විඳිය හැකි සංගීත රසා­ස්වා­ද­යක් ගෙන එන එක්ස්පර්ට් | සිළුමිණ

විඳිය හැකි සංගීත රසා­ස්වා­ද­යක් ගෙන එන එක්ස්පර්ට්

මෙරට ප්‍රසංග වේදිකාවේ ජය කෙහෙළි නංවමින් සංගීත ක්ෂේත්‍රය ජයගත් සංගීත කණ්ඩායම්හි, ප්‍රේක්ෂකයන් නොදත් තොරතුරු ඔවුන් හමුවට ගෙන ඒමේ අරමුණින් ආරම්භ කළ BAND OF THE WEEK විශේෂාංගය සමඟ මෙවර කතා බහට එක්වන්නේ මෙරට තවත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘එක්ස්පර්ට්‘(EXPERT) සංගීත කණ්ඩායමයි. මාතර දිස්ත්‍රික්කයේ සුන්දර ගම්මානයක් වන අකුරැස්ස ප්‍රදේශය නියෝජනය කරමින් ප්‍රසංග වේදිකාවට එක්වුණ ‘එක්ස්පර්ට්‘ සංගීත කණ්ඩායමේ නායක කසුන් ලක්මාල්, එක්ස්පර්ට් සංගීත කණ්ඩායමේ ආරම්භයේ සිට මේ දක්වා ආ ගමන් මඟ ගැන මෙලෙස කතාබහක යෙදිණි.

පුංචි කාලේ ඉඳලා ගහ කොළත් එක්ක ජීවිතේ පටන් ගත්ත කසුන් මුලින්ම අකුරු කරන්නේ තමන් ඉපදුණු ගමේ පාසලෙන්. ඒ කියන්නේ අතුරලිය මහා විද්‍යාලයෙන්. හැබැයි පාසලට ඇතුළු වෙද්දි කසුන්ගේ හිතේ සංගීතය පිළිබඳව අදහසක් නොතිබුණි. ඔහු කුඩා කාලයේදී ම විෂයක් විදියට චිත්‍ර කලාව තෝරා ගන්නේ ඒ නිසයි. චිත්‍ර කලාවට වගේම අනෙක් විෂයන්වලටත් දක්වපු දස්කම් නිසා ඔහු ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්වෙනවා. මාතර නගරයේ පිහිටි සාන්ත තෝමස් කුමර විද්‍යාලයට යන්න කසුන්ට වාසනාව ලැබෙන්නේ ඒ ජයග්‍රහණයත් සමඟයි.

‘‘ඇත්තට මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මාතර සාන්ත තෝමස් කුමර විදුහලට යන්න වාසනාව ලැබුණේ. මම එහිදීත් සෞන්දර්ය විෂය විදියට තෝර ගත්තේ චිත්‍ර. හැබැයි පාසලේදී විෂයක් විදියට චිත්‍ර ඉගෙන ගත්තට, මගේ ඇඟේ සංගීතය තිබුණ කියලා අම්මා දැනගෙන සිටියා. ඇය සංගීතයට දැක්වූයේ පුදුමාකාර කැමැත්තක්. ඇය නිසා මගේ හිතත් ටිකෙන් ටික සංගීතය පැත්තට නැඹුරු වුණා. හරියටම කියනව නම් නවය වසර වෙද්දි වගේ මගේ හිතට වගේම ගතටත් සංගීතය දැනෙන්න ගත්තා‘‘

පුංචි කාලේ සංගීතයට අසාවක් දක්වන බොහෝ දෙනෙක් මුලින්ම කළේ නිවෙසේ තිබෙන දෙයක් යොදාගෙන වාද්‍ය භාණ්ඩයක් හදාගෙන වාදනය කරන එක කසුන් මුලින් ම කළේත් එක්ස්-රේ කොළවලින් හදාගත්ත ඩ්‍රම්ස් සෙට් එකට ගහ ගහ සංගීත ගමන ආරම්භ කරපු එක. හැබැයි ඩ්‍රම්ස් ගහල ගමන ආරම්භ කළත්, එතැනින් නොනවතින ඔහු අනෙක් වාද්‍ය භාණ්ඩත් ටිකෙන් ටික ඉගෙන ගන්න තීරණය කරනවා.

‘‘සංගීතයට හිත නැඹුරු වීමත් එක්ක ඩ්‍රම්ස් ගහන්න පටන් ගත්තට මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා අනෙක් වාද්‍ය භාණ්ඩත් ඉගෙන ගන්න. මොකද කවද හරි සංගීත කණ්ඩායමක් පටන් ගන්න නම් හැම වාද්‍ය භාණ්ඩයක්ම යම් තරමකින් හරි වාදනය කරන්න දැනගෙන ඉන්න ඕනේ කියලා මගේ හිත මට වද දුන්නා. එහෙම වුණොත් තමයි නායකයෙක් විදියට මට සියලු දෙනත් එක්කම වැඩ කරන්න පහසු වෙන්නේ කියලා හැඟීම හිතට ආවා. එහි ප්‍රතිපලයක් විදියට ගිටාර් එක වාදනය කරන්න ඉගෙන ගත්තා. එහෙම පටන් ගත්ත මට මේ වෙන කොට ඒ හැම වාද්‍ය භාණ්ඩයක් ම වාදනය කරන්න ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා. එය එක් පැත්තකින් මට උරුමයෙන්ම ලැබුණු වාසනාවක් වෙන්න ඇති.

