නූතන කවීන්ගේ ප්‍රධාන ගැට­ලුව උරු­මය අම­තක කර අනු­කා­ර­ක­වාදී වීමයි : ආචාර්ය ගුණ­දාස අම­ර­සේ­කර | සිළුමිණ

නූතන කවීන්ගේ ප්‍රධාන ගැට­ලුව උරු­මය අම­තක කර අනු­කා­ර­ක­වාදී වීමයි : ආචාර්ය ගුණ­දාස අම­ර­සේ­කර

ගුණදාස අමරසේකරයෝ මෙරට සිටින ප්‍රමුඛ පෙළේ සාහිත්‍යධරයෙකි. 1929 උපන් අමරසේකරයන් මේ වන විට සියවස් දෙකක සාහිත්‍ය ක්‍රියාකාරකම්, මතවාද, ප්‍රතිවාද සියැසින් දුටුවෙකි. 1948 වසරේදී ඔහු නිර්මාණ සාහිත්‍යකරණයට එළැඹෙන්නේ ‘සිළුමිණ’ පුවත්පතට කවි ලියමිනි. එනයින් බලන කල සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය අමරසේකරයන් වන් සාහිත්‍යධරයකු බිහිකිරීමේ මූලික අඩිතාලම දැමීම සොම්නසට කරුණකි. තමා ලියූ පළමු නවකතාවෙන් ම සම්මානයට පාත්‍ර වන හේ වත්මන වන විට සාහිත්‍ය ලෝකයේ ගෞරවනීය නමක් දිනාගත් කෘතහස්ත ලේඛකයෙකි; විචාරකයෙකි; කවියෙකි; ශාස්ත්‍රීය පර්යේෂකයෙකි. මෙවර පුන්කලස සංලාපයට එක්වන ඔහු නිර්මාණ සාහිත්‍යය බංකොළොත්වී ඇති බවත්, ඒ සඳහා බලපෑම් කළ හේතු කාරණා පිළිබඳවත් සනිදර්ශිත විග්‍රහයක යෙදේ.

 

නවකතාකරණය ඇතුළු සමස්ත නිර්මාණ සාහිත්‍යය ම යම් ආකාරයක පසුගාමී තත්ත්වයකට ඇද වැටී ඇති බවට චෝදනාවක් සමාජයෙන් නැඟෙනවා.

නැතිවෙලා යන ජාතියකට අවශ්‍ය, සුදුසු සාහිත්‍යයක් තමයි මට නම් පේන විදියට තියෙන්නේ. මේ රටේ ඉන්න අඥාන පිරිසකට සුදුසු, අඥානයන් විසින් බිහිකරපු සාහිත්‍යයක් තමයි දැන් තිබෙන්නේ. දැන් මිනිස්සු කෑම බීම ගැන විතරයිනෙ හිතන්නේ. හොඳ සාහිත්‍යයක් බිහිවෙන්න නම් ප්‍රඥාවන්ත පිරිසක් ඉන්න ඕන. මේකට මහ විශාල පිරිසක් ඕන නෑ. ටික දෙනෙක් හරි ප්‍රඥාවන්තයන් හිටිය නම් ඇති. මේකෙන් ගොඩ එන්න නම් මේ ගැන අවබෝධයක් තියෙන ප්‍රබුද්ධ සාහිත්‍යකරුවන්ට මේ තත්ත්වය වළක්වන්න කටයුතු කරන්න පුළුවන්. සාහිත්‍යයට විතරක් ඒක කරන්න බැහැ.

රටේ බුද්ධිමතුන් විසින් ඇති කරනු ලබන ප්‍රබුද්ධ සාහිත්‍ය මණ්ඩපයක් ඇති විය යුතුයි. අපේ රටේ 40 දශකයෙන් පසුව එහෙම දෙයක් ඇතිවෙලා නැහැ. මගේ ‘අබුද්දස්ස යුගයක්’ කියන කෘතියෙන් පෙන්වා දෙන්නෙත් මේ කරුණයි. අද කරන්නේ ඉල්ලන දේ දීමයි.

