බර­සාර පත පොත අතර ම දොළ ළඟ ගුරු පාර දිගේ ගීය ද ලියූ කිවිපති විමල් අභ­ය­සු­න්දර | සිළුමිණ

බර­සාර පත පොත අතර ම දොළ ළඟ ගුරු පාර දිගේ ගීය ද ලියූ කිවිපති විමල් අභ­ය­සු­න්දර

දිනක් හැමටම හොරෙන් මද්දහනයේ සාහිත්‍ය කීර්ති ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ ‘කැලෑ හඳ’ කියවමින් සිටි ගැටවරයකුගේ හිස මතට පේර කෝටු පහර පතිත විය. පේර කෝටුවෙන් ඔහු දඬුවම් ලැබූයේ ‘කැලෑ හඳ’ කියවමින් සිටි ‘අපරාධයට’ ය. ඔහුගේ හිසෙන් ලේ බිඳු කිහිපයක් පිටවුණ ද නවකතා කියවීම එතකින් තරුණයා අත් නොහළේ ය. මේ 1933 වසරය. ඒ වනවිට පියදාස සිරිසේන, ඒ.ටී.සී. ජිනදාස, මාර්ටින් වික්‍රමසිංහ, පී.ඩී. ලියනගේ යන ලේඛකයන්ගේ නවකතා කියැවීමෙන් ලැබූ හුරු පුරුදුකම් ඇත්තකු විය. මේ අපූරු රසිකයා විමල් අභයසුන්දර ය. ඔහු එදා තමා ලැබූ ඒ කටුක අත්දැකීම් විස්තර කර ඇත්තේ මෙසේ ය.

“එවකට අපේ ගමේ නවකතා කියවීමේ පුරුද්ද එතරම් පැතිර පැවැත්තක් නොවීය. කියවූ පාඨක පිරිසක් එසේ දෙමවුපිය වැඩිහිටි ගුරුවරු ආදීන්ට නොදැනෙන නොහැගෙන සේය. මේ පිරිස අතර මැදිවියේ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විය‍. කොණ්ඩේ බැඳි ඔහු එතරම් සිංහල උගතෙකු ද නොවීය. ඔහු යුග දිවියට එළැඹියේ කසාද බඳින වයස පැන ගෙන යන අවදියේ ය. සරුසාර පොල් ඉඩම් හිමි කොප්පරා මඩු අයිතිකරුවකු වූ, ඔහු මසකට දෙවරක් පමණ කොප්පරා පටවා ගෙන කොළඹ ආවේ ගියේ ව්‍යාපාරික කටයුතු සාර්ථක ලෙස පවත්වා ගෙන යෑමේ වෙළඳ බුද්ධියක් ඔහු සතුව පැවැතුණු හෙයින් යැයි සිතමි.‍ කොළඹ පැමිණි විට නිකුත් වී ඇති අලුත් නවකථාවක් දෙකක් මිලයට ගෙන යෑමේ පුරුද්දක් ඔහු සතුව තිබුණේ ය. එම සියලුම පොත් ඉල්ලාගෙන කියවා ආපසු දීමට මම පුරුදු වී සිටියෙමි. නවකතා පොත් පමණක් නොව ඩබ්ල්යු. ඒ. සිල්වා ශූරීන්ගේ ‘සිල්වාගේ ඉංග්‍රීසි ස්වාධ්‍යයනය’ නම් පොත් ද ඔහු ළඟ විය. ඔහුගෙන් ලබාගත් එම පොත ද මම කියවා ඇත්තෙමි.

විමල් අභයසුන්දර තරුණයාට ඩබ්ල්යු. ඒ. සිල්වා ශූරීන් හඳුනා ගැනීමට ලැබෙන්නේ ‘දෛවයෝගය’ ජ්‍යෙෂ්ඨ විභාගයට නියම කොට තිබූ අවධියේදීය. එම පොතේ සෝදුපත් බැලීමේ වරප්‍රසාදය තමා සතු වූයේ ඔහුගේ ම භාග්‍යයකට බව ඔහු විශ්වාස කරයි. ඒ පොතේ පමණක් නොව සිල්වා මහතාණන්ගේ තවත් පොත් කිහිපයකම සෝදුපත් බැලීමේ අවස්ථාව ද අභයසුන්දරයන්ට සතුව ඇත. මේ දුර්ලභ අවස්ථාව ඔහු කරා පැමිණ ඇත්තේ ‘පෙරමුණ’ පුවත්පතේ සහකාර සංස්කාරක වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ය‍. මෙයට තවත් හේතුවකව ඇත්තේ එකල සිල්වා ශූරීන්ගේ සියලුම නවකථා මුද්‍රිතව ඇත්තේ කොළඹ මරදානේ පෙරමුණ යන්ත්‍රාලයයෙහි වීම ය. ඒ කාලය වරක් විමල් අභයසුන්දරයෝ අපට මෙසේ මතක් කළහ.

