මැණික් කණින ‘බිංඌරන්, අතින් ඇස්පනාපිට වැනසෙන ඉතිහාසයේ උත්තම උරුමය සෙල්ලකතරගම වතුරුවාවෙහෙර | Page 2 | සිළුමිණ

මැණික් කණින ‘බිංඌරන්, අතින් ඇස්පනාපිට වැනසෙන ඉතිහාසයේ උත්තම උරුමය සෙල්ලකතරගම වතුරුවාවෙහෙර

සූරිය වැව විශේෂ නුවන් ජයසේකර

සහශ්‍ර දෙකකට එපිට අතීතයක අභිමානය කියන ඉසුරුමත් බිමක ඛේදවාචකය දකිමින් හිඳිමු. අප මේ මෙහොතේ හිඳින්නේ සෙල්ලකතරගම වතුරුවා පුරාණ විහාර භූමියේය. පුරාණ රෝහණ රාජධානියේ උතුරු කෙළවරේ පිහිටි මේ පුදබිම ගැන පාලි රසවාහිනියේද දැක්වේ. එම කෘතියේ ලංකාදීප උත්පත්ති කතාවේදී මේ ස්ථානය සඳහන් වන්නේ වත්තුර ආර වෙහෙර නමිනි. මහින්දාගමනය සිදු වූ වකවානුවේම දේවනාම්පියතිස්ස රජ සමයට අයත්, දුටුගැමුණු රජුගේ වකවානුව දක්වා ඉදි වුණ ක්ෂුද්‍ර චේතිය සම්ප්‍රදායට අයත් දාගැබ්හි නටබුන් වරෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ප්‍රකාශයට පත් කර තිබුණා මතකය.

යුග ගණනක් තුළ විකාශනය වූ බෞද්ධ සංස්කෘතියේ අභිමානවත් සාධක වූ ටැම්පිට විහාරයන්හි ශේෂ වූ ගල් ටැම්, ටැම්ලිපි, විහාර භූමිය වට කළ ප්‍රාකාර බැම්ම, පුරාණ වළං හා උළුකැබලි සහිත විශිෂ්ට පුරාවිද්‍යා භූමියක ලක්ෂණ පුරාවිද්‍යා වාර්තාවන්හි අන්තර්ගතව ඇති අයුරු දුටුවා මතකය. එහෙත් මේ උත්තුංග පුදබිම මේ මොහොත වන විට ව්‍යසනයක මුවවිටය. වගකිවයුතු කිසිවෙකුගේ අවධානය තවමත් මේ බිමට යොමු වී නැත. මේ මොහොත වන විට මේ බිම හැසිරවෙන්නේ පතල් කපන මැරයන්ගේ මැර බලයෙන් බව පෙනේ.

මහාවංශය අනුව රෝහණ රාජධානිය නිර්මාණය කරන්නේ මහානාග මහ රජුය. මේ භූමියේ ඉතිහාසය ඒ වකවානුව තෙක් දිවෙන්නේය. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් අනාවරණය කරන පරිදි දුටුගැමුණු මහ නිරිඳුන් තුන් සිංහලය එක් සේසත් කිරීමට යන ගමනේදී සිවුරඟ සේනාව සමග පැමිණ මැණික් ගඟ තරණය කළ ස්ථානයද පිහිටා ඇත්තේද මේ පුදබිමෙහිය. දුටුගැමුණු රජු වැඩි රජ මාවතේ නිශ්ශංකමල්ල මහ නිරිඳුන් විසින් පිහිටුවූ, මෙතෙක් ආරක්ෂා වී ඇති එකම නිශ්ශංකමල්ල ගවු ලිපියද (ගාවුත ලිපිය) මේ බිමේ රක්ෂා වී තිබේ. සෙල්ලකතරගම වතුරුවා රජ මහා විහාරය හා විහාරස්ථානය සතු භූමිය අක්කර 64කි. පතල් කපන්නන්ගේ ග්‍රහණයට ලක් වීම නිසා දිනෙන් දින විනාශයට යමින් ඇත්තේ මේ පුරාවිද්‍යා භූමිය ය. වතුරුවා රජමහා විහාරයේ විහාරධිපතීන් වහන්සේ ආචාර්ය දෙනගම ධම්මරතන හිමියෝය. උන්වහන්සේ මේ ව්‍යසනය පිළිබඳ අප හා සංවාදයට එක් වෙති.

