳ”

ගිරා සන්දේශයට අනුව ගිරවා මුළු රාත්‍රියම අම්බලමේ ගත කරන අතර දේශ දේශාන්තරවලින් පැමිණෙන මඟීන් ද රටවැසියන් ද ගිරවා දැක ගන්නට ලැබේ. විදේශවලින් පැමිණ සිටි පිරිස අතර සොළී, පඬි, ලාට, ගුජරාට, අන්ද්‍රා ආදිහු ද සිටිති. අම්බලමේ විවේක සුවයෙන් පසු වන පිරිස් බුදුගුණ වයති. තව පිරිසක් සෞන්දර්ය පිළිබඳ කතා කරති ඇතමෙක් රාජ්‍ය පාලනය පිළිබඳව ද තොරතුරු විමසති.

අම්බලම් සහ ගෘහ නිර්මාණ ශිල්පි ක්‍රම

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා 1909 වසරේදී උඩරට ප්‍රභූවරුන් අමතා සකස් කළ ඉංග්‍රීසි ලේඛනයකින් උඩරට අම්බලම් ද ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා තිබේ.

“අම්බලම්වලින් වැදගත්වූත් පැරණිවූත් ඒවා මා දන්නේ ඉතා ස්වල්පයකි. එයින් එකක් කෑගල්ල අසල මංගලගම පිහිටා ඇත.

එය පසුගිය සියවසේ මුල් හරියේ දී තරම් මෑතකදී ඉදි කරන ලද්දක් වුවත් උඩරට ගෘහ නිර්මාණ ශිල්පයට කදිම නිදර්ශනයකි. විශේෂයෙන් ම වහලේ ඇති ලී වැඩ සහ දර්ශනීය වූ නෙලුම් මල් කැටයම් දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වේ.

අම්බලම්වල ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රමය ඒවා පිහිටි ප්‍රදේශයන්ටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රමයක් උපයෝගි කරගනිමින් ඉදි කර තිබීම සුවිශේෂය. ලක්දිව පිහිටා තිබූ අම්බලම් පහත රට ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයටත් උඩරට ගෘහ නිර්මාණ ශිල්පි ක්‍රමයටත් ඉදි කොට ඇතැයි ද ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කර තිබේ.

මාතලේ දඹුල්ල මාර්ගයේ නාවුල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට අහමුණ වෙල්යායේ පිහිටි අම්බලම වසර සියය ඉක්මවූ ‍ගඩොලින් බැඳි සිංහල උළු සෙවලි කළ එකකි. මාතලේ තුම්මුල්ල අම්බලම ද වසර සියය ඉක්මවූ එකක් වන අතර එය අපූරු කැණිමඩලකින් යුක්තය.

මාතලේ දිස්ත්‍රික්කයේ අම්බොක්ක ගම්මානයේ මේ වන විටත් සුරැකිව පවතින වසර 300කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන අම්බොක්ක අම්බලම සිංහල උළු සෙවළි කොට ගල්කණු හතරක් මත සවි කළ වහලයකින් සමන්විත ප්‍රදේශයටම ආවේණික ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම උපයෝගි කරගනිමින් ඉදි කරන ලද්දකි.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි අම්බලම් අතුරින් වඩාත් ම පැරණි අම්බලම ලෙස සැලකෙන්නේ මීට ශත වර්ෂ 6කට ආසන්න කාලයකට පෙර ඉදි කරන ලද පඬිවිට වෙල්යාය මැද පිහිටි පඬිවිට අම්බලම ය.

දෙවන රාජසිංහ රජු පෘතුගීසීන් පරාජය කිරීම සඳහා ගන්නොරුව රණබිමේ සිට දන්තුරේ සටනට ගිය පැරණි ‍මාර්ගයේ වෙල්යායක් මැද පැරණි අම්බලමක් පිහිටා ඇති අතර එය හඳුන්වන්නේ රාජසිංහ රජු තුඹේ අම්බලම ලෙසය. එහෙත් එය මේ වන විට ජරාවාස වෙමින් පැවත‍ීම ඛේදනීය තත්ත්වයකි.‍

අම්බලම් සාහිත්‍යය

ගුණසේන විතාන මහතා විසින් සංස්කරණය කරන ලද අම්බලම් සාහිත්‍ය ග්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට උසස් අම්බලම් සාහිත්‍යයේ ගොඩනැඟී ඇත්තේ සිටු අම්බලම්වලින් නොව මැටි අම්බලම් ආශ්‍රිතවය.