“සතියකට වතාවක් සිල්වා මහතාණන් එහි පැමිණෙන්නේ දියතලාවේ සිට ය. එසේ පැමිණි විට ගතවන සෑම මොහොතක් ම ආනන්දයෙන් පිරි උද්දාමයෙන් ඔද වැඩී විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කිරීම මැනැවැයි සිතමි‍. එතුමාණන්ගේ ආශ්‍රය නිසා මා ලැබූ ආභාසය ඇජැරොල වහරකින් ලැබිය හැක්කක් නොවේ.”

සාහිත්‍යධරයකු, කලා විචාරකයකු, පරිසර හිතකාමියකු, ගේය පද රචකයකු මෙන් ම භාෂාන්තර ඥානයෙන් පරිපෝෂිත බුද්ධිමතෙකු වන අභයසුන්දර තමා විසින් ලියන ලද කෘති කිහිපයකට සාහිත්‍ය සම්මාන ලබා ඇත. කාල වර්ණ දේහයකින් යුතු මහා කළු සිංහලයකු මෙන් ප්‍රතාපවත්, උත්තුංග දේහධාරී ඇවිදින විට හා පොතක් කියවන විට, ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ ඇවිදි ගෙන එන විට සුරුට්ටුවක් දල්වා ගෙන සිටි අයුරු එදා එහි යන එන විද්වතුන්ට රසඳුනක් ම වූහ.

අරුමාදුර විමල් ද සිල්වා අභයසුන්දර 1921 සැප්තැම්බර් 17 වැනිදා දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ වැලිතොට වැල්ලබඩ උපත ලැබී ය. කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු තම ලේඛන කෞශල්‍යය දියුණු කර ගැනීමට පියදාස සිරිසේනයන් ගේ උපදේශ සාහිත්‍යයෙන් ද, මුනිදාස කුමාරතුංග පඬිතුමන්ගේ ව්‍යාකරණ සාහිත්‍යයෙන්, හේමපාල මුනිදාසගේ ආක්‍රමණශීලී විඥානවාදී සාහිත්‍යයෙන්, සිය හැකියාව ඔප් නඟාගත් අභයසුන්දරයන් ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ ප්‍රබන්ධ සාහිත්‍යයෙන් ලැබූ මාර්ගෝපදේශකත්වය නව සිංහලයේ හරවත්, ඔදවත්, නිවැරැදි නිදොස් යුගයකට අවශ්‍ය උචිත භාෂා ශෛලියක් නිපදවා ගන්නට පොහොසත් වූ බව ඔහු ලියූ පොත පත දෙස් දෙයි.

ඔහු මුලින් ම පිවිසෙන්නේ පුවත්පත් කලාවට ය. ‘සරසවි සඳරැස’, ‘පෙරමුණ’, ‘ලංකාදීප’, ‘දිනමිණ’ පුවත්පත්වල කර්තෘ මණ්ඩලවල සේවය කොට සිංහල විශ්ව කෝෂයේ සහකාර කර්තෘවරයකු ලෙස කටයුතු කොට පසුව ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදකවරයකු ලෙස බැඳී ගීත නාටක කලාවට අපරිමිත සේවයක් කර ඇත.

අභයසුන්දරයන් තම කුඩා අවධිය ගැන අපට වරක් කියා තිබුණි.

