මහින්දාගමනයේ සංස්කෘතික ප්‍රභාව හෙළි කරන පුරාණ ලංකාවේ සංඝාරාම විකාශනය | සිළුමිණ

මහින්දාගමනයේ සංස්කෘතික ප්‍රභාව හෙළි කරන පුරාණ ලංකාවේ සංඝාරාම විකාශනය

එම්.ආර්.ආර්. ශ්‍යාමලී ගුණරත්න ව්‍යාපෘති කළමනාකරු - අභයගිරිය ව්‍යාපෘතිය, පුරාවිද්‍යා දර්ශනපති (PGIAR), පුරාවිද්‍යා ඩිප්ලෝමා (PGIAR), උරුම කළමනාකරණ ඩිප්ලෝමා(PGIAR) පුරාවිද්‍යා විශේෂවේදී (peradeniya)

ක්‍රි. පූ. 3 වැනි සියවසේ මහින්දාගමනයත් සමඟ ම මෙරට එකල ප්‍රධාන පුරවැසියා වූ රාජ්‍ය පාලකයා ලෙස පෙනී සිටි දේවානම්පියතිස්ස රජු සහ රටවැසියා බුදු දහම වැලඳගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර නගර සැලසුමෙහි වැදගත් වෙනසක් ඇති විය.

මිහින්තලය, වෙස්සගිරිය, සිතුල්පව්ව, හඳගල, රිටිගල, රජගල ආදි ස්ථාන රාශියක පිහිටි ස්වභාවික ලෙන් බෞද්ධ භික්‍ෂූන්ගේ මුල්ම ආවාස විය. ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී පැවති දේශපාලන නායකත්වය සහ බුදුදහම අතර පැවති සම්බන්ධය පැහැදිලිව ම පෙන්නුම් කරන පළමු අවස්ථාව ලෙස මිහින්තලේ “උතිමහරඣගේ” ලිපිය දැක්විය හැකි වේ. එසේ වුව ද දීර්ඝකාලීන ව වාසය කිරීමේ දී ස්වභාවික දේශගුණික තත්ත්වයන් හා සත්ත්ව උවදුරු වැනි හේතු නිසා භික්‍ෂූන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණපාන්නට සිදු වී ඇත.

භික්‍ෂූන්ට සිදු වන ගැහැටවලින් මිදීම සඳහා බුදුන් වහන්සේ විසින් ද විහාරාරාම පරිභෝජනය අනුදැන වදාළහ. ශ්‍රී ලංකාවේ ද භික්‍ෂූ වාසස්ථාන ස්වභාවික ලෙන් හා ලෙන් ආවරණ ආශ්‍රයෙන් මුල් කාලීනව පැවතිණි. එහෙත් පසු කාලීනව නිර්මාණය වන විශේෂිත සංඝාරාම වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. අනුරාධපුර යුගයේ ඉදි වූ වාස්තුවිද්‍යා නිර්මාණ පිළිබඳ වර්ගීකරණයක් සිදු කරන රෝලන්ඩ් සිල්වා ආගමික නිර්මාණ ඇසුරින් ලෙන් විහාර, මහා විහාර, පබ්බත විහාර, පධානඝර යන විහාරාරාම සංඝ සමාජයේ ඇතිවන විවිධ ආගමික අරමුණුවලින් බිහි වන බව දක්වා ඇත. එසේ වුව ද සේනක බණ්ඩාරනායකගේ ඉදිරිපත් කිරීම තුළ ගිරි ආරාම, ඓන්ද්‍රීය ආරාම, කේන්ද්‍රීය ආරාම, පබ්බතාරාම හා පධානඝර ලෙස විවිධ ආරාම සම්ප්‍රදා එහි සැලසුම් අනුව වර්ගීකරණය කර තිබේ.

