ගැලවී යා නොහැකි යථා­ර්ථයේ කැට­පත කළු සහ සුදු | සිළුමිණ

ගැලවී යා නොහැකි යථා­ර්ථයේ කැට­පත කළු සහ සුදු

පසුගිය දා ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේ පැවති Shades of Black and White (කළු සහ සුදු ) සමූහ චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා චිත්‍ර කලා ඉතිහාසයේ හරස් කඩකි. එය විශේෂ මුද්‍රාවක් තබන ලද සිතුවම් දැක්මකි. ආචාර්ය මනෝරංජන⁣⁣ මෙහි අභිරක්ෂකයා විය. මේ සඳහා මහාචාර්ය ජගත් වීරසිංහ, මහාචාර්ය සරත් චන්ද්‍රජීව, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය මනෝරංජන හේරත්, ආචාර්ය ප්‍රියන්ත උඩගෙදර, ආදාර්ය දර්ශන ප්‍රසාද්, කිංස්ලි ගුණතිලක, සරත් ගුණසිරි, අනිල් අතපත්තු, ජගත් රවින්ද්‍ර, නෙලුන් හරස්ගම, ප්‍රදීප් චන්ද්‍රසිරි, කෝරලේගෙදර පුෂ්පකුමාර, නිලන්ති වීරසේකර, දිලිනි පෙරේරා, සුජීවා කුමාරී, චමින්ද ගමගේ, සංජීව කුමාර, වජිර ගුණවර්ධන, සුජිත් රත්නායක, ටී.පී.ජී අමරජීව, සංජය සෙනෙවිරත්න, සුදත් අබේසේකර, චමිල ගමගේ, දමිතා ඉද්දමල්ගොඩ, ජේ.සී රත්නායක, සත්සර ඉලංගසිංහ, අනුෂා ගජවීර, ගයාන් ප්‍රගීත්, ජයන්ත පුෂ්පකුමාර, චතුරිකා ජයනි, පුන්කජ් මානව්, සන්තොෂ් ජෙයින්, ලේඛා වෛලොපිල්ලෙයි, හෙම් රාජ්, මොහාන් සිංග් ආදී දෙස් විදෙස් සිතුවම් ශිල්පීන් රාශියක් සම්බන්ධ විය.

ද්විමාණ සිතුවමෙන් ත්‍රිමාණ මූර්තිය කියැවීම

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව

 

මූර්ති හා සිතුවම් ශිල්පියකු ලෙස ආචාර්ය මනෝරංජන හේරත් මේ සඳහා සහභාගි වෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා ඒ අනුව තමයි මා මේ සඳහා සම්බන්ධ වුණේ. බොහෝ සිතුවම් ප්‍රදර්ශනවල අප දකින්නේ වර්ණ සිතුවම්. මීට කලකට ඉහත ඉතාලියේ ෆලොරන්ස් ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයකට මට සහභාගි වෙන්න කියලා මගේ ශිෂ්‍යයෙක් මට ආරාධනාවක් කළා. ඒ ගිය වෙලාවේ මා මයිකල් ආන්ජලෝගේ සිතුවම් හා මූර්ති කළු සුදු හා වර්ණ ලෙස දළ සටහනට නැඟුවා. එහෙම ඇඳපු කළු සිදු සිතුවම් දෙකක් මා මේ ප්‍රදර්ශනය සඳහා ලබා දුන්නා. නූතන ලෝකයේ අද දක්නට තිබෙන හර පද්ධතියට පදනම වැටුනේ පුණරුද සමයේ. එනිසා මා එය නම් කලේ පුණරුද සමයේ වටිනාකම් ග්‍රහණය කර ගැනීම කියලයි. ත්‍රිමාණ මූර්තියක් ද්විමාන තලයට ගේන කොට මයිකල් ආන්ජලෝ මේ මූර්ති ත්‍රිමාණ කළේ කොහොමද කියන එක ඇඟට දැනෙනවා. ඔහු ඒය දැක්කේ කොහොමද, ඊට විවිධ අර්ථ සපයන්න උත්සාහ කළේ කොහොමද ආදී වශයෙන් අපට දැනෙන්න පටන් ගන්නවා. ඒ වෑයම සඳහා කළ කෘති දෙකක් මේ කළු සහ සුදු සිතුවම් දැක්ම සඳහා මා ලබා දුන්නා.

