සීමා නිර්ණය කිරීමේදී කිසිම ජාතියකට ආගමකට අසාධාරණයක් කළේ නෑ | සිළුමිණ

සීමා නිර්ණය කිරීමේදී කිසිම ජාතියකට ආගමකට අසාධාරණයක් කළේ නෑ

කිසිදු ජාතියකට හෝ ආගමකට හෝ අසාධාරණයක් සිදු නොවන පරිදි සියයට සියයක්ම නිවැරැදිව පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ වාර්තාව නිකුත් කළ බව එම කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය කේ. තවලිංගම් මහතා ප්‍රකාශ ක‍රයි.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනවලට තේරීපත් වන සභිකයන් සංඛ්‍යාව කොට්ඨාස සීමා නිර්ණය යටතේ වැඩි වුවද පළාත් සභාවලට තේරී පත් වන සභිකයන් සංඛ්‍යාවේ වැඩි වීමක් නව කමිටුවේ වාර්තාවෙන් සිදු නොවූ බවද සභාපතිවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලාංකේය ජනතාව වඩාත් කැමති, මනාප ‍පොරයෙන් තොරව තම මහජන නියෝජිතයා ‍තෝරා පත් කරගැනීමේ මැතිවරණ ක්‍රමවේදයකට මුල් පිරීමට පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමෙන් ඉඩ ලැබී ඇතැයි ද දැනට කාලසීමාව ඉක්මවා ඇති විසුරුවා තිබෙන පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඉඩ කඩ සැලසී ඇතැයි ද කේ. තවලිංගම් මහතා පවසයි.

මනාප පොරයෙන් තොරව එළඹෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සීමා නිර්ණය කිරීම් මේ වන විට සිදු කොට තිබේ. ඒ අනුව තමන් කැමති මහජන නියෝජිතයෙකු සමානුපාතික නියෝජන ක්‍රමය සහ කොට්ඨාස ක්‍රමය තුළ තෝරාගැනීමට හැකි වන සේ ඒ ඒ පළාත් සභාවලට ඒ දිස්ත්‍රික්කයට අදාළව ගණන් ගැනීමේ ක්‍රියාවලිය අවසන් කොට ඇත.

සීමිත සම්පත් ප්‍රමාණයක් යොදාගෙන අසීමිත වටිනාකමක් එක් කළ ඉතා දැවැන්ත රාජකාරියක් තම කොමිෂන් සභාව ඉටු කළ බව කී සභාපති තවලිංගම් මහතාගේ හඬට අපි සවන් දෙමු.

අපේ රටේ සීමා නිර්ණය කිරීම ඉතිහාසය පිළිබඳ මුලින්ම අපට යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ශ්‍රී ලංකාවේ අපට සීමා නිර්ණය කිරීම් පිළිබඳ පළමු අත්දැකීම ඇත්තේ 1930 පැවති සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ සිටයි. එදා මැතිවරණ කොට්ඨාස 50ක් සම්බන්ධවයි සීමා නිර්ණය කළේ. ඒ කොමිෂන් සභාව වාර්තාව මාස තුනකින් ලබාදී තිබෙනවා. දෙවැනි කොමිෂන් සභාව 1946 දී පැවැත්වූවා. මැතිවරණ කොට්ඨාස 95ක් පිළිබඳව සීමා නිර්ණය කළා. මාස තුනකින් එහි වාර්තාවක් ලබා දුන්නා. තුන්වැනි කොමිෂන් සභාව 1959 දී පැවැත්තුවා. කොට්ඨාස 151ක් එහිදී එළිදැක්වූවා. වාර්තාව මාස 04ක් දුන්නා. ඊට පස්සේ හතරවැනි කොමිෂන් සභාව 1976 දී පවත්වා තිබෙනවා. මැතිවරණ කොට්ඨාස 168ක් නම් කළා. අවුරුද්දයි මාස 08 සති 02කින් එහි වාර්තාව ලබාදී තිබෙනවා.

ඉන් පස්සේ 2015 දී පළාත් පාලන ආයතන පිළිබඳ සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ වැඩකටයුතු සිදු වුණා. එහි වාර්තාව ආවේ අවුරුදු 02යි මාස 08කින්.