මේ වෙනකොට කසුන් වගේම කසුන්ගේ බාල සහෝදරයෝ දෙන්නත් සංගීතය ඉගෙනගෙන සංගීත කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙනුයි හිටියේ. එහෙත් ඒ සංගීත කණ්ඩායමේ සමාජිකයන් එක්කෙනක් දෙන්නෙක් ඉවත් වී යෑම නිසා තවදුරටත් සංගීත කණ්ඩායම කරගෙන යෑමේ ගැටළුවක් පැන නැඟුණා. සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් නායකයකුගේ අවශ්‍යතාවය තදින් මතු වුණා.

‘‘ඒ වෙකොට මම වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයේ රැකියාව කරමින් හිටියේ. මගේ මල්ලීලා දෙන්න වගේම සංගීත කණ්ඩායමේ අනෙත් අයත් මට කතා කළා එහි නායකත්වය බාරගෙන වැඩ කරන්න එන්න කියලා. මම මුලදි කැමැති වුණේ නැහැ. මට හිතුණා මට වඩා ඊට සුදුසු මගේ චූටි මල්ලී කියලා. ඒත් ඒ හැමෝම කිව්වේ මට තමයි ඒ දේ කරන්න පුළුවන් කියලා. මම මුලදි බැහැ කියපු නිසා ඔවුන් නායකයෙක් තෝර ගන්න රහස් ඡන්දයක් පැවැත්තුවා. එහිදි මගේ නම තමයි ඒ හැම කෙනාම යෝජනා කරල තිබුණේ. ඒ නිසා මට තව දුරටත් ඒ දේ බාර නොගෙන ඉන්න බැරි වුණා‘‘.

සියලු දෙනාගේම කැමැත්තෙන් නායකයා වුණ කසුන් මුලින්ම සියලු දෙනත් එක්කම කතා කරලා පුංචි පුංචි සංශෝධන ටිකක් කළා. ඒ වගේම අලුත් නමක් හොයන්නත් පටන් ගත්තා.

‘‘නායකයා ලෙස පත් වුණාම මම අනිත් අයත් එක්ක කතා කළා සංගීත කණ්ඩායමට අලුත් නමක් යොදමු කියලා. එකි නෙකා විවිධ නම් යෝජනා කළා. අවසානේ අපි හැමෝම කතාවෙලා එකඟතාවයකට ආවා ‘එක්ස්පර්ට්‘ නම යොදන්න.

සුරංග ලක්මාල්. මගේ ලොකු මල්ලී. ඔහු ලීඩ් ගිටාරය වාදනය කරනවා. මගේ චූටි මල්ලී මලිත් රංගන ලක්මාල්. ඔහු බේස් ගිටාරය වාදනය කරනවා. ආනන්ද ජයසිංහ රිදම් ගිටාරය, අමිල ක්‍රිෂාන්ත ඔක්ටර් පෑඩ්, විමුක්ති රන්මාල් කී බෝඩ්, ගායනයෙන් ප්‍රසාද් සඳකැළුම්, රුවන් චමිල සහය දක්වනවා.

ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම් වල ඇසෙන ඝෝෂාකාරිත්වය වුණත් ‘එක්ස්පර්ට් සංගීත කණ්ඩායම‘ ඊට වෙනස්ම දෙයක් රසිකයන්ට දෙමින් කරච්චලය වෙනුවට සංගීත කණ්ඩායමට වගේම ප්‍රේක්ෂකයන්ටත් විඳින්න පුළුවන් සංගීත රසාස්වාදයක් ලබාදෙන්න කටයුතු කරමින් සිටී.

‘‘මේ ගමන එන්න මගේ අම්මා ස්වර්ණා බඹරැන්ද, තාත්තා බී.පී සෝමසිරි, සංගීත කණ්ඩායමේ සමාජිකයන්ගේ මවුපියන්, කීර්ති පැස්කුවල් සර්, ජය ශ්‍රී ප්‍රේමලාල්, සනත් අලහකෝන්,ෆීඩ් බෑක් මහිල භාණුක, කූල් සවුන්ඩ් අධිපති අනුෂ්ක වරුෂවිතාන, චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහත්වරුන් වගේම නම් ගම් නොකියපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම මේ මොහොතේ මකත් කර සිටිනවා.‘‘

එතකොට සංගීත කණ්ඩායමක් විදියට අවසාන බලාපොරොත්තුව.

‘‘විශිෂ්ට ගනයේ සංගීත කණ්ඩායමක් බවට පත්වෙලා ජනප්‍රිය කණ්ඩායම් අතලොස්ස අතරට ඒම තමයි අපේ මීළග අරමුණ වෙලා තිබෙන්නේ‘‘. 

Comments