පිරිහී ගිය සාර­ධර්ම පිළි­බ­ඳව අව­බෝධ කර දීම මෙහි මූලික අර­මු­ණයි | Page 2 | සිළුමිණ

පිරිහී ගිය සාර­ධර්ම පිළි­බ­ඳව අව­බෝධ කර දීම මෙහි මූලික අර­මු­ණයි

අපි මේ චිත්‍රපටයට වෙනම අර්ථකථනයක් දීලා තියෙනවා

ලොකු කුඩා කාටත් එකට නැරඹිය හැකි නැරඹිය යුතුම නිර්මාණයක්

අද පින්බරවූ පොසොන් පොහොය දවසයි. අනුබුදු හිමියන් මිහින්තලා ගල මතට වැඩම කොට සිරිලකට බුද්ධාගම රැගෙන ආ දවස වන පොසොන් පොහොය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු කලාව, සංස්කෘතිය අපේකම අපට උරුම වූ දවස ලෙසද හඳුන්වන්න පුළුවන්. බුදු දහම පිළිබඳ කතා කරන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ බෝධිසත්ත්වයන් වහන්සේගේ විවිධ ආත්ම භාවවල චරිත ඇසුරෙන් නිර්මාණය වුණු පන්සිය පනස් ජාතක කතාවලට හිමිවන්නේ සුවිශේෂි තැනකි. එම ජාතක කතා හා බැඳුණු සිදුවීම් අපේ ජීවිතවලට සමීප නිසායි. සාම කුමාරයා හා සම්බන්ධ සාම ජාතකයද එහි එන එක් කතාවක්. සාම ජාතකය ඇසුරෙන් නිෂාන්ත සෙ‍ෙනවිරත්න අධ්‍යක්ෂණය කළ ‘සාම කුමරු කතාව‘ සිනමා නිර්මාණය මේ දිනවල ලොකු කුඩා කාගේත් ප්‍රසාද ප්‍රතිචාර මැද තිරගතවනවා. මෙය නිෂ්පාදනය කර ඇත්තේ උදාර පල්ලියගුරු.

සුපර් සික්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිස CRIME SCENE වැනි රූපවාහිනි නාට්‍ය මාලා අධ්‍යක්ෂණය කර තුත්තිරි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරමින්ද පැණි මකුළුවෝ චිත්‍රපටය නිෂ්පාදනයෙන්ද කලාවට නිර්මාණ දායාද කළ ඔහු තම දෙවැනි සිනමා නිෂ්පාදනය ලෙස සාම කුමරු කතාව සිනමාවට පැමිණෙයි. මේ සාම කුමරු කතාව පිළිබඳ උදාර සමඟ කළ කතා බහයි.

¢ සාම කුමරු කතාව නිර්මාණය වීමේ පසුබිම ගැන මුලින්ම කතා කරමු?

සාම කුමරු කතාව චිත්‍රපටය සඳහා වස්තු බීජය වුණේ පන්සිය පනස් ජාතක කතාවේ එන සාම කුමාරයාගේ කතා පුවතයි. මෙය බොහොම අපූරු කතාවක්. බුදු හිමියන් මේ සාම ජාතකය දේශනා කරන්නට හේතු පාදක වන්නේ බුද්ධ කාලයේ සිටි භික්ෂූන් වහන්සේ නමක්. උන් වහන්සේ තම මවුපියන්ට සැලකීම නිසා ඒ කාලයේ සිටි අනෙක් භික්ෂූන් ඊට එරෙහිව නැඟී සිටිනවා. ඒ ශාසනයට හිමි දේවල් තමන්ගේ පෞද්ගලික දේවල් සඳහා භාවිතා කළා කියලයි. මේ ගැටලුව අරභයා තමයි බුදුන් වහන්සේ සාම කතා පුවත දේශනා කරන්නේ. සාම කුමරු කතාව පටය සඳහා පසුබිම වුණේ එයයි.

 

¢ ජාතක කතාවක් සිනමාවට නැගීම පිළිබඳව කෙනකුට ප්‍රශ්නයක් වන්නට පුළුවන්.

අනිවාර්යයෙන්ම එය මා ඔබෙන් බලාපොරොත්තු වුණු පැනයක්. කෙනකු අහන්න පුළුවන් ඒ වගේ දෙයක් සිනමාවට ආවට පස්සේ එහි විවිධත්වයක් තියෙනවද කියලා. මොකද සාම ජාතකය කියන්නේ අප කවුරුත් දන්න බොදු කතා පුවතක් නිසා. නමුත් අපි ඒකට වෙනම අර්ථකථනයක් දීලා තියෙනවා. විශේෂයෙන් අතීතය හා වර්තමානය සංසන්දනය කරලා තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ.

 

¢ ඒ පිළිබඳව විස්තර කළොත්?

