‘සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකය’ ලංකාවේ වන්දනා ගාථාවකින් හෙළිකරගත් සියමේ ශ්‍රී පාදය | Page 2 | සිළුමිණ

‘සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකය’ ලංකාවේ වන්දනා ගාථාවකින් හෙළිකරගත් සියමේ ශ්‍රී පාදය

මෑත යුගයේ ලංකාවේ විසූ ශ්‍රේෂ්ඨතම ලේඛකයකු ගත් කතුවරයකු හා පත්‍ර කර්තෘවරයකු ද වූ හේමපාල මුනිදාස සූරීන් කිහිප විටෙකට - කිහිප තැනෙකම ලියා තැබූ එක් වගන්තියක් නම් ‘සත්‍යය ප්‍රබන්ධයට වඩා විස්මයජනකය’ යන්නය. කරුණු කාරණා නියමාකාරයෙන් ම සිහියට ගෙන සිතාමතා බලන විට කාරණය ඇත්තයය. එදා එකල වුව ද, මෙදා මෙකල වුව ද ජන සමාජය හමුවේ සිදුවී ලියැවී කියැවී තිබෙන සත්‍ය සිද්ධීන් එකින් එක විවරණය කර බලන විට දක්නට ලැබෙන්නේ එම වගන්තියෙන් දක්නට ලැබෙන යථාර්තය වචන‍ෙය් පරිසමාප්තාර්ථයෙන් ම ඇත්තක් බව ය.

අප මේ කෙටි විවරණය යෙදුවේ මෙයට වර්ෂ හාරසිය ගණනකට පෙර ලංකාවේ ශ්‍රීපාදය වන්දනාමාන කර ගැනීමේ චේතනාවෙන් මුහුදු යාත්‍රාවකින් ලංකාවට පැමිණි සියම් පැවිදි - ගිහි වන්දනා පිරිසකට අත් දකින්නට ලැබුණු කරුණු අනුව සිදුවුණු ඓතිහාසික ශාසනික සිද්ධියක් පිළිබඳව කරුණු දක්වනු පිණිසය.

අදද දඹදිව ආදී රටවල බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවට බෞද්ධයන් සියරටවල සිට පැමිණෙන්නේ අචල භක්තිමත් ශ්‍රර්ධාවකින් යුතුව ය.

සියම් බෞද්ධ පැවිදි - ගිහි ස්ත්‍රි පුරුෂ වන්දනාකාර පිරිස ද බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීපාද සලකුණු පිහිටුවූ ලංකාවේ ශ්‍රීපාද ස්ථානය වන්දනාමාන කර ගැනීමට එන්නේ ද අචල ශ්‍රද්ධාවකිනි. ඔවුන්ගේ ලංකාගමනය සිදුවන්නේ ලංකාවේ සෙනරත් රජු (ක්‍රි.ව‍. 1604 – 1634) රාජ්‍යය කරන යුගයේදී ය. මෙම පිරිසට සියම් නායක හිමිපාණන් වහන්සේලා කිහිප නමක් ද ඇතුළුව එහි ප්‍රධාන දායක දායිකාවන් විසි අට දෙනකු ඇතුළත් වූහ. මුහුදු යාත්‍රාවක් මගින් වූ එම ගමන තරමක දුෂ්කර එකක් වූවා සේම ලංකාවට ගොඩ බැසීමෙන් පසුව ද ඔවුනට ශ්‍රී පාදස්ථානය කරා යන ගමනේදී ද තරමක දුෂ්කරතාවලට මුහුණ පාන්නට ද සිදුවිය.

මෙකල මුහුදුබඩ ප්‍රදේශයේ පාලනය පෘතුගීසීන් යටතේ පැවැති නමුදු මෙසේ විදේශයකින් පැමිණි වන්දනාකරුවන්ට ඔවුන්ගෙන් බාධකයක් ඇතිවූයේ ද නැත. මෙහිදී ස්වදේශිකයන්ගෙන් මෙම සියම් වන්දනා නඩයට කාරුණික සැලකිලි සමඟ නියමිත ලෙස මඟපෙන්වීම ද ලැබිණ. එහෙත් මෙහිදී දෙපිරිස අතර කිසියම් වූ බාධකයකට හේතු වූයේ සියම් වන්දනාකරුවන් තම සියම් භාෂාව හා පාලි භාෂාව පමණක් දැන සිටි හෙයිනි.

‍මේ හැර සොර සතුරන්ගෙන් හෝ වන සතුන්ගෙන් හෝ ඔවුනට කරදරයක් - හිරිහැරයක් සිදු නොවීමට ස්වදේශිකයෝ වග බලාගත්හ. ශ්‍රී පාදයේ මහ මළුවට පිවිසෙන ගමන් මඟ මෙකල බොහෝ දුෂ්කරව පැවැති හෙයින් ඒ මඟ ද නිසි සේ ගෙවන්නට ද ස්වදේශිකයෝ ඔවුනට සහාය වූහ. මෙකල මෙන් නොව එකල එහිදී ශ්‍රීපාද ලාංඡනයේ හැඩරුව තරමකට මනා ලෙස දක්නට ලැබුණු හෙයින් සියම් බෞද්ධ පිරිස බුදුන් වහන්සේ දුටු කලෙක මෙන් මහ මළුවේදී සිරිපතුල වන්දනාවෙහි යෙදී සිත් සේ සිය බොදුනු හැඟීම් උද්දීපනය කර ගත්හ.

