දිය සොයා දුම්රියෙන් ගමනක්... | සිළුමිණ

දිය සොයා දුම්රියෙන් ගමනක්...

ඉන්දියාවේ චෙන්නායි නුවර ජනතාව මේ දිනවල උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින බවට මේ දිනවල මාධ්‍ය වාර්තා පළ වෙනවා. තමිල්නාඩුවට පමණක් නොව එරට බොහෝ ප්‍රාන්තවලට තවමත් වසරේ නියම කාලයට ලැබිය යුතු මෝසම් වරුසාව ළඟ එන පාටක් පෙනෙන්නවත් නැතිතරම්. ඒ අතරින් පානීය ජල හිඟයට දරුණු ලෙස මුහුණ දී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. ප්‍රාන්තයේ පළාත් 32 අතරින් උග්‍ර ලෙසම ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින්නේ මාරාත්වඩා පළාතේ ජනතාවයි. ලැබෙන ආරංචි අනුව ඒ පළාතේ තියෙන ජලාශවල ජල මට්ටම දැන් ඇත්තේ අන්තිම අඩියේය. දශක ගණනාවකට පසු මහාරාෂ්ට්‍රයට බලපෑ දරුණුම නියඟය මෙය බවයි වාර්තා වන්නේ. මින් පෙර කිසිම කලක ජල මට්ටම මෙතරම් පහළට නොබැසීම නිසා මෙවර ජනතාව කබලෙනුත් ළිපටම වැටෙන තැනටම පත්වෙලා. උග්‍ර පානීය ජල හිඟයට විසඳුම් ලැබෙන පාටක් නොපෙනෙද්දී ජනතාව ජලය සොයාගෙන නොයන තැනක් නැති තරම්.

පානීය ජල හිඟයෙන් වැඩිපුරම දුක් විඳින්නේ ඈත එපිට දුප්පත් ගම්මානවල ජනතාවයි. ඉන්දියාවේ බොහෝ ගම්මානවල ගෙදරට ඕනෑ කරන දර ටික වගේම වතුර ටිකට කවදත් වද වෙන්නෙ ගෙදර ගැහැනු උදවිය වගේම දරුවනුයි. මේ දිනවල ජලය සොයා යන දුෂ්කර ගමනට ඔවුන් නිවෙස්වලින් එළියට එන්නේ පාන්දර ජාමයේයි. ඇතැම් දෙනා වතුර සොයා කිලෝමීටර් ගණන් දුර පා ගමනින් යනවා.

ඉන්දියාවේ ඈත ඇතැම් ගම්මානවල පිරිමි කෙතරම් අගහිඟ තිබුණත් බිරියන් දෙතුන් දෙනෙකු පාවා ගන්නවා. මින් එක් බිරියකගේ අනිවාර්ය රාජකාරිය නිවෙසට අවශ්‍ය ජලය සොයා ගෙන ඒමයි. ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට හැර බහුභාර්යා සේවනය තහනම් වුණත් ඔවුන්ට වෙනත් විකපයක් නැහැ. මේ වතුර ගේන බිරියන් හැඳින්වෙන්නේ ‘පානි බායිස්’ ලෙසින්. එලෙස බිරියන් තිදෙනකු පාවාගත් නිවෙසක බිරියන් තිදෙනාම ඉතා සමගියෙන් ගෙදර දොර වැඩ කටයුතු බෙදාගෙන කර ගන්නා අන්දම වරක් සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. පානි බායිස්ට තනිකරම පැවරෙන්නේ ජලය ගෙන ඒමයි. ඇය දිනකට ජලය සොයා කිලෝ මීටර් ගණනක් දුර පයින් යන ගමනට ඇතැම් වෙලාවට පැය 12ක තරම් කාලයක් ගත වෙනවා. මේ ගමනට ඉඳහිට තවත් බිරියකුත් එකතු වුණොත් දෙදෙනාම එකතුවී දිනකට ජලය ලීටර් 15ක් විතර අරන් එන්න පුළුවන්.

ඉන්දියාවෙ ඈත ගම්මානවල ජනතාවට දැන් නැවතත් මේ විදිහට ජලය සොයා දුරඈත යන කාලය උදාවෙලා. මහාරාෂ්ට්‍රයේ මුකුන්වාඩි ගමේ ඉන්න කොලු පැටියෙක් තමන්ගේ පවුලේ ජල අවශ්‍යතාව පිරිමහන්න දිනපතා දුම්රියෙන් කිලෝ මීටර් 14ක දුරක් යන ගමනක් පසුගියදා ඉන්දියා ටෛම්ස් පුවත් පත වාර්තා කළා. මේ කොලුවා සිද්ධාර්ත් දාග්. කොලුවා දිනපතා යන ගමන වගේම උස්සාගෙන එන බර දරන්න බැරි වුණත් ඒ කොලුවාගේ ධෛර්යත් කඩිසරකමත් නිසා දැන් සිද්ධාර්ත් ගැන ලෝකයම දන්නවා.