අපේ පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව පත් කළේ 2017 ඔක්තෝබර් 04දා යි. අපි වාර්තාව ලබා දුන්නේ 2018 පෙබරවාරි 04දා යි. මාස හතරයි අපි කාලය ගත්තේ. ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයක් යොදාගෙන ඉතා සුවිශාල ජාතික කාර්යයක් ඉටු කළා කියා අපිට සතුටක් තිබෙනවා.

මේ කොමිෂන් සභාවේ වාර්තා භාෂා තුනෙන්ම නිකුත් කළාද?

ඔව් අපි සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වාර්තාව එළිදැක්වූවා. වාර්තාව පිටු 800ක්. මේ වාර්තාවෙන් අපේ රටේ පළාත් නවයටම පළාත් සභාවලට තෝරා පත් කරගන්නා මන්ත්‍රීවරු ගණන 437ක්. පළාත් සභාවකට බෝනස් මන්ත්‍රීවරු 02 බැගින් තවත් 18ක් පත් කරගත හැකියි. ඒ අනුව සියලු මන්ත්‍රී සංඛ්‍යාව 455ක්. මේ මන්ත්‍රී ධුර 437න් 222ක් කොට්ඨාස ක්‍රමයටත් මන්ත්‍රීධුර 215ක් සමානුපාතික ක්‍රමයටත් තෝරා පත් කරගත හැකියි.

මේ අන්දමේ භාරදූර්ය කාර්යයක් ඉටු කිරීමේදී ඔබ කොමිෂන් සභාව කටයුතු කළේ කොහොමද?

අපි සියලු දෙනා අපේ රටේ සෑම කෙනාගේම ඡන්දයට එක සමාන වටිනාකමක් එකතු වන ආකාරයටයි සීමා නිර්ණය කළේ. කිසිම ජාතියකට ආගමකට අයත් කිසිවෙකුට අසාධාරණයක් වන විදිහේ වැඩක් අපි කළේ නැහැ. ඒක බය නැතුව කියන්න පුළුවන්.

සීමා නිර්ණය කිරීමක් පිළිබඳ කෙටියෙන් පැහැදිලි කළ හැකිද?

කිසියම් විශේෂිත කාරණයක් සඳහා භූගෝලීය සීමා මායිම් සලකුණු කිරීම සීමා නිර්ණයයි. ප්‍රාදේශීය, පළාත්බද හා ජාතික මට්ටමේ නියෝජිතයන් පත් කරගැනීම, රාජ්‍ය පරිපාලන හා පුරවැසියන්ට සේවා සැලසීම මෙම විශේෂිත කාරණා හැටියට සැලකිය හැකිය. සීමා නිර්ණයක් අවශ්‍ය වන ප්‍රමුඛ කාරණා වන්නේ සෑම ජාතියක්ම අපේක්ෂා කරන සිය රටවැසියාගේ සුබසිද්ධිය හා රටේ ස්වභාව සම්පත් රැකගැනීමට දරන ප්‍රයත්නයයි. එහෙත් ජනගහනය වර්ධනයත්, ශීඝ්‍ර නාගරීකරණයත් නිසා ජනගහන ව්‍යාප්තියත් රටේ භෞතික පරිසරයත් නිරන්තරයෙන් වෙනස් වීමට භාජන වෙමින් තිබේ. මැනවින් සකස් කරන ලද නිරන්තරයෙන් සමාලෝචනයට බඳුන් වන කලින් කලට ප්‍රතිශෝධනය වන මූලධර්ම පද්ධතියක් සහිත නෛතිකව පිළිගත් සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ එහෙයිනි.

පෙර රජදවස පටන් මේ කාර්ය සිදු වී තිබේද?