“හතර දෙනෙකුගෙන් යුතු පවුලක එකම පිරිමි දරුවාත් තුන් වැනියාත් මම. මගේ පියා වෙදකමත්, නක්ෂත්‍රයත්, වෙද මන්ත්‍රත් දැන හිටියා. පංචාංග ලිත් හැදූ අහුංගල්ලේ පරපුරට අයත් පරපුරකින් පැවත එන තාත්තාගේ ආභාසය මටත් ලැබුණා. මගේ අම්මට අකුරු බැහැ. ඇඟිලි අත්සන තැබුවේ. ඒ කාලේ කාන්තා පක්ෂයට අකුරු කරවීමට වැඩිහිටියෝ උනන්දු වී නැතිලු. පුංචි කාලේ මම කවියට ආදරය කළා. අටවැනි පන්තියේ ඉගෙනුම ලැබූ අක්කා ‘උම්මග්ග ජාතකය’ පොත කියවන විට කුඩා පන්තියක සිටි මට වරෙක සිනාසුණා. තවත් වරෙක ඇඬුවා. එතරම් රසයක් අවුරුදු 15ක ළමයෙක් හැටියට මම ලැබුවෙ. ආනන්ද රාජකරුණා කවියාගේ කවි කියවීමෙන් මගේ කවිත්වය ඔප වුණා. මගේ සමකාලීන කවියෙකු වූ විමලේන්ද්‍ර වතුරේගමගේ කවි කියවීමෙන් ලැබූ ‍උත්තේජනයෙන් මගේ මුල් ම කවි පොත ‘විමලසාර ගුණ සමර’ කාව්‍ය ලිව්වා. දෙවනුව ‘රත්නමාලි වංස කාව්‍ය’ ලිව්වා.

විමල් අභයසුන්දරයන් 1944 දී ‘දුක්මුසු’ කාව්‍යයක්, ‘සිරිමලී’ කෙටිකතා පළ කළ අතර ඔහුගේ උසස් ම කාව්‍යය ‘නිෂාදි’ කාව්‍යය බව විචාරකයෝ පවසති. ‘නිෂාදි’ නම් විචාර ගීත හා ගීත නාටක ග්‍රන්ථය 1959 වර්ෂයේ දී වර්ෂයේ උසස් ම කාව්‍ය ග්‍රන්ථයට පිරිනැමෙන රාජ්‍ය සම්මානය හිමි වූ පළමු වැනි කවි පොත විය. මේ කෘතිය ගැන (සරසවිය 1966.06.26) පත්‍රයට විමල් අභයසුන්දරයන් ගැන ‘වැඩපළට කඩිසරයි, ලියන දේ හරබරයි’ මැයෙන් විශේෂාංගයක් ලියමින් පියසේන රතුවිතානයන් මෙසේ පවසා තිබුණි.

“කෝට්ටේ හරහා ගලා බස්නා දියවන්නා ඔය තමාගේ කවිත්වය පණ ගැන්වූ සුන්දරතම වස්තුවක් බව අභයසුන්දර කියයි. ‍ඉගෙනීම පතා ගමින් අගනුවරට පැමිණි කුඩා අවදියේ සිටම දියවන්නාඔයට ඇලුම් කළ මොහු ඒ අසබඩ ජීවත්වීම පිළිබඳව සිහින මවන්නට විය. තමා සිතූ පැතූදේ එලෙසින් ම ඉටුවීමේ දුර්ලභ වාසනා මහිමය විමල්ට පිටු නොපෑවේය. ඔහු දෛවයේ ආශිර්වාදය අනුව සිය යොවුන් වියේදීම දියවන්නා ඔයට නුදුරු රසවත් වට පිටාවක සිය නිවහන ඉදි කර ගත්තේ ය. විමල් අභයසුන්දර කවියා ජීවත්වන්නේ දියවන්නා ඔය අසල කවි සිතුවිලි මවමිනි. දියවන්නා ඔය රැලි නඟමින් නිවී සැනසිල්ලේ ගලා බසී. විමල් අභයසුන්දර කවියාගේ කවි සිතිවිලිත් එසේ රස මවමින් නිවී සැනසිල්ලේ ගලයි. දියවන්නා ඔය බඩ මනෝමය කවි ලෝකයක් තුළදී විමල් ගේ මනසේ පිළිබඳ ගන්නා රසාලිප්ත කවි සංකල්පනා කොළඹ යුගයේ කවි කෙත සරු කළේ ය. සරු කරන්නේ ය. ඔහු ලියූ කවිවල රසය වියත් පාඨකයා අදත් උරා ගන්නේ දැඩි කැමැත්තකිනි.”

