ජීවි­තය ජීවත් කර­වන අම­රස පාන­යක් | සිළුමිණ

ජීවි­තය ජීවත් කර­වන අම­රස පාන­යක්

‍ෙම් ලෙඩ රෝගවලින් ජීවිතය වෙළා ගෙන ඇති කාලයක්. අහන.. දකින.. කවුරුන් කුමක් හෝ රෝගයකින් පීඩා විඳිනවා. ඇතැම් අය ජීවිත කාලයම අසනීපවලටම කැපකරලා. එක බෙහෙත් පෙත්තක් නොබන අයෙක් සොයාගන්න බැරි තරම්. මේ තත්ත්වයට ලොකු කුඩා කියලා වෙනසක් නැහැ.

ඉතිං ඇටෙන් පොත්තෙන් එන කොටම දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්... තව.. තව බෙහෝ ලෙඩ. අද වෙද්දී බොහෝ දෙනා තේරුම් අරන් තියනවා තමුන්ගේ වරදින් තමා මේ ලෙඩ දුක් කියලා. සොබාදහමට අවනත නොවූ අය දැන් සොබාදහමට අවනත වෙලා සොබාදහමෙන්ම තමුන්ගේ ලෙඩ රෝගවලට පිළියම් සොයනවා. ආයුර්වේදය ‍ඒ සඳහා මහත් සැනසුමක් වී හමාරයි. මේ නිසාම වර්තමාන සමාජයේ බොහෝ දෙනකු හෙළ ඔසු පිළිබඳ නිරන්තරයෙන් ම අවධානය යොමු කරන බවක් පෙනෙන්නට තියෙනවා.

බො‍හෝ රෝගයන්ට හොඳ බව කියන ‘හීං බෝවිටියා’ ගැනත් තියෙන්නේ එවැනි මතයක්. කොලෙස්ටරෝල් සඳහා මේ හීං බෝවටියා කැඳ මේ කියන තරම්ම ගුණදායකද? දිගටම අරගැනීම සුදුසුද? යන්න පිළිබඳව ඇත්තේ කුකුසක්. මේ නිසාමයි ඒ ගැන අහන්න පළපුරුදු අත්දැකීම් ඇති ආයුර්වේද වෛද්‍යරයෙක්ව සම්බන්ධ කරගත්තේ.

වෛද්‍යතුමනි, අද විවිධ කොළ රැගෙන කැඳ වර්ග පිළියෙල කරත් මේ සෑම කැඳ වර්ගයක් ම ‍අපේ සිරුරට ගුණමද කියලා හිතන්න වෙනවා නේද?

ඇත්තටම වටිනා ප්‍රශ්නයක්. කොළ කැඳ ශරීරයට ගුණ බව අප කවුරුත් දන්නවා. නමුත් යම් යම් කොළ වර්ගවලින් හදන කැඳ දිනපතාම බීම සුදුසු නැති වෙන්නත් පුළුවන්. දැන් බලන්න වැල් පෙනෙල කැඳ. ගුණ බව පවසමින් සමහරු දිගින් දිගටම බොනවා. වැල් පෙනෙලවල ඇති අධික සිසිල් බව නිසා කවදාවත් සෙම නැති උනත් අධික සෙම තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් සඳහා කරපිංචා කැඳ ගුණයි කියනවා. ඉතිං දිගටම බොනවා. මේ නිසා සිරුරට අවශ්‍ය මේදය නැතිවී යන්න පුළුවන්. ඔබ කළ යුත්තේ මේ කැඳ වර්ග එක් වර්ගයක් බැගින් සුමානයකට එක දවසක් අරගැනීම පමණයි. ගොටුකොළ, මුකුණුවැන්න වැනි කොළවලින් හදන කැඳ සුමානයකට දෙපාරක් අරගත්තත් ඇති. මොකද මේවා අධික ශීතයි.

විවිධ රෝග සුවය සඳහාත් කොළ කැඳ මනා පිටුවහලක් වෙන බව පැවසෙනවා?