ලෙන් විහාර

බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ ස්වභාවික වාසස්ථාන ලෙස ලෙන් තෝරාගැනීමෙන් අනතුරු ව ස්වභාවික උවදුරු අවම කිරීමේ මුල් ම පියවර ලෙස ගුහාව තුළ වාස්තුවිද්‍යාත්මක වෙනස්කමක් සිදු කරමින් කටාර කෙටීම සිදු කෙරිණි. විවිධ ජන කණ්ඩායම් සහ ප්‍රභූ පිරිස් වර්ෂා ජලය ගුහාව තුළට ගලා ඒම වැළැක්වීමට කටාරම කොටා භික්‍ෂූන්ට සකස් කර දීමට ඉදිරිපත් වීඇත.

මේ ආකාරයට ලෙන් විහාර ආශ්‍රිත ව්‍යාප්තිය පෙන්වන මුල් ඓතිහාසික යුගයේ මුල් අවධියට අයත් පූර්ව බ්‍රාහ්මී ලේඛන සහිත ආරාමික වාසස්ථාන 265ක් සොයාගෙන තිබූ අතර පසුව නව සොයා ගැනීම් මඟින් එම ප්‍රමාණය 315 ක් දක්වා වර්ධනය වී ඇත. මිහින්තලේ ලෙන් විහාර 100ක් ද දඹුල්ලේ 80ක් ද සීගිරියේ 30ක් ද වෙස්සගිරියේ 27ක් ද වාර්තා වී ඇති බව විවිධ පර්යේෂකයෝ පෙන්වා දෙති. එසේ ප්‍රභවය ලබන ලෙන් විහාර උපරිම සංවර්ධන අවස්ථාව දක්වා විකාශනය වීමේ දී පියවර කිහිපයක් ඔස්සේ සංවර්ධනය වී ඇති බව හඳුනාගත හැකි ය. ඒවා නම්,

1. ගුහාව සකස් කරගැනීම

2. කටාරම් කෙටීම

3. පියස්සක් නිර්මාණය කිරීම

4. අවකාශය බෙදා වෙන් කරගැනීම හා කඩතොලු වැසීමට ප්‍රාථමික අමුද්‍රව්‍ය භාවිතය

5. ගුහා තුළ බැඳ විහාරය සුරක්‍ෂිත කරගැනීම හා අවකාශය වෙන් කර ගැනීමට ගඩොල් බැමි උපයෝගි කරගැනීම

6. සිතුවම්, දොර උළුවහු එකතු වන උපරිම සංවර්ධන අවස්ථාව

මිහින්තලේ, වෙස්සගිරිය, අභයගිරිය දීඝපාෂාණය, රජගල, කොක්එබේ ආදි ලෙන් ආශ්‍රිතව කටාරම් කෙටූ ලෙන් විශාල වශයෙන් පවතී. පියස්සක් ද එකල පැවති බව උපකල්පනය කළ හැකි සාධක ලෙස රවුම් හා සතරැස් හැඩවලින් සමන්විත රැඳවුම් කුහර වෙස්සගිරි පබ්බතාරමයට බටහිර පසින් ඇති සිතුවම් සහිත ගුහාවේ සහ පර්වත මස්තකයේ ඇති ලෙන් ඇසුරින් දැකගත හැකි වේ. එමෙන් ම ප්‍රාථමික අමුද්‍රව්‍ය භාවිතා කරමින් ගුහාවේ අවකාශය බෙදා වෙන් කරගැනීම සහ බැමි සකස් කර තිබීම රජගල මෙන් ම වෙස්සගිරියෙන්ද හඳුනාගත හැකි වේ. තව ද ගුහාව තුළ ගඩොල් බැමි බැඳ ගුහා වාස්තුවිද්‍යාව සංවර්ධනය කරන අවස්ථාවේ දී හරස් බැමි බැඳ සම මට්ටමට ගැනීම සඳහා පැති බිත්ති බැදීම ද වෙස්සගිරිය හා අභයගිරිය දීඝපාෂාණ ලෙනක් ඇසුරින් හඳුනාගැනීමට හැකි වේ.