“මේක පුරාවිද්‍යා භූමියක්. ඉතිහාසයක් ලියැවුණු ජාතික වටිනාකමක් ඇති තැනක්. මේ භූමියේ මගෙන්වත් විචාරන්නෙ නැතිව රජයේ නිලධාරීන් කීපදෙනෙක්ගේ අනුදැනුම මත පිරිසක් පතල් කැණීම් කරනවා. අක්කර 67ක් පැතිරිලා තිබුණු මේ පූජනීය භූමිය අද අක්කර 07කට සිමා වි තිබෙනවා. ගෙවුණු වසර 18ක පමණ කාලය තුළ එක්තරා දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමකින් මේ පූජනීය ස්ථානය සතු වු භූමි භාගය බෙදා වෙන් කොට ගම්මානයක් බවට පත් කිරිමට කටයුතු කළා. මහත්තයෝ ඒ අය කිසිම පුරාවිද්‍යාත්මක ගවේෂණයක් මේ බිමේ කළේ නෑ.

“අද වන විට විහාරස්ථානය සතුව ඉතිරි වී තිබෙන ඉතිරි අක්කර 07ත් විවිධ පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන. ඒ තත්ත්වයත් එක්ක විහාරාධිපති හිමි වශයෙන් මා දැඩි අපහසුතාවට පත් වෙලා තියෙනවා. අවස්ථා ගණනාවකදීම මා මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන් හා ජනාධිපතිවරයා දැනුවත් කිරිමට කටයුතු කළා. තවමත් සාර්ථක පිළිතුරක් ලැබුණේ නෑ.

“අද වන විට මේ පුජා භූමිය සතුව පැවති ඉඩම් විවිධ පුද්ගලයන්ට බෙදා දීලා. ඔවුන් ගෙවල් දොරවල් හදන විට හමු වන විවිධ පුරාවස්තු හොර රහසේ මැණික් ගඟ ළඟට ගෙනත් දානවා. මේවා ජාතියක් විදිහට ආරක්ෂා කරගන්න ඕන තැන්. විහාරාධිපති හිමියන් හැටියට මා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලනේ මුලින්ම ජනතාව වෙත ලබා දි ඇති විහාරස්ථානය සතු ඉඩම් පිළිබඳ නිසි පුරාවිද්‍යාත්මක ගවේශෂණයක් කරන්න. ඔවුන් දැන් පදිංචිවෙලා ඉන්න භූමිය ඔවුන්ට නිරවුල් කරලා දෙන්න. විහාරස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි ඉඩම් හිමියකු සිදු කරන පතල් කැපීම වහා නතර කර දෙන්න. මේවා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩම්. කොහොමද මෙහෙම වෙන්නෙ.”

“1960 දශකයෙහි වග වලසුන්ගෙන් ගහන වන ළැහැබක් ව පැවති මේ සිද්ධස්ථානය සොයාගත්තේ අපවත් වී වදාළ රණකෙළියේ ශ්‍රී රේවතාභිධාන නායක හාමුදුරුවන් වහන්සේ. අනතුරුව මොනරාගල ශ්‍රී සුමේධ නායක හාමුදුරුවන් වහන්සේ මේ සිද්ධස්ථානය සමස්ත බෞද්ධයන් වෙනුවෙන් ආරක්ෂා කළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු මා විහාරාධිපති හිමි ලෙස කටයුතු කරනවා.

“මේ විහාරය පිහිට ගම තමයි පුරාණයේ “කළුවල ගම“ නමින් හැඳින්වුණේ. මේ ගම්මානය අද කියන්නෙ කරවිලේ ගම කියලා. මහානාග මහ නිරිඳුන් විසින් කරවන ලද බවට ඓතිහාසින සාධක පවතින මේ සිද්ධස්ථානය රුහුණු පුරවරයේ උදාර ඉතිහාසයකට උරුම කම් කියන පින් බිමක්. නාග මහ වෙහෙර, උඩුකදුරු වෙහෙර, යඨාල වෙහෙර, නයිගල රාජමහා විහාරය ආදී වූ සිද්ධස්ථාන ඉදි වූ යුගයෙහිම මාහානාග මහ නිරිඳුන් විසින් කාජරගාමයෙහි ඉදි කළ සිද්ධස්ථානයක් ලෙසයි මෙය සැලකෙන්නේ.”

“ දුටුගැමුණු රජතුමා මහා සටනට යන්න මැණික් ගඟ තරණය කළ ස්ථානය සනාථ කරන වටිනාම සාධකය ලෙස දුටුගැමුණු රජු වැඩි රජ මාවතේ නිශ්ශංකමල්ල නිරිඳුන් පිහිටවූ මෙතෙක් ආරක්ෂා වී ඇති මේ ප්‍රදේශයෙහි පවතින එකම නිශ්ශංක ගව් ලිපිය මෙහි තවමත් පිහිටා තියෙනවා. එමෙන්ම ටැම් පිට විහාර මන්දිරය, පුරාණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ පුරාණ වතුරුවා තොටුපළත් මේ ඓතිහාසිකත්වට සාක්ෂි දරනවා. මා ඉහළ බලධාරීන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා විනාශ වෙමින් පවතින මේ විහාරස්ථානය පිළිබඳව දැඩි අවධානය යොමු කර අනාගත පරපුර සදහා ආරක්ෂා කර දීමට කටයුතු කරන්න යැයි” උන්වහන්සේ පවසති.