මේ සමඟම සිරිපා මහ මළුවේදී ප්‍රථම වරට ඔවුන්ට හමුවූ පාලි භාෂාව මැනැවින් දත් සිංහල භික්ෂූන් වහන්සේ නමක් හමුවීම නිසා මෙම සියම් වන්දනා නඩයට තමන්ගේ ම කෙනකු හමුවූවා සේ ලංකා ශාසනික ඉතිහාසයත්, මෙහි සිරිපතුල පිහි‍ටුවීමේ ඉතිහාසයක් පිළිබඳව සියලු විස්තර තොරතුරු මනා ලෙස දැන කියා ගැනීමට ද හැකි විය. කරුණු මෙසේ වූ හෙයින් ඔවුහු එම විස්තර තොරතුරු පිළිබඳව අමන්දානන්දනයට පත්වූහ.

ඒ හා සමඟම කියැවුණු ශ්‍රීපාදය වැඳීමේ පාලි ගාථාව දිගහැර කියැවුණු විට එයින් දක්නට අසන්නට ලැබුණු කරුණු කියැවෙද්දී එය ඔවුනගේ සිත් තුළ අමුතුම අන්දමක සතුටක් මතු කිරීමට සමත් වූ බව ද පෙනිණ.

“යං නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා ච ලග්ගේ
යං තත්ත යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඤ්ඡන මහං සිරසා නමාමී”

යනුවෙන් ශ්‍රී පාදය වන්දනා කිරීමේ ප්‍රසිද්ධ ගාථාව කියැවෙද්දී තම රටේ තිබෙන ‘සච්චබද්ධ පර්වතය’ මුදුනේ ද බුදුන් වහන්සේ සිය සිරිපතුල පිහිටුවූ බව කියැවෙන හෙයින් ඔවුහු ඒ පිළිබඳව අතිමහත් ප්‍රීති ප්‍රමෝදයකට පත්වූහ.

එම නවමු ප්‍රවෘත්තිය තම තමන්ගේ අචල ශ්‍රර්ධා භක්තියට ද ඉහළින් ම ප්‍රමාණවත් එකක් වූ හෙයින් සියම් වන්දනා නඩයේ මූලිකත්වය දැරූ නායක හිමියන් තීරණය කළේ ආපසු සියරට බලා ගිය ගමන් ම මෙම පුවත මෙකල සියම් රටේ රාජපදප්‍රාප්තව සිටි සොං තාවෝ රජතුමා වෙත සැලකර සිටිය යුතු බව ය. එය පසුව එසේම සිදු විය.

භක්තිමත් බෞද්ධයකු ද වූ සියම් රජතුමා ද මෙම ආරංචියෙන් බලවත් සතුටකට පත්වූයේ වහාම එම ශ්‍රීපාදය සොයාගන්නා ලෙස සිය සෙබලුන්ට අණ කර සිටියේ ය. එහෙත් ඔවුන් සච්චබද්ධ කඳු මුදුණේ සෑහෙන කාලයක් තිස්සේ සොයා බලන ලද නමුත් සිරිපතුල සොයාගත හැකි නොවී ය. මෙය ලංකාවේ වන්දනාමාන කළ අයගේ ද කණස්සල්ලට ද හේතු විය‍.

මෙසේ තවත් මාස ගණනක් ඉක්ම ගිය පසු දිනෙක දඩයක්කාරයකු සිය දුන්න සහ ඊතල ද ගෙන මෙම කන්දේ සැරිසරද්දී මුවකු දැක ඊතලයක් විද්දේ ය. මුවා ඊතල පහර කාගෙනම කඳු මුදුනට දිවීය. දඩයක්කාරයා ද කළේ ඊ පහර වැද ලේ පෙරාගෙන ගිය මුවා සොයා කඳු මුදුන කරා දිවයාම ය. එහෙත් ඔහුට මුවා සොයාගත නොහැකි විය.

මෙම අවස්ථාවේදී දඩයක්කාරයාට පිපාසය ඇතිවූ හෙයින් අසල ජලය තිබේදැයි සොයා බැලීය‍. ‍ඔහුට දක්නට ලැබුණේ කැලයේ එක් තැනෙක වතුර පිරී තිබෙන බව ය. ඔහු ඉන් පිපාසය සිඳවාගෙන බලන විට ඔහුට දක්නට ලැබුණේ තමන් මෙසේ දිය බී‍ෙව් මනුෂ්‍යයකුගේ පාදයක් මෙන් වූ කැටයම් සහිතව තිබූ තැනෙක පිරී තිබූ ජලයෙන් බව ය. මෙහිදී ඔහුට මතක් වුණේ මාස ගණනකට පෙර රටේ රජතුමා බුදුහිමියන්ගේ සිරිපතුලක සටහනක් කඳු මුදුනේ තිබිය යුතු බවත් එය සොයා ගැනීම සඳහා සෙබලුන් යැවූ විත්තියය. එහෙත් ඔවුනට එය සොයාගත හැකි ‍නොවීය. මේ එම සිරිපතුලය. එහෙයින් මෙහිදී දඩයක්කාරයා කළේ වහා කඳු පාමුලට පැමිණ එහි සිටි ආණ්ඩුවේ මුලාදෑනියෙකුට මෙපුවත කියා එය රජතුමාට දැන ගන්නට කටයුතු සැලැසීමය.

