අපි කව­දා­වත් ආ‍යෙ වෙන් වෙන්නේ නෑ | සිළුමිණ

අපි කව­දා­වත් ආ‍යෙ වෙන් වෙන්නේ නෑ

චම්පා චට්ටෝපාධ්‍යා‍ෙග් පුනර්භවය පිළිබඳව වූ කතාව තවම අවසන්ව නැත. ඇය පියා සමඟ ලංකාවට ආවේ නීලක හමුවීමට පමණක් නොවේ.

ඉකුත් භවයේ රත්නාවලී මැණිකේ නුවර බාලිකා විද්‍යාලයක ‍ඉගෙන ගෙන ඇති බව නීලක දැන සිටියේය. ඔහු රත්නාවලී පිළිබඳව සොයා බැලීමට ආදි විද්‍යාර්ථීන්ගේ සහාය පැතුවේය. ලේකම්වරියන්, ගුරුතුමියන් මෙන්ම මුරකරුවන් හමුවී තොරතුරු සොයා බැලුවේය. ඒ දිනවල ඇතුළත් වීම් පරිගණක ගත නොකිරීම නිසා නම් ගම් සෙවීම පහසු නොවීය. කලක් කාර්යාලයේ සේවය කළ චිත්‍රා නම් වූ නිලධාරිනියක් නීලකට උදව් කළාය.

“නුවර අනියවත්තෙ මේ වගෙ නමක් තියෙන කෙනෙක් ඉඳල තියෙනවා.” චිත්‍රා මහත්මිය කීවාය.

“මට ආරංචි වෙච්ච විදිහට ඔය අනියවත්තෙ ගෙදර සිය දිවි නසා ගැනීමක් වෙලා තියෙනවා. රත්නාවලී මැණිකෙ අපේ බාලිකාවෙ ශිෂ්‍යාවක්.”

කතා කළේ සිංහලෙන් නිසා රථයේ සිටි පිරිසට එය තේරුම් නොයන්ට ඇත.

“අන්න අරක තමා ගේ” කඳු මුදුනේ වූ නිවසක් දක්වමින් කාන්තාව කීවාය. එය පිහිටා තිබුණේ රමණීය භූමි භාගයකය. එන බවට පූර්ව දන්වා සිටීමක් කළ හෙයින් පිරිස සූදානම්ව සිටියහ.

මේ ගමනේදී චම්පා කුමරිය වැඩි කතාබහක යෙදුණේ නැත. ජීවිතයෙන් සමුගැන්මට ප්‍රථම තමා සිටියා යැයි සැලකෙන නිවෙස සෙවීමට හේ මහත් පරිශ්‍රමයක යෙදී ඇත.

නිවස ඉදිරිපස භූමි භාගයේ රථය නතර කළ පසු ඇය වටපිට බැලුවාය. මේ පරිසරය දෙනෙතට හොඳට හුරුය. පසෙකින් වන රේඛාවද, උස්ව නැඟී ගත් බහිරව කන්ද දුටු ඇගේ මතකය අවදි විය.

“නීලක මගෙ අත හයියෙන් අල්ල ගන්න.”

“ඇයි? ඇයි? ඔයා ළඟ මා ඉන්නවා.”

“නීලක මේ තමා මම උපන්න ගෙදර.”

ඇය නීලකගේ අත අල්වාගෙන නිවස දෙසට පියවර මැන්නාය. දුව පැන ඇවිද්ද ගෙඋයන ඉස්තෝප්පුව සිත අවදි කළේය. ඉස්තෝප්පුවේ අවුරුදු 70ක පමණ මහලු කාන්තාවක් සිටිනු නීලක දුටුවේය. තවත් පිරිසක් ඉස්තෝප්පුවේ පෙළ ගැසී උන්හ.

“මේ තියෙන්නෙ මගෙ ගේ. මගෙ කාමරේට යමු.”

“එහෙම හොඳ නෑනේ. අර අම්මාගෙන් අහමු.”

“මට බෑ. මම එයා එක්ක තරහයි. එයා නිසා තමයි මම ජීවිතේ නැතිකර ගත්තෙ.”

එම කාන්තාව නීලකට අතින් කළ සංඥාව අනුව ඔහු ඇය පසුපස ගියේය. ඉස්තෝප්පුවේ පෙළ ගැසී උන් පිරිස චම්පා දෙස බලා සිටියේ විමතිය රැඳි දෑස් වලිනි.

“කුමාරි ඔහොම ඉන්න අනුන්ගෙ ගෙවල්වලට යන්ඩ එපා.”

“අනුන්ගෙ ගේ නෙවේ මේක අපේ ගේ. එන්න මගෙ කාම‍ෙර් පෙන්වන්න.”

