මම මගේ තැන හදා­ගත්තා ඔවුන්ට තමයි මාව නැති­ වුණේ | සිළුමිණ

මම මගේ තැන හදා­ගත්තා ඔවුන්ට තමයි මාව නැති­ වුණේ

මාරියෝ ආනන්දගේ නම ඇසූ පමණින්ම සුන්දර මිනිසකු සිහපත් වෙයි. ඒ මාරියෝගේ පියාණන් වන සිනමාවේ නොමියෙන හඬ ග්‍රේෂන් ආනන්දයන්ය. ග්‍රේෂන් අප අතරින් සමුගෙන වසර ගණනාවක් ගත වුවත් ඔහුගේ හඬත්, රුවත් මාරියෝ තුළින් අපි දකිමු. හැමදාමත් කලා ලෝකයේ උඩු ගංබලා පිහිනන්න වෙර දරන මාරියෝ කියන දේ කෙළින් කතාකරන කලාකරුවෙක් බව කවුරුත් දන්නවා. ඒ නිසාම ඔහුට පසුගියදා භාරදූර වගකීමක් පැවරුණා. ඒක බොහොම වගකීම් සහගත කාර්යයක් බවයි අපට සැලවුණේ. ඒ ගැන මාරියෝ මෙසේ අදහස් දැක්වුවා.

 

මොකක්ද ඔබට ලැබුණු වගකීම් සහගත කාර්ය?

‘තිරසර සංවර්ධනය‘ සඳහා වන ශ්‍රි ලංකාවේ ළමා පාර්ලිමේන්තුවේ සන්නාම තානාපති ලෙස පත්වූවා. එහිදී මට පැවරුණු වගකීම් රැසක් තිබෙනවා. ඒවා ගැන තමයි මේ දවස්වල කාර්යබහුලව සිටින්නෙ.

‘තිරසර සංවර්ධනය සඳහා වන යොවුන් පාර්ලිමේන්තුව‘ යන්නෙන් අදහස් කළේ..

ශ්‍රි ලංකාව සහ ලෝකය පුරා විසිරී සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර සාමය, සංහිඳියාව, සහ මිත්‍රත්වය වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයක් ලෙස sunfo හැදින්විය හැකියි. එම සංවිධානය හා තවත් සංවිධාන කිහිපයක් එක්ව තමයි තිරසාර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. එහිදී වැඩිදැනුමක් ලබාගැනීමට

කැමැති නායකත්ව ගුණාංගයන්ගෙන් පිරිපුන් දක්ෂ දරුවන් හැත්තෑපහක් තිරසාර සංවර්ධනය සඳහාවන ශ්‍රි ලංකා ළමා පාර්ලිමේන්තුවෙහි සාමාජිකයන් ලෙස බඳවාගෙන ඔවුන්ට නායකත්ව පුහුණුව ලබාදෙනවා. ඒ වගේම එම දරුවන්ගේ හැකියාවන් සහ අදහස් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නවා.

ළමා පාර්ලිමේන්තුවට යන්න ළමයි්න්ට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

වයස අවුරුදු 14- 18දක්වා දරුවන් තමයි මේ සඳහා තෝරා ගන්නේ. මේ ළමයින් 75 අතුරින් විසි පහක් ජාතික මට්ටමින් තෝරා ගන්නවා. අනිත් පනහ දිස්ත්‍රික්ක විසි පහ නියෝජනයවන පරිදි එක් දිස්ත්‍රික්කයට දෙදෙනා බැගින් තෝරා ගන්නවා. මේ සඳහා කැමැති දරුවන් මවුපිය, භාරකරුගේ අනුමැතිය සහිතව අයැදුම්පතක් අපවෙත යොමුකළ යුතුයි. ඒ සඳහා වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් 0774034795 දුරකථන අංකයෙන් හෝ [email protected] විද්යුත් තැපෑලෙන් විමසිය හැකියි. ‘ශ්‍රි ලංකාව තිරසාර සංවර්ධනයක් ළඟාකර ගත යුත්තේ කෙසේද හා ශ්‍රි ලංකාව පිළිබඳ ඔබගේ අනාගත දැක්ම පිළිබඳව පිටුවක රචනාවක් මෙම මස තිහට පෙර ලැබීමට සැලැස්විය යුතුයි.

