සැඟවී නිහ­ඬව ගලා බසින ඉඟුරු ඔය ඇල්ල | Page 2 | සිළුමිණ

සැඟවී නිහ­ඬව ගලා බසින ඉඟුරු ඔය ඇල්ල

අවිවේකී ජීවිත ගතකරන අපගේ ජීවිතවලට ඉස්පාසුවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් දවසක්. එහෙම ලැබෙන දවස සුන්දර, ජීවිතයට අමතක නොවන දවසක් කරගන්නට ඇත්නම් කොතරම් සුන්දරද? දරු , පවුලත් සමඟ එසේ නැත්නම් පෙම්වතිය, පෙම්වතා සමඟ, මිතුරු, මිතුරියන් සමඟ ගොස් සතුටෙන් දවස ගත කරන්නට සුදුසු තැනක් ගැන කියන්නයි අපේ සූදානම.

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙතෙක් කිසිඳු මාධ්‍යයක පල නොවුනු අලංකාර දිය ඇල්ලක් ගැනයි. හඟුරන් ඔය ඇල්ලගැන හෙවත් ඉඟුරු ඔය ඇල්ල කියන්නයි මෙවර රසඳුන ට්‍රැවල් හි සූදානම.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ප්‍රදේශයේ දිය දහරා විශාල ප්‍රමාණයක් මහවැලි ගඟ පෝෂණය කරයි. මේ අතරින් එක් මූලාශ්‍රයක් වන්නේ හඟුරන් ඔයයි. වියළි කාලයේදී කුඩා දිය පහරක් ලෙසින් ඇදී යන මේ ජල පහර වර්ෂා කාලයේදී සුන්දර ජල පහරක් ලෙස පහළට ඇදී යන්නේ අපව විස්මයට පත්කරමිනි. හඟුරන් ඔය ඇල්ලේ මවු ජල පෝෂකය වන්නේද මේ ඔයයි.

කොලඹින් පාන්දර පිටත්වූ අප උදෑසනම අඹගමුව සෙල් ලිපිය නරඹා ගලබොඩ දියඇල්ල නැරඹීමට පිටත්වූයේ දෙකිඳ මාර්ගය ඔස්සේයි. ඔබ හඟුරන් ඔය දිය ඇල්ල නැරඹීමට යන්නේනම් පහසුම මාර්ගය වන්නේ ඉඟුරු ඔය දුම්රිය ස්ථානයට පැමිණ එතනින් නාවලපිටිය දෙසට ගමන්කළ විට දකුණු පස පිහිටා තිබෙන කඩමණ්ඩිය අසලින් දකුණට ඇති කුඩා අඩි පාරේ දිගටම ගමන් කිරීමයි. අප මිත්‍ර ඩී. වී මර්වින් ඔහුගේ උපදෙස් අනුව මඟ සොයාගත් අප පෙර කී අඩි පාර ඔස්සේ ගමන් කළේ කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම්වෙමිනි. මේ අඩි පාර ජනාවාසවලින් ඈත් වී වෙනතකට හැරෙන්නේ ෆයින්ස් වගාවක් හරහා ආරම්භ වන විටය.

විනාඩි හතළිහක පමණ වේලාවක් ඇවිද පැමිණි අප ජල පහර ඔස්සේ දකුණු දෙසට ගොස් දිය පහර ඔස්සේ පහළට බැසීමට පටන් ගත්තෙමු. එලෙස විනාඩි කිහිපයක් ගමන්ගනිද්දී අපට පුදුම සිතෙන මනස්කාන්ත දර්ශනයක් පෙනෙයි. සංචාරක වචනවලින්ම පැවසුවහොත් ඉන්ෆිනිටි වීව් එකකි.

මේ අනන්ත නැරඹුම් ස්ථානයේ සිට ඡායාරූප කිහිපයක් ගන්නටද අමතක නොකළෙමු. තව දුරටත් දිය ඇල්ල දැක ගැනීමේ ආසාවෙන් දිය ඇල්ල දකුණු පසින් පහළට බසින්නට විමු. දිය ඇල්ල අදියර පහකි. ලංකාවේ උසම දිය ඇලි දහයට එකතුවන මේ දිය ඇල්ල ඇද හැළෙන්නේ මූලික අදියර පහකටය.

මෙහි සුවිශේෂත්වය වන්නේ ගල්තලාව පුරා ජලය විසිරීගොස් ඉමහත් සුන්දරත්වයකින් ඇද හැලීමයි. බොහෝ දිය ඇලි එක් ස්ථානයකින් හෝ ස්ථාන කිහිපයකින් ජල ප්‍රවාහය ඇද වැටුනද මේ දිය ඇල්ලේ ජල ප්‍රවාහය සමව තම ගල්තලාව හරහා බෙදාගනිමින් සුන්දරව අද හැළේ. මේ ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම්, විශේෂයෙන්ම සර්පයන්ගෙන් හා කූඩැල්ලන්ගෙන් ආරක්ෂාවීමට ක්‍රමෝපායන් ද අනුගමනය කළ යුතුය.

මෙය නරඹන්නට යන්නේ නම් මේ ටිකත් සිහි තබා ගත යුතුම වෙයි. නි‍සොල්මනේ ගලා බසින හඟුරන් ඔය ඇල්ලේ සුන්දරත්වය වින්දාට කම් නැත. එහෙත් එහි සුන්දරත්වයට හානි නොකිරීමට වගබලා ගත යුතුය. අප ගෙන යන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් බෑග් තැන තැන නොදමා නැවත ඒවා රැගෙන එන්නටද සිහි තබා ගත යුතුය. එසේ නොකළහොත් හඟරන් ඔය ඇල්ලේ සුන්දරත්වය අපට අහිමිවනු ඇත.

අදහස්