කොටි ගැහුවත් නතර නොකළ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව | සිළුමිණ

කොටි ගැහුවත් නතර නොකළ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට බුදු දහම ගෙනා පොසොන් පසළොස්වක දිනය අදයි. පොසොන් පසළොස්වක දිනයත්, මිහින්තලාවත්, ලේක්හවුස් ආයතනයත් අතර ඇත්තේ වසර 60 කට ආසන්න කාලයක තිස්සේ පැවත එන නො‍බිඳිය හැකි නොබිඳිය යුතු සමීප සබඳතාවකි. ඒ අන් කිසිවක් නිසා නොව 1963 දී ආරම්භ කර මොන බාධක ආවත් නතර කළේ නැති මිහින්තලේ ලේක්හවුස් ආලෝක ප‍ූජාව නිසාමය.

 

පසුගිය අප්‍රේල් මැයි මාසවල විවිධ ආරක්ෂක ප්‍රශ්න හා විවිධ කලබල රටේ තිබුණත් මේ වසරේත් වෙනදා මෙන් ම ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මේ දිනවල මිහින්තලා පුද භූමියේදී පැවැත්වීමට ලේක්හවුස් පාලනාධිකාරිය පියවර ගැනීම බෞද්ධ සැදැහැවත් ජනතාවට මෙන් ම ලේක්හවුස් පැරණි සේවකයන් වන අපට ද සතුටකි.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රමුඛ පාලනාධිකාරිය සංවිධානය කරන මෙවර ලේක්හවුස් ආලෝක පූජාව නිසා මිහින්තලාව වඳින පුදන සැදැහැවතුන්ට මේ දිනවල ලැබෙන්නේ ඉමහත් සෙතකි.

වසර 57ක් තිස්සේ මේ ලේක්හවුස් ආලෝක පූජාව ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූවේ විවිධ බාහිර බාධක හා අවහිරතා හා ත්‍රස්ත තර්ජන මධ්‍යයේ බව ද අප මතක තබාගත යුතු ය. විශේෂයෙන් 1985, 1988, 1989 වසරවල කොටි ත්‍රස්තවාදීන් හා ජ.වි.පෙ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මැද ආලෝක පූජාව පැවැත්වූයේ එය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ ලේක්හවුස් ආයතනයේ නිලධාරීන්ගේ හා සේවක පිරිසකගේ ඇප කැප වීම නිසා ය.

ඇත්ත වශයෙන් ම මේ වසරේ අප්‍රේල් 21න් පසු රටේ ඇතිවූ බෝම්බ පිපිරීම් ඇතුළු ආරක්ෂක ගැටලුවලට වඩා දරුණු භයානක තත්ත්වයක් 1985, 1988 හා 1989 වසරවලදී අපේ රට තුළ පැන නැගිණි. එය ආලෝක පූජාවටත් දරුණු ලෙස බලපෑවේය.

1985 මැයි 14 වැනිදා අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි බෞද්ධ ජනතාවට කොටි ත්‍රස්තවාදීන් පහරදී එහි සිටි උවැසු උවැසියන් 140 දෙනකු මරා දැමීමේ මුළු රජරට ම බියෙන් සලිත කරමිනි.

ඒ දිනයේ සිට 23 වැනි ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව අරඹන දිනට තිබී ඇත්තේ දින 15 - 20 ක් පමණි.

නමුත් ලේක්හවුස් පාලනාධිකාරිය තීරණය කළේ අනුරාධපුරයට හා මිහින්තලාව අවට ගම්වලට කොටි ගැහුවත් 23 වැනි වරට පවත්වන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව කෙසේ හෝ පැවැත්විය යුතු බවයි. ඒ අනුව පාලනාධිකාරියේ උපදෙස් පරිදි එවකට බුදුසරණ කර්තෘ ලෙස සේවය කළ මාගේ පියාණන් වන ප්‍රේමසිරි අබේසිංහ මහතාත් එවකට හිටපු පිරිස් කළමනාකාර ටිරල් ප්‍රනාන්දු මහතාත් ප්‍රමුඛ කණ්ඩායමක් 1985 ජූනි මාසයේ මුල මිහින්තලාවට ගොස් ආලෝක පූජාව පැවැත්වීමට කටයුතු කළහ.

