මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බුද්ධ චරිතය | සිළුමිණ

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බුද්ධ චරිතය

මහැදුරු ගම්ලතුන් විසින් ලියා පළ කරන ලද කෘති සංඛ්‍යාව සියය ඉක්මවයි. විවිධ මාතෘකා යටතේ නිබැඳු ඒවා එකක් පරයා අනෙකට නැගී සිටින්නට අවස්ථාවක් නැති විශිෂ්ට කෘති වෙයි. එහෙත් ඒ අතරිනුත් ඉහළ නැගී සිටින ඔහුගේ විශිෂ්ටතම කෘතිය ‘බුද්ධ චරිතය’යි සිතමි.

මේ වනාහි ගෞතම බුදුන්ගේ චරිතයයි. මෙය බුදුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් විසින් දේශනාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරන සිය අසමසම නායකයාගේ චරිත කතාවකට වෙනස් ය. සාමාන්‍ය ගිහියකු වන මහාචාර්ය ගම්ලත් එය ඉදිරිපත් කරන්නේ සත් පුරුෂයකුගේ ජීවන වෘත්තාන්තයක් ඉදිරිපත් කරන තුලිත විලාසයකිනි. සියල්ල පරතෙරට දත් ඔහුගේ ශාස්ත්‍රවන්තභාවයට අමතර වශයෙන් මාක්ස්වාදියකු මෙන් ම භෞතිකවාදියකු ද වීම ඔහුටම අනන්‍ය සාධාරණ වූවකි. ඉතින් එබඳු පුද්ගලයකු විසින් සංග්‍රහ කරන ලද බුද්ධ චරිතයක් කවරාකාර වනු ඇත් ද?

මෙහි කෙටි පූර්විකාවේ ගම්ලත්හු සිය අරමුණ මෙසේ සැකෙවින් දක්වති.

“මෙහි පළ වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ චරිතා-පදානයකි.

ඉංගිරිසිය නොකියවිය හැකි හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා මෙය රචිතයි.

බුදුසමය නන් වැදෑරුම් රූපයෙන් ගණිකා වෘත්තියේ යෙදැවෙන අද දින සැබෑ බුදුන් වහන්සේ නම් කවරහු ද’යි පෙන්වා දීම අත්‍යවශ්‍ය ය’යි හැඟුණෙන් මෙය ලිවීමි.”

මේ කෘතිය සිව් කොටසකින් සමන්විත ය. ඒවා පිළිවෙළින් අසිරිමත් දඹදිව, අසිරිමත් බුදු සිරිත, අසිරිමත් සඟ සසුන සහ අසිරිමත් බුදු දහම යනුවෙන් නම් කෙරී ඇත. සියල්ල අසිරිමත් ය. සමස්ත පිටු සංඛ්‍යාව 564ක් වන මේ පොතේ ඉහත සඳහන් දෙවැනි කොටස වන බුදු සිරිත සඳහා වෙන්ව ඇති පිටු ගණන 255ක් එනම් 46% පමණය.

බුදු සිරිත සියලු බෞද්ධයෝ මැනැවින් දනිති. පාසල්වල එය නොමඳව උගන්වනු ලැබේ. බුද්ධ චරිතය ලේඛනගතව ඇති පුරාණ ගද්‍ය සාහිත්‍ය කෘති අතුරින් පූජාවලිය ප්‍රමුඛ ය’යි සිතමි. බුත් සරණ, අමාවතුර සහ දහම් සරණ යන කෘතිවලත් අන්තර්ගත වන්නේ බුදු සිරිත ම ය. ලලිත විස්තරය නම් කෘතියේ ද ඇත්තේ බුදු සිරිත ම වුවත් එය එතරම් ප්‍රකට කෘතියක් නොවේ.

මේ පොත අග එන ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලියට ඉහතින් සඳහන් කළ පොත් ඇතුළත් නැතත් තන්හි තන්හි ඒවා ගැන සඳහන් ය.

මේ කෘතියේ ‘අසිරිමත් බුදු දහම’ නම් සිව්වන කොටසේ ‘බුදු දහමේ දාර්ශනික පදනම’ නම් පළමු පරිච්ඡෙදයේ ආරම්භක වැකි කිහිපයයි මේ:

“බුදුන්ගේ ප්‍රමුඛ උද්යෝගයට ගෝචර වූයේ දුක ය. උන් වහන්සේ සැම තැනම සැම දෙයෙහි ම දුක පවතින බව දුටහ. එහෙයින් උන් වහන්සේ සියල්ලට ම වඩා සෙවුයේ දුකින් ගැලවෙන මගයි. මෙලෙස දුක හා ඉන් ගැලවෙන මග (=දුක්ඛය හා දුක්ඛ නිරෝධ මාර්ගය) මුල් බුදු සමයේ සාරය වන්නේ ය. මුල් බුදු සමය නම් බුදුන්ගේ බුදු සමයයි. අසංවර්ධිත (=වැඩි දියුණු නොකළ) බුදු සමයයි. බුදුන් වහන්සේ ම මෙසේ වදාළහ:

‘පෙර මා ඉදිරිපත් කළ සේ ම දැන් ද මා ඉදිරිපත් කරන්නේ මෙපමණි: දුක හා එය දුරු කිරීමයි.’