විමල් අභයසුන්දරයන් සමඟ යුග දිවියට පත් ව‍ූයේ බොරැල්ලේ කල්‍යාණි අබේසිංහ මෙණෙවිය රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ සිසුවියක ලෙස කවි කීමෙහි ද, විරිදු කීමෙහි ද, ගීත ගායනයෙහි ද එකසේ කුසලතාව දැක්වූ ඇය බොරැල්ලේ කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමයේ බී.ජේ.එෆ්. ඉරු දින දහම් පාසලේ පැවැති විවිධ විරිත් වලින් ගායනා කිරීමේ තරගයකදී (විරිත් හතරකින් පද්‍ය ගායනා කොට සමස්ත ලංකා තරගයකින්) මුල් තැන දිනා ගත්තා ය. 1952 දී මහාචාර්ය රතන් ජංකර් විසින් පවත්වන ලද ගුවන් විදුලි ශිල්පීන් ශ්‍රේණි ගත කිරීමේ පරීක්ෂණයෙන් ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක ව‍ූ කල්‍යාණිය එදා රජයේ ලලිත කලායතනයේ සංගීත විද්‍යාලයට බැඳී එස්රාජ්ය හා වයලීනය වාදනය ඉගෙන ගැනීමට ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උත්තර භාරතීය සංගීත හැදෑරුවා ය. ඇගේ ගුරුවරුන්ව ඇත්තේ මහාචාර්ය රතන් ජංකර් හා මහාචාර්ය ජී.එන්. නාතු ය. කෙටිකතා රචිකාවක ද කල්‍යාණි ‘උද්‍යාන යාත්‍රා’ නම් කෘතියේ ද කතුවරියයි.

විමල් අභයසුන්දරයන්ගේ ග්‍රන්ථකරණයෙහි මුදුන් මල්කඩ වූයේ ‘සංගීත සංහිතා’ (1958) නම් මහා ග්‍රන්ථයයි. පිටු 1185කින් පිරි මේ කෘතිය භාරතීය සංගීතයේ කතා පුවත වටා ගෙතුණු මෙබඳු ගතක් සිංහලයෙන් පළ වූ පළමු වැනි වාරය මෙය ලෙස විචාරකයෝ පිළිගනිති. භාරතීය සම්භාව්‍ය සංගීතයේ සිංහල ගුරු පොතක් බවට පත් වූ මේ කෘතිය සිංහල භාෂාවෙන් සකස් කරන ලද ලලිත කලා විශ්වකෝෂයක් බඳු බවත් රාගධාරී සංගීතය අධ්‍යයනය කරන නවීනයන්ට මෙන් ම ප්‍රවීණයන්ට ද නිවැරැදි මඟ පෙන්වන කෘතියක් බව සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා පවසා තිබුණි. මේ කෘතිය ගැන අභයසුන්දර මහතා වරක් මට මෙසේ කියා තිබුණි.

“මා ලියූ පොත් අතරින් වැඩි කාලයක් ගත කොට ලියූ පර්යේෂණ ග්‍රන්ථය ‘සංගීත සංහිතා’. මේ අරන් ගුණසේන සමාගමට ගිය ගමන මට අදත් මතකයි. මේ පොත භාරගෙන මුද්‍රණයට යවා එහි මුද්‍රිත මුල් පිටපත අතට ගත්ත ඇම්.ඩී. සිරිසේන මහතා එම පොත මා අත තබා කවට කමට මෙහෙම කිව්වා.

“මේ පොත තව අවුරුදු විස්සකින්වත් විකුණලා අහවර කරගන්න ලැබුණොත් ඇති”

සිරිසේන මහතාගේ අනාවැකිය කෙසේ වෙතත් ප්‍රථම මුද්‍රණය ඉක්මනින් අවසන් වුණා. එහි දෙවන මුද්‍රණය දේශබන්ධු එස්. ගොඩගේ මහතාගේ අනුග්‍රහයෙන් මුද්‍රණය වුණා.”

අද එම ග්‍රන්ථය මුද්‍රණ කිහිපයක් නිකුත් වී ඇත.

