ඔබ ගිම්හා­නය නොවී ඉන්න වස­න්ත­යක් වෙන්නට බැරි ­නම් :වෙන් වූ පෙම්ව­තුන්ගේ ප්‍රාර්ථ­නය... | සිළුමිණ

ඔබ ගිම්හා­නය නොවී ඉන්න වස­න්ත­යක් වෙන්නට බැරි ­නම් :වෙන් වූ පෙම්ව­තුන්ගේ ප්‍රාර්ථ­නය...

ජීවිතයේ එදා මෙදාතුර බලාපොරොත්තු වූ දේ බොහෝය. නමුදු බලාපොරොත්තු වූ සියල්ල ඉටුකර ගැනීමට නොහැකි වු විට සිතින් හැඬු අවස්ථාද නැතිවා නොවේ. ඒ මමය. මගේ හැටිය. ඔබද එසේම බව දනිමි. එ්නිසාම; අහස උසට ජීවිත ගැන බලාපොරොත්තු තබාගෙන සිට ඒවා බිඳීගිය විට දැනෙන දුක වේදනාව අමුතුවෙන් කිවයුතු නැත. ආදරය ගැන ද එසේමය.

ආදරය නම් මහ පුදුමාකාර දෙයකි. මිනිසුන් ජීවත් කරවන්නේද විටෙක මිනිසුන්ට ජීවිතය එපා කරවන්නේ ද ආදරයයි.

නමුදු ආදරයට ආදරය කරන්නට කවුරුත් කැමැතිය. හැම ආදරයකම අවසානය එක්වීමක් නොවේ. කිසිදු දිනෙක හමුනොවන, නමුදු රිදුණ හද පිරිමදින, ජීවිතයට ජීවිතයක් ගෙන එන ආදර බැඳිම් මේ විශ්වයයේ කොතෙකුත් ඇත. විශේෂයෙන්ම ප්‍රේමයෙන් බැඳුණු ගැහැනු හිත් පුදුමාකාරය. ‘ආදරය ගැහැනියට මුළු ජීවිතයම වුවත්; පිරිමියෙකුගේ ජීවිතයේ ආදරයට හිමිවන්නේ තුන්වැනි හතර වැනි ස්ථානය ය. විවාහ ජීවිතය තුළ ද ගැහැනිය සොයන්නේ පෙම්කරන වියේදි මෙන් වූ ආදරයකි. නමුදු හිත් රිදිම්, බිඳවැටිම් හමුවේ ඇතැම් විට ඇගේ සිත ආදරය ඇති තැන්වල නතර වේ. ළෙන්ගතු වදනකට, ළෙන්ගතු සිනහවකට පවා ඇගේ සිතේ සැනසිල්ලක් ඇතිවේ. ගිනිගත්, දුකෙන් පිරුණු හිත සනසන එවන් සොඳුරු ප්‍රේමයන් අත්දැකීම් කොට ගනිමින් ලියැවුණ ගී බොහෝය. අද ගීයක අරුම තුළින් ගෙන එන්නේද එවන් සොඳුරු බැඳීමක්, හිත බලාපොරොත්තු වන සුන්දර පැතුම් ගොන්නක් ගැන ලියැවුණ නවපරපුරේ ගී පද රචිකාවක් ගෙතු ගීතයක් පිළිබඳය.. කිවිඳියක වූ ඇය ලියු කවි කියවා ඇත. නමුදු ඒ හැමට වඩා මේ පද පෙලේ අපුරුබවක් දකිමි. දර්ශන වික්‍රමතුංග විසින් සංගීත නිර්මාණය කරන ලද ‘වැස්ස වෙලා ඔබ වහින්න ‘

ගීතය පිළිබඳ එහි පද රචිකා ප්‍රියංගනී කියන්නේ මෙවැනි අදහසකි.