රජ කාලයේ ද සීමා නිර්ණය සිදු විය. පළාත, කෝරල ආදිය ද සීමා නිර්ණය කිරීම්ය. එහෙත් ඒවායේ විද්‍යාත්මකභාවය ගැන අපට දැනීමක් නැත. නූතන අර්ථයෙන් සීමා නිර්ණ කටයුතු ආරම්භ වූයේ 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය සමඟ යැයි අපට කිව හැකිය. ශ්‍රී ලංකාව පළාත් 9කින් සමන්විත වන අතර ඒවා පරිපාලන දිස්ත්‍රික්ක 25කට බෙදා තිබේ. මේ දිස්ත්‍රික්ක 25 ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කට බෙදේ. එම කොට්ඨාස නැවතත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 14022කට බෙදා තිබේ. මීට සමාන්තරව මහමැතිවරණ සඳහා නියෝජිතයන් තෝරාපත් කරගැනීමේ දේශපාලන ක්‍රියාවලියට ඡන්ද කොට්ඨාස 160ක් ඇත. ඊට අමතරව ප්‍රමුඛ මහජන සේවා සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 340ක්ද අධ්‍යාපන කොට්ඨාස 311ක්ද පොලිස් වසම් 439ක් ද පිහිටුවා ඇත.

කෙසේ වෙතත් සීමා නිර්ණය කොමිසමක් නිර්මාණය වීමේ ප්‍රමුඛ හේතුව වන්නේ මහමැතිවරණ හෙවත් පාර්ලිමේන්තු මැතිවරණයයි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල සිට අවශ්‍යතාව පරිදි කුඩා සීමා නිර්ණය කමිටු පිහිටුවා තිබේ. 1948 දී ආසන 95ක් වෙනුවෙන් සීමා නිර්ණය කොමිසමක් පිහිටුවීය. ඉන්පසුව පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාස තීරණය කෙරුණේ සීමා නිර්ණය කොමිසම මඟිනි. එහෙත් 1978දී මැතිවරණ ක්‍රමය වෙනස් වූ පසුව සීමා නිර්ණය කොමිසමේ රාජකාරී ද අඩු විය. ඉන් පසුව එයට පැවරුණේ නම් ගම් වෙනස් කිරීම්, පාර්ලිමේන්තු සභිකයන් ගණන වෙනස් කිරීම ආදී කටයුතුය. ඇත්තටම සිදු වුණේ සීමා නිර්ණය කොමිසමේ රාජකාරී බොහොමයක් මැතිවරණ දෙපාර්තමේන්තුවට පැවරීමය.

ස්ථිර මැතිවරණ කොමිසමක අවශ්‍යතාව ගැන ඉන් පසුව සාකච්ඡාවක් ඇති විය. එය යථාර්ථයක් වූයේ 19 වැනි සංශෝධනය සමඟය. මේ සම්බන්ධයෙන් විෂය සම්බන්ධ වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වන්නේ ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් ආදී පරිපාලනමය සීමා නිර්ණයන්ටය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සම්බන්ධ වන්නේ පළාත් සභා හා පළාත් පාලන සීමා නිර්ණයන්ටය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයත් කරන වැඩ එකම කොමිසමක් මඟින් කරගැනීම එහි එක් අරමුණක් විය. එම ආයතනවල සීමා වෙනස් කරද්දී මුලින්ම සිදු වන්නේ අදාළ විෂය භාර ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී කැබිනට් අනුමැතිය ගැනීමය. ඇතැම් විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විමර්ශනයට කමිටුවක් පත් කෙරේ. එවැනි කමිටු හඳුන්වන්නේ සීමා නිර්ණය කමිටු නමිනි.

සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ කෙසේද?

වර්තමාන සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 හා 95 (1) ව්‍යවස්ථාවලට අනුකූලවය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එහි මම සභාපතිවරයා වෙනවා. ආචාර්ය ඒ.ඩී. බණ්ඩාරනායක හා මහාචාර්ය එස්.එච්. හිස්බුල්ලා යන සාමාජිකයන්ගෙන් එය සමන්විත වුණා. නමුත් මහාචාර්ය එස්.එච්. හිස්බුල්ලා මහතාගේ අභාවය නිසා මේ වන ඒ.එම්.නහියා මහතා පත් කර තිබෙනවා. සීමා නිර්ණය කොමිෂන් සභාවෙන් අදහස් කරන්නේ රටේ උපරිම යහපත උදෙසා මේ විධිවිධාන තර්කානුකූල‍ ලෙස එකම තැනකින් ක්‍රියාවට නැඟීමය.