අභයසුන්දර මහතා ලියූ ග්‍රන්ථ අතර ‘වන පස මලින් පුද’ (බෞද්ධ කාව්‍ය විචාර හා නිබන්ධන); ‘බණ්ඩාරනායක චරිතාපදාන කාව්‍යය’ (පද්‍ය); ‘යුග යුග බැඳි හදවත’ (පද්‍ය); ‘ප්‍රබුද්ධ ශක්තිය’ (ගද්‍ය); ‘නව බග සඳ’ (පද්‍ය); ‘ගම්මානේ මල් පිපිලා’ (ගීත නාටකය); තුන් සේසත් රටා” (පද්‍ය); මිණිහිරිය (නවකතා) ‘ම උපත අකුර සහ අම්මා (පද්‍ය); ‘සුර මුරලිය’ (ගී පද මාලා) ‘ආනන්ද සම්ප්‍රවේදනය (කාව්‍ය හා පද්‍ය රචනා); ‘බෝධි’ (ගද්‍ය); ‘ගිනි අව්ව පිනි ඇල්ල’ (පද්‍ය); ‘ජන රජ සිතුමිණ’ (පද්‍ය); ‘රුප්පාවේ මී පොද වැහි’ (ගීත); ‘මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද චරිතාපදානය (ගද්‍ය); ‘සුදු වැලි තලාවේ ගුම් නැගෙන සෙල් ගී’ (පද්‍ය); ‘ලංකාධීශ රාවණායනය සහිත ගීත නාටක නිර්මාණ’; රාධා මාධව ඇතුළු සංගීත ප්‍රණිතාංග’; ‘දෙනුවන’ (පද්‍ය) ආදිම යුගයෙහි බෞද්ධ කාන්තාවෝ (ගද්‍ය); ආදී ග්‍රන්ථ කැපී පෙනෙයි. මේ අතරින් ‘යුග යුග බැදි හදවත’ (1975 - හොඳම කාව්‍ය) ‘ප්‍රබුද්ධ ශක්තිය’ (1979 - විවිධ විෂයයන් යටතේ ලියූ ග්‍රන්ථය) ‘නව බග සඳ’ (1980 - හොඳම කාව්‍ය) සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ අභයසුන්දරයෝ 1971 – 1972 බණ්ඩාරනායක චරිතාපදාන කාව්‍යය ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හොඳම චරිතාපදානය හා හොඳම චරිතාපදාන කාව්‍ය ලෙස ද සම්මාන ලැබූහ. ඔහු චරිතාපදාන ලිවීමේ විශාරදයා ඔහු ලෙස කැපී පෙනුණේ මේ කාලයේ ය.

“චරිත කතා, වීරකතා කියවීමට මම බෙහෙවින් කැමැතියි. පුවත්පත් කලාවේදි‍යකු ලෙස සිංහල ජාතික වීරයන් ගැන විශේෂාංග ලිවීමෙන් ද මා තුළ චරිත කථා ලිවීමේ ආශාව වර්ධනය වුණා. හිටපු ජනාධිපති රණසිංහ මහතා සංස්කරණය කළ ‘ස්වදේශය’ නම් සඟරාවේ සාගර පළන්සූරිය කවියා ලියූ ‘අපේ ඇත්තන්ගේ විත්ති’ නම් විශේෂාංගයත්, ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට ‘රසික’ නමින් ඩේවිඩ් කරුණාරත්නත් ලියූ වීර චරිතාපදානත් මට චරිත කථා ලිවීමට බෙහෙවින් බලපෑවා. ඒ වගේ ම මහාවංශය, කියවීමෙන් හඳුනාගත් වීර චරිතත්, එළු අත්තනගලු වංශයේ චරිතය කියවීමෙන් මේ ආශාව තව තවත් ප්‍රාණවත් වුණා.”

අභයසුන්දර මහතා මේ අදහස් අපට පැවසුවේ ‘නවයුගය’ පුවත්පතේ ‘චරිත හමුව’ විශේෂාංගය සඳහා මා හමු වූ 1980 වසරේදීය. ඔහු තමා ලියූ ‘සංගීත සංහිතා’ හා ‘නිෂාදි’ කෘති දෙකේ පිළිගැන්වීම ගැන මෙසේ පවසා තිබුණි.

