මාමාගේ දේපළ වංචාවෙන් ලියාගත් පුතා මේ ආත්මෙදීම විඳවයි | සිළුමිණ

මාමාගේ දේපළ වංචාවෙන් ලියාගත් පුතා මේ ආත්මෙදීම විඳවයි

මේ සංසා‍ෙර් ගමන ඉතා දීර්ඝය. ආරම්භයක් කෙළවරක් නොපෙනේ. කෝටි ප්‍රකෝටි ගණනක් ජාතිවල ඉපදී ජීවිත ගෙවන්නට ඇත. ඒ ඒ ජාතිවල මවුපිය වැඩිහිටි ගුරුවරු දූ දරු අඹු සැමි ආදී ඥාති මිත්‍රයන් අපට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරන්නට ඇත. මිනිස් ජාතියේ පමණක් නොව බලු, බළල්, කොටි, හිවල් ජාතිවල ද අපා දෙපා සිවුපා බහුපා පෙනෙන නොපෙනෙන ජාතිවල ද ඉපද ඔවුන්ගේ ලේ කිරි කර පානය කරන්නට ඇත. උදව් උපකාර ගන්නට ඇත. සියල්ලන්ට අප ණය ගැතිය. ඒ ණය ගෙවා අවසන් වන තුරු “නිවනක්” නම් නැත. යළි යළි ඉපද ණය ගෙවිය යුතුය. ඒ නිසා මේ දීර්ඝ ගමනේ දී අප රැස් කරගත් පින් කන්දෙන් පින් අනුමෝදන් කොට ඒ ණයෙන් නිදහස් විය යුතුය. මේ සංසාර ගමනේදී ඒ කෝටි ප්‍රකෝටි ගණනක් මවුපිය ඥාති මිත්‍රාදීන්ට අපේ සිත කය වචනයෙන් දැන හෝ නොදැන වැරදි සිදුවන්නට ඇත. ඒ සියලු සත්ත්වයන්ට දිනපතා උදේ හවස මාසයක්වත් “කමාව අයදිමි කමාව අයදිමි කමාව අයදිමි. මට කමාව ලැබේවා” යි කමාව ගත යුතුය.

එසේ ම ඔවුන්ගෙන් අපට ද දැන නොදැන වැරදි සිදු වන්නට ඇත. ඒ සියලු සත්ත්වයන්ට ද “කමාව දෙමි කමාව දෙමි කමාව දෙමි සුවපත් වෙත්වා” යි කමාව දී නිදහස් කළ යුතුය. මේ ජාතියේ මවුපියන් මෙන් ම පෙර ජාතිවල මවුපිය ඥාතීන්ට ද පින් අනුමෝදන් කොට නිදහස් විය යුතුය. නැතහොත් ඒ ණය ගෙවන්නට යළි යළි ජාතිවල ඉපද ජාති ජරා ව්‍යාධි මරණ දුක් දොම්නස් වැලපීම් පසු තැවීම්වලට ලක් වී දුක් විඳිය යුතුය. ඒ අතර තව තවත් මතු ජාතිවල උපදින්නට කර්ම රැස් කරගනී. පින් කළත් පව් කළත් එහි විපාක විඳින්නට ජාති සකස් වේ. ඒ හේතු ඵල දහමයි. ඒ නිසා සිදු කරන සෑම පිනක් ම කුසලයක් බවට පත් කර ගත යුතුය. ඒ පින්කම කළ, ලෝභ - ද්වේෂ - මෝහ නොතිබිය යුතුය.

හලාවත නිමල් හැට හැවිරිදිය. බිරිය පත්මිණී ද හැට හැවිරිදිය. ඔවුන්ගේ නි‍ෙවසේ අසාමාන්‍ය සද්ද බද්ද දුර්ගන්ධ ඇසෙන්නට දැනෙන්නට විය. රාත්‍රියට නිවෙසේ එහා මෙහා යන ඡායාවල් පෙනෙන්නට විය. නිවැසියන් හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වන්නට විය. ඔවුන්ගේ පවුලට ඥාතියෙකු හූනියමක් කර ඇතැයි දේවාලයකින් කියැවුණු නිසා විශාල මුදලක් වැය කොට තොවිලයක් කර හූනියම් කැපීය. ඉන් දෙසතියකට පසු විසි හැවිරිදි පුතා රිය අනතුරකින් මිය ගියේය. හූනියම අලුත් කැර ඇතැයි සිතා යළිත් ප්‍රතිකාර සෙවූහ.

“සිළුමිණ” කියවන ඥාතියෙකුගේ උපදෙසක් මත නිමල් පද්මිණී සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේය. ආධ්‍යාත්මීය උපදේශක මුණ ගැසී දුක් ගැනවිලි විස්තර කොට ප්‍රතිකාර පැතූහ.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට රෝග පරික්ෂාවේ යෙදෙන විට පද්මිණී භූතාත්මයක් ආවිෂ්ට වී සිහිසුන්ව වැටුණාය. ගවේෂකවරයා ඇය සිහි ගන්වා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

නියමිත උපදෙස් පරිදි බෝධි පූජා පවත්වා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද පද්මිණීට භූතාත්මය ආවිෂ්ට වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම පීටර්” යැයි භූතාත්මය කීවේය.

“කවුද මේ පීටර් කියන්නේ?”

“මේ නිමල්ගේ මාමා. අම්මගේ මල්ලී.”

