‘96 ලෝක ශූරයෝ කියන කතාව | සිළුමිණ

‘96 ලෝක ශූරයෝ කියන කතාව

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි ‍වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වැලඳ ගනිමින් සිටියි.

ජයග්‍රාහී මාවතකට පිවිසීම සඳහා කණ්ඩායමට අවශ්‍ය නොවන බව තහවුරු කරන ආකාරයක් මැදපෙළ මෙන් ම පසු පෙළ පිතිකරුවන් ක්‍රීඩා කරන ආකාරයෙන් ප්‍රදර්ශනය වේ.

මෙතෙක් පැවැති තරගවලදී ආරම්භක පිතිකරුවන් ඉතා හොඳින් ලකුණු අතරට පැමිණෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ සහ පසු පෙළ ක්‍රීඩකයන්ගේ පිතිකරණයේ ඇති දුර්වලතා හේතුවෙන් ලකුණු 300 සීමාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

1996 දී ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට ගෙන ඒමට දායක වූ ක්‍රීඩකයන් කිහිප දෙනකු තමන් එදා ලද ජයග්‍රහණයේ පසුබිම සහ වත්මන් ක්‍රිකට් පිලේ පසුබෑම ගැන අදහස් දැක්වූයේ මෙලෙසිනි

එකමුතුකම නිසා දිනුවා

- අර්ජුන රණතුංග

මම හිතන්නේ අපේ කණ්ඩායම තවමත් එක කණ්ඩායමක් ලෙස සිතමින් නොවෙයි ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩකයන් එකොළොස් දෙනකු තෝරන්නේ ලංකාව නියෝජනය කරමින්. මේ නිසා ඔවුන් දැනගත යුතුයි ඔවුන්ගේ වගකීම.

තරග ජයග්‍රහණය, පරාජය මේ දෙකම දක්ෂ කණ්ඩායමකට සිදුවන්න පුළුවන් ක්‍රිකට්වල ස්වභාවය එයයි. නමුත් දැනට ලෝක කුසලානයට සහභාගි වී සිටින ක්‍රීඩකයන් වැඩි පිරිසක් තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැතැයි කියලා මට හිතෙනවා. පන්දුවට පහරදීමේදී දක්වන දුර්වලකම් ගැන සිතා ගන්නත් බෑ. මේ නිසා මේ කණ්ඩායම එකට එක්වෙලා කණ්ඩායමක් වශයෙන් ඉදිරි තරගවලට මුහුණදිය යුතුයි. තරග පැවැති තණ තීරු පිළිබඳව මට යම් සැකයක් තිබෙනවා. එහි තාක්ෂණික දුර්වලකම් රැසක් පෙන්වාදිය හැකියි.

මේ සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුයි. අසන්ත ද මෙල් මහතා මේ සම්බන්ධ කතා කරලා තිබුණා.‍ ඔහු ප්‍රකාශ කළා තණ තීරුවල තිබූ දුර්වලතා පිළිබඳව.

අප ක්‍රීඩා කරද්දී කණ්ඩායම එක පවුලක් ලෙස ක්‍රීඩා කළා. එකිනෙකා එකිනෙකාගේ දුර්වලතා හඳුනා ගනිමින් ඒවා නිවරදි කර ගත්තා. ක්‍රිකට් පිටියට සීමා නොවූ බැඳීමක් අප කණ්ඩායමේ ක්‍රීඩකයන් සතුව තිබුණා. සෑම ක්‍රීඩකයෙකුම තමන්ගේ වගකීම පිළිබඳව අවබෝධයකින් කටයුතු කළා. 1996 ලෝක කුසලානය මෙරටට ගෙන ඒමට කණ්ඩායමට හැකි වූයේ අපි සියලු දෙනා කණ්ඩායමක් වශයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ නිසයි.

එකා වගේ ක්‍රීඩා කළා

- උපුල් චන්දන

වර්තමාන කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩි පිරිසක් ඔවුන්ගේ වගකීම ඉටු කරන්නේ නැහැ කියල මට හිතෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියළි සිටින ක්‍රීඩකයින් අතර හොඳම එකොළොස් දෙනා තමයි ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කරන්නේ. ඒ නිසා සෑම ක්‍රීඩකයෙක් ම තමන්ගේ රට ගැන තමන්ගෙන් විය යුතු සේවාව ගැන මීට වඩා හිතන්නට ඕන.