සිද්ධාර්ත්ගේ වයස අවුරුදු 10යි. ඉගෙන ගන්නේ දෙකේ පන්තියේ. වතුර කෑන් දෙකක් ගේන්න ඔහු යන්නේ අවුරන්ගාබාද් සිට හයිද්‍රාබාද් දක්වා දිනපතා දිවෙන දුම්රියෙනුයි. හැබැයි මේ ගමන සිද්ධාර්ත්ට පමණක් සීමාවූවක් නොවෙයි. ඒ ගම් පළාතේ සෑම දරුවකුටම මේ දිනවල සිදුවෙලා තියෙන්නේ පාසල් ගමනත් සෙල්ලමත් නවත්තලා ගෙදරට වතුර ගේන්න දුර බැහැර යන්නයි.

දුම්රියෙන් වතුර කළගෙඩි බාන්නයි පටවන්නයි ඒවා උස්සාගෙන ගෙදරට එන එකයි මේ පුංචි උරහිස්වලට දරන්න බැරිවුණත් ඔවුන්ට වෙන කරන්න දෙයක් නෑ. ජලය ගේන්න දුම්රියෙන් දිනපතා යන ගමනට එක්වෙන අයෙෂාගේ වයස අවුරුදු 12යි. අයෙෂාගේ නංගි ශක්තිට අවුරුදු නවයයි.

මාරාත්වඩා පළාතේ පමණක් ගම්මාන 7000ක් විතර මේ වෙද්දී ජල හිඟයෙන් උග්‍ර ලෙසම පීඩාවට පත්වෙලා. එක වතුර පනිට්ටුවක් ගේන්න මේ ඇතැම් ගම්වල ළමයින් හා ගැහැනුන් කිලෝමීටර් ගණන් දැන් පයින් යනවා.

එසේ වුවත්, අපි කතා කරන සිද්ධාර්ත්ගේ ජල මූලාශ්‍රය අනෙක් අයගේ ජල මූලාශ්‍රවලට වඩා වෙනස්. ඔහු ජලය ගේන්න යන්න නිවෙසින් පිටත් වෙන්නේ මද්දහනේ. මුකුන්වාඩි ගමේ දුම්රිය පොළට යන ඔහු එතැනින් අවුරන්ගාබාද් කරා යන දුම්රියට ගොඩ වෙන්නේ ඒ ඉස්ටේෂමේ තියෙන ජල කරාමවලින් ජලය පුරවා ගන්නයි. මේ විදිහට ජලය පුරවා ගෙන සිද්ධාර්ත් ආපසු එම දුම්රියේම නැඟ සවස 5 - 6 වෙද්දි නිවෙසට එනවා. නගරේ ඉස්ටේෂමට යන්න ගමේ සිට තියෙන්නේ කිලෝ මීටර් 7ක් වුණත් මේ දුම්රිය හැමදාම පැය තුනකටත් වඩා පරක්කුයි.

ඒ නිසා සිද්ධාර්තුයි අයෙෂායි ශක්තියි දුම්රිය එනකම් ගහක් යටට වෙලා ඉන්නවා. දුම්රිය ඉස්ටේෂමට ආවහම මේ කට්ටියට වතුර කළගෙඩි ටිකයි කෑන් ටිකයි පටව ගන්න කාලය තියෙන්නේ තත්ත්පර ගාණයි. ඒ තත්ත්පර ගාණෙදි කෑන් ටික පටවා ගත්තේ නැත්නම් දුම්රිය අද්දනවා. ඉතින් ඔවුන් කරන්නේ හරිම සටනක්. මේ විදිහට වතුර පටවන්න ගිහින් වැටිලා තුවාල වූ වාර අනන්තයි. කෑන් ටික පටවා ගත්තට පස්සේ ඒවා තියා ගන්න තැනක් හොයා ගන්නත් ඕනෑ. බොහෝ වෙලාවට වතුර කෑන් තියා ගන්නේ දුම්රියේ ආසන අතරයි. එහෙමත් නැත්නම් මඟීන් යනඑන ඉඩකඩේ.

ජලය ගේන්න යන ගමනේ අමාරුම වැඩේ තියෙන්නේ දුම්රිය ගමන ආරම්භ කළ පසුයි. කට කපලා සෙනඟ පිරුණු දුම්රියේ වතුර කෑන් ඉහිරව නොගෙන රැගෙන එන එකත් යුද්ධයක්. දුම්රිය ගමට ආවාම කෑන් නිවෙසට උස්සන් එන්නෙත් සිද්ධාර්ත්මයි. එම බර ඒ කුඩා උරහිස්වලට දරන්න බැරිතරම්.