බුදුදහම අපේ රටට පැතිරූ තැන එය සිදුවූ පොසොන් පසළොස්වක දිනයේ ම කළුවරේ තැබීමට නොහැකි නිසාත්, ලේක්හවුස් ආලෝක පූජාව නොකඩවා පැවැත්විය යුතු නිසාත්, ලේක්හවුස් ආයතනයේ රාජකාරි කටයුතු දේව කාරියක් ලෙස සලකන නිසාත් මේ ආලෝක පූජාව සාර්ථක කර ගැනීමට අදාළ දින දෙක ඇතුළත ඉහත පිරිස කටයුතු කර ඇත.

1985 ආලෝක පූජාවට ගිය පිරිස රුපියල් ලක්ෂ 5කට රක්ෂණය කර තිබූ අතර 1985 ආලෝක පූජාව දින 3ක් පුරා සාර්ථකව ඉටු කිරීමට ද ඒ ලේක්හවුස් පිරිසට හැකි විය.

1985 වස‍රේ පමණක් නොව 1987, 1988, 1989, 1990 වසරවල ද එල්.ටී.ටී.ඊ. හා ජවිපෙ ත්‍රස්තවාදය රටපුරා පැතිර ගියේ ය. ජවිපේ විසින් එකල දිනමිණ, බුදුසරණ ඇතුළු ලේක්හවුස් පුවත්පත් රටපුරා අලෙවිය හා බෙදාහැරීම හා කියවීම තහනම් කරනු ලැබිණි. මේ අයුරින් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් ජනතා විමුක්ති පෙරමුණත් ලේක්හවුස් ප්‍රකාශනවලට විරුද්ධව පහර දීමට සූදානම්ව සිටියදී 1986 සිට 1990 දක්වාවූ බරපතළ තර්ජන සහිත කාල සීමාවේදී පවා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්විණි.

ලේක්හවුස් අයතනයේ හිටපු ලේකම් චන්ද්‍රසේකර, ලේක්හවුස් හිටපු සාමාන්‍යාධිකාරි හා ලේකම් බී.ඒ. ජිනදාස, හිටපු බුදුසරණ කර්තෘ අභාවප්‍රාප්ත ප්‍රේමසිරි අබේසිංහ, හිටපු පිරිස් කළමනාකාර අභාවප්‍රාප්ත ටිරල් ප්‍රනාන්දු යන මහත්වරුනුත් ලේක්හවුස් විදුලි කාර්මික අංශයේ නිලධාරීනුත් අනුරපුර ශාඛා කාර්යාල නිලධාරිනූත් ඒ වකවානුවේදී මේ ආලෝක පූජාව කිරීමට ජීවිතය පරදුවට තබා කටයුතු කළ බව කෘතවේදීව මතක් කළ යුතුව ඇත. මේ කටයුතුවලට මිහින්තලා පන්සලේ මහා සංඝරත්නය අනුශාසනා කළ අතර එකල සිටි ලේක්හවුස් පාලකයෝත් පූර්ණ උපදෙස් ලබා දුන්හ.

මේ අයුරින් රටේම අන් සියලු ආලෝක පූජාවලට පරමාදර්ශයක් වෙමින් ලේක්හවුස් ආලෝක පූජාව 1963 පොසොන් පසළොස්වක දින ආරම්භ කර ඇත්තේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මතය. එවකට ලේක්හවුස් පාලකයන් ලෙස කටයුතු කළ රංජිත් විජයවර්ධන මහතා හා ජී.බී‍.එස්. ගෝමස් යන මහත්වරු මුල් ම ආලෝක පූජාව සංවිධානය කළහ. 1963 මෙම ආලෝක පූජාව ඇරඹීමෙන් පසු දහස් සංඛ්‍යාත බැතිමත්හු ආලෝක පූජාව ඇරඹූ අයට පින් දෙමින් දිවා හා රාත්‍රි මුළු මිහින්තලාවට ඇලළී යන අයුරින් සාදු නාදයන් පැවැත්වූහ. ‍‍‍

අගනුවර සිට විශාල ලොරිවල මහා විදුලි ජනක යන්ත්‍ර රැගෙන විත් මෙම ආලෝක පූජාව පැවැත්වීමට කටයුතු කළහ. පසුව විදුලි බල මණ්ඩලය මේ සත්කාර්යයට සමඅනුග්‍රහය දැක්වීම අගය කළ යුතුමය. ‍‍‍‍

මෙසේ මෙම ආලෝක පූජාව ඇරඹීම නිසා මිහින්තලා ආලෝක පූජාවේ හඬ රට පුරාම පැතිර ගියේය. එනිසාම මිහින්තලා පුදබිමේ දන්සල් පැවැත්වීම ජල පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් ද ඇති විය. මිහින්තලා මහ විහාරස්ථානයේ වැඩ සිටි හා පොසොන් පොහොය දින ආගන්තුකව වැඩමවන මහා සඟරුවනට ද මෙම ආලෝක පූජාව ඇරඹීමෙන් ඉමහත් සත්කාරයක් ඇති වූයේ ය.