“මගේ ‘නිෂාදි’ කෘතියට මම ඒ නම යෙදුවේ සප්ත ස්වරයෙන් ‘නි’ ස්වයට අනුකූලව ‘නිෂාදය’ නිසා. ඒ පොත මා පිළිගැන්වූයේ ප්‍රණීත් නිෂාද් අභයසුන්දර නම් මගේ කුලුඳුල් පුතුණුවන්ටයි. ලොකු පුතාගේ මැද නමත් නිෂාද්. අපේ දරුවන්ගේ අම්මා (මගේ පෙම්බර බිරිය) කල්‍යාණි භාරතයෙන් සංගීතය උගත් කෙනෙක්. ඒ නිසා මගේ සංගීතයට ඇති ආදරයත් ළෙන්ගතුකමත් ඊට හේතුවන්ට ඇති. මා 1963 දී ලියූ ‘සංගීත සංහිතා’ එදා මම පිළිගැන්වූයේ කල්‍යාණිට.

“මේ ගත කවරක උදෙසා ලියැවිණි ද? ඇයට... කල්‍යාණීට.”

1998 මැයි මස 11 වැනිදා කල්‍යාණිය අවසන් වරට දෑස් පියා ගත්තේ රූපවාහිනියේ උදෑසන ධර්මදේශනාවට සවන් දෙමින් සිටියදීය. ඇගේ සැමියා ‘රාධා මාධාව’, ‘සංගීත ප්‍රණීතාංග’ එකතුව 1999 පිළිගන්වා ඇත්තේද කල්‍යාණිගේ නාමයට ය.

විමල් අභයසුන්දරයන් තම බිරිය කල්‍යාණිය ගැන ‘වෙසක් තුන් සඳක් බැස ගෙන යද්දී’ මැයෙන් 2001 වසරේ ලියූ ඇයගේ වියෝවෙන් වසර තුනක් ගතවෙද්දී ලියූ සංකල්පනාවකි මේ.

වෙසක් තුන් සඳක් බැසගෙන යද්දී ඔබ ගීත කෝකිලාවක් යැයි ඇතැමෙක් කියති. මට පෙනෙන්නේ ඔබ එම උපමාව ඉක්මවා ගිය බවකි. ඔබගේ මිහිරි පියෙවි කටහඬ පද්‍යයේ අර්ථය ගීයේ මිහිර අගයමින් ග‍ීත රචනාවට පණ දුන් බවයි. ඒ මිහිර ‍රැගෙන මන්දාකිණි ඉවුර ළඟින් යළිත් මගේ සංගීත ආශ්‍රමයට එන්න.

ඔබ විරිතට රිද්මයට තාලයට හා ලයට අනුව ගැයුමක් කරන විට සිද්ධාංගනාවෝ වීණා වාදනය කරති. රෑ මනමාලි මල් සුවඳින් ගෙදර පිරී යයි. මැදියම් රැයේ ඒ මල් සුවඳේ ඉව ඔස්සේ දොර කවුළු ඇරෙන්නේ ය. මෙම පරිසරයෙහි ඔබ දකින්නට නැත. ඇත්තේ පාළුව හා තනිකම පමණකි.

අධිමානයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සිත්වල අසහනය නිවන්නට ඔබ මෛත්‍රී කෙළේ ය. ඔබගේ අර්ථවත් සාරධර්ම නමැති කීර්ති පුෂ්පය ගීත ක්ෂේත්‍රයන්හි හැමදාම සුවඳවත් වන්නේ ය.

දන්දීම සියලු කෙලෙස් නැසීමට මුල ය. දානය සාදයක් හෝ සැණකෙළියක් වීම බුදුදහම අනුමත නොකරයි. ඒ සැබෑ දර්ශනය සැමදාම අපි ඇදහුවෙමු.

වෙසක් පුන් පොහෝ දිනවල වසර තුනක් සඳ බැස යයි. හදවත අඬයි. දුක් කඳුළෙන් පැටලී යයි. සරසවියගේ වරම් ලත් සිප් හලක් මෙන් බැබළුණු නිවෙසේ මිණි පහන කෝ? අද ඔබ කොතැනක සිටී ද?