මෙලෙස නොදන්නා නොහඳුනන අයගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු විය නොහැකිය. නිදන ඇඳක්, අල්මාරියක්, පොත් මේසයක් වශයෙන් වූ කාමරය දුටු සැණින් ඇගේ මුවගට සිනාවක් නැඟුණි. පාසල් නිල ඇඳුමින් සැරසීගත් ඡායාරූපය එපරිද්දෙන්ම විය. නිවෙස් හිමියන්ගේ අනවසරයෙන් කාමරයට පිවිසීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඔසරියකින් සැරසී සිටි මැදිවියේ කාන්තාව දුට‍ු නීලකගේ සිතේ බියක් ඇතිවුණි. ඇය එක එල්ලේ කුමාරි දෙස බලා සිටියාය.

“ඔයා කවුද? රත්නාවලී මැණ‍ිකේද?” ඈ ඉංග්‍රීසි බසින් ඇසුවාය.

“මම ගිය ආත්මෙ මේ ගෙදර ඉපදිච්ච රත්නාවලී මැණිකේ. ඔයා කවුද?”

“ඇයි අඳුනා ගත්තෙ නැද්ද? මම ඔයාගෙ ගිය ආත්මෙ ලොකු අක්කා මුතු මැණිකෙ.”

ඔවුහු හඬමින් ඔවුනොවුන් වැලඳගත්හ. කතා කරන්ට බොහෝ දේ ඉතිරිව ඇත. ගතවූ විසි එක් වසර තුළ කිසිවෙක් මෙම කාමරය පරිහරණය කර තිබුණේ නැත. එකම වෙනසකට තිබුණේ ඇය මිය ගිය පුවත සංකේතවත් කිරීම සඳහා ඡායාරූපයකට මල්මාලයක් දමා තිබීමය.

මහාරාජා, ආර්යාව, වෛද්‍යවරයා සහ යසස් එළියට වී බලා සිටියේ යුවළ එනතෙක්ය.

“යසස්, කුමාරි කාගෙන්වත් අහන්නෙ නැතිව ඇතුළට ගියා. මොනවත් හිරිහැරයක් වෙලාද දන්නෙ නෑ.”

“නෑ සර්. මේ ඉන්නෙ කුමාරිගෙ ගිය ආත්මෙ නෑදෑයො.”

“මේ අඬ අඬා ඉන්නෙ ගිය ආත්මෙ අම්මාද?”

“ඔව් සර්. දුවගෙ අකල් මරණෙට අම්මා වග කියන්න ඕනෑ කියලයි ඔය අඬන්නෙ.”

“මං බෞද්ධයෙක් නූණත් පුනර්භවයක් තියෙන බව මට පිළිගන්ට වෙලා තියෙනවා. භවයෙන් භවය මේ සිතුවිලි පරම්පාව යන බව මට සාක්ෂි ඇතිව පිළිගන්ට වෙලා තියෙනවා. මට මේ කට්ටිය හඳුන්වලා දෙන්න.”

මෙහි එන්නට ප්‍රථම මේ පැමිණීම පිළිබඳව පිරිස දැනුම්වත් කර තිබුණි. චම්පා චට්ටෝපාධ්‍ය උඩරට උපත ලබා ඇති බවත් ඇය හදිසි මරණයකට පත්ව ඇති බවත් පූර්ව විස්තර වශයෙන් පැවසුවේය.

“අම්මා රත්නාවලී කුමාරි මැරිලා ගිහින් බටහිර බෙංගාලයේ මහා රාජා තුමාගෙ දුවවෙලා ඉපදිලා. මේ ඉන්නෙ මහා රජතුමා. මේ ඉන්නෙ මව.”

“සර් ඇතුළට ඇවිදින් ඉඳගන්ට කියන්න.”

“නෑ පස්සෙ බලමු.”

රත්නාවලී ගිය ආත්මේ සහෝදරියගේ අතින් අල්ලා එනු දුටු යසස් ගේ සිතේ ඇති වුණේ සතුටකි. ගිය ආත්මේ සිය දිවි නසා ගත්තේ අම්මාගේ වැරැදි තීරණය නිසාය. තවදුරටත් පළිගැනීමේ චේතනාවක් සිතේ තබාගත යුතු නැත.

“මේ ඉන්නෙ අම්මා.”

“මට සමාවෙන්න” චම්පා චට්ටෝපාධ්‍ය කුමරිය මැණිකේ රත්නායක නම් වූ පූර්ව ආත්මයේ මවගේ දෙපතුල් වැන්දාය. මව හඬමින් දියණියගෙ ගෙල බදා ගනිද්දි සැවොම කඳුළු සැලූහ.

“අම්මා මම ජීවිතය පූජා කළේ මේ ආදරය නිසයි.”