මුල් කාලීනව පළාත් සභා, පළාත් පාලන ආයතන ආදියට සීමා නිර්ණය කෙළේ කොහොමද?

මුල් කාලීනව සීමා නිර්ණය කළේ කෙසේදැයි මුළුමනින්ම දැනගැනීමට පවතින තත්ත්වය යටතේ අපහසුය. ඒ කරුණු දන්නා අය ද නැත. ඊට ආසන්නතම හොඳම උදාහරණය නම් ශ්‍රී පාදස්ථානයේ භූගෝලීය සීමා කරණකොටගෙන හටගත් විවාදයයි. එය විවාදයක් බවට පත් වුණේ ඒ ගැන ක්ෂණිකවම තොරතුරු ලබාදිය හැකි ආයතනයක් නොතිබූ බැවිනි. මෙවැනි දේ නිරවුල් කරගත හැක්කේ පැරණි ගැසට්වලිනි. මීට පෙර මැතිවරණ කොමිසමක් පැවතියේ නම් මෙවැනි ප්‍රශ්න පහසුවෙන් විසඳාගත හැකි වනු ඇත.

සීමා නිර්ණය කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරුණු කාර්යභාරය සවිස්තරාත්මක නැත. ඒ නිසා මේ වන විට කොමිසම වෙනුවෙන් වෙනම පනතක් සැකසෙමින් තිබේ. කොමිෂන් සභා සම්බන්ධයෙන් සෘජුව ගනුදෙනු කෙරෙන්නේ ජනාධිපතිවරයා සමඟය. කොමිසමට අදාළ පනත සැකසීම සඳහා වූ මූලික කෙටුම්පත් ලියැවිල්ල ජනාධිපතිවරයාට යොමු කර ඇත්තේ ඒ අනුවය. ඉන්පසුව සිදු කළ සංශෝධනයකින් අනතුරුව නැවතත් එම පදනම් ලියැවිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරුණේ මීට මාස දෙකකට පමණ පෙරය. දැන් ඇත්තේ එය නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමය. රජයේ පරිපාලන කටයුතුවලදී අවශ්‍ය සීමා නිර්ණය කටයුතුවලට පහසුකාරකයක් හැටියට සීමා නිර්ණය කොමිසම යොදාගැනීමට මේ පනතින් දොර විවර වේ. උදාහරණයකට සෞඛ්‍ය විෂයේදී ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාස, අධ්‍යාපන විෂයයේදී අධ්‍යාපන කලාප ආදිය දැක්විය හැකිය. අදාළ විෂය භාර ඇමැතිවරයාගේ බලය පැවැරීමක් එමඟින් සිදු නොවේ. සිදු වන්නේ ඇමැතිවරයාගේ ඇරියුමින් සීමා නිර්ණය කොමිසමට රාජකාරිය බාර වීමය. පළාත් සභා සීමා නිර්ණයේදී වූයේද එයමය. මෙහි විශේෂත්වය වන්නේ කොමිසමේ ස්වාධීනත්වයයි. කිසිදු දේශපාලන පාක්ෂිකභාවයකින් වැඩ කටයුතු සිදු කෙරුණේය යන චෝදනාවට එමඟින් ඉඩක් නැත. සීමා නිර්ණය කොමිසම සෘජුවම වගකියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පමණි. අනෙක් අතට විටින් විට පත් කෙරෙන කමිටුවල වාර්තා හා තොරතුරු විසිරී තිබීමට ද එමඟින් තිත තැබේ. සියලු කමිටු වාර්තා එකම තැනකින් කෙටි කාලයකදී ලබාගැනිමේ හැකියාවක් නව වාර්තා කඩිනමින් සැකැසීමේ හැකියාවත් එයින් ලැබේ. කෙටියෙන් කිවහොත් මෙම කොමිසම මඟින් ගොඩනැඟෙන්නේ රටේ සීමා නිර්ණය කටයුතුවලට අවශ්‍ය මූලික දත්ත පද්ධතියකි.

සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළාද?