ලෙන් සංවර්ධනයේ අවසන් විකාශයේ දී දැවයෙන් දොරක් තිබූ බව උපකල්පනය කළ හැකි ශෛලමය දොරබාවක් මෙන් ම උළුවහු පැවතීම, සිවිලිං සිතුවම් තිබීම, ගුහාව ඉදිරිපස ශෛලමය ගොඩනැගිලි ඉදි කර තිබු බවට සාධක ද යථෝක්තව සඳහන් කරන ලද ලෙන්වලින් හඳුනාගත හැකි ය.

ලෙන් ආශ්‍රිත ව භික්‍ෂූ වාසස්ථාන එසේ බිහි වන විට ඒවා භික්‍ෂූන්ගේ වතාවත් මෙන් ම විනය කර්ම සිදු කිරීම සඳහා අවශ්‍ය පොහොයගෙය, නේවාසික ගොඩනැගිලි ආදිය ඉදි වීම ද සිදු විය. වෙස්සගිරිය, පිදුරංගල, සිතුල්පව්ව නිදසුන් ලෙස දැක්විය හැකි ය. එම ලෙන් ආරාම ශ්‍රී ලංකාවේ පුරාණත ම විහාර වර්ගය ලෙස හඳුනාගෙන තිබේ. එහි සැලැස්මේ ජ්‍යාමිතික බවක් නැත.

මහා විහාර

මහින්දාගමනයත් සමඟ රාජ්‍ය පාලන තන්ත්‍රය දැරූවන් බුදු දහම වැලඳගැනීම සිදු වේ. මහාවිහාර සීමාව සලකුණු වී ඇත්තේ නගරයට දකුණු දෙසින් ප්‍රාකාරයෙන් පිටතය. ලක්දිව මුලින්ම ඉදි වන ආරාමය ලෙස හඳුනාගනු ලබන්නේ තිස්සාරාමයයි. අනතුරු ව ස්තූපයක් කේන්ද්‍ර කරගනිමින් විධිමත් සැලැස්මක් සහිත ව මහා විහාරය බවට පත් ව ඇත්තේ මෙම තිස්සාරාම විහාරය වේ.

භික්‍ෂූන් උදෙසා රජු පසුව මහාමෙව්නාවේ තවත් ගොඩනැගිලි ඉදි කර ඇති අතර චෛත්‍යය තිබිය යුතු ම අංගයක් බවට පත් වන්නේ ථූපාරාමය ඉදි කිරීමෙන් අනතුරුව ය. ඒ කාල සීමාවේ දී අනුරාධපුරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ දකුණු දිග ද බුදු දහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙනේ. රුහුණු රටෙහි මෙන්ම සෙසු පළාත්වල ද විශාල ආරාම ඉදි වූ බව සඳහන් වේ. දුටුගැමුණු රාජ්‍ය සමයේ එනම් ක්‍රි.පූ 1 වැනි සියවසේ ඉදි වන මිරිසවැටිය හා ඉන් පසුව ඉදි වන රුවන්මැලි සෑය වැනි ආරාම ද වැදගත් ආරාම බවට පත් වේ. බෞද්ධ ලෝකයේ ප්‍රමුඛස්ථානය රුවන්මැලිය ප්‍රමුඛ මහා විහාරයට හිමි ය.

එම විහාර සැලසුම්වල ස්තූපය, විවෘත භූමිය, පූජනීය අංගණය හා පූජනීය නොවන නේවාසික අංගණය ලෙස ප්‍රධාන කොටස් 4ක් වේ. ස්තූපය වටා විශාල විවෘත අංගණයක් පවතින අතර ස්තූපයට ආසන්න ව සෙසු පූජනීය අංග පවතින්නේ එයට මුහුණලා ය. බෝධිඝරය, පිළිමගෙය, පොහොය ගෙය, ධර්මශාලාව, සන්නිපාත ශාලාව ආදී පූජනීය ගොඩනැගිලි පූජනීය අංගණයේ පවතී. පූජනීය නොවන නේවාසික අංග ඉන් පිටතින් ස්ථානගතව තිබේ. නේවාසික ගෘහ බොහෝ විට මධ්‍යයේ විශාල ගොඩනැගිල්ලක් ද එයට මුහුණලා සෙසු කුටි හතරක් ද සහිතව පංචාවාස සැලසුමක පවතී. එම ඇතැම් ප්‍රධාන ගෘහයන්හි පිටුපස දැව තරප්පු සවි කළ ශෛලමය පාදම් ගල් ශේෂ වී ඇත. ඉන් ගොඩනැගිල්ලේ උඩුමහල් තිබූ බව සනාථ වේ.