 

ඉල්ලන දේම ද දෙන්නෙ කියලා මට ගැටලුවක් තිබෙනවා. පාඨකයන්, රසිකයන් ඉල්ලනවා යැයි සිතා හරසුන් දේ මාධ්‍ය මඟින් ලබා දෙන බවකුත් පෙනෙනවා. ඉඳහිට හෝ කෙරෙන විදග්ධ මාධ්‍ය භාවිතයන්හි දී ජනතාව පෙළගැසෙන අයුරු මීට උදාහරණයක්.

ඔව්. මේ පැති දෙක ම තිබෙනවා. හොඳ දේ නිපදවන්නෙත් නෑ. නිපදවුණු හොඳ දේ මාධ්‍ය මඟින් සමාජයට ලබා දෙන්නෙත් නෑ. හරවත් නවකතාවක් ලිව්වා යැයි සිතමු. ඒ පිළිබඳ කිසිම සාකච්ඡාවක් ගොඩනැ‍ඟෙන්නේ නැහැ. අද විචාරයක් කියලා තියෙන්නේ පත්තර විචාරය විතරයි. ඒකත් නියම පරිදි කෙරෙන්නේ නැහැ.

මේ තත්ත්වයට පේරාදෙණි සාහිත්‍යයත් වගකියන්න ඕන. පේරාදෙණි සාහිත්‍යයේ ආකෘතිකමය වශයෙන් මිසක් අන්තර්ගතමය වශයෙන් වටිනාකමක් තිබුණේ නැහැ. ඔවුන්ට කලාත්මක පක්ෂය ගැන අවබෝධයක් තිබුණට මොකද මේ රටේ, සමාජයේ ස්වභාවය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. සමාජයෙන් වියෝ වෙච්ච පුද්ගලයන් විසින් බිහිකරන ලද එක්ටැම් සාහිත්‍යයක් තමයි තිබුණේ. ඒ ප්‍රවණතාව තාමත් දිගින් දිගටම යනවා.

වික්‍රමසිංහයන් යථාර්ථවාදී රීතිය මෙරටට හඳුන්වාදෙන විට පේරාදෙණි සාහිත්‍යය ඔස්සේ බිහිවුණේ හුදු අලංකාරවාදී හා කලාත්මක පාර්ශ්වය පමණක් සහිත නවකතා බවක් ද ඔබ පවසන්නේ?

ඒවාට කලාත්මක කියලා කියන්නත් බැහැ. මතුපිට කලාත්මක ස්වභාවයක් පමණයි ඒවායේ තිබුණේ. ස්වභාචෝක්ති නවකතා ආරක් තමයි බිහි වුණේ. සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා ගත්තහම ඒවා හොඳ සුන්දර ගද්‍ය කාව්‍ය විතරයි. නවකතාමය වශයෙන් දුර්වලයි. ඇත්ත වශයෙන්ම ඒවා නවකතා කියලා කියන්නත් බෑ.

 

චරිත තුනක්, අක්කර පහ වගේ කෘති මේ ගණයට ගැනෙන්නේ නැතිවුණත් ඒවා පිළිබඳ අවශ්‍ය තරම් කතාබහක් ඇති නොවුණා දැයි සිතනවා.

ඒක ඇත්ත. ජයතිලක, මඩවල තමන් දන්න ගම් පිළිබඳ කිසියම් අර්ථ නිරූපණයක් කරන්න උත්සාහ කළා. විශේෂයෙන් ජයතිලකට ඒ ගැන අවබෝධයක් තිබුණා. ඔහු හරවත් යමක් කරන්න උත්සාහ කළා. දැන් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. පසුගිය කාලේ සම්මාන දීලා උස්සලා තියපු නවකතා අරන් බැලුවොත්මේවා නිකම්ම නිකන් පල්හෑලි නේ. මේවත් එක්තරා අන්දමකට අර පේරාදෙණි සාහිත්‍යයේ ම දිගුවක්. සමහර වේලාවට හිස්කම වහගන්න බටහිරින් ගත්ත කෑලි එල්ලනවා.