මේ කතාවෙත් දිගහැරෙන්නේ වර්තමාන භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම නාරද. නාරද භික්ෂූන් වහන්සේ තමන්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් අතහැරලා ගොස් බණ භාවනා කරමින් ඉන්නවා. එහෙත් කලකට පසුව උන්වහනසේට තමන්ගේ මවුපියන්ට ඇප උපස්ථාන කරන්න කෙටි කලකට එන්න ආපසු සිද්ධ වෙනවා. නාරද භික්ෂුවන් වහන්සේ තමන්ගේ මවුපියන්ට සලකන්න ගෙදරට බඩු අදිනවා, සාංඝීක දේවල් පරිහරණය කරනවා කියලා චෝදනා එල්ල වෙනවා. මේ අරභයා බණ මඩුවේ ඇතිවන කතාබහ එක්ක තමයි මේ කතා දිගහැරෙන්නේ.

 

¢ මෙවැනි සිනමා නිර්මාණයක් කරන්නට හිතුවේ ඇයි?

අද අපි බලන බොහෝ නිර්මාණවල දකින්නේ අඬදබර. එහෙමත් නැත්තම් මවුපියන් එක්ක තරහා වෙලා යන දරුවන්. මේ නිසා දරුවන් හා මවුපියන් අතර තියෙන සම්බන්ධය ගොඩක් දුරස් වෙලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පරිසරය හා දරුවන් අතර තියෙන සම්බන්ධයද අඩුවෙලා. එ අනුව තමයි කල්පනා කළේ මේ වගේ නිර්මාණයක් හරහා මවුපියන්ට තමන්ගේ දරුවන් කෙරෙහි සංවේදී වෙන්න, මවුපියන්ට සැලකීමේ තියෙන ආනිශංස ගැන දරුවන්ට අවබෝධ කර දෙන්න, පරිසරයට ආදරය කරන්න කියන පණිවුඩ ලබාදෙන්න. සැබැවින්ම අපේ පිරිහී ගිය සාරධර්ම පිළිබඳ අවබෝධ කර දීම තමයි අපේ මුලික අරමුණ වුණේ. විශේෂයෙන් කියන්නට ඕන අද අපේ දරුවන් තමයි කවදාහරි වැඩිහිටියෝ වන්නේ. ඉතිං මේ පණිවිඩය අපේ දරුවන්ට ආශක්ත කරමේ අරමුණින් ඔවුන් වෙනුවෙන්මයි මේ නිර්මාණය කරන්නට හිතුවේ.

 

¢ අනෙක් බොදු සිනමා නිර්මාණ සමඟ ගත් කල මෙහි විශේෂත්වයක් තිබෙනවාද?

ඇත්තටම අපේ රටේ මීට පෙර බොදු සිනමා නිර්මාණ කිහිපයක්ම බිහි වුවත් ළමයින් වෙනුවෙන් බිහිවූ බොදු සිනමා නිර්මාණ නැති තරම්.

¢ මෙයට දායකත්වය දෙන නළු නිළි කැල කව්රුද ?

හිමායා බණ්ඩාර, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, රහල් බුලත්සිංහල, නන්ද වික්‍රමගේ, දිනෙත්ද සිල්වා, ආකාශ් ගුණතිලක, දිමිත්‍රි පල්ලියගුරු, ධීර්ත පල්ලියගුරු, ආදී නළු නිළියන් රැසක් ‘සාම කුමරු කතාව‘ සඳහා රංගනයෙන් දායක වෙනවා.

 

¢ මෙහි දකින දර්ශන අතිශයින් සුන්දරයි. ඒ පිළිබඳව සඳහන් කරමු?

ඒ සඳහා නකල්ස්, වස්ගමුව, දිගන, විල්පත්තුව වගේ ප්‍රදේශ තමයි යොදා ගත්තේ. ඒ වගේම අවුරුදු හතරක් වගේ කාලයක් ගතවුණා මේ නිර්මාණය කරන්නට.

 

¢ කොහොමද දැනට ලැබෙන ප්‍රතිචාර?

හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙනවා. ඒ වුණත් ප්‍රේක්ෂකයන්ගේ ලොකු පසුබෑමක් තිබෙනවා කියන්නට පුළුවන්.

 

¢ පසු ගියදා එල්ලවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මේ සඳහා බලපෑවා කියලා කීවොත්?

එය ඒතරම් දුරට බලපෑවා කියලා මට හිතෙන්නේ නෑ. මේ සඳහා බලපාන වෙනත් හේතු තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඇත්තටම මට හිතෙන්නේ මිනිස්සුන්ට විඳින්න සිදුව ඇති ගොඩක් ආර්ථික ප්‍රශ්න මේ සඳහා බලපාලා තියෙනවා කියලයි. රසවින්දනයක් ලබන්නටත් සිනමා හල් වලට යන්නට මිනිස්සුන්ට ආර්ථිකය ගැටලුවක් වෙලයි තියෙන්නේ. 

Comments