එංගලන්තයේ ‍වේග තණතීරු තිබෙන්නේ. දැනට අපට සිටින පන්දු යවන්නන් ඉතා හොඳ මට්ටමක සිටිනවා. අනික් කාරණය අපට දඟ පන්දු යවන්නන්ගෙන් ලොකු සේවාවක් සහයෝගයක් ලබාගන්න බැහැ. ඒත් මුත්තයියා මුරලිදරන්, රංගන හේරත් වගේ දක්ෂ දඟ පන්දු යවන්නන් ඕනෑම තණ තීරුවක කඩුලු ගත්තා. වර්තමානයේ එවැනි දඟ පන්දු යවන්නන් බිහි වී නැහැ. මේ වනවිට මම දකිනවා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වලතා රැසක්. ඔවුන් තමන්ට හැකි උපරිම දේ සිදු කරන්නේ නැහැ. තරගවලදී හොඳ ආරම්භයක් ලැබුණත් මැද දී ගොඩගන්න බැරි කඩා වැටීමකට ලක් වෙනවා.

පන්දු රැකීමේ දුර්වලතා රැසක් ම තිබෙනවා. මේ වනවිට පැරදුණු තරග ගැන හිතන්නේ නැතිව ඉක්මනින් ජයග්‍රාහි මාවතට පිවිසෙන්නට කටයුතු කළ යුතුයි. අපි 1996 ලෝක කුසලානයට සහභාගි වෙනකොට ඉතා හොඳ මට්ටමකින් තරග කළා. විශේෂයෙන් ම අපගේ තිබුණු දුර්වලකම් අපි එකිනෙකා හඳුනාගෙන ක්‍රීඩා කළේ. අවසානයේ අපගේ කණ්ඩායමට ලෝක කුසලානය ගෙන එන්න පුළුවන් වුණා.

අපි එකොළොස් දෙනා අතර පුදුම බැඳීමක් තිබුණා. එකිනෙකා ක්‍රීඩා පිටියෙන් ඉවතදීත් එකිනෙකාට උදව් උපකාර කරගත්තා.‍ එදා අර්ජුන අයියා අපට කිව්වේ අපි එකා වගේ සිතලා එකට හිටියොත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කියලයි. අන්න ඒ නිසා අපිට ඉතා හොඳ කණ්ඩායමක් හැටියට ඉදිරියට යන්න හැකි වුණා.

වැටෙන විට නැඟිට්ටා

- රවින්ද්‍ර පුෂ්පකුමාර

මම හිතන්නේ අපිට ඉන්න හොඳම කණ්ඩායමක් තමයි මෙවර ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තරග කරන්නේ. එංගලන්තයේ වේග පන්දු යවන්නන්ට උචිත තණ තීරුවල පන්දුවට ඉතා හොඳින් පහරදුන් ක්‍රීඩකයන් කිහිප දෙ‍නකුම මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් සතු අත්දැකීම් ප්‍රමාණය මේ සඳහා යොදාගත යුතුයි. විශේෂයෙන් ම තිසර ඒ වගේ ම කුසල් ජනිත් පෙරේරා මේ ක්‍රීඩකයන් තරග සම්පූර්ණයෙන් ම වෙනස් කළ ක්‍රීඩකයන් පරාජය වීමට ගිය තරග බේරාගත් ක්‍රීඩකයන්. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ආරම්භක පිතිකරුවන් හැරෙන්නට මැද පෙළ, පසු පෙළ ක්‍රීඩකයන් ලකුණු අතර නැහැ. ක්‍රිකට්වල ස්වභාවය ඔහොම තමයි. ක්‍රීඩකයන් පසු ‍බෑමකට ලක් වුණාම කාලයක් යන තුරු ඔවුන්ට තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්නට බැහැ.

ඒත් මේ තරගාවලියට එකතුවෙලා ඉන්න කිසිම ක්‍රීඩකයෙකුට තමන්ගේ වගකීම පැහැර හරින්න බැහැ. අනිවාර්යයෙන් ම තම කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ගමන් කිරීමට හැකි සෑම ක්‍රියාවක්ම සිදු කළ යුතුයි. පන්දුවෙන්, පිත්තෙන් මෙන් ම පන්දු රැකීම තුළින් එය සිදු කර හැකියි. තවත් ප්‍රධාන කාරණයක් වන්නේ කණ්ඩායම ගැන සිතීම. කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම. සෑම ක්‍රීඩකයෙක් ම සිතිය යුතුයි තමන් මේ ක්‍රීඩා කරන්නේ තමන්ගේ රට වෙන‍ුවෙන් කියන එක මතකයේ තබාගත යුතුයි. බිඳ වැටී තිබෙන මැද පෙළ සහ පසු පෙළ ශක්තිමත් කර ගනිමින් ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණියහොත් අපිට ඉතිරි තරග ජයග්‍රහණය කළ හැකියි කියලා තමයි මට හිතෙන්නේ.