 

සමාජ ඓතිහාසික නවකතා යැයි නම් කරමින් අද බොහෝ ලේඛක ලේඛිකාවන් නවකතා රචනා කරනවා. එදිරිවීර සරච්චන්ද්‍රයනුත් පවසන්නේ පාඨක විශ්වාසනීයත්වය, රැකගැනීමට මෙවැනි නවකතා ඉවහල් වන බවයි.

ඒ මතය සාවද්‍ය වුවත් නවකතාවකට සමාජ ඓතිහාසික චිත්‍රය වැදගත් වෙනවා. නවකතාවක මානුෂික කතාව ගොඩනඟන්නේ ඒ අනුවයි. නවකතාවෙන් කියන දේ වගේම එහි දර්ශනය වැටහෙන්නේත් එතකොට. උදාහරණයක් විදියට වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළියේ’ මානුෂික කතන්දරය වන චරිතවල භාවලෝකය ඔහු විග්‍රහ කර ගොඩනඟන්නේ ඓතිහාසික කතන්දරයේ පසුබිම මතින්, බොහෝ කෘති ඓතිහාසික වේශයෙන් ව්‍යාජ සළුපිළි අන්දවා කරන ලද ඒවායි. මේවා අවුරුදු 35ක් 40ක් තිස්සේ සිට පේරාදෙණි නවකතාවලින් පසු ඇතිවූ ඒවා යැයි සිතිය හැකියි. මෙය වඩාත් කැපී පෙනෙන සේ කළේ ජී.බී. සේනානායකයි. ඔහුගේ චාරුමුඛ, වරදත්ත වගේ කෘති ව්‍යාජ සළුපිළි ඇන්දවූ මනඃකල්පිත සමාජ ඓතිහාසික කතන්දර.

 

සමාජ ඓතිහාසික සන්දර්භයක් මත මායායථාර්ථවාදී ප්‍රවේශයකින් පැහැදිලි ව වෙනස් මඟක සිය නවකතාකරණය පිහිටුවූ ලේඛකයකු ලෙස බොහෝ විචාරකයන් සයිමන් නවගත්තේගම හඳුන්වනවා.

ව්‍යාජ සළු පිළි අන්දවා මනඃකල්පිත නවකතා නිර්මාණය හොඳින් ම ප්‍රගුණ කළේ ඔබ සඳහන් කළ ලේඛකයායි. ඔහුගේ සංසාර ආරණ්‍ය අසබඩ, සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා, සාපේක්ෂනී වගේ නවකතා එක්තරා මනෝ විකාරයක්, මනඃකල්පිතයක් පාඨකයා වෙත ගෙන ආවා. මේ කෘති ඇතුළට වරින් වර ඔහු සමාජ, ඓතිහාසික, ආගමික, දාර්ශනික කොටස් ඔබ්බනවා. ව්‍යාජ සළුපිළි අන්දවා සමාජය වෙත වෙන ම අගයකින් පෙනෙන සේ ඒවා ඉදිරිපත් කළා.

 

ඔබේ නිර්මාණකරණ ප්‍රවේශයේ දී ජීවිතය පිළිබඳ සියුම් නිරීක්ෂණයකින් යුතු ව ඊට පිළිපන් බව පෙනෙනවා. අවට ජීවිතය මුළුමනින් ම උකහා ගැනීමේ දෘඪතර වුවමනාවක් තිබීම නිර්මාණාත්මක නවකතාකරණයකට කොතෙක් බලපෑම් කරනවද?