- විමල් අභයසුන්දර

ජීවිතයේ සැඳෑ සමයේදී අභයසුන්දරයන් ‘මැනස’ හා ‘කොන්කරින් හාට්ස්’ (Conquering Hearts) නම් ග්‍රන්ථ රචනා ‍කළේය. කලාකීර්ති, කවිපති, පණ්ඩිත විමල් අභයසුන්දර සූරීන්ට ‘මහා කවි’ ගෞරව සම්මානය 2006 දී අගනුවර තරුණ කවි සමාජයෙන් පිරිනැමිණි. එතුමන් රචනා කළ ගීත රැස අතුරින් වසන්තා සන්දනායක ගැයූ ‘දොළ ළඟ ගුරු පාර දිගේ’ ධර්මරාජ නමාමී මා’ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් ගැයූ ‘ස්වස්ති ශ්‍රී සෞභාග්‍ය සුපූරිත’ මහාචාර්ය සනත් නන්දසිරි ගැයූ ‘අලුත් ඉරක් පායා නව ලොකේ’ ගීත කැපී පෙනෙයි.

විමල් අභයසුන්දරයන්ගේ වැඩිමහල් පුත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ද ගීත රචකයකු, කවියකු, ගත්කරුවකු ලෙස ප්‍රකටය. ඔහු ලියූ ‘බරණැස් නම් නුවර’ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2005 දී හිමි විය. ආචාර්ය ප්‍රණීත් තම පියා ගැන අපට මෙසේ කියා තිබුණි.

“අකම්ප්‍යමාන ගුණය මනාව පෙන්වන කෙනෙක් මගේ පියා. ස්වෝත්සාහයෙන් ඉගෙන ගත් කෙනෙක්. ඔහුගේ පැවැත්ම හොඳයි. ඒ නිසා මෙපමණ කලක් ජීවත් වුණේ මත්පැන්වලින් තොර යහපත් ජීවිතයක් ගත කළ නිසා අපට ලොකු නිදහසක් දුන්නා. බලපෑම් කළේ නැහැ. වැඩිය කතා නොකරන හිනා නොවන කල්පනාකාරීව සිටින කෙනෙක්. අපි නින්දට යන විට ලියන්නට කියවන්නට පටන් ගන්නා අප පියා පාසල් යාමට උදේ අවදිවන විටත් වැඩ කරනු අප දැක තිබෙනවා. එතුමාගේ ස්මරණ ශක්තිය ගැන පුදුම හිතෙනවා.”

විමල් අභයසුන්දර මහා කවියා 2008 ජූනි 12 වැනිදා අභාවප්‍රාප්ත විය. විමල් හා කල්‍යාණි යුවළ පුතුන් තිදෙනෙකුගේ හා එකම දුවකගේ ආදරණීය මවුපිය යුවළක් වූහ. ප්‍රණීත්, අර්ජුන සහ පුලස්ති පුත්තු ය. එකම දුව සුභානි පවුලේ බාලයාය. සුභානි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිනියකි.‍

කොළඹ ආනන්ද විද්‍යාලයේ (1969) බුදු මැදුර විවෘත කළ දා ආනන්ද ශිෂ්‍යයන් ගැයූ විමල් අභයසුන්දරයන් විසින් රචිත මේ ගීතය අද ආනන්දයට අභිමානයක් දෙමින් සෑම සිසුවකුගේ ම මුවින් ගැයෙයි. මතු මතුවට, කල්ප කාලයක් ඒ ගීය පවතිනු ඇති. මේ ගීතයේ සංග‍ීත නිර්මාණය කළේ එදා ආනන්දයේ පෙරදිග සංගීත ආචාර්යවරයාව සිටි විශාරද අනිල් මිහිරිපැන්න ය. ඒ ගීතය අභයසුන්දරයන්ට උපහාර පිණිස පළ කරමු.

“ආනන්දයි, ආනන්දයි

ආනන්දේ අද ආනන්දයි

සම්මා සම්බුදු සුගත තථාගත

සම්බුදු පිළිමය බෙියසදී

කෙ‍ෙලසුන් දුරු වී අත් යුග හිස දී

ආනන්දයි... ආනන්දයි

සිල්ගත් තනි සුදු නෙළුම් කුසුම් ලෙස

පැහැදී පිබිදී පිරිසිදු වී

මුනිඳුන් නමඳිමු අත් යුග හිස දී

ආනන්දයි... ආනන්දයි

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

 

Comments