ජාතික සමඟියේ අගය ලොවට කියන කුරුණෑගල පොසොන් බත් දන්සල | සිළුමිණ

ජාතික සමඟියේ අගය ලොවට කියන කුරුණෑගල පොසොන් බත් දන්සල

විස්තරය හා සේයාරූ - එම්. ඒ. ආර්. මනුකුලසූරිය, හිරියාල සමූහ

ආපසු කිසිවක් බලාපොරාත්තු නොවී අන්‍යයන්ගේ යහපත උදෙසා තම කාලය සහ ශ්‍රමය වැය කිරීම තරම් ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයක් ලොවේ තවත් තිබිය නොහැකිය. සියලු මිනිසුන් සමාන අවස්ථා සහිතව සමගියෙන් එකට ජීවත් වනු දැකීම මගේ එකම අභිලාශයයි. ලෝක ප්‍රකට නායකයකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ මේ කියමන් අප සිහියට නිරායාසයෙන්ම නැඟී ආයේ මේ ශ්‍රේෂ්ඨ අදහස්වලට සමාන අදහස් දරන සුන්දර මිනිසුන් අප රටේද සිටින බැව් පසක් වීමෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව රටේ කෙතරම් නොසන්සුන් වාතාවරණයක් පැවතියද ඒ සියල්ල අභිබවා මිනිසත් බවේ සුවඳ දසත විහිදුවමින් ජාති ආගම් සියලු බේද පසෙකලමින් සමගියේ අගය වදනින් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට කටයුතු කරන පුද්ගලයන් තිදෙනෙකු පසුගියදා අපට මුණගැසුණේ කුරුණෑගලදීය.

ජාතික සමගියේ අගය අන් කවර කලකටත් වඩා වැඩියෙන් පෙන්විය යුතු මේ අවදියේ ඔවුන් තිදෙනා උරෙනුර ගැටෙමින් කැපවී සිටියේ කුරුණෑගල නගරයේ පුරා වසර 18ක් තිස්සේ පිදෙන මහා දන්සලේ සංවිධාන කටයුුතු වෙනුවෙනි. ජාති හා ආගම් තුනකට අයත් වුවද ඔවුහු සිය කාලය, ශ්‍රමය පමණක් නොව ධනයද එක්වන්ව කැප කරමින් මේ මහා දන්සල පැවැත්වීමට උත්සුක වෙති. කණ්ඩායමේ නායකයා ඒ. පී. එච්. කරුණාසේන නොහොත් සේන අයියාය. ඔහු හා එක්ව දන්සලට දායකත්වය සපයන්නේ ඒ. අල්හාජ් අමීර් අලි සහ වී.එච්. ගනේෂන් ය. ඔවුහු කුරුණෑගල නගරයේ අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ සහ දානපතියන්ගේද, දේශපාලනඥයන්ගේද ආධාර උපකාර ඇතිව වන්දනාකරුවන් වෙනුවෙන් වසරක් පාසා පොසොන් බත් දන්සල පවත්වති.

මෙම දන්සල අද ( ජූනි 16 වැනි පොසොන් පොහෝ දා) කුරුණෑගල, පුවක්ගස් හන්දියේ සෞඛ්‍ය සංකීර්ණ ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වේ. වෙනදා රාත්‍රී කාලයේ පැවැත්වෙන දන්සල මෙවර දිවා කාලයේ පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. දන්සලේ විශේෂත්වය වන්නේ එදාමෙදාතුර දන්සලේ නොවරදින ආහාර වට්ටෝරුවයි. දුන්තෙල් බත්, උම්බලකඩ සම්බෝල, තෙල්දැමූ අල, පරිප්පු, බටු මෝජු සහ මැලේ අච්චාරුය. ඉතා ප්‍රණීතව පිරිසුදුව මේ ආහාර සැකසීමට ඔවුහු වගබලා ගනිති.

දන්සලේ ඉතිහාසය සම්බන්ධයෙන් අප හා අදහස් දක්වමින් සේන අයියා මෙසේ පැවසීය.

“2000 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ ජාතීන් අතර නොසන්සුන්තාවක් හටගත්තා. මෙම අසමගිය අනෙකුත් ප්‍රදේශවලටද පැතිර ගියහොත් ඇතිවිය හැකි ප්‍රතිඵලය දුටු කුරුණෑගල පොලීසිය සමගියේ අගය පිළිබදව මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කළා. මේ අතර නගරයේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් පැවැත්වූවා. එහිදී පොලීසිය අපෙන් විමසුවේ ජාතීන් අතර සමගිය ඇතිකිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙසයි. මෙම අවස්ථාවේ අපි තුන්දෙනා එක්වී වසරක් පාසා දන්සලක් පැවැත්වීමට තීරණය කළා. එම අදහස පොලීසියේ ඇගයීමටද ලක්වුණා.”

පොසොන් සමයට අනුරාධපුරය හා මිහින්තලය ආදී පූජනීය ස්ථාන කරා බැතිමතුන් දහස් ගණනක් ගමන් කරනුයේ කුරුණෑගල නගරය ඔස්සේය. එම වන්දනාකරුවන්ගේ කුසගිනි නිවීමට මෙම දන්සලෙන් සිදුවනුයේ මහා මෙහෙයකි.

මෙම දන්සලේ ආහාර පිළියෙල කිරීම සදහා සෑම වසරකම සහල් කිලෝ 500 ක් පරිප්පු කිලෝ 60 ක්, උම්බලකඩ කිලෝ 10 ක් සහ එළවළු වර්ග කිහිපයක්ද යොදා ගැනේ. ආහාර ද්‍රව්‍ය සඳහා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය වන බව සේන අයියා පවසයි.

වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මෙම දන්සල සදහා නොමිලයේ ජලය සහ විදුලිය ලබා දෙන අතර දන්සල සඳහා අවශ්‍ය භූමිය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කිසිදු ගාස්තුවකින් තොරව ලබා දෙයි. කුරුණෑගල නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්සලේ අධීක්ෂණ කටයුතු කරයි.

වෙසක් උත්සවයට මෙන්ම පොසොන් උත්සවයටද රටපුරා දන්සල් විශාල සංඛ්‍යාවක් පවත්වනු ලැබුවද ඒ සියල්ලටම වඩා මෙම දන්සලේ විශේෂත්වයක් තිබේ. එනම් මෙම දන්සල සදහා මූලිකව කටයුතු කරනු ලබනුයේ ජාතීන් තුනකට හා ආගම් තුනකට අයත් තිදෙනෙකුවීමයි.

සේන අයියා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකි. ඔහු දිනපතා කාර්ය බහුල දිවියක් ගතකළද මේ දිනවල ඒ සියලු වැඩකටයුතු පසෙකලා කැපව සිටින්නේ දන්සලේ කාර්යයන් වෙනුවෙනි. ගනේෂන් මහතා හෝටල් හිමියෙකි. ඒ මහතාද වරින්වර පැමිණ දන්සලේ වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු පෙනේ. අමීර් අලි මහතා රෙදිපිළි සාප්පුවක හිමිකරුවෙකි. ඔහුද මේ දිනවල සිය කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරනුයේ දන්සලේ කාර්යයන් වෙනුවෙනි.

මේ තිදෙනා ජාතීන් අතර ඇති එකමුතුව හා සමගිය පෙන්වන සංකේත බඳුය. ලෝකයේ බහු ජාතික, බහු සංස්කෘතික හා බහු ආගමික රටවල් ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. අප රට එම ආශිර්වාදය ලත් දුර්ලභ රටවලින් එකකි. මෙම විවිධත්වය ජාතියේ සංස්කෘතික උරුමය අලංකාර කරයි. එමගින් ලෝකයේ බොහෝ රටවල් සමඟ ප්‍රාදේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සබඳතා තර කෙරෙන අතර, සංස්කෘතික, දේශපාලනික මෙන්ම ආර්ථිකමය වාසිද සැලසේ. එක් රටක ආගම් හතරකට අයත් පිරිස් ජීවත්වීම හරියට මල් කළඹක වර්ග හතරක මල් එකට ඇමිණී ඇත්තාක් මෙනි. එක් එක් මල එකිනෙකට වෙනස් සුවඳ පතුරුවන අතර, ඒ සියල්ල එක්තැන්වූ විට මහත් සුගන්ධයක් ගෙන දෙයි.

වසර 18ක් තිස්සේ අඛණ්ඩව කරගෙන යනු ලබන මෙම මහා පින්කම තමන් මියයනතුරුම දිගටම කරගෙන යන බව ඔවුහු පවසති.

“රටක සියලුම ජාතීන් එකම පවුලක දරුවන් මෙන් ජීවත්විය යුතුයි. එකිනෙකාගේ සහයෝගය නොමැතිව කිසිවෙකුට තනිව නැඟී සිටිය නොහැකියි. අප සියලු දෙනාටම එහෙම ඉන්න බැරිකමක් නැහැ. අප මිය යන තුරුම මෙම දන්සල පවත්වාගෙන යනවා. ඊට පස්සෙ අපේ දරුවෝ නගරයේ සමගිය රැකීම සදහා මේක දිගටම කරගෙන යාවි කියා හිතනවා. එසේ කිරීමට ඔවුන්ට හැකිවේවා කියා ආශිර්වාද කරනවා. මෙම දන්සල සදහා ආධාර එකතුකිරීමට කිසිවෙකු යොදවා නැහැ. මේ සදහා ආධාර කිරීමට අදහස් කරන අයට 0779869253 (සේන), 0755465605 (ගනේෂන්), සහ 0777742211 (අමීර් අලි) යන අංකවලට කතා කළ හැකියි.”

වී. එස්. ගනේෂන් මහතා සිය අදහස් දැක්වූයේ මෙසේය.

“දන්සලට ඇවිත් කෑම කා බඩගිනි නිවාගන්න පිරිස සතුටින් පිටවී යන හැටි දකින විට ඇතිවන සතුට කියා නිම කරන්න බැහැ අපට ලොකු අඩුපාඩුවක් තියෙනවා. එකිනෙකා තේරුම් ගැනීම සදහා භාෂාව මුල්වෙනවා. දමිළ ජාතිකයින් සිංහලද, සිංහලයින් දමිළ භාෂාවද හොඳින් ඉගෙන ගත යුතුයි.”

අමීර් අලි මහතා පැහැදිලි සිංහලෙන් කතාකරමින් මෙසේ පැවසීය.

“දෙවියන් වහන්සේගේ නාමයෙන් ජාතීන් අතර පෙර තිබුණා වාගේ සමගිය ඇතිවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ යහපත් වැඩ කරන අයට යහපතක්ම උදාවන බව මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. අපි එකිනෙකාට ආදරය කළ යුතුයි. අපි ජීවත්වන්නේ ඉතාම කෙටි කාලයක්. ඉතින් මේ සුළු කාලයට අපි එකිනෙකා බෙදිල වෙන්වෙලා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැමවිටම එකට ඉන්න ඹ්නෑ.”

පොසොන් දවසේ කුරුණෑගලදී දෙන මේ දන්සල රටේ සියලුම ජාතීන්ට මහඟු ආදර්ශයකි.

Comments