ඇත්ත වශයෙන් නවකතාකාරයෙක් නම් ඔහු තමා අවට සමාජය හා අත්‍යන්තයෙන් ම බැඳී සිටිය යුතු වෙනවා. සමාජය සමඟ දැඩි ලෙස බැඳී, සමාජ ගැටලු පිළිබඳ දැඩි අවධානයෙන් යුතු ව සිටීම නවකතාකරුවකුට අත්‍යවශයි. රුසියාව වගේ රටක නවකතාව අරගෙන බැලුවොත් ඒ රටේ සමාජ දේශපාලන ප්‍රවාහයත් එක්ක නවකතාව මුළුමනින් ම බැඳී තිබෙනවා. ලෙනින්, තොල්ස්තෝයි ගැන කිව්වේ, “තොල්ස්තෝයි කියන්නේ විප්ලවයේ කැඩපතක්” කියලා. සමාජය පිළිබඳ හැකිතාක් ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි නවකතාකරණයේ සුවිශේෂීම නියමය.

කාව්‍ය ක්ෂේත්‍රය ගත්තොත් විවිධ අත්හදා බැලීම් ලේසියෙන් ම එහි කළ හැකියි. වර්තමාන නවකතා ක්ෂේත්‍රය ගත්තොත් එහි තිබෙන ප්‍රබලතම දුර්වලකම තමයි මේ රටේ සමාජයේ ගැටලු පිළිබඳ පිළිබිඹුවක්, කැඩපතක් නොවීම.

මගේ නොසෙවුනා කැඩපත’ කෘතියෙන් මම මේ ගැන සාකච්ඡා කළා. ඒ කැඩපත ප්‍රබුද්ධ ජනතාව විසින් සේවනය කළ යුතුයි. ඒ තත්ත්වය අද නැහැ. ඒ වගේම කැඩපත විසින් ඒ අවශ්‍ය පිළිබිඹුව සපයන්නේ නෑ. මේ පැති දෙක ම තියෙනවා. මේ කරුණු දෙක ම එකට ගොඩනැඟිය යුතු කරුණු. ජනතාව ප්‍රබුද්ධ නම් නවකතාවත් ප්‍රබුද්ධ වෙනවා; ඒවගේ ම නවකතාව ප්‍රබුද්ධ නම් ජනතාවත් ප්‍රබුද්ධ වෙනවා. මේ කරුණු දෙක ම එකට සිදුවිය යුතුයි. නිර්මාණකරුවාට මේ අන්ත දෙක එකතු කිරීමේ අවශ්‍යතාවක් පෙනෙන්න නැහැ. අත්හදාබැලීම් වැදගත් වෙන්නේ ඒ නිසයි.

දොස්තයෙව්ස්කිගේ චෙකොෆ්ගේ, තෝල්ස්තෝයිගේ,‍ ගෝර්කිගේ නවකතා එතරම් ප්‍රබුද්ධ වුණේ ප්‍රබුද්ධ පාඨක සමාජයක් සිටිය නිසයි. රුසියානු සමාජයේ දුප්පත් පොහොසත් පන්ති දෙක අතර විශාල පරතරයක් තිබුණා. ඒත් එහි හිටියා ප්‍රබුද්ධ මධ්‍යම පන්තියක්. අපට ඒ වගේ ප්‍රබුද්ධ මැද පන්තියක් නැහැ. දේශපාලනඥයන්ගේ, බුද්ධිමතුන්ගේ වගකීමක් තමයි ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීම. අද දේශපාලනයට එන්නෙත් රස්තියාදුකාරයො; අඥානයෝ. මේ වගේ සමාජයක අපි කොහොමද ගැඹුරු වින්දනයක් සහිත පිරිසක්, ගැඹුරු සාහිත්‍යකරණයක් බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබ බොහෝවිට මධ්‍යම පන්තිය ගැන කතා කරනවා. ඔබ එහිදී මතු කරන්නේ විදග්ධ සාහිත්‍යයක් හෝ රසවින්දනයක් බිහිවීමට මධ්‍යම පන්තිය බෙහෙවින් බලපාන බවයි. ඒ වගේම සවිඥානක ලෙස සමාජයේ වැඩියෙන්ම දුක් විඳින්නේත් මැද පන්තිය නොවේද?