ඔව්. ඖෂධවලින් සුවපත් කරන්න බැරි තත්ත්වයේ තිබෙන රෝගයන් හා එක දිගට ම ඖෂධ පාවිච්චි කරන්න නිර්දේශ කර ඇති රෝග තත්ත්ව පවා කොළ කැඳ පාවිච්චි කිරීම නිසා සමනය වූ තැන් අප හොඳින් දැක තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබට කීවොත් ගැස්ට්‍රයිටීස්, අර්ශස් වැනි රෝග සඳහා ඖෂධ පාවිච්චි නොකර ගුණදායී කොළ කැඳ වර්ග දිනපතා හෝ දවසක් හැර දවසක් පාවිච්චි කළහොත් මේ රෝග දෙක පලාතේ වත් එන්නැති වේවි.

‘හීං බෝවිටියා’ වලින් පිළියෙල කරන කැඳ වර්ග කොලෙස්ටරෝල් සඳහා ගුණ බව අදහසක් තියෙනවා. මේ ගැන අපි දැනගමු.

හිං බෝවිටියා කැඳ ගුණ දෙන්නෙ කොලෙස්ටරෝල්වලට වඩා සෙංගමාලයටයි. බොහෝ දෙනෙක් මේ ගැන පටලවාගෙන තිබෙනවා. සෙංගමාලය රෝගියෙක් නම් නිරන්තරයෙන් ම හිං බෝවිටියා කැඳ ලබා දීම මඟින් හොඳ ගුණයක් ලැබෙනවා. කොලෙස්ටරෝල් රෝගීන් සුමානයකට දෙපාරක්වත් මේ හිං බෝවිටියා කැඳ වර්ගය අරගැනීම මඟින් හොඳ සුවයක් ලබන්න පුළුවන්.

හීං බෝවිටියා කැඳ බීම මඟින් අක්මාවට හානි වෙන බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. මෙහි ඇත්ත දැනගන්න කැමතියි.

එය වැරදි මතයක්. අක්මාව දුර්වල වුණු අයට හිං බෝවිටියා කැඳ ලබාදීම ගුණදායකයි. මේ තුළින් සෛල වර්ධනය සිදු වෙනවා. දවසක් හැර දවසක් අරගැනීම තමා හොඳ ම. එවිට අක්මාවට හානියක් සිදු වෙන්නේ නැහැ. විශේෂ දෙයක් කියන්න ඕන. ඒ කහ උණ රෝගීන්ටත් හිං බෝවිටියා කැඳ ලබාදීම ඉතාම හොඳයි. ඇයි දියවැඩියා රෝගීන්ට.. බලන් ඉද්දී සීනි ‍පාලනය වෙලා හොඳ සුවයක් ලැබෙනවා. ඒකයි කීවේ විශේෂ රෝග කිහිපයක් සඳහාම හිං බෝවිටියා ගුණයි කියලා.

හීං බෝවිටියා කැඳ කහට රහකින් යුක්ත බවත් ගොඩක් අය බිමට මැළිකමක් දක්වන්නේ ඒ නිසා බවත් කියනවා.

කහට රහ කියන්නේ තිත්ත ගතිය කියන එකට. ගුණය තිබෙන්නෙ එතනයි. කොළ වර්ගවලින්ම කැඳ හදාගන්නෙ නම් තිත්ත ගතිය දැනෙන්නෙ අඩුවෙන්. දියවැඩියා රෝගීන්ට හීං බෝවිටියා ළපටි කොළ සම්බෝලය ඉතාම ගුණදායකයි. දැන් බලන්න කෂාය. කොච්චර තිත්තද. හැබැයි ගුණය ඉහළයිනේ.

මෙය ඔසුපැන් වගේ තම්බා බොන්න බැරිද?