මිහින්තලා පුදබිමට ස්ථිර ලෙස විදුලි ආලෝකය ලැබුණේ වර්ෂ 1978 දී ය. ඒ එවකට ලේක්හවුස් ආයතනයේ සභාපති පදවිය හෙබවූ රණපාල බෝධිනා‍ෙගාඩ මහතාගේ ඉල්ලීම අනුව එවකට අගමැති ලෙස සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙනි. ‍‍

ජනාධිපති ප්‍රේමදාස මහතාගේ අදහසක් අනුව මෙම ආලෝක පූජාවට තවත් අංගයක් එක්විය. ඒ ආලෝක පූජාවේ වියදම් සඳහා ‘මිහින්තලා ආලෝක භාරය’ නමින් අරමුදලක් ද පිහිටුවීමයි. ආලෝක භාරයේ අරමුදලින් ගත වූ කාලයේදී මිහින්තලා ආලෝක පූජාව පවත්වාගෙන එනු ලැබීය. මෙම ආලෝක පූජාවට සමගාමීව කළ මිහින්තලේ ආසනයේ පාසල් ගණනක සිසු සිසුවියන් සිල් සමාදන් කරවීම, සිල් රෙදි ලබාදීම, චිත්‍ර හා කථික තරග පැවැත්වීම ද සිදු කෙරේ.

මෙම ආලෝක පූජාවට සමගාමීව මිහින්තලා ප්‍රදේශයට ප්‍රයෝජනවත් හා සිහිවටනයක් වන සේවාවක් කළ යුතු යැයි 1989 වසරේදී ලේක්හවුස් සභාපති ලෙස පත්වූ අධිනීතිඥ සුනිල් රුද්‍රිගු මහතා ‘මිහින්තලා ආලෝක පූජා සංවිධායක මණ්ඩලයට’ ඉදිරිපත් කළ අදහසක් අනුව මිහින්තලා ආසනයේ පාසල් 3 ක් සඳහා විද්‍යාගාරයක්, දන්ත චිකිත්සාගාරයක් හා පුස්තකාලයක් ද ලබා‍දෙන ලදී. විද්‍යාගාරය කම්මක්කුලම විද්‍යාලයට ද පුස්තකාලය මිහින්තලා මහා විද්‍යාලයට ලබාදෙන ලදී. කම්මක්කුලම ගම විදුලි පහන් එළියෙන් ආලෝකවත් කිරීමද මේ යටතේ සිදුවිය.

මීට අමතරව මිහින්තලා කනිටු විදුහලට දත්ත ශල්‍යාගාරයක් හා කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු වැඩපොළක් ද ලබාදී ඇත. ඒ සමඟම මිහින්තලා මහ විද්‍යාලයට පරිගණක මධ්‍යස්ථානයක් ද ඉදිවී ඇත. මිහින්තලේ උඩ මළුවට දොළොස් මහේ මහනක් ද අලංකාර බුදු මැදුරක් ද ආලෝක පූජාව වැඩසටහනට සමගාමී ලෙස පසුගිය කාලයේ ලබාදී තිබේ. මිහින්තලේ උඩ මළුවට පොහොය ගෙයක් ද ලබාදී ඇත.

2002 දී පමණ මිහින්තලාවේ පැරැණි විදුලි බල පද්ධතිය ඉවත් කොට භූගත විදුලි බල පද්ධතියක් ඇති කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. එය ලේක්හවුස් ආලෝක පූජාවට ද තවත් උදවුවක් වී තිබේ.

මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම එක්ව මිහින්තලය ආලෝකවත් කළේ පොසොන් සමයේ පමණි. නමුත් දැන් විදුලිබල මණ්ඩලයේ ඉහත පියවර නිසා සෑම දිනකම රාත්‍රි 10 වන තෙක් මිහින්තලේ පුද භූමිය විදුලි බලයෙන් ආලෝකවත්ව තිබේ. ‍

මෙවර පොසොන් සමයේද අමතර විදුලි බුබුළු දමා මිහින්තලය ආලෝකවත් කිරීමට ‍ෙල්ක්හවුස් ආයතනය පියවර ගෙන ඇත. එලෙස දහස් ගණන් විදුලි බුබුළුවලින් ඒකාලෝක වන මිහින්තලේ පූජා භූමිය පොසොන් පෝහෝ දා බුදුදහම රටටම පැතිරූ ස්ථානය කියා පාන්නේ ලේක්හවුස් ආයතනයේ බොදු මෙහෙවරේ ප්‍රෞඪත්වයයි.