අපට හිටියේ දක්ෂයෝ

- හෂාන් තිලකරත්න

දැනට ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවතක්සේරු කරන්න බැහැ. ඒත් ඔවුන්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා. පරිණත; අත්දැකීම් රැසක් ඇති ක්‍රීඩකයන් සිටිනවා. ඒත් ඔවුන් ලකුණු අතරට පැමිණ නැහැ.

සමස්ත කණ්ඩායම දෙස බලද්දී පෙනී යන්නේ පිතිකරණයේ දුර්වලතා රැසක් පවතින බවයි. බොහෝ ක්‍රීඩකයන් දැවී යෑම්වලට හසු වෙන්නේ පන්දු යවන්නාගේ දක්ෂ පන්දු යැවීම නිසා නොවෙයි‍. පිතිකරුවාගේ දුර්වල පහරදීම් නිසා කියලා මට හිතෙනවා.

මේ ක්‍රීඩකයන් සියලුම දෙනා සිතන්නට ඕනෑ තමන්ට ලැබුණු අවස්ථාව පිළිබඳව. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් ‍බලා සිටිනවා ජාතික කණ්ඩායමට ඇතුළුවෙන්න. ඇතුළත් වූ එකොළොස්දෙනා දක්ෂ ක්‍රීඩකයින්. ඒ නිසා තමන්ගේ වගකීම ඉටු කරන්න කටයුතු කිරීමේදී මීට වඩා උනන්දු වෙන්න ඕන කියලා මම හිතනවා.

1996 දී අපි ලෝක කුසලානය ගෙනාවේ දවසින් දෙකෙන් නොවෙයි. ඇත්තටම ලෝක කුසලානයට සහභාගි වුණු ක්‍රීඩකයන් සියලු දෙනාම ඒ වනවිට අවුරුදු හයක් හතක් එක දිගට ක්‍රීඩා කරලා තිබුණේ. අපි එකොළොස් දෙනා ඒ වනවිට වෙන වෙනම හඳුනාගෙන තිබුණා.

අපි හිටියේ පවුලක් හැටියට. ක්‍රීඩා කරන වේලාවෙන් පසුවත් අපගේ දරු පවුල්, බිරින්දෑවරු එකට එකතුවෙලා වැඩ කටයුතු කළා. අපගේ ගැටලු සියලු දේ අපි සාකච්ඡා කරලා විසඳුම් සොයා ගත්තා. ඒ කාලයේ සමහර ක්‍රීඩකයන්ට නවතින්න පවා පහසුකම් තිබුණේ නැහැ. කොළඹ. අපි අපට පුළුවන් විදියට එකිනෙකාට උදව් උපකාර කර ගත්තා‍. මේ නිසා කණ්ඩායම අපගේ ජීවිතවල කොටසක් වෙලා තිබුණා. ලෝක කුසලානය ලංකාවට ගෙන ඒමට අපිට මෙය ශක්තියක් වුණා. කණ්ඩායම දිහා බලද්දී පන්දු යවන්නන් පිතිකරුවන් පන්දු රකින්නන් කියලා අපි වෙන වෙනම හිටියේ නැහැ. එකොළොස් දෙනාම මේ ඕනෑම දෙයකට සූදානම් ‍වුණා. ඉදිරි පෙළ පසු පෙළ මැද පෙළ මේ සෑම තැනකින් ම නොසිතූ වෙලාවක ලකුණු 50, 100ක් ලබාගන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපිට සිටියේ.

නම්ලත් පන්දු යවන්නෙකුට කඩුලු නොවැටුණු වේලාවට පිතිකරුවෙකු ලෙස නම් ලත් ක්‍රීඩකයා පන්දු යවලා කඩුලු ගත්තා. එකොළොස් දෙනාම පන්දු රැකීමේදී තම වගකීම අකුරටම ඉටු කළා.

විශේෂයෙන් ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ගෞරව කරමින් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළා. මෙන්න මේවායේ සමස්ත ප්‍රතිඵලය. ලෝක කුසලානය හිමිකරදුන්නා‍.

 

Comments