ඇයි බැරි? හිං බෝවිටියා කොළ.. පොතු... කඳ... මුල් මේ සියල්ලෙහි තියෙන්නෙ ගුණයයි. තේ වෙලාවට තම්බා පානය කරන්න පුළුවන්. මෙසේ තම්බා බීම අර්ශස් රෝගීන්ට ඉතාම හොඳයි. හැබැයි දිනපතා නෙමේ සතියකට තුන් පාරක් (එක දිගට නැතුව) ප්‍රමාණවත්.

මේ අදහස්වලින් හැඟී යන්නෙ කොච්චර හොඳයි කීවත්.. ගුණයි කීවත් දිනපතාම කිසිම දෙයක් සිරුරට එක් කරගැනීම සුදුසු නැති බවයි. ඔබේ නිවසේ හෝ ඔබ දන්නා තැනක සෙංගමාල රෝගයෙන් පීඩා විඳින්නෙකු සිටී නම් හිං බෝවිටියා කැඳ කෝප්පයක් පිළියෙල කර දෙන්න. එය නිරෝගී සුව ලබන්න මහත් වූ දෙයක්. මේ හිං බෝවිටියා තුන් වර්ගයක් ඇති බව වෛද්‍යවරයා පැවසුවා. ඒ බෝවිටියා, හිං බෝවිටියා, මහ බෝවිටියා. මේ තුන් වර්ගයම හොඳයි. මෙහි සිංහල නාමය කුරුවීනා. පඳුරු සහිත පැළෑටියක් වන මෙය කොළ පැහැති ශාකයක්. කොළවල ඉරි තුනක් ලෙස රේඛා පවතිනවා. මලේ පෙති පහක් තිබෙන අතර ඒවා ළා රෝස සහ දම් පැහැයෙන් යුක්තයි. ඇටවලින් සහ මුල්වලින් පැල හට ගැනීම සිදුවෙනවා. තෙත් කලා‍ෙප් බහුලව වැවෙන අතර ලංකාවේ අනිකුත් කලාපවලින් ද සොයාගත හැකිය. ගහක් අඩි 4.5 වාගේ උසයි. ඉතාම ප්‍රයෝජනවත් මේ හිං බෝවිටියා සෑම නිවසකම ම පැළයක් හෝ හදාගැනීම හරිම ප්‍රයෝජනවත් බව ඔබටත් දැන් වැටහෙනවා ඇති නේද?

මිශ්‍ර ‍කැඳ හැදීමේදී වුණත් හිං බෝවිටියා කොලයක් දෙකක් එකතු කළාට මුකුත් වෙන්නෙ නෑ.

කොටින්ම කොළ කැඳ කියන්නේ “ජීවිතය” ජීවත් කරවන පානයක්. ආයුෂ බොහෝ වළදන අය පවසන රහසක් නම් ඒ දිනපතා ඔවුන් විවිධ කොළ වර්ග දැමූ කැඳ කෝප්ප්යක් අරගන්නා බවයි. කොළ කැඳ බොනවා නම් ඔබට අවුරුදු හතළිහ නම් අවුරුදු තිහක පෙනුමක් ලැබෙනවා. හතළිස් ඇඳිරියට වුණත් බය වෙන්න ඕන නෑ. ආහාර හොඳින් දිරවීමට... කායික ශක්තියට... මානසික සුවබරතාවයට මනා පිටුවහලක් මේ කැඳ කෝප්පය මඟින් ලැබෙනවාමයි. මතක තබා ගත යුත්තේ හිං බෝවිටියා ඇතුළු ඕනෑම කැඳ වර්ග සෑදීමේදී ලුනු කුඩු නැතුව ලුණු කැට ස්වල්පයක් එක් කිරීමටයි.

ආයු­ර්වේද වෛද්‍ය   
බුද්ධික ගුණ­සේ­කර   
සිද්ධා­යු­ර්වේ­දීය 
ගම්පහ බෙහෙත් ශාලාව සහ   
කැඩුම් බිඳුම් චිකි­ත්සා­ගා­රය

අදහස්