සීමා නිර්ණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ යටතේ ආරම්භක පියවර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කිරීම පසුගිය දිනවල සිදු කෙරිණි. පරිපාලන මායිම්වලට අදාළ සීමා නිර්ණයට අවශ්‍ය තොරතුරු හා දත්ත ආදිය ලබාදෙමින් මේ දැනුම්වත් කිරීම සිදු වේ. මන්දයත් ඇතැම් විස්තර හා දත්ත ඔවුන්ට ලබාගැනීම ඉතා දුෂ්කර වී ඇති බැවිනි. උදාහරණයකට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සීමා නිර්ණයට අදාළ තොරතුරු සොයාගැනීමට මූලාශ්‍රයක් සොයාගැනීම ද දුෂ්කර විය. අවසානයේදී ඊට අදාළ ගැසට් පත්‍රය අපට සොයාගැනීමට හැකි වුණේ පුස්තකාල සේවා මණ්ඩලයෙනි. එනිසා සීමා නිර්ණය සම්බන්ධ කටයුතු ගැන රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සැලකිය යුත්තේ ජාතික වැදගත්කමක් ඇති කාරියක් හැටියටය. ඒ අනුව ඒ ඒ ආයතනවලට සිය සීමා නිර්ණය සම්බන්ධ විස්තර ලබාගැනීමට හැකි මූලාශ්‍රයක් හැටියට ක්‍රියාත්මක වීමක් ද ඉදිරියේදී සීමා නිර්ණය කොමිසමෙන් සිදු වනු ඇත.

පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කටයුතු දැන් රටේ දේශපාලන කතාබහක් බවට පත් වී තිබෙනවා නේද?

ඒ ගැන ද යම් පැහැදිලි කිරීමක් වටී. පවතින නෛතික තත්ත්වය යටතේ පළාත් සභා සීමා නිර්ණ කටයුතු පැවරී තිබෙන්නේ පළාත් සභා විෂය භාර ඇමැතිවරයාටය. එහෙත් 19 වැනි සංශෝධනයෙන් පසුව සීමා නිර්ණය කොමිසමක් ඇති නිසා එම කාරිය අපට බාරදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් කොමිසම ඉල්ලා සිටියේය. සීමා නිර්ණය කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා සහ තවත් දෙදෙනෙකුගේ නියෝජනයෙන් ඒ සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කෙරුණේ ඒ අනුවය. සීමා නිර්ණයට අපට ලැබුණේ මාස හතරකි. අතීත අත්දැකීම් සමඟ සසඳා බලද්දී මාස හතරකින් සීමා නිර්ණය කිරීම යනු පහසු කටයුත්තක් නොවේ. එය ඉතාම කෙටි කාලයකි. එහෙත් ලැබුණු කාලය ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට කමිටුවට හැකි වූ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක එය ප්‍රශංසාවට ලක් විය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව නම් සීමා නිර්ණය කොමිසම සතු වූ යාන්ත්‍රණයයි.

සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පරාජය වුණා නේද?

සීමා නිර්ණය කමිටුව සකස් කළ වාර්තාව පසුගිය වසරේ ‍අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත් විය. බහු මන්ත්‍රී ආසන කොට්ඨාස ගැන සැලකිල්ලක් දක්වා නැති බවට එහිදී චෝදනා එල්ල වුව ද කමිටුවට හැකි උපරිම යුක්ති ක්‍රියාදාමයෙන් එය සැකැසූ බවට මට සහතික විය හැකිය. පළාත් සභා සීමා නිර්ණ රාජකාරිය අපට පැවරෙද්දී අපේ කාර්යභාරය දැන සිටිය යුතුය. එහිදී අප ගුරුකොට ගත්තේ 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනතයි. සීමා නිර්ණය සම්බන්ධයෙන් සුළු ජාතික පක්ෂවල විරෝධය එල්ල වුණේ ඒ ගැන නිසියාකාරව තේරුම් නොගැනීම නිසාය. පරණ මැතිවරණ ක්‍රමයේදී සුළු ජාතික දේශපාලන පක්ෂවලට කිසියම් වාසියක් තිබේ. ඒ වාසිය එන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සන්ධානගතව තරග කිරීමේදීය. මිශ්‍ර සමානුපාතික ක්‍රමයේදී කොට්ඨාස ක්‍රමයෙන් ඉඩක් නොලැබු‍ණත් සමානුපාතික ක්‍රමයෙන් ඔවුන්ට ඉඩක් ඇත.

