සුනිල් සර් මට මාව අමතක කෙරෙව්වා | සිළුමිණ

සුනිල් සර් මට මාව අමතක කෙරෙව්වා

 

භද්‍ර යෞවනයේ ආකාස්මික ප්‍රභාව යන්නට තවත් නිදසුනක් අවශ්‍ය නම් ඒ මිෂෙල් දිල්හාරා සුදුසු යැයි හැ‍‍ඟේ. නිර්ව්‍යාජ බැල්මෙන් යුතු දෙනයන මෙන් ම, ළෙන්ගතු සිනහව ඇයගේ ස්වභාවය මේ යැයි පෙන්වන කැඩපතක් බඳුය. අසරණ කුඩා දරුවන්ට, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට, උපකාරයක් අවශ්‍ය යැයි හැගෙන සියල්ලන් වෙත මිෂෙල් බලන්නේ දයාර්ද්‍ර වූ හැඟීමකිනි. ජනප්‍රිය තලයේ සිටින බොහෝ දෙනෙක් අතරින් ඇය වෙනස් වූ චරිතයක් වන්නේ එබැවිනි.

බහුතරයක් වන සෝප් ඔපෙරා ටෙලිනාට්‍ය රැල්ලට විරාමයක් තබමින් ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලි නිර්මාණය මේ දිනවල මිෂෙල්ගේ රංගනයේ කැපී පෙනෙන නිර්මාණයකි. ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව ග්‍රහණය කර ගන්නා තේමා සමඟින් නිර්මාණකරණයේ යෙදෙන ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකු වන සුනිල් කොස්තා මෙම අපූර්ව ටෙලි සිත්තමේ අධ්‍යක්ෂවරයා ය. එමෙන්ම ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, නිරෝෂන් වික්‍රමසිංහ, ආනන්ද කුමාර උන්නැහේ, උමයංගනා වික්‍රමසිංහ ආදී සම්මානනීය නළු නිළි කැලකගෙන් ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ හැඩ වෙයි. මෙම දැවැන්තයන් සමඟ ප්‍රධාන චරිතයක් මිෂේල්ට ලැබීමට ඇයගේ කුසලතාව හඳුනා ගැනීමට නිර්නායකයක් වනු ඇත.

අතිශය කාර්ය බහුල නිර්මාණ කාලසටහනක සිටිය දී වුවද ‘රසඳුන’ සඳහා ඉඩ හසරක් වෙන් කිරීමට මිෂෙල් කටයුතු කළාය.

 

අලුත් තොරතුරුවලින්ම කතාබහ අරඹමු.

“හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් පසුගිය දිනක සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් මාලාව නිසා ඇති වුණු කම්පාව තාමත් හිතේ හොල්මන් කරනවා. මීගමුව කියන්නේ මගේ ගම් ප්‍රදේශය. ඒ වගේ දෙයක් නැවත නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

වතුර මලේ සිදුවීම හින්දි සිනමා පටයක දර්ශනයක් වගේ ප්‍රේක්ෂකයන්ට දැනුණු බව හඳුනා ගන්නට පුළුවන් වුණා. අන්තර්ජාලයෙන් පවා එයට ප්‍රසිද්ධියක් ලැබුණා....

“ඇත්තට ම ඒක සිනාමානාත්මක ප්‍රවේශයකින් රූපගත වෙලා තිබුණු බව ගොඩ‍ක් දෙනකුගේ අදහසයි. කතා කළ සමහරු කිව්වා ප්‍රකට ඉන්දියානු අධ්‍යක්ෂ කරන් ජොහාර්ගේ ෆිල්ම් එකක වගෙයි කියලා.. එතැන සිද්ධ වුණ කතාවෙ හැටියට අපිට නවාතැන් දුන්නු ගෙදරින් යන්න කියනවා. ඒත් නිවසේ හිමිකාරිය (චාන්දනී සෙනෙවිරත්න) අම්මාටයි (උමයංගනා) මටයි තවත් අවස්ථාවක් දෙනවා. ඒ වෙලාවෙ මට ඇති වෙන සතුටට තමයි අතේ තිබුණු දේවල් විසි කරලා දුවගෙන ගිහින් හෝස් එක අරන් ඒ විදිහට කරන්නෙ.