මිහින්තලේ රජමහ විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අවවාද අනුශාසනා මත ලේක්හවුස් ආයතනයේ වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් සාමාන්‍යාධිකාරි අභය අමරදාස, බුදුසරණ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ යන මහත්වරුන් ඇතුළු ‍ඉහළ නිලධාරීන් මෙවරත් ආලෝක පූජාව සංවිධානය කරමින්, මෙහෙයවමින් කරන සත්කාර්යය මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් පමණක් නොව බුද්ධ ශාසනය සුරැකීම වෙනුවෙන් කරන මහඟු මෙහෙවරකි.

වෙනදා මෙන් ම මෙවරත් ලංකා විදුලි බල මණ්ඩලය ආලෝක පූජාවට සමඅනුග්‍රහය දක්වයි. එහි සභාපති රඛිත ජයවර්ධන මහතා වෙනදා මෙන්ම මෙවරත් ආලෝක පූජාවට සම අනුග්‍රහය දැක්වීමට විදුලි බල මණ්ඩලයට අවස්ථාව ලැබීම ඉතා අගය කරන බව පවසයි.

මෙවර ආලෝක පූජාවට සැදැහැති දායකත්වය ඩයලොග් සමාගම, මන්චි සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ඩී. එෆ්. සී. සී බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් ලබාදේ.

මේ උතුම් කටයුත්ත ‘මිහින්තලා - ලේක්හවුස් ආ‍ලෝක පූජාව’ ලෙස නම් කළත් එය ‘මිහින්තලා පුදබිම’ විදුලි එළියෙන් ආලෝකවත් කරන විදුලි බුබුළු දැමීමකට පමණක් සීමා නොවේ. පොදුවේ මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව යනු මුළු මිහින්තලා ප්‍රදේශයම යම් ආකාරයකින් සංවර්ධනය කරමින් මිහින්තලා ප්‍රදේශයේ සිසු පරපුරට අනාගත දිවි මඟ සාර්ථක කර ගැනීමට අත හිත දීමත් සමඟ මිහින්තලාව රාත්‍රියට ආලෝකවත් කිරීමක් සිදුකරන ජනහිතකාමී වැඩපිළිවෙලක් ලෙස හැඳින්වීම වඩා උචිතය.

ඒ අනුව මේ ලේක්හවුස් ආලෝක පූජාව තවත් දිගු කාලයක් ගෙන යමින්, රටටම බුද්ධාලෝකය බෙදූ මිහින්තලයේ ප්‍රෞඪත්වය මෙන්ම රටට ම පත්තර කලාව ඉගැන්වූ පත්තර මහගෙදර ප්‍රෞඪත්වයත් සුරකින්නට අදාළ සංවිධායක පිරිසට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.


ආලෝක පූජාවට එක් වීමට ලැබීම භාග්‍යයක්

- විදුලිබල ඇමති රවී කරුණානායක

මෙවරත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාවට මාගේ අමාත්‍යාංශය යටතේ ඇති විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහය ලබා දීමට ලැබීම ඉමහත් භාග්‍යයක් බව විදුලි බල හා බලශක්ති ව්‍යාපෘති අධ්‍යක්ෂ රවී කරුණානායක මහතා පවසයි.

උතුම් ධර්මද්වීපයක් අපට උරුම කරදීමට මූලික වූ පූජනීය භූමියක් වන මිහින්තලාව, ආලෝකවත් කරමින් පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව මෙවරත් පොසොන් දිනවල අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට හැකිවනුයේ ලංකා විදුලිබල මණ්ඩලය සපයන අනුග්‍රාහකත්වය නිසාම බව කෘතවේදීව සිහිපත් කළ යුතුය.

මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවරත් සිදුකෙරෙන මේ මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව තවත් ආමිස හා ප්‍රතිපත්තිමය පුණ්‍ය කටයුතු රාශියක් සිදු කිරීමට ලේක්හවුස් ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු සංවිධාන කර තිබීම සතුටට කරුණක් බව ඇමැතිවරයා පැවසීය.

Comments