සියලු සීමා ඉක්මවා යා හැකි කළු සහ සුදු

ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

 

හැමෝම වර්ණ චිත්‍රවලින් තම ආත්ම ප්‍රකාශනය ඉදිරිපත් කරන වෙල­ාවක ආචාර්ය මනෝරංජන කළු සහ සුදු වර්ණ යොදාගෙන මේ වගේ දෙයක් කරමු කියලා යෝජනා කළාම මා ඊට කැමැති වුණා. මේක අලුත් අදහසක්. මොකද කළු සහ සුදු වර්ණයන්ට සියලු සීමා ඉක්මවා යන්න පුළුවන් කමක් තියෙන බව පේනවා. ඒ වගේම මෙය ඉදිරියට සංවර්ධනය කර රැගෙන යායුතු තේමාවක් කියලා මා විශ්වාස කරනවා. ඒ සඳහා මනෝරංජනටම මූලිකත්වය ගතහැකියි.

කළු සහ සුදු කිව්වම නිකන්ම වර්ණ දෙකක්ද? ඇතැම් සංස්කෘතීන්ට අනුව මේවා වර්ණ ලෙස සලකන්නේ නැහැ. ඒ වගේම දේශපාලන දාර්ශනිකවත් මේ දිහා බලන්න හැකියාවක් තියෙනවා. ඒ සඳහා තව ගැඹුරට යමින් මේ තේමාව ඔස්සේ වැඩ කරන්න ඕන.

මේ සඳහා ඉන්දියාවේ චිත්‍ර ශිල්පීන් කිහිප දෙනකු, මෙරට ප්‍රවීණයන් වගේම තරුණ නිර්මාණකරුවන් සම්බන්ධ වී තිබුණා. එමඟින් ජෙනරේෂන් කිහිපයක් එකතු කරන්න සමත් වී තිබුණා. ඒ නිසා විශාල පරාසයකට මේ සිතුවම් දැක්ම රැගෙන යන්න මනෝරංජන සමත් වී තිබුණා. මෙය ඉතාම සාධනීය ප්‍රවේශයක් ලෙසයි මා සලකන්නේ.

සසල සිත නිසල කළ කළු සහ සුදු

ආචාර්ය කිංස්ලි ගුණතිලක

 

මේ ප්‍රදර්ශනය දිහා බලන කොට කළු සහ සුදු වර්ණ යොදා ගැනීම නිසාම සමස්ථයම සැලසුම් කරන්න පහසු වී තිබුණා. වර්ණ යොදාගෙන මෙය කළා නම් මිනිස්සුන්ගේ ඇහැ තැන් තැන්වල දුවනවා. මෙය කළු සිදු වීම නිසාම ඒකමිතිකතාවයක් රැඳී තිබුණා. මේ නිසා තමන්ගේ ආත්ම ප්‍රකාශනය කරන්න නිර්මාණ කරුවකු හැටියට බොහෝම නිදහසක් හිමිවී තිබුණා. මේ නිසා ඇතැම් අය තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් මත නිර්මාණ කරණයේ නියැලී තිබුණා. මේ සඳහා චිත්‍රයක් ඉදිරිපත් කරන්න කියපුවාම පෞද්ගලිකව මගේ ඔළුවට ආවේ අප්‍රේල් 12 වෙනිදා සිදු වූ ප්‍රහාරය. 22 වෙනිදා මා මේ සිතුවම අඳින්න පටන් ගත්තා. මෙය දේශපාලනික ප්‍රකාශයක් විදියට තමයි නිර්මාණය වුණේ. මම කළේ කළුපාට කඩදාසියක් හතරට නවල නැවත කළුපාට කඩදාසියක් උඩ ඇලෙව්වා. මා ඒකෙන් කුරුසයක් නිර්මාණය කළා. ඊට පස්සේ ඒ කුරුසය මත පැන්සලෙන් එක් කම්මුලකට ගැසුවොත් අනෙක් කම්මුලද පාන්න. අසල් වැසියාට ප්‍රේම කරන්න, නොදැන කළ වරදට ඔවුන්ට සමාව දුන් මැනව, ... ආදී වශයෙන් බයිබලයේ එන වාක්‍ය කිහිපයක් ලිව්වා. මේ සඳහා ඉන්දීය ජාතික නිර්මාණ කරුවන් වගේම අපේ රටේ ප්‍රවීණයින් සහ තරුණ කලා කරුවන් සම්බන්ධ වී තිබුණා. මෙය ඉතාම හොඳ ප්‍රවණතාවක් ලෙසයි මා දකින්නේ.

ආත්මීය අරගලයක පිළිබිඹුව ‘කළු සහ සුදු’

ටී.පී.ජී අමරජීව

 

අප කිසිවෙකුටත් ගැලවිය නොහැකි ආත්මීය අරගලයක සටහන් මම නිර්මාණය කරමි. විටෙක අතිශය පෞද්ගලික වූවක් වුවද එහෙත් එය සමාජයීය ලෙස ද අප සැමට පළා යා නොහැකි සත්‍යය අතෘප්තකර රූප සටහන්යැයි මම සිතමි.