“ඇය මා හමුවට පැමිණි ගුරුවරියක්. ඇය සිටියේ මානසික අවුලක. ඇය විවාහකයි. නමුත් ඇයත් ඇගේ සැමියාත් අතර තිබුණේ දුරස්ථ බවක්. ඔහු ඇයට සැරවැර වෙනවා. හිත් සැනසීම වෙනුවට තිබුණේ හිත් රිදීම්. මෙවන් පසුබිමක් යටතේ ඉන්න විට තමයි ඇගේ පාසලේම සේවය කළ ගුරුවරයකු ඇයට ළං වුණා. ඔහුත් විවාහකයෙක්. නමුත් ඔහු ඇගේ හිත සැනසුවා. ඇය හා සුහදව කතාබහ කළා. ඇයට ඇය කැමති පොතපත කියවන්නට ගෙනැත් දුන්නා. ඔවුන් අතර තිබුණේ මානසික බැඳිමක්. වෙනදාට වඩා ඇය සතුටින් ඉන්න ගත්තේ ඔහුගේ ඇසුර නිසයි. ඇය දවස ආරම්භ කළේ ඔහු දැක ගැනිමේ බලාපොරොත්තුවෙන්. ඔහුගෙන් ලැබෙන සුහද සිනහවත් ඇගේ ජීවිතයට හයියක් වූණා. ඇය එහෙමයි ඒ බැඳිම ගැන මට කිව්වේ. නමුත් ටික කාලයක් යද්දි ඔහු වෙනත් පාසලකට මාරු වී ගියා. ඇගේ මානසික තැවිල්ලට හේතුවක් වුණේ එයයි. ඇය මට කිව්වා, ‘ඔහුත් මාත් හිටියේ දුරින් වුණත් අපි අතර බැඳිමක් තිබුණා. ඒ බැඳිම තමයි මාව ජීවත් කළේ‘ කියලා. අන්න ඒ වචන ටික මගේ හිතේ තදින් රැඳුණා. හිමිකර ගන්න බැරි වුණත් දුරින් ඉන්නවානම් ඒ ඇති කියන අදහස තමයි ඈ සිතේ තිබුණේ. මම ගොඩක්ම පරිසරයට ඇලුම් කරන කෙනෙක්. උදේට අවදි වුණාම මම දවස අරඹන්නේ හමන සුළඟ, පිපෙන මල්, වැටෙන වැහි පොද, පිනි පොද දිහා බලමින්. එහෙම ඉන්න වෙලාවක තමයි මට මේ පද පෙළ ලියැවුණේ. මම ඒ පද පෙළ මුහුණු පොතේ ලිව්වා. එය දුටුව විදේශයක සිටින අපේක්ෂා සමන්මලි කියන සොයුරිය තමයි මෙය ගීතයක් කරමු කිව්වේ. ඇය මගෙන් පද ටික ඉල්ලා ගත්තා. මගේ පද පෙළ හරි අපූරුවට ගායන ශිල්පි අනුරාධා පෙරේරා ගායනා කර තිබුණා. මම මේ කිසිකෙනෙක් හඳුනන්නේ නැහැ. විශේෂයෙන්ම අපේක්ෂා සොයුරියට තමයි ස්තුති කරන්න ඕන. ඇය ඉදිරිපත් නොවන්න මෙය තවමත් නිකම්ම නිකම් පද පෙළක් පමණයි.”

ආදරය පුදුමයි. සොබා දහමට, ඉරහඳ තරු වැස්සට කතා කරමින් ප්‍රියංගනී ඒ අපුරු ප්‍රේමය ගැන ලියන්නිය. අහිමි වීම වුව සොබාදහම සමඟ විද ගැනීමට ඇය විරහ වේදනාවෙන් සිටින පෙම්වතුන්ට ඇරයුම් කරන සේය. ඇගේ පද පෙළ සරලය. ඒ සරල පද පෙළ අපට ලොකු කතාවක් කියයි.

“අටවක සඳ වෙලා එන්න

ඒ එළියෙන් ජීවන මඟ

සරසාගන්නම්

ඔබ දුර තරුවක්

නොවී ඉන්න

සඳ එළියක්

වෙන්නට බැරි නම්” 

 

 

Comments