ඔබ කලාකරුවෙක් නිසාද මෙහි සන්නාම තානාපතිකමක් හිමිවූයේ...

මම කලාකරුවකු වීමට වඩා වසර හත, අටක සිට දරුවන් සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. විශේෂයෙන් විදෙස්රටවල පවත්වන එවැනි සමාජ සත්කාරක සේවාවන් සඳහා සහභාගි වනවා. ඔවුන් දන්නවා මම දරුවන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා කියල.

විශේෂයෙන් මතක් කරන්න ඕන එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ ඩොක්ටර් දේශප්‍රිය එස්. විජේතුංග මහතා. එතුමා තමයි සන්පෝ ඩිරෙක්ටර්. ඔහුගේ මගපෙන්වීමත් මේ කාර්ය සාර්ථක කරගන්න බෙහෙවින් ඉවහල් වනවා.

කලාවෙන් ඈත් වෙලා දිගටම මෙවැනි වැඩසටහන්වලට නියැළෙන්නද බලාපොරොත්තුව...

දිගටම මෙවැනි දේවල් කරන්න අදහසක් නෑ. මගේ කාර්යභාරය දිවයින පුරා විසිරී සිටින දක්ෂ දරුවන් හැත්තෑපහක් සොයා ගෙන ඔවුන් නායකත්ව පුහුණුව සඳහා යොමු කිරීමයි. දැනටමත් මේ දරුවන් හැත්තෑපහ තෝරාගැනීමේදි විවිධ හස්තයන් මැදිහත් වෙනවා. මට ඕනෑ සාධාරණ ලෙසින් දක්ෂ දරුවන් හැත්තෑපහක් තෝරා ගන්නයි. ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගෙන නායකත්ව පුහුණුව ලබා දී එම දරුවන් යොවුන් පාර්ලිමේන්තුවට ඇතුළත් කරන්න.

කලාවෙන් ඉදිරියට යෑමට නොහැකි වෙයි කියා සිතුණු නිසාද මෙවැනි වැඩවලට සම්බන්ධ වෙන්නේ..

කලාකරුවෙක් ලෙස මාව දන්නේ ලංකාවේ අය පමණයි. එහෙත් විදේශීය රටවල් සමග මගේ තියෙන්නේ ඊට එහා ගිය සබඳතා. සමහර ජාතීන් සමග වැඩකරද්දී හඳුනාගත් පිරිස් ඉන්නවා. ඔවුන් තමයි මට අතදෙන්නේ. කලාවේ සිදුවන ඇතැම් දේවලට විරුද්ධව මම කතා කළා. සමහර අයට ඒ දේවල් දරාගන්න බැරුව විවිධ අයුරින් මට ගැහුවා. එහෙත් මම වැටුණේ නෑ.

මම මගේ තැන හදාගත්ත. ඔවුන්ට තමයි මාව නැති වුණේ. මම මේ වැඩසටහනට වුණත් ඉතාම කැමැත්තෙන් සම්බන්ධ වුණේ මට මුහුණ දෙන්න සිදු වු සිදුවීම් මේ දරුවන්ට අනාගතයේදි මුහුණ නොදෙන්නටයි. මේ දරුවන් අනාගතයේදි රටට වැඩක් කරයි.

ඒ වගේම රටට නිසි නායකත්වය ලබාදෙයි. එවිට මට මුහුණ දෙන්න සිදු වුණා වගේ සිදුවීම්වලට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන එකක් නෑ.

මේ දේවල් කරන්නේ දේශපාලනයට එන අදහසින්ද?

දේශපාලනය කරන්න තුන් හිතකවත් නැහැ. මට ඕනෑ දරුවන් එකතු කරගෙන ඒ අයට මගපෙන්වන්න විතරයි.

 

 

අදහස්