සාහිත්‍යය විතරක් නොවේ, රටක චින්තනය මෙහෙයවන්නේ මධ්‍යම පන්තියයි. අපි ලියන්නේ ඒ පුද්ගලයන්ට. විදග්ධ ප්‍රඥා සම්පන්න මධ්‍යම පන්තියක් බිහිකරගැනීමේ අවකාශය අපට ලැබිලා නැහැ. සාහිත්‍යකරුවකු විදියට යුතුකමක් තියෙනවා, අර සුළු පිරිසට හරවත් දෙයක් ලබාදෙන්න. පහුගිය කාලයේ මම දිගින් දිගටම ලිව්වේ ප්‍රඥාසම්පන්න ටික දෙනා හරි ගැන හිතලයි.

 

ඔබ ගමින් බිහිවන බුද්ධිමතුන් පිළිබඳ විශාල බලාපො‍රොත්තු තැබූ ලේඛකයෙක්. ගමෙන් බිහිවීම හෝ නගරයෙන් බිහිවීම වැනි කරුණු නිර්මාණයට බලපෑම් කරනවා යැයි ඔබ අදත් හිතනවද?

අද වෙනකොට එහෙම හිතන්න අමාරුයි. නගරයේ තිබෙන හැම කුණු කන්දලක්ම අද ගමට ගිහින්. විශේෂයෙන් 77න් පස්සේ. 56 පෙරළියත් එක්ක අපේ නායකයන්ට හොඳට ම පුළුවන්කම තිබුණා, වුවමනාව තිබුණා නම් හොඳ ප්‍රබුද්ධ පිරිසක් බිහි කරගන්න එහෙම වුණේ නැහැනේ.

අද බොහෝවිට කෙරෙන්නේ බටහිර කෘති අනුකරණය කිරීමක් පෙනෙනවා. ඒක කවදාවත් හරියන්නේ නැහැ. අපේ සම්ප්‍රදාය තමයි අපේ හදවත පෝෂණය කරල තියෙන්නේ. ඒක වර්තමානයට ගැළපෙන අයුරින් සකස් කරගන්න අපට හැකිවෙන්න ඕන. ආනන්ද රාජකරුණා වගේ අය ඒ යුගයේ හිටියා. ඊට පස්සේ කොළඹ කවියෝ හිටියා. ඊළඟට නිසදැස් කවියෝ හිටියා. ආනන්ද රාජකරුණා ව‍ගේ අය පැරණි සාහිත්‍ය හඳුනාගත්තේ කෝට්ටේ යුගයට යෑමක් හැටියට. ඔහුගේ කවි දුටුවාම එය පැහැදිලියි. ඊළඟට කොළඹ යුගය ආවා. කොළඹ යුගයේ අයටත් ඇත්ත වශයෙන් යම්කිසි අනුකරණාත්මක දේ තිබුණා. ඒ වුණාට අඩුවශයෙන් ඒ අයට තිබුණා හතරපද සහ පැරණි සම්ප්‍රදාය එක්ක සම්බන්ධයක්. ඊළඟට නිසදැස් අය ආවා. ඔවුන් සම්පූර්ණයෙන් ම අනුකාරකවාදීන් පිරිසක්. අද කවිය කියලා එකක් ඇත්තේ නැහැ. ජන විඥානයට බැඳුණේ නැතිනම් මිනිස්සු අතරට එන්න බැහැ.

 

මෙය අවසාන වශයෙන් බලපෑම් කළේ විචාරයට. අද අපට තියෙන්නේ අක්මුල් නැති අයාලේ යන විචාර කලාවක්.