මේ ආකාරයට බුදු දහමේ ප්‍රභවයත් සමඟ ථේරවාදී බුදු දහම වැලඳගත් භික්‍ෂූන් මහා විහාරය ආශ්‍රිත ව වැඩ වාසය කළ අතර ක්‍රි. පූ. 1 වැනි සියවස දක්වා කාලය වන විට ඇති වූ විවිධ මතවාද හේතුවෙන් භික්‍ෂූන් වහන්සේ ථේරවාද සහ මහායාන යනුවෙන් දෙකොටසකට බෙදී යන අතර මහායාන මතධාරීන් අභයගිරිය ද වෛතුල්‍යවාදීන් දක්‍ෂිණගිරිය හා ජේතවනය මුල් කර ගනිමින් ද එම විහාර සංවර්ධනය කර තිබේ.

මහා විහාරය සඳහා දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මුල් අඩිතාලම දැමීම සිදු වේ. එහි වඩාත්ම සංවර්ධිත අවස්ථාව දැකගත හැක්කේ දුටුගැමුණු සමයේදී ය. වලගම්බා රාජ්‍ය සමයේ ක්‍රි .පූ 1 වැනි සියවසේ මහායාන ධර්මය ඇදහූ භික්‍ෂූන් උදෙසා අභයගිරි ස්තූපය මුල් කරගත් අභයගිරි විහාරය ඉදි වන අතර පසු කාලීන ව ක්‍රි.ව 3 වැනි සියවසේ මහසෙන් රජු ජේතවන ස්තූපය හා එම සංකීර්ණය නිර්මාණය කිරීම සිදු විය. ඒ ආකාරයට විවිධ රාජ්‍ය සමයේ තම දේශපාලන බල පරාක්‍රමය හුවා දැක්වීමේ ක්‍රමවේදයක් ලෙස මහා විහාර සදහා උපරිම රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව මූලාශ්‍ර හා ශිලා ලිපි අනුව හඳුනාගත හැකිවේ.

පබ්බත විහාර

බුදු දහමේ උපරිම ව්‍යාප්තියක් අනුරාධපුර යුගයේ ක්‍රි. ව. 5 වැනි සියවස පමණ වන විට පැවති බව ශේෂිත ස්මාරක සාධක හා සාහිත්‍ය මූලාශ්‍රය අනුව උපකල්පනය කළ හැකි ය. පුරාණ අනුරාධපුර නාගරික සැලැස්මට අනුගතව අනුරාධපුර ශිෂ්ටාචාරයට සමකාලීනව ශ්‍රී ලංකාවේ දකුණු දිග ආරම්භ වන මාගම අගනුවර ඔස්සේ වර්ධනය වූ තිස්සමහාරාමය, යටාල වෙහෙර, සඳගිරි දැගැබ, හා මැණික් වෙහෙර ආදි දැවැන්ත ස්තූප මඟින් ද මහා විහාර සම්ප්‍රදාය අනුරාධපුරයෙන් පිටතටද වර්ධනය වූ බව පැහැදිලි වේ.