මේ මූලික ප්‍රස්තුත දෙක අතර තර්කානුකූල ව තුන් වැන්නක් ද වෙයි. එනම් දුක නමැති සත්‍යය තේරුම් ගැනීමයි.

මෙය තේරුම් ගැනීමේ සාරභූත කරුණ වන්නේ පටිච්ච සමුප්පාදයයි. එනම් විශ්වව්‍යාපී හේතු-ඵලවාදයයි. පටිච්ච සමුප්පාද යනු ‘මෙය ඇති කල මෙය ඇති වෙයි’ යන ඉගැන්වීමයි.

බුදුන් තම ශ්‍රාවකයන්ට කියා ඇත්තේ මේ පටිච්චසමුප්පාදය තම ධර්මයේ සාරය සේ දකින ලෙස ය. බදුන්ගේ සමීපතම ශ්‍රාවකයකු වු සැරියත් හිමියන් මෙසේ පවසා ඇත:

‘තථාගතයන් වහන්සේ මෙසේ කියා ඇත. පටිච්ච සමුප්පාදය දක්නේ ධර්මය දකී; ධර්මය දක්නේ පටිච්ච සමුප්පාදය දකී.’

මෙලෙස මේ දෙක එකක් බව පවසා ඇත.

සමුදය හා නිරෝධය

මෙනයින් ධර්මය සමග අනන්‍ය කරන තාක් දුරට පටිච්ච සමුප්පාදය අවධාරණය කිරීම මෙහි දී අත්‍යන්තයෙන් ම වැදගත් වේ. ඊට හේතුව කියත හොත්, මුල් බුදු සමයෙහි පට්ච්ච සමුප්පාදය අනිත්‍යතාව සමග කෙතරම් එකට පැටලී ඇත් ද යත් අනිත්‍යතාව පටිච්චසමුප්පාදයේ ක්ෂණික ඇඟවුම ලෙස හෝ දෙක ම එක ලෙස හෝ ගෙන ඇත. අනිත්‍යතාව යනු වත්මන් විද්‍යාවේ අර්ථයෙන් විශ්වීය චලනයයි; සකලවිධ ද්‍රව්‍යයේ අනවරත චලනයයි. මේ චලනය බාහිර සොබා දහමට ද එය ම වෙනස් කොට සාදා ගත් සමාජයට ද්‍රව්‍යයේ උච්චතම සංවිධානගත වීම වන මිනිස් මොළයට ද එහි ක්‍රියාකාරීත්වය වන චින්තා, ස්මෘති, තර්කණ ආදියට ද පොදු ය. ලොව ඇති පරම සත්‍යය නම් මේ නිරන්තර චලනයයි; එකම ස්ථාවර දෙය නම් මෙයයි.

තතු මෙසේ හෙයින් මුල් බුදු සමයේ එන අපෝහකවාදී (=අංශ දෙකකින් යුතු, ඇත හා නැත යන දෙක අතර එකමුතුවෙන්, ගැටුමෙන් හා අන්තර් විනිවිද දැක්මෙන් යුත්) ලෝක දෘෂ්ටිය තේරුම් ගනු පිණිස පටිච්චසමුප්පාදය පැහැදිලි ව තේරුම් ගත යුතු ය.

බුදුහු මෙසේ කියති:

‘ආරම්භය හා අවසානය පිළිබඳ ප්‍රශ්න පසෙක තබමු. මම ඔබට ධර්මය උගන්වමි. මෙය ඇති කල මෙය ඇති වේ. එහි හට ගැනීමෙන් මෙය මතු වේ. එය නැති විට මෙය මතු නොවේ. එය නතර වීමෙන් මෙය නතර වේ.”

වර්තමානයේ බොහෝ බෞද්ධයෝ තෙරුවන් සරණ ගියාහු නොවෙති. බියෙන් සජ්ජිත ඔවුන් සරණ ගොස් සිටින්නේ ප්‍රතිමා, ආරාම, රුක් සහ චෛත්‍ය යනාදිය ය. ඊට හේතුව බුදුන් යනු කවුරුන්ද’යි බොහෝ දෙනා තුළ වැඩහීමක් නැති කමයි. මේ කෘතිය කියැවීමෙන් සැබෑ බුදුන් ගැන මනා අවබෝධයක් ලබා ගැනීම එතරම් වාක්කෝෂයක් නැති සිංහලයකුට වුව අපහසු නොවනු ඇත.

2006 වසරේ මුල් වරට මුද්‍රණය කරන ලද මෙම කෘතියේ තෙවෙනි සංස්කරණය සරසවි ප්‍රකාශකයන් විසින් 2018 වසරේ එළි දක්වා තිබේ.

අදහස්