අප උන්වහන්සේගෙන් සමුගෙන පුදබිම අවට ඇවිද යන්නට වීමු. අප දකින්නේ මේ පහා පුදබිම ව්‍යසනයට ලක් කරන සොහොන් ලකුණු පමණය. විහාරස්ථානයට මිටර් 100ක පමණ දුරට වන්නට විහාරස්ථානයට අයත් වු පුජා භූමියේ පදිංචිව සිටින එක්තරා පිරිසක් අප නෙත් අබියසම එහි පතල් කැණීම් කරති. විහාර භූමියේ ඇති පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානද වන වදුලට යට වී ගොස්ය. අසල වන්නේ නිශ්ශංකමලල් රජුගේ ගව් ලිපිය ය. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය) සිට පොලොන්නරුව දක්වා වැටී තිබූ රජ මාවතෙහි ගව්වෙන් ගව්වට ”ටැම්ලිපි” පිහිටුවී යැයි වංශකතා කියයි. රුහුණේ ශේෂව ඇති එකම ගව්ලිපිය වන මෙහි පැති තුනක අක්ෂර කොටා ඇත. අක්ෂර කෙටීමේ පහසුව තකා ඉරි රූල් ගසා ගල්ටැඹ මටසිලිටු කර නිමවා ඇති අයුරු දකිමි. මේ ගව් ලිපියේ අක්ෂරයක ප‍්‍රමාණය අඟල් දෙකේ සිට දෙකහමාර දක්වා විහිදී තිබේ. නිශ්ශංක මල්ලයන් මේ ලිපි පිහිටුවීමේ අරමුණ රුහුණේ ජනතාවට අවවාද ලබාදීමය. පැණවතුන් කියවා පළ කළ මේ ගවු ලිපියෙහි පෙළ මෙසේය.

“යහපතක්ම වේවා. රුහුණු රාජ්‍යයෙහි ජීවත් වන්නා වූ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් කියමි. ධන ධාන්‍ය සහ දැසි දස්සන් සහිතව සියලු සම්පතින් ආඪ්‍යව ජීවත් වීම ඉතා යහපත් වෙයි. මායා රටෙහි සහ පිහිටි රටෙහි ජීවත් වන්නා වූ අයගෙන් නින්දාවට පරිභවට ලක් වීම උචිත නොවෙයි. ලෝභීව අනුන්ගේ දේවල්වලට ආශා කිරීමද රුහුණු වැසියන්ට නොගැළපෙයි.

බත් කෑ බුලත් කෑ පමණින් උද්දච්ච නොවී රුහැණන් ස්වාමි පක්ෂපාති ගැත්තන් විය යුතුය. මනුෂ්‍ය ආත්මය ලැබීම දුර්ලභ වෙයි. දුකින් ලද ආත්මය අර්ථයක් නැතිව ජීවත් වීම යහපත් නොවෙයි යනුවෙන් මේ අවවාද ලබා දී පාණ්ඪ්‍ය රාජ්‍යයට දෙවරක් ගොස් තුලාභාර දී පාණ්ඪ්‍ය රජුගෙන් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදී වූ තමාට අය විය යුතු ලැබීම් ලබා සොලී රටින් ත්‍යාග ලබාගෙන ලංකාවට පැමිණ තුන් සිංහලයම (රුහුණු, පිහිටි, මායා) පැදකුණු කොට සමනොළකන්ද ආදී වූ දුර්ග බලා පැමිණි කාලිංග චක්‍රවර්තී ස්වාමීන් වහන්සේ පිහිටුවූ නිශ්ශංක ගව්වයි”.

එවැනි සුවිශේෂී වූ ගව්ලිපි මොනරාගල දිස්ත්‍රික්කයේ, තිඹිරිගස්ආර, අතලේ, බකිනිගහවෙල වීදිය, තිඹිරිය විහාරය, පොතුබද්දන විහාරය සහ ඉලුක්කාපුදෙන නම් ස්ථාන හයකින් ද අනාවරණය කරගෙන තිබේ. පුරාණ රජමාවත පිළිබඳ විශිෂ්ට තොරතුරු ප්‍රමාණයක මේ ලිපිවල ගැබ් වී තිබේ. මේ අපේ ඉතිහාසය ය. අප මේ ව්‍යසනයට ඇද දමා ඇත්තේ ජාතියක අභිමානය ය. මෙවන් ඓතිහාසික සාධක ව්‍යසනයට ඇද දමා බලා සිටින්නට හැකි වගකිවයතු බලධාරින් අපට කියා දෙන්නේ අප ජීවත් වන රටේ තරමය.

Comments