පොහොර සහනාධාර තුනී ලෑලි වලට අරන් | Page 2 | සිළුමිණ

පොහොර සහනාධාර තුනී ලෑලි වලට අරන්

පසුගිය සිළුමිණ පුවත්පතින් අප පෙන්වා දුන් පරිදි සහනාධාර පොහොර අරන් අලුත් ජාවාරමක් සිදු කරන මහා පරිමාණ සමාගම් දෙකක් පිළිබඳ පූර්ණ පරීක්ෂණ සිදුකර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

කෘෂිකර්ම හා පශු සම්පත් ඇමැති පී. හැරිසන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන මේ පරීක්ෂණවල තොරතුරු අනුව පොදු දේපළ අයථා භාවිතය යටතේ නීතිමය පියවර ගැනීමට සූදානම් වෙයි.

මේ අනුව මෙරට තුනී ලෑලි නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් එම තුනී ලෑලි ඇළවීම සඳහා භාවිතා කරන ගම් මිශ්‍රණය සකස් කර ගැනීමට මෙම සහනාධාර යටතේ ලැබෙන යූරියා පොහොර යොදාගෙන ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. මේ සමාගම් දෙක පසුගිය වසරේ යූරියා පොහොර ගෙන්වා ගෙන නොමැති බව ද හෙළිවී ඇත. මේ සමාගම් මීට පෙර වසරවලදී රුපියල් ලක්ෂ ගණනක් ගෙවා යූරියා මෙට්‍රික් ටොන් 30000 කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇතැයි ද නිලධාරීහු පවසති.

ඊට අමතරව පො‍හොර යොදාගෙන කෘෂිකාර්මික නොවන නිෂ්පාදන සිදුකරන ආයතන තුනක් ද තම නිෂ්පාදන සඳහා අවශ්‍ය පොහොර පසුගිය වසරේ මෙරටට ගෙන්වා නැතත් එම ආයතනවල නිෂ්පාදන දිගටම කරගෙන ගොස් ඇති බව ද පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීහු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇත.

Comments