අද විචාරයක් කියලා දෙයක් අපට නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර ආදීන්ගෙන් පස්සේ මේ රටේ කිසිම හරවත්, වැදගත් විචාරකයෙක් බිහිවුණේ නැහැ. සම්පූර්ණයෙන් ම බුද්ධිමය පරිහානියක් තියෙන්නේ. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. එකක් විශ්වවිද්‍යාලවල පරිහානිය; අනෙක් කාරණය විවිධ භාෂා ඥානය.

වික්‍රමසිංහලා, සරච්චන්ද්‍රලා ද්විභාෂික උගත්තුනේ. ඒ වගේ අය අද නැහැ. සිංහල, ඉංග්‍රීසි සාහිත්‍ය හදාරපු අය හරිම අඩුයි. ඒ වගේම පොත පත කියවන්නෙත් නැහැ. අවසාන වශයෙන් ඉතුරු වුණේ විමල් දිසානායක වගේ කෙනෙක්. ඔබේ පරම්පරාව හෝ ඊට පෙර පරම්පරාවෙත් කවුරුවත් නැහැ. රටක සාහිත්‍යයක් තියෙන්න නම් කොටස් තුනක් තියෙන්න ඕන. නිර්මාණකරුවෝ, විචාරක‍යෝ, පාඨකයෝ කියන කොටස් තුනම ඉන්න ඕන. නිර්මාණකරුවා හා පාඨකයා එකතුකරන්නේ විචාරකයා. විචාරයක් නැතිවුණාම අනෙක් කොටස් දෙකත් කඩන් වැටෙනවා.

 

ඔබ පැවසුවා විචාරකයා, නිර්මාණකරුවා හා පාඨකයා සම්බන්ධ කරන පාලම කියා. පසුගිය කාලය පුරා දෙන්නන් බැටේ විචාර ක්‍රමවේදයේදී මේ ගුණය පෙනෙන්නට තිබුණේ නැහැ.

මම ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. හරි විචාරයක් නැතිවීම නිසා නිර්මාණකරුවා මැරී යන විදිහ ගැන. පහුගිය කාලයේ කවි ලියපු අයගෙන් ජන්මයෙන් වාසනා ගුණය ලැබූ කිවිඳිය තමයි මොණිකා රුවන්පතිරණ. එයාගේ මුල්යුගයේ හොඳ කවි තිබුණා. පහුවෙන කොට එයා නිකම් ම නිකම් නාස්ති වුණා. ඇත්ත වශයෙන්ම ඒ කවිවල වටිනාකම පිළිබඳ ව හරි විචාරයක් තිබුණා නම් මොණිකාට එහෙම වෙන්නේ නැහැ. නියම විචාරයක් නැතිවුණාම අයාලේ යෑම පුදුමයක් නොවෙයි. එහෙම නැත්නම් නිර්මාණකරණයේ නියුතු කෙනාට ශක්තියක් තියෙන්න ඕන තමාට තමා පහනක් වෙන්න.

ඒ කියන්නේ තමාගේ නිර්මාණවලට තමාම විචාරකයා වෙන්න. ඒ ශක්තිය තියෙන්නේ බො‍හොම ටික දෙනාටයි. කවුරු මොනවා කිව්වත් මගේ ගමන මම යනවා කියලා හිතාගන්න ශක්තිය තියන අය දුර්ලභයි.

නවකතා සම්බන්ධයෙන් වුණත් එහෙමයි. කලින් කලට විවිධ විචාර මතවාද අපේ රටට ආවා.

මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී, පශ්චාත් නූතනවාදී ආදී වශයෙන් මේ විචාර විධික්‍රම ආගන්තුක වචන මාලාවක් භාවිත කරමින් විවිධ මත ඉදිරිපත් කළත් ඒවා මෙරට මුල්බැස ගත්තේ නැහැ.

අදහස්