භික්‍ෂූ සංඝයාගේ ප්‍රමාණාත්මක බව වැඩි වීමත් සමඟ ම ආරාම බිහි වීමේ වර්ධනයක් සිදු වී ඇත. ඒ සමඟ විවිධ අදහස් හා මතවාද ද ඇති විය. ක්‍රි. ව. 5 වැනි සියවසේ සිට 10 වැනි සියවස අතර කාලය තුළ ථේරවාද හා හීනයාන යන දෙකොටසකට බෙදී පැවති මවු ආරාම හැරදමා පිඬුසිඟා යෑමට තරම් හැකි ගම් පියසට ආසන්න ස්ථානයක නව සංඝාරාම ඉදි කර භික්‍ෂු පිරිසක් එහි වාසයට ගියහ. එසේ ආරම්භ වන විහාර පංචාවාස සම්ප්‍රදායට අයත් සැලසුම් ආර මුල් කරගනිමින් බිහි විය.

පබ්බත විහාරාරාම පිළිබඳ අදහස් දක්වන ප්‍රිශාන්ත ගුණවර්ධන ඒවා රාජ්‍ය අනුග්‍රහය නොමඳ ව ලැබුණු ඉසුරුමත් විහාර වර්ගයක් ලෙස හඳුන්වා ඇත.

පුරාණ අනුරාධපුර නාගරික සැලැස්ම තුළ මහා විහාර කවයට පිටතින් ස්ථානගත වන එම විහාරවල විශේෂිත ලක්‍ෂණය වන්නේ නගර සැලැස්මෙහි පිටත වටයෙහි භූමි ප්‍රමාණයෙන් 3/4ක් අඩංගු වී පැවතීමයි. ඉතා කෙටි භූමියක දිය අගල, වට පවුර, නේවාසික අංගණය සහ පූජනීය අංගණය ඇතුළත් වන ලෙස විහාරය ගොඩනඟා ඇති අතර පූජනීය ගොඩනැගිලි ඉදි කර ඇත්තේ උස් වූ වේදිකාවක් මත ය. එය තුළ ප්‍රධාන වශයෙන් පිළිමගෙය, පොහොයගෙය, බෝධිඝරය, ස්තූපය හා සභාශාලාව දැකගත හැකි ය. එසේ වුවත් ඇතැම් පබ්බතාරාමවල සභාශාලාව හඳුනාගත නොහැකි ය.

පූජනීය අංගණය සීමා ප්‍රාකාරයකින් වෙන් කර ඇති අතර ඊට පිටතින් ක්‍රමානුකූල ව නේවාසික ගොඩනැගිලි පිහිටා ඇත. භික්‍ෂූන්ගේ සෙසු පොදු අවශ්‍යතා සඳහා ජන්තාඝරය, දානශාලාව, සහ සෙසු ආගමික කටයුතු සිදු කරන ගොඩනැගිලි, පොකුණු කැසිකිළි වැසිකිළි පද්ධති මෙම ආරාම තුළ ද දැකගත හැකි වේ. අනුරාධපුර තදාශ්‍රිතයේ මහා විහාර කවයට පිටතින් පන්කුලිය, තොළුවිල, විජයාරාමය, වෙස්සගිරිය, පුලියන්කුලම හා ප්‍රාචීනතිස්ස පබ්බත විහාර මේ ආකාරයට ස්ථානගත වේ. එම විහාර සඳහා අනුරාධපුර පශ්චත් සමය වන තෙක් ම රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව පෙනේ.

පධානඝර

පුරාණ අනුරාධපුරයේ වාසය කළ තවත් භික්‍ෂූන් පිරිසක් කාලය ඇවෑමෙන් පිටත වටයේ ම එනම් පබ්බත විහාර කවයට පිටතින් ක්‍රි. ව. 7 වැනි සියවසේ දී පාංශුකූලික නිකාය මුල් කරගනිමින් වනාශ්‍රම පිහිටුවා ගනිති. අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයේ සිට අවසාන කාල පරිච්ජේදය දක්වා බිහි වන්නා වූ සුවිශේෂී ආරාම විශේෂයක් ලෙස පධානඝර විහාරාරම දැක්විය හැකි වේ.

දැනට ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති එවැනි බෞද්ධ සිද්ධස්ථාන 12ක් පමණ හඳුනාගෙන ඇත.