එතැනදී චාන්දනී අක්කා එයාගේ පරිණත භාවය උපරි‍මයෙන් පෙන්නුම් කරනවා. අපිතුන් දෙනාගෙම දායකත්වය අන්තිම දශමයට උකහා ගෙන ඒ අවස්ථාව නිර්මාණය කරන්න සුනිල් කොස්තා සර් සමත් වූණා. ඒක හරිම සංවේදී විදිහට ඇවිත් තිබුණා. ඒ අවස්ථාවට යොදා ගෙන තිබුණු දෙබස් ටිකත් හරිම ප්‍රබලයි. නිරූපණය වඩාත් සංවේදී වෙන්න එය උපරිමයට බලපෑවා”

සුනිල් කොස්තා වැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?

“ඒක පුදුමාකාර වාසනාවක්. මගේ ලොකු ඕනෑකමක් තිබුණා මගේ හැකියාවන් මතු කරල ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න.

එහෙම ඉද්දි තමයි මේ තෝරා ගැනීම සිදු වෙන්නෙ. ‘රෝද හතරෙ මනමාලයා, සිරි සිරිමල්, සිහින වසන්තයක්’ වගේ ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තු නිර්මාණ එතුමා කරල තිබුණා. ඇත්තටම සුනිල් සර් වෙනස් විදිහට ලෝකය දකින කෙනෙක්. ඔහු රංගනයේත් තාත්විකත්වයේත් වෙනසක් දකින්න බැරි විදිහට නිර්මාණ කාර්යය හසුරුවනවා. මට උකහා ගන්න බොහෝ දේ ලැබෙනවා ‘ සුදු ඇඳගෙන කළු ඇවිදින්’ හරහා හැම සීන් එකකටම කලින් මිනිත්තු දහයක් පහළොහක් විතර අපිත් එක්ක කතා කරනවා. ක්‍රියාව විතරක් නෙවෙයි සිතිවිලිත් හසුරුවනවා. ඒක තමයි සුනිල් සර් තුළ මම දකින විශේෂත්වය. කොටින්ම කිව්වොත් මට මාව අමතක කරවලා චරිතයට ආවේශ කරවනවා.

ඒ වගේම අනිත් රංගවේදීන් අතිශය පළ පුරුදු සම්මානනීය ජ්‍යෙෂ්ඨයෝ. ඒ අය එක්ක වැඩ කරන්න ලැබුණ එකත් හැබෑම වාසනාවක්. අයෝමා කියන චරිතය මගෙන් මතු කරගන්න එයාලගෙන් ලැබුණු අත්වැල කියා නිම කරන්න බැහැ. මෙය ජීවිතයේ අතරමං වුණු, අනාථ වුණු අම්මෙක් සහ දුවෙක් ගැන කතාවක්. තාත්තා හොයාගෙන නගරයේ ඉඳන් ගමට යන මේ ගමනේ හැලහැප්පවීම් අභි‍යෝග ගොඩයි. ඒකට අනෙක් රංගන පිරිසගෙන් ලැබුණු සහයෝගය කියල නිම කරන්න බැහැ”

එතකොට තිරය පිටුපසත් විශාල පිරිසක් ඉන්නවා...?

“ඔව් ඒ ගැනත් කියන්නම ‍ඕනෙ. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමෝම හරිම සුහදයි. සමීපයි. කාගෙන් වුණත් ලැබෙන පුංචිම පුංචි සහයෝගයක්, දිරිමත් කිරීමක් හරියට වටිනවා. සුනිල් සර් වගේ අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරද්දි ඒක අත්‍යවශ්‍යම ‍සාධකයක් . ඒ නිසා ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ නිර්මාණයට සම්බන්ධ හැමෝට ම ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා”

මෙය හැරුණාම වෙනත් වැඩකටයුතු මොනවාද?

“ස්වාධීන රූපවාහිනියේ ‘ඒමි’ විකාශය වෙනවා. ඊ‍ට අමතරව නිමල් රත්නායක සර්ගෙ අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරමින් ඉන්නවා. එයත් මෙගා එකක් නොවේවි. හරිම ලස්සන කතාවක්”

අයෝමාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳවත් සඳහන් කරමු.

“ඉතාම හොඳයි. මගේ පළමු නිර්මාණය ‘සල්සපුනා’ තුළින් ප්‍රේක්ෂකයන් අතරට ගියා. හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි මගේ නිර්මාණ කාර්යය ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ සමඟ වෙනම මානයකට ඇවිත් කියලා හිතෙනවා. රංගනය ගැන වැඩි කතා බහකට ලක් වූණේ මේ නිර්මාණයෙන්. සුනිල් සර් මට රංගනය පිළිබඳ පාසලක් වගේ”

 
 
 

Comments