අරුම පුදුම මිනිස් ජීවිත! | සිළුමිණ

අරුම පුදුම මිනිස් ජීවිත!

ලෝකයේ අප මවිත කළ ලේඛකයන් අතුරින් තොල්ස්තෝයි ඉන්නේ පළමු පෙළක ය. මේ අපූරු ලේඛකයාගේ නිර්මාණ එකක් නෑර වෙනස් වෙනස් අන්ත කරා පිය නඟන්නේ ඔහුගේ පරිකල්පනීය සීමා ගැන ඔබට මට සිතා ගැනීමටවත් නොහැකි වේගයකිනි.

60 දශකයේදී සමන් ප්‍රකාශකයන්ගෙන් පොතක් මුද්‍රණය කර ගැනීම ඒ පොතට සහතිකයක් ලැබෙන වැඩක් බව මට කීවේ චන්ද්‍රසිරි සෙනෙවිරත්න අප ප්‍රවීණ ලේඛකයා ය. තොල්ස්තෝයිගේ ක්‍රොයිට්සර් සොනාටා නවකතාවේ ඇස්. ජී. සමරසිංහයන් කළ පරිවර්තනය, මුද්‍රණය කර ඇත්තේ සමන් ප්‍රකාශකයන් ය. ඒ නිසාම මුද්‍රණ වෙද්දී ම එයට වටිනාකමක් එක් විණි. අප අතරින් සමුගත් ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුලයන් සමන් ප්‍රකාශකයන් මුද්‍රණය කළ ඒ පැරණි පරිවර්තනය කියැවීම පිණිස කලකට ඉහතදී මට දුන්නේ ඇස්. ජී. සමරසිංහයන්ගේ පරිවර්තනය මා කියවා නැතැයි කී විටෙක ය. ඒ නිසාම එකිනෙකාට වෙනස් පරිවර්තන දෙකක් කියවා ගැනීමේ අවකාශය මා හට උදා විණි. අනෙක සිරිල් සී. පෙරේරාණන් පරිවර්තනය කළ ‘පෙමතො ජායතී සෝකෝ’ ය.

ඇස්. ජී. සමරසිංහයන් ‘ක්‍රොයිට්සර් සොනාටා’ වට දී ඇති නම වන්නේ ‘ගැහැනු කවුරුද ව‍රදෙ නොබැදෙන’ කියා ය. සිරි රහල් හිමියන්ගේ කවියක පේළියක් යොදා ගැනීම නිර්මාණාත්මක වැඩක් වන අතර ම, පාඨක අවධානය දිනාගැනීමේ උපක්‍රමයක් ද වෙයි. සිරි රහල් හිමි රචනා කළ කාව්‍යශේඛරයේ එන වඩාත් අවධානයට පාත්‍ර වූ කවිය මෙයයි.

පිරිමීනිදු පතන

අවසරකල් රහස් නැත

මිස නොලැබෙන බැවින

ගැහැනු කවුරුද ව‍රදෙ නොබැඳෙන...’

ගැහැනුන් පිරිමින් පතනවා සේම පිරිමි ද ගැහැනුන් පතති. ඒ ලෝක ධර්මයයි. ඒ ලෝක ධර්මය එක් පාර්ශ්වයකට හොඳ වන්නටත්, අනෙක් පාර්ශ්වයට නරක වන්නටත් හැකියාවක් නැත. මේ ගැන වැඩිදුරටත් ලිවීමට මා ඇකැමැති වන්නේ ඔබ අතරින් බහුතරයක් මේ සටහන කියැවූ ඇසිල්ලේ ස්ත්‍රී විමුක්තිකාමීන්ගේ ගොඩට මා තල්ලු කර දමනු නිසැක බැවිනි. ඇස්. ජී. සමරසිංහ කළ පරිවර්තනයේ නාමකරණයත්, සිරිල් සී. පෙරේරා කළ පරිවර්තනයේ නාමකරණයත් අතුරින් වඩාත් ගැළපෙන්නේ කුමන නාමකරණය ද යන්න දැනගැනීමට නම් ඔබ මේ පරිවර්තන දෙක ම කියැවිය යුතුය. මේ කෘතියම’ ප්‍රේමය හා ශෝකය නමින් තවත් පරිවර්තකයකු පරිවර්තනය කළා යැයි මා මතකයට පැමිණියත් ඒ කවුදැයි කියා මාහට මතක නැති වීම ගැන සමාව අයදිමි. කෙසේ වෙතත් ප්‍රේමය හා බැඳී ශෝකය පැමිණීම අනිවාර්යය බැව් ඔබ සැම දන්නා කරුණකි.