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“කරදර නොවෙයි මුන්ව නැත්තට ම නැති කරන්න පළි ගන්නවා. මුන්ගේ කොල්ලාව මැරුවෙත් මම. මුන්වත් නැති කරලා ම දමනවා.”

“ඇයි මේ තරම් වෛරයක්. මේ අය ඔබට මොන වරදක් කළාට ද එහෙම කරන්නේ?”

“මුන් කළ වරද මහා බරපතළයි.”

“කියන්නකො බලන්න.”

“මහත්මයා මම අවිවාහකවයි ජීවත් වුණේ. මට හොඳ දේපළක් තිබුණා. පොල් අක්කර පහයි. ගෙයත් එක්ක ඉඩම් අක්කර දෙකයි. මුදලින් ලක්ෂ විසි පහකට වඩා තිබුණා. මගේ තනි නොතනියට ඉවුම් පිහුම්වලට පිටස්තර මිනිහෙක් තියාගෙන හිටියා. මම ඒ මනුස්සයාට වැටුපක් දුන්නා. හොඳට සැලකුවා. ඒ මිනිහා මටත් හිතවත්ව සැලකුවා. මුන් දෙන්නා ගිහින් ඒ මිනිහාට ගහලා බැණලා පන්නා ගත්තා.

මම අසනීපයෙන් හිටියේ. මාව මුන්ගේ ගෙදරට අරගෙන ආවා. මුලදි මට ආදරෙන් සැලකුවා. මගේ ඉඩකඩම් දේපළ ටික මගෙන් ලියවා ගත්තා. සල්ලි ටිකත් අරගත්තා. ඊට පස්සේ කලින් තිබුණු සැලකිලි සාත්තුව නැතුව ගියා. මම දුක් විඳලා මැරුණා. මම දැන් මුන්ගෙන් පළි ගන්නවා.”

“ඔබ පළිගන්න මොනවාද කළේ?”

“මුන්ගේ පුතා මෝටර් සයිකලෙන් යද්දි ලොරියකට තල්ලු කළා. ඌ එතනම මැරුණා.”

“ඔබට මොනවද ඕනෑ?”

“මට මගේ ජීවිතය ඕනෑ. දේපළ ඕනෑ.”

“ඒවා දැන් දෙන්න විදිහක් නැහැනෙ. දුන්නත් ගෙනියන්න බැහැනෙ.”

“ඇයි බැරි මුන් දෙන්නවත් මරලා මගේ දේපළවලට වෙලා මම ඉන්නවා.”

“ඔබ දැන් පීටර් නොවෙයි. මේ දේපළවලට ආශාවෙන් මැරුණු නිසා ප්‍රේතයෙක් වෙලා.”

“ඔව් එහෙම වුණේ මුන් දෙන්නා හින්දයි. මුන් දෙන්නාවත් මරලා ඒ තත්ත්වයට ම පත් කරනවා.” යි ප්‍රේතයා කීවේය.

පද්මිණී පියවි සිහියට පත් කොට ප්‍රේතයා කී කතාව ඇත්තදැයි ගවේෂකවරයා කීවේ.

දෙදෙනාම බිම බලාගෙන නිරුත්තරව සිටියහ.

“දෙන්නත් එක්ක බරපතළ වරදක් කර තියෙනවා. ඒ ණය සංසාරයෙ ම ගෙවන්න වෙනවා. මාමා නමින් විසි පස් නමකට අට පිරිකර සහිතව සාංඝික දානයක් පිරිනමා මාමාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

ඒ අනුව කී ලෙසම සාංඝික දානයක් පිරිනමා ඔවුහු නැවත පැමිණියහ. එදින ද පද්මිණීට භූතාත්මය ආවිෂ්ට වී කතා කරන්නට විය.

“දානය දවසෙ පින් අනුමෝදන් වුණාද?” යි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

ගවේෂකවරයා නිමල් ඇමතීය.

“ඔව් අනුමෝදන් වුණා. ඒ වුණත් මට කළ වංචාවට, ඇදුරෝ ගෙනත් මාව පන්නන්න තොවිල් කළාට දුම්මල ගහලා පුච්චන්න හැදුවාට පළිගන්න නම් ඕනෑ. මම වින්ද දුක් මමයි දන්නේ” යි භූතයා කීවේය.

ගවේෂකවරයා නිමල් ඇමතීය.

“ඔබලා බරපතළ වරදක් කර තියෙන්නේ. සංසාරයෙම ගෙවලා නිම කරන්න බැරි අපරාධයක්. ණයක්. විශාල දේපළ තණ්හාවක්. භූතයා අත හරින්නෙත් නෑ. දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ඔය දේපළවලින් සියයට පනහක් පුණ්‍යායතනවලට පූජා කර මාමාට පින් අනු‍මෝදන් කරන්න. නැත්නම් ගැලවිල්ලක් නෑ.”

“ඔව්.... ඔව්.... අන්න හරි... ඒක හොඳයි. ඒකට මම කැමතියි. එහෙම නොකළොත් මුන් දෙන්නාව ම මරනවා” යි භූතාත්මය කීවේය.

ඒ නියමය පරිදි පුණ්‍යායතනවලට දේපළ පවරන්නට ඔවුන් කැමති වූහ.

ඒ කටයුතු නියමිත පරිදි ඉටු කළ යුතු බවත් ‍‍එසේ ඉටු නොකළොත් භූතාත්මය නැවත පැමිණ පළිගැනීම වැළැක්විය නොහැකි බවත් ගවේෂකවරයා ඔවුන්ට අවධාරණය කළේය.

අදහස්