මිශ්‍ර මැතිවරණ ක්‍රමයට අනුව සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව සකස් කළේ දැඩි පරිශ්‍රමයකින් සහ අතිශය නිවැරැදි නිර්ණායක හා බර තැබීම මඟින්ද?

අනිවාර්යෙන්ම ඔව්. මිශ්‍ර මැතිවරණ ක්‍රමයට අනුව සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව සකස් කළේ දැඩි පරිශ්‍රමයකින් අතිශය නිවැරැදි නිර්ණායක හා බර තැබීම් මඟිනි. එය වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන බව අවධාරණ කළ යුතුය. සැබැවින්ම කමිටුවේ අදහස වන්නේ ඉල්ලීම් මත එය වෙනස් කිරීම දුෂ්කර කටයුත්තක් බවයි. සීමා නිර්ණය වාර්තාව ඇතැම් දෙමළ පුවත්පත්වලින් විවේචනයට ලක්වෙද්දී මා කීවේ වැරැදි තැන අපට පෙන්වන්න යැයි කියාය. එහෙත් කිසිවෙකු අද වන තුරු කොමිසමට ලිඛිතව එවැනි විවේචනයක් කර වැරැද්ද පෙන්වා දී නැත. එනිසා කොමිසමේ යෝජනාව වන්නේ නව මිශ්‍ර ක්‍රමය ප්‍රශස්ත බවය. ඕනෑම දෙයක් අලුතින් අත්හදාබැලීමේදී කිසියම් සැකයකින් ඒ දෙස බැලීම මනුෂ්‍ය ස්වභාවයයි. එය සීමා නිර්ණයට ද අදාළය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද මේ සැකය නිරාවරණය විය. මැතිවරණ ප්‍රතිඵල සමඟ මැතිවරණ ක්‍රමය ගැන යම් අ‍‍‍ඬෝවැඩියාවක් හටගත්ත ද දැන් සියල්ල සන්සුන්ය. ඒ පළාත් පාලන ආයතන සභිකයෝ සුපුරුදු පරිදි වැඩ කරගෙන යති. දැන් ඒ පළාත් පාලන කොට්ඨාසයට මහජන නියෝජිතයෙක් සිටී.

අප රටේ මනාප පොරයට වැටබඳින මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතුයි නේද?

මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුය යන සටන් පාඨය දේශපාලන ලෝකයේ තිබුණේ දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේය. එය සමාජගත වූ අදහසක් විය. ආණ්ඩු ගණනාවක්ම ඒ කතාව කීවේය. ඒ ගැන වැඩියෙන්ම කතා කළේ පාර්ලිමේන්තුවේය. එනිසා වෙනසකට මුල පිරුවේ ද පාර්ලිමේන්තුවෙනි. ඇතැමුන් කියන්නේ මේ පළාත් සභා මැතිවරණයට පමණක් නව මිශ්‍ර ක්‍රමය යොදාගනිමු යැයි කියාය. තවත් පිරිසක් කියන්නේ පැරැණි ක්‍රමයට යා යුතුය කියාය. ව්‍යවහාරයේදී නව මිශ්‍ර ක්‍රමය යැයි කීව ද සැබැවින්ම නව ක්‍රමයේ තිබෙන්නේ ද අනුපාත ක්‍රමයමය. සිදු වී තිබෙන්නේ පැරැණි ක්‍රමයට නව මුහුණුවරක් දීමය. අවශ්‍ය නම් බෝනස් ආසන සුළු ජාතීන්ට සාධාරණයක් වන සේ යොදාගත හැකිය. ඊට පනත භාවිත කළ හැකිය. එවැනි යෝජනාවක් කොමිසමෙන් සිදු කෙරිණි. ඊට අදාළ යෝජනාව ද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් අනුගමනය කරන්නේ කවර ක්‍රමවේදය දැයි අවසන් තීරණය ‍තිබෙන්නේ පාර්ලිමේන්තුව අතේය. එනිසා අවසන් තීරකයා වන්නේ පාර්ලිමේන්තුවම බව අවධාරණ කටයුතුය.

Comments