නවකතාවේ ප්‍රධාන චරිතය පොස්නිෂිව් විවාහය නිසා අතරමං වූවෙකි. දුම්රිය මැදිරියකදී හමුවන මගියකුට ඔහු සිය ජීවිත කතාව පවසයි. ඒ කතාව ඇතුළේ හොඳ - නරක , ප්‍රේමය - ශෝකය, අභිමානය - පසුතැවිල්ල ඈ මේ සියල්ල අන්තර්ගත ය. තරුණ කාලයේදී තමා වෙසඟනන් කරා ගිය අයුරුත්, අනතුරුව වැදගත් කුල කාන්තාවක හා විවාහ වූ අයුරුත් ඒ කතාවේ ඇතුළත් ය. පසු කාලයක ඔහුගේ බිරිය වාදකයකු හා වරදේ බැඳුණු අයුරුත් වරද අතටම අසු වූ අවස්ථාවේ තමා ඈ මැරූ සැටිත් ඔහු සවිස්තරාත්මක ව විස්තර කරන්නේ ය. ඒ කුල කතගේ සිත දිනා ගන්නට සමත් වූයේ බිතෝවන්ගේ ක්‍රොයිට්සර් සොනාටාව ය.

එතැනින් නොනවතින තොල්ස්තෝයි Father Sergius නමින් ඉංග්‍රීසියට නැඟුණු අපූරු කෘතිය රචනා කරයි. එය ‘චිරාග සංග්‍රාම’ නමින් ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහයන් විසින් සිංහලට නඟනු ලබයි. එදා කසාත්ස්කි නම් ව සිට පසුව සර්ජියස් පියතුමා බවට ද, දැන් සර්ජියස් තාපසවරයා බවට ද පත්ව සිටින මේ අපූරු මිනිසාගේ පැරණි පෙම්වතිය සිය පැරණි පෙම්වතාගේ, මේ වනවිට තාපසයකු ව සිටින සර්ජියස්ගේ තපස බිඳින්නට ප්‍රතිඥා දෙයි. මේ ක්‍රියාවලියත්, සිත පාලනය කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයත් විසින් මෙහෙයවනු ලැබූ සර්ජියස් පියතුමාගේ මානසික ඝට්ටනයත් අතර මේ කතාව දෝලනය වෙයි. සිය ඇඟිල්ල කෙටේරියෙන් කපා තම රාගය පාලනය කරගත් සර්ජියස් නිසා ඕ දැඩිතර ආගමික මඟ පෙන්වීම් ඔස්සේ විමුක්තිය සොයන්නට පෙලඹුණා ය.

මිනිසුන් ඇති හෝ නැති දෙවියකු මවා ගන්නේත්, මවාගත් පසු ජීවමාන යැයි සලකා ඒ දෙවියා පසුපස ජීවිත කාලය පුරාම හඹා යන්නේත් අරුම සහගත විදියකට ය. තොල්ස්තෝයි විස්තර සොයන්නේ මේ අරුම පුදුම මිනිස් ජීවිත ගැන ය.

පැරණි භාරතයේ බමුණන් දෙසු ශ්ලෝක වර්තමානයේ ඇතැම්හු දේවභාෂිත සේ ගනිති. මේ ශ්ලෝක වැඩි ප්‍රමාණමයක් වෙන් වී තිබෙන්නේ ගැහැනියගේ චපලකම ගැන කියන්නට ය. මෙකල මහා මානව දයාවකින් කතා කරන බොහෝ මානව හිතවාදීන් පවා නිදහසේ කතා කරන, සරන තැන්වලදී මේ ශ්ලෝක ගුරු කොට සලකනු අපි අත්විඳ ඇත්තෙමු; දැක ඇත්තෙමු. කුල ස්ත්‍රිය සිය ස්වාමියාට මවක විය යුතු යැයි කියන මේ බමුණන්ගේ ශ්ලෝකයක අනෙක් පදය වන්නේ යහනේදී ඇය වෛශ්‍යාවක විය යුතුය කියා ය.

ස්නේහේසු මාතෘ

ශයෙනේසු වෛශ්‍යා

මේ ද්විරූපතාව ම නිර්මාණ ගොන්නකට මඟපෑදුවේ ය. තොල්ස්තෝයිගේ කතා මේ සියලු අහුකොන් ස්පර්ශ කරන්නේ ය; අපට මා සිතා ගැනීමට බොහෝ දේ ඉතිරි කරන්නේ ය. හැබැයි තොල්ස්තෝයි කියූ මේ දේ බොහෝ පාඨකයන් තේරුම් ගත්තාදැයි අපි නොදනිමු. ඔවුහු ද පැරණි බමුණන් සේ අවුරුදු 60, 70 වුණු පසු වයස 16, 17 නාඹර තරුණියන් විවාහ කරගෙන ජීවිත කාලය ම රති ශෝකයෙන් ගත කරන්නන් සේ මේ මාහැඟි ග්‍රන්ථවල යටිපෙළ අරුත් ග්‍රහණය කර නොගන්නෝ ය. රන්සුනු සොයා නිර්මාණ චාරිකාවක නිමග්න අප, මේ සියලු සංවේදනා මෙන්ම ඒවා නිර්මාණකරණයට යොදා ගත් ආකාර ගැනද සවිඥානක විය යුතු නිසාම මෙසේ ලියා තබන්නට සිතුවෙමි.‍

 

[email protected]

අදහස්