මෙම ශාසනික පුවත දැන ගන්නට ලැබුණු අවස්ථාවේදී බලවත් ලෙස සතුටට පත් සොං තාවෝ රජතුමා කළේ ප්‍රධාන පෙළේ නායක භික්ෂුන් වහන්සේලා කිහිපනමක් ද සෙබලුන් ද සමඟ කඳු පාමුලට පැමිණ එහි සිටි දඩයක්කාරයා හමුවී ඔහු සමඟ කඳු මුදුනට ගොස් බුදු සිරි පතුල දැක ගැනීමය. එහිදී සියල්ලන්ටම ඇති වූයේ බුදු පියාණන් වහන්සේ දුටුවාක් මෙන් වූ සතුටකි. පාලි ගාථා පාඨයකට පමණක් සීමා වී තිබී දැන් තම තමන්ගේ නෙත් හමුවේ ම දිස්වන ශ්‍රී පතුල මෙසේ හමුවීම නිසා අතිශයින් ම චිත්ත ප්‍රමෝදයට පත් රජතුමෝ මෙහි බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකිරීම උදෙසා යුහුසුලුව කටයුතු සම්පාදනය කරවූහ. එම ස්ථානයට නිසි ලෙස ආරක්ෂා සංවිධාන ඇති කරලීමට ද සෙබල පිරිස යෙදවූහ.

සියම් දේශයේ (දැන් තායිලන්තයේ) සච්චබද්ධ කඳු මුදුනේ පරන්තපා මහා විහාරය නමින් දැනුදු එම ර‍ෙට් පමණක්ද නොව මුළු ලෝකයේ ම බෞද්ධයන්ගේ බහුමා‍න ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් පවතින මෙම සිරිපතුල රැඳි විහාරය මෙසේ යළි මතුකර ගනු ලැබුවේ ලංකාවේ ශ්‍රීපාදය වන්දනාමාන කර ගැනීම පිණිස ගිය පැවිදි ගිහි වන්දනා පිරිස නිසා වූ හෙයින් එම පිරිසේ පැවැදි ගිහි පිරිසට මෙහි භාරකරත්වය ලබා දෙනු පිණිස ද සොං තාවෝ රජතු‍මෝ කටයුතු කළහ. කරුණු මෙසේ වූ හෙයින් එදා සිට මේ දක්වා එහි භාරකාරත්වය පවතින්නේ එම පැවිදි ගිහි පාරම්පාරික තත්ත්වය අනුවමයි.

පසුකලෙක ලංකාවට උපසම්පදාව ගෙන ඒම පිණිස සියම් දේශය බලා ගිය විල්බාවේ මොහොට්ටාල ඇතුළු පිරිස ද විශේෂයෙන් ම සහපිරිවරින් ‍ගොස් මෙම සියම් සිරිපතුල වන්දනාමාන කරගත් පුවතද එම ඉතිහාසයෙහිදී මනාව සඳහන් වන්නේය.

මෙයට වර්ෂ දෙදහස් ගණනකට පෙර - දේවානම් පියතිස්ස රාජයුගයේදී ලංකාවට බුද්ධ ධර්මයේ ආශිර්වාදය ගෙන සපැමිණි මහාමහින්ද රහතුන් වහන්සේ සම්බන්ධයෙන් ද මුව දඩයමක තොරතුරු කියැවුණා සේම මෙහිදී ද සියම් පිරිපතුල මෑත යුගයේ සොයා ගැනීමෙහිදී ද මුව දඩයමක කතාවක් කියැවීමද මවිතයට ද හේතුවක් වෙයි.

එයින්ද ශතවර්ෂ ගණනාවකට පසුව - වර්ෂ 1949 දී එවකට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ගුණපාල පියසේන මලලසේකර මහාචාර්ය තුමන්ට සියම් ‍ෙද්ශයෙන් ලැබුණේ එරටට පැමිණීම පිළිබඳ සුවිශේෂ ආරාධනයකි. එම ආරාධනය අනුව එහි ගිය මලලසේකර මහාචාර්යතුමනට සච්චබද්ධ කඳු මුදුනේ ශ්‍රී පාදය වන්දනා මාන කරද්දී ඇතිවූ විශ්මයජනක කටයුත්තක් නිසා එතුමාට සමස්ත ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමේ නිමිත්ත ද ඇති වූයේය. එම සිද්ධි දාමය වෙනම ලිවිය යුතු ‍- වෙනම කියැයුතු කතාවකි.

Comments