ඊට හේතු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ එවැනි අම්බලම් පොදු ජනයා විසින් පාවිච්චි කිරීමය‍.

පසු කාලයේ දී පහතරට සහ උඩරට පිහිටි මැටි අම්බලම් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ මඟීන් නොව නිකමුන් නමින් හැඳින්වෙන පුද්ගලයන් සහ යාචකයන් බව ද අම්බලම් සාහිත්‍ය ග්‍රන්ථයේ ලියා තිබේ.

සමාජ ගුණ ධර්ම සහ නීතියට අවනත නොවූ පුද්ගලයන් ද අම්බලම්වල වාසය කොට ඇති බව කොඩිප්පිලිකන්දේ පිහිටි අම්බලමේ ගම්වාසියෙකු විසින් අසංවර පුද්ගලයන්ට දැන ගැනීම සඳහා ලියා ඇති පහත කවිය කදිම නිදසුනකි.

“ලියා කැත වචන වැඩ නැති දෙලොවටම
කපා පුවක් ලෙලි තැන තැන දමා බිම
ගසා බුලත් කෙළ සෙමින් නැතුව ඉම
එපා කැත කරන්නට මේ අම්බලම”

ක්‍රි.ව. 1833 දී සත් කෝරලයේ කවියෙකු විසින් කරන ලැදැයි සැලකෙන අෂ්ටනාරි සංදේශයේ දැදුරුඔය අසබඩ පිහිටි අම්බලමක් පිළිබඳ සඳහන් කර ඇති බව එම ‍සදේශය නැවත සංස්කරණය කරන ලද කේ.බී. හේරත් මහතා සඳහන් කොට තිබේ. අෂ්ටනාරි සංදේශය නාරි සුන්දරත්වය පිළිබඳ පුන පුනා වර්ණනා කරන අතර වෙල මැද පිහිටි අම්බලමක් පිළිබඳ එහි සඳහන් වී ඇත්තේ මෙලෙසිනි.

“නල වැද සළුව තැනු ඉඟවට ඇන්ද තමා
විල මැද රන් තඹර පෙති මුවගින්ද තෙමා
රැල මැද හමන සිලු සිසිමුව වින්ද දමා
වෙල මැද අම්බලම බල සකි නින්දගමා”

ඉතාම ජනාකීර්ණ අම්බලම්වලට විවිධ පුද්ගලයන් පැමිණෙන බැවින් ඒ අවට විවිධ පිරිස් ද අම්බලමට ළං වෙති. තම තමන්ට ලෙහෙසියෙන් අලෙවි කරගත හැකි දෑ රැගෙන අම්බලමකට පැමිණෙන ගැමියෝ ද වෙති. එසේම අම්බලමට එන සළෙලුන් පින වීමේ සිතින් අම්බලම් අවට සැරිසරන කාන්තාවෝ ද සිටි බව ජනප්‍රවාදයේ සඳහන් ය.

සමාජවාදයට අම්බලම් නැත

අම්බලම් කතාබහට සමාජවාදය එක් වූයේ නවසිය හැත්තැ හතර වසරේ එවක මුදල් අමාත්‍යවරයා වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා අයවැය ලේඛනය පැහැදිලි කරමින් “සමාජවාදයට අම්බලම් නැත” යන ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සිදු කිරීම නිසාය.

මෙරට පැරණි අම්බලම් රැකගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කරනු ලැබුවේ එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ මඟ පෙන්වීම අනුවය. එහෙත් ඔහු විශ්‍රාම යෑමෙන් අනතුරුව එම වැඩ පිළිවෙළ නතර වී තිබේ. අම්බලම් යනු අප විසින් රැකගත යුතු පුරාවස්තුවක් මෙන්ම අපේ පැරණි සමාජ අනන්‍යතාව ගොඩ නඟා ගැනීම සඳහා ඉ කරන ලද විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන් සමන්විත අපූරු ඉදිකිරීමක් බව කිසිදා අමතක කළ යුතු නැත.

විශේෂ ස්තුතිය

මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ/ සංවර්ධන ඒ.කේ. චන්ද්‍රරත්න මහතාට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රිදීගම විහාර ව්‍යාපෘතියේ ස්ථාන බාර නිලධාරි ආරියරත්න මාතලේහේවා මහතාට

Comments