නීලක නිහඬව ගොස් මැණිකේ රත්නායක මහත්මියගේ දෙපා වැන්දේය. ඉකුත් ආත්මයේදී තමාට පෙම්වතිය අහිමි කළ කාන්තාව ‘චපලි’යක් ලෙස හැඳින්වීමට ඔහුට සිතුණේ නැත. හැම මවෙකුටම අභිමානයක් ඇත.

“යසස් දැන් ඉතින් ආව ගමන හරිනේ. මට යන්ට ඕනෑ.”

“පොඩ්ඩක් ඉන්න සර්. මේ අය ඉන්නෙ දුකින්. කතා කරලා යමු.”

“මාත් මේ වරදට සම්බන්ධයි. ගිය ආත්මේ මේ විපත කරන්න මාත් අම්මාට උදව් කළා. නංගි වෙනුවෙන් අපිට යමක් කරන්න ඉඩ දෙන්න.”

“ටීචර් මේක තමා ආදරේ හැටි. ආත්මෙන් ආත්මයකට මේ ආදරය සන්නිවේදනය වෙනවා. මේ කුමාරි රජ සම්පත් තියලා තමා ආදරේ කරපු තැනැත්තා හොයාගෙන ඇවිදින්.”

“මට හිත නිදහස් කරගෙන මැරෙන්ට පුළුවන්. මා සතු සියලුම දේවල් මේ දුවටයි පුතාටයි දෙන්නම්.”

“අම්මෙ. මේ දෙන්න අද හෙට ලංකාවෙන් යනවා. මහාරාජා කෝටිපතියෙක්. කුමාරිට ලංකාවෙ උඩරට විදිහට බැඳලා යන්න ඕනෑලු.”

“අනේ පුතේ මගේ පව් ගෙවෙන්න මගේ හිත හැදෙන්න මේ ගෙදර මංගල්ලෙ කරන්ට ඉඩ දෙන්න කියන්න”.

යසස් මේ පිළිබඳව රාම් මෝහන් තුමා සමඟ කතා කළේය.

“මචං උඹ මොකද කියන්නෙ.”

“මම කුමාරි එක්ක කතා කළා. මංගල්ලෙ මේ ‍ෙගදර ගන්ට කියමු. අප්පාට බෙංගාලෙත් උත්සවයක් ගන්ට ඕනෑ කිව්වා.”

“ලොකුවට මඟුලක් නොකළට නයනටයි, වරුසප්පෙරුමටයි, නිශානිටයි ඉන්වයිට් කරන්ටම ඕනෑ. දර්ශටයි, රත්නායකටයි මොනව හරි දෙන්ට ඕනෑ.”

“උන්ට මේ පොඩ්ඩක් දීලා හරියන්නෙ නෑ. ඩබල රට එක්කගෙන යමු. ඔන්න සර් එනවා.”

රාම් සිං ආවේ තීරණයකට එළඹීමෙන් පසුය. මොන ප්‍රශ්න තිබුණත් කුමරිය පසුවන්නේ සතුටින් යුතුවය. පැවැති තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව ලැබෙන වාර්තාවලින් හෙළිවෙයි.

“පිටරටවල්වලට ගිහින් දුක් විදින්නෙ නැතිව දුවත් එක්ක බෙංගාලෙට ඇවිදින් වෙඩින් එක කරන්න කියලා සංජය පණිවිඩයක් එවලා තියෙනවා.” රාම් මෝහන් කීවේය.

“අප්පා මෙහෙ අම්මලා මුතු අක්කලා දුකින් ඉන්න නිසා නීලකගෙ තාත්තලා ගෙන්වලා මෙහෙ වෙඩින් එක කරමු.”

“මාත් හිතුවෙ එහෙම තමා. අපි ඉන්දියාවට ගිහින් රාජකීය විදිහට වෙඩින් එක ගමු. අද අපි ටොපෑෂ් හෝටලයේ නතර වෙමු.”

පිරිස විසිර ගිය පසු පරිසරයේ ඇති වූයේ නිහඬ බවකි. සැඳෑ අඳුර බටහිර දෙසින් ගලමින් තිබුණි. ඇය නිහඬව අසුන්ගෙන නීලකගේ අතක් අල්ලා ගත්තාය.

“මා ඔයා නොලැබෙන දුකට දිවි නසා ගත්තේ මේ ගේ ඇතුළෙ.”

ඔහු අඳුරේ ඇගේ මුව වැසුවේය.

“දැන් ඔක්කොම අමතක කරන්න. අපි කවදාවත් වෙන් වෙන්නෙත් නෑ. වෙන් කරන්නත් බෑ. ආත්මයක් පාසා මේ විදිහට එකට ඉම්මු.”

ඇය ඔහුගේ උරෙහි හිස තැබුවාය.

නිමාව 

අදහස්