මේ දිනවල ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පානීය ජල ප්‍රශ්නය කෙතරම්ද යත් ජල කරාමයක් අහලකවත් නිර්මලා දේවි නගර් වැනි අර්ධ නාගරික කොට්ඨාශවල ජනතාව විඳින්නේ පුදුම දුකක්. මේ පළාත්වල වැඩිපුරම ඉන්නේ එදිනෙදා වේල සපයා ගන්නා දුප්පත් මිනිස්සු. පළාතට වතුර ගේන බවුසරේ එන්නේ දින හතරකට වරක්. කන්න නැතත් වතුර නැතිව ඉන්න බැරි නිසා ඔවුන්ට වෙලා තියෙන්නෙ ඉන්දියානු රුපියල් 60ක් ගෙවා වතුර ලීටර් 200ක් ගන්නයි.

සුමන්බායි නව්ගිරේ වයස අවුරුදු 51ක කාන්තාවක්. එදිනෙදා වේල හොයාගෙන ජීවත් වෙන ඇගේ මිදුලේ අඩි 300ක් යටට හෑරුව නළ ළිඳක් තිබුණත් ඉන් වතුර බිඳක්වත් එන්නේ නෑ. මේ නිසා සුමන්බායි දැන් කුලී වැඩට යෑම පැත්තකින් තියා සිද්ධාර්තලත් එක්ක ඉස්ටේෂමෙන් වතුර ගේන්න දුම්රියේ යනවා. මේ නිසා සුමන්බායි දැන් ළමයින්ගෙත් ආරක්ෂකයා වෙලා.

“ළමයි මේ යන ගමන අවදානම් කියා අපි දන්නවා. ඒත් කරන්න දෙයක් නෑ අපට වතුර ගන්න වෙන විදිහක් නෑ.” එහෙම කියන්නේ සිද්ධාර්ත් ගේ මව ජෝති. එහෙත් ශක්ති හා අයේෂාගේ දෙමව්පියන්ට සුමන්බායි වගේ රස්සාව පැත්තකට දමා වතුර ගේන්න යන්න බැහැ. වතුර ඇදිල්ලෙන් පස්සේ ළමයි පාසල් යවන්න ඇඳුම් පොත් ගන්න සල්ලි ඕනෑ.

මේ සියලු ප්‍රශ්නවලට අනුරාග්බාද් නගරාධිපති නන්දකුමාර් ගොඩේල් නිහඬයි.

“මේ ජනතාව ගැන මට හරිම වේදනයි. ඒත් අපට ඔවුන්ට උදව් කරන්න ක්‍රමයක් නෑ. වතුරවලට බිල් ගෙවන අයට මුල්තැන දෙන්න අපට සිදුවෙලා තියෙනවා. හැමෝටම වතුර දෙන්න ලැබෙනවානම් හොඳයි. ඒත් අපත් දරුණු වතුර හිඟයකට මුහුණ දීලයි ඉන්නේ.”

මේ ගම් පළාත්වල නිවෙස්වලට ජලය සපයන ව්‍යාපෘති ‘පයිප්ප සිහිනයක්’ පමණක් බවට පත්වෙලා දැන් වසර එකොළහක්. ජල නළ පහසුකම් තියෙන උදවියටත් වතුර එන්නෙ දින පහකට හයකට සැරයක් වෙද්දි මේ කුඩාවුන් නැත්නම් ඔවුන්ගේ පවුල්වලට අයටත් වෙන්නේ අහස දිහා බලාගෙන හූල්ලන්නයි.

අපේ අසල්වැසි රට එසේ උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටිද්දී අප රටේ ද ඇතැම් පළාත්වල ජනතාව ද වරින් වර පානීය ජල හිඟයට මුහුණ දීමට සිදුවෙන අන්දම අමතක කළ නොහැකියි.

අප රටේත් දිස්ත්‍රික්ක 17ක ලක්ෂ 12ක පමණ ජනතාවක් වරින්වර පිරිසුදු පානීය ජලය නොමැතිව පීඩාවිඳි අන්දම 2017 වසරේ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කළා. ඒත් එක්කම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් පිරිසුදු කර ලබාදෙන ජලය ලීටර් මිලියන 16000ක් වසරකදී අපතේ යන බවත් හෙළි වුණා.

වනාන්තර හෙළීම නිසා ජල සම්පත සිඳී යෑම මෙන්ම ජනතාවගේ නොසැලකිල්ලද මෙලෙස පිරිසුදු පානීය ජලය හිඟවීමට හේතුවක් වන්නේ එනිසායි. ඒ වගේම මුහුදට ගලා යන ජල ප්‍රමාණයද අධිකයි.

කෙසේවෙතත් වාසනාවකට මෙන් අපට තවමත් ඉන්දියාව තරම් දරුණු ලෙස පානීය ජල ගැටලුවට මුහුණ දීමට සිදුවී නැහැ. ඒත්, ඉදිරියේදී තවදුරටත් නොසැලකිල්ල නිසා ජල සම්පත ගැන අවධානය යොමු නොවුණහොත් අපේ දරුවන්ටත් සිද්ධාර්තලාට මෙන් දිය සොයා දුර ඈත යෑමට සිදුවනු නොඅනුමානය.

අදහස්