ආගමික මාවතක් තෝරගන්නවා හැරෙන්නට සමකාලීන සමාජ යථාර්ථයන්ගෙන් ගැලවී යාමට ඔබටත් මටත් හැකියාවක් නැත. ඉතාම කිට්ටු මිත්‍රයාගේ සිට ගෝලීය ධනවාදයේ වෙළෙඳ ක්‍රියාවලිය තෙක් නිරාවරණය වන අපේ ශරීරයෙහි වටිනාම දේ පැහැර ගැනීමට වැඩි කාල අවකාශයක් ගත නොවනු ඇත. තවදුරටත් නිර්වින්දන තත්ත්වයක හෝ ප්‍රතිජීවක ද නොමැති ව එහිම ගොදුරු වීමට ඇත්තේ ඉතා කෙටි කාල පරාසයකි. කළු සහ සුදු යනු එහි දෘෂ්‍ය කැටපතයි

‘කළු සහ සුදු’ ප්‍රභේදය යනු අපේ ජීවිතවල ස්පන්දනයයි

සෞදර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය මනෝරංජන හේරත්

පසුගිය දශක දෙක තුනක පමණ කාලයකට අයත් ශ්‍රී ලංකේය දෘශ්‍ය කලා ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී අපට පැහැදිලි වන්නේ එහි ක්‍රියාකාරිත්වය විවිධ මානයන් ඔස්සේ ගමන් කොට ඇති බවයි. එහිදී තත් විෂය හා සම්බන්ධ වූ කලාකරුවන් සිය ප්‍රකාශනයන් විවිධ දෘෂ්ටි ඔස්සේ හසුරුවා ඇති බව පසක් වේ. ඒ අතර ඔවුන් ජීවත් වූ සමාජ දේශපාලනික හා සංස්කෘතික වටපිටාවට ඔවුන් දැක්වූ ප්‍රතිචාර හා ප්‍රතික්‍රියා කේවල මෙන්ම සාමූහික ප්‍රයත්න ලෙස දෘෂ්‍යකරණය කළ අවස්ථා අපට දැකගත හැකිය. එසේම මීට ප්‍රතිපක්ෂව ස්වාධීන මත දරන කලාශිල්පීන් ද සිය නිර්මාණ ඇසුරින් ප්‍රකාශනයේ යෙදෙමින් ක්‍රියාකාරීව සිටිනු අපට පෙනේ. පොදුවේ බොහෝ දෘශ්‍ය කලාකරුවන් මේ මොහොත දක්වා ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ තම අදහස් මත ය. එසේ නොමැති නම් දෘශ්‍ය කලාකරුවකු ලෙස සමාජගත වීමේ අරමුණ පෙරදැරි කරගෙන ය.

මා ගේ නිරීක්ෂණය අනුව මෙකී විවිධත්වය ‘කළු සහ සුදු’ ලෙස නම් කළා. ඒ අනුව එකම මොහොතක එකම කාල පරාසයක ක්‍රියාකාරී විවිධ දෘශ්‍ය කලාකරුවන් ගේ විවිධ චින්තකයන් ගේ දෘෂ්ටින් අරමුණු මෙන්ම ආවේෂයන් මෙම ප්‍රදර්ශනය තුළින් ඔබ අභිමුවට රැගෙන ආවෙමි. ඒවා ‘කළු සහ සුදු’වර්ණයකට සීමා වූ චිත්‍ර ලෙස දැන් ඔබ දකිනු ඇත.

එකම සමාජයක ජීවත්ව එකම විෂයක අභිවෘද්ධිය වෙනුවෙන් නියැලෙන අප විවිධය; විෂමය. එහෙත් දෘශ්‍යකලාවේ වෘත්තීය ප්‍රගමනය උදෙසා අප සහයෝගිතාවයෙන් කටයුතු කළ යුතුව ඇත. පරස්පර විරෝධී අදහස් දැරුවද මෙම කලාවේ විෂයීය ජීවගුණය උදෙසා අප එකට එකතුවීම, අදහස් හුවමාරු කරගැනීම හා ක්‍රියාකිරී වීම වැදගත් බව මගේ හැඟීමය. එය වඩා නිදහස් මනසක් සහිත කලා ශිල්පියකු ගොඩනැංවීම සඳහා අතිශය වැදගත් බවද සිතමි.

‘කළු සහ සුදු’ ප්‍රභේදය යනු අපගේම ජීවිතවල ස්පන්දනයයි. එය අපගේ වටපිටාව පිළිබඳ අප විසින් සටහන් කොට තබන කළු සුදු මතකයන්ය; සංකල්පනාවන්ය. එවන් වූ බහු විධ සංකල්ප එක තැනනට ගොනු කිරීමට සහාය වූ සැමට මාගේ හෘදයංගම ප්‍රණාමය පුද කර සිටිමි.

අදහස්