මෙවර මැටි පහන් සඳහා කවරදාකටත් වඩා වැඩි ඉල්ලුමක්... | Page 2 | සිළුමිණ

මෙවර මැටි පහන් සඳහා කවරදාකටත් වඩා වැඩි ඉල්ලුමක්...

මොහඳුර නැතිකර ජීවිතාවබෝධය ලබා දෙන්නට බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල ධර්මයට හැකියාවක් ඇත. නිර්මල බුදු දහම සිරිලකට ලැබුණු පොසොන් මාසයත් පොසොන් සඳ එළියෙන් නැහැවී දැහැමි පැතුම් ඉටුවන පොසොන් පොහොයත් උදා වී ඇත. අඳුර දුරලා ආලෝකය දකින්නට අප කවුරුත් කැමතිය. ආලෝකය සෑම ජීවිතයකට ම සතුටක් එක් කළ ද එහි නියම වටිනාකම හා සතුට විඳිය හැක්කේ අඳුරේ සිටින කෙනෙකුට ය.

ගණදුර ආලෝකයෙන් ඒකාලෝක කිරීමට ධර්මයත්, ඒ මනස ඔපමට්ටම් කිරීමේ ලා කලා ශිල්පත් රැගෙන මෝහයෙන් ඥානාලෝකයට අප යොමු කළ මහින්දාගමනයට වසර 2563 ක් සපිරෙන්නේ අද වැනි දවසක ය. ඒ දාදාද වූ කලා ශිල්ප අතර අාමිස පූජාවට අදාළ නිර්මාණ ද වේ. කාලයක් තිස්සේ මැටිවලින් නිර්මාණ කරන රනාල ගම්වැසියන්ට මේ මොහඳුර ආලෝක කරන්නට මැටි පහන් නිපදවීම ජීවිතයේ ම කොටසක් වීම කවදාවත් අරුමයක් වූයේ නැත. සුමට මැටි පිඬ ඒ නිර්මාණකරුවන් අත සුන්දර නිර්මාණ බවට පත් වන්නේ කලාවේ ආශීර්වාදයෙනි. ඒ ආශීර්වාදයට එක්වන භක්තියට සුන්දර මැටි පහනක් නිපදවීමට ගත වන්නේ සුළු කාලයකි; එහෙත් ඒ පහනේ වසර දහස් ගණනක ඉතිහාසය හා සිතේ ජනිත භක්තිය සැඟ ව ඇත්තේ ය.

ඒ උතුම් පොහොය දින බුද්ධ වන්දනාවෙන් සිත් පහන් කරන බැතිමතුන් වෙනුවෙන් කඩුවෙල රණාල ප්‍රදේශයේ මැටි පහන් නිපැයෙන්නේ දස දහස් ගණනිනි. රණාල ග්‍රාමය මැටි පහන් කර්මාන්තය වෙනුවෙන් නම් දරන්නේ ඈත අතීතයේ සිට ය. පාරම්පරික කර්මාන්තයක් ලෙසින් රැගෙන එන මේ ශිල්පය වර්තමානයේ රණාලේ ජීවත්වන ශිල්පීන් විසින් රැකගෙන ඉදිරියට යන අතර, එය දැනුදු ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව බවට පත්ව තිබෙයි. වසර පුරාවට ම මැටි පහන් තැටි නිපදවන මේ කර්මාන්තකරුවන් ගේ නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි වන කාල වකවානුවක් ලෙස වෙසක් හා පොසොන් පොහොය සමය හැඳින්විය හැකිය.

රණාල , සී, 5 ලිපිනයේ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන එම්. රන්ජන් සමන්තිලක පවසන්නේ මෙවර පහන් වෙනදාටත් වඩා විශාල වශයෙන් අලෙවියක් පවතින බවකි. එයට හේතුව සේ ඔහු දකින්නේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එළැඹි වෙසක් උත්සවය වෙනුවෙන් ගමක් ගමක් පාසා නිවෙස් වල හා විහාරස්ථාන වල පහන් දල්වන ලෙස බැතිමතුන් දැනුවත් කළ නිසා විශාල අලෙවියක් තිබූ බව ය. එමෙන්ම පහන් තැටි සපයාගන්නටත් පවා නොහැකි ප්‍රමාණයෙන් තොග වෙළදුන් හා සිල්ලර වෙළඳුන්ගේ විශාල ඉල්ලුමක් මේ සඳහා පවතින බවකි.

ඒ ඉල්ලුම පොසොන් පොහොය වෙනුවෙනුත් ඒ අන්දමින් ම පවතින බව ඔහුගේ අදහසයි. රුපියල් තුනත් හතරත් අතර, තොග මිළකට අලෙවි වන මැටි පහනක් රුපියල් දහයක සිල්ලර මිළට අලෙවි වන අයවස්ථා දඇති බව පවසන රන්ජන් සමන් මැටි පහන් නිපැයීමේ වෘත්තිය අරඹා ඇත්තේ වසර 18 දී ය. මේ වන විට මැටි පහන් කර්මාන්තයේ නියැළි ඔහුගේ කාලය වසර තිහකටත් වඩා වැඩි ය.

අලෙවිය සිදු කර ගැනීමට කිසිදු අපහසුවක් නොමැති වුව ද මැටි රැගෙන ඒම හා මැටි වල මිළ අධික වීම මේ කර්මාන්තයේ නියැළි පිරිසට ඇති එක ම ගැටලුව වී තිබෙයි. සීඝ්‍රයෙන් මිල ඉහළ යෑමත් තාක්ෂණික ක්‍රමවේදයේ පවතින ගැටලුත් නිසා මැටි කර්මාන්තය වෙත බාධා එල්ල වන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත් සිය පාරම්පරික ජීවන වෘත්තිය මේ පිරිස කරන්නේ සිතේ සතුටත් සමඟිනි. ඔවුහු එය ජීවන වෘත්තියක් ම නොකරගෙන කලාවක් සේ රසවිඳින්නේ ඒ නිසා ය. වෙනත් වසර වල වෙසක් හා පොසොන් වෙනුවෙන් ජනතාව විශාල වශයෙන් විදුලි ආලෝක ධාරා භාවිත කළ ද මෙවර මැටි පහන වෙනුවෙන් ලබා දී ඇති ස්ථානය ඉතා සුවිශේෂී බවට පත්ව තිබේ. විදුලි බුබුලේ එළියට වඩා වෙනස් නිවුණු, සුපහන් එළියක් විහිදුවන මැටි පහනකින් මිනිස් ජීවිතයක අනියත බව පසක් කර ගැනීම ද ඉතා පහසු ය. පහනින් පහන් දල්වා ,අඳුර මකා තවත් සිතකට එළියක් කරන්නට උදාවූ පොසොන් පොහොය දිනයේ සැම සත වෙත හැකියාව ලැබේවා!

සටහන හා ඡායාරූප
සමන්ති මිරියගල්ල - කඩුවෙල සමූහ

Comments