අභයගිරි විහාරය ආශ්‍රිතව දීඝපාෂාණය ආසන්නයේ දැකගත හැකි සුදස්සන පධානඝරය වළගම්බා රාජ්‍ය කාලයට පූර්ව අවධියේ සිට පැවති බව හඳුනාගෙන තිබේ. එම ගොඩනැගිලි විශේෂය භික්‍ෂූන් විසින් භාවනා කිරීම සඳහා යොදාගත් ස්ථාන බවට වල්පොළ රාහුල හිමියන් සහ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන් මත පළ කර ඇත. ජේතවන හා මහාවිහාරය වැනි ආරාම ආශ්‍රිතව ද පුරාණයේ මයුර පිරිවෙන නමින් පැවැති ගොඩනැගිලි ආශ්‍රිත ව මෙවැනි භාවනා ගෘහ පැවතී තිබේ.

වෙනස් ම සැලසුම්කට නිර්මාණය කර ඇති එම ආරාම විශේෂය ආයත චතුරස්‍රාකාර ගොඩනැගිලි දෙකක් මධ්‍යයේ ඇති තනි ගල් පුවරුවකින් නිර්මිත පාලමක් මඟින් සම්බන්ධ කෙරේ. පිටුපස ගෘහය බොහෝ විට ස්වභාවික පර්වතයක් මත ඉදි කර ඇත. ඒ වටා දිය අගලක් ද වේ.

එම පිටුපස වූ ආයත චතුරස්‍රාකාර ගොඩනැගිල්ල බොහෝ විට එහි වාසය කළ භික්‍ෂූන්ගේ සංඝාරාමය ලෙස භාවිතා කර ඇත. ඉතා සරල ලෙස නිම වන ලද එම ගොඩනැගිලි සංකීර්ණ 15ක් පමණ බටහිරාරාම සංකීර්ණය තුළ දැකගත හැකි වේ. ශෛලමය පුවරු යොදාගනිමින් ඉදි කර ඇති එම ආරාම විශේෂය තුළ පොකුණු, දානශාලාව, ජන්තාඝර, කැසිකිළි වැසිකිළි දැකගත හැකි වේ.

යථෝක්ත ව දක්වන ලද කරුණුවලින් පුරාණ ලංකාවේ බුදු දහම ව්‍යාප්තියත් සමඟ ම දේශීය වාස්තුවිද්‍යාවේ ද පෙරළියක් ඇති වන්නේ ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත බව බුදු දහම සමඟ පැවිදි වන පිරිස වැඩි වීම නිසා බව පෙනේ.

ක්‍රි.ව 5 වැනි ශත වර්ෂයේ මෙරටට වැඩම වූ ෆාහියන් භික්‍ෂූවගේ දේශාටන වාර්තාවේ දක්වා ඇති පරිදි එසමයෙහි අභයගිරියෙහි භික්‍ෂූන් 5000ක් ද මහා විහාරයෙහි භික්‍ෂූන් 3000ක් සහ මිහින්තලයෙහි භික්‍ෂූන් 2000ක් වූ බව සඳහන් කර ඇත.

තව ද උන් වහන්සේගේ වාර්තාවට අනුව අගනුවර වෙසෙන තවත් 5000ක් හෝ 6000ක් භික්‍ෂූන්ට රජු විසින් සිවුපසයෙන් උපස්ථාන කළ බව දක්වා ඇත.

මුළු ලංකාද්වීපයෙහි ම භික්‍ෂූන් 60000ක් පමණ සිටින බව එම දේශාටන වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත ඒ අනුව පැහැදිලි වන්නේ එතරම් භික්‍ෂු පිරිසක් සඳහා කෙතරම් ආරාම ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ බිහි ව පැවතියේ ද යන්න ය.

අනුරාධපුර රාජධානි සමයේ වාස්තුවිද්‍යාත්මක ලක්‍ෂණ සහිත බොහෝ වෙහෙර විහාර ලංකාවේ සියලු ම ප්‍රදේශවල පැවති බව භෞතික ව ඇති ස්මාරක මඟින් මෙන් ම වංශකථා ද සාක්‍ෂි දරයි.

අදහස්