නීටා, නිල්මිණි, විසා­කේස, කුමාර, රංග ඇතුළු අන්තර්ජාතික සම්මා­නිත කලා­ක­රු­වන් ඇගයූ වටිනා සොඳුරු මොහො­තක්... | Page 2 | සිළුමිණ

නීටා, නිල්මිණි, විසා­කේස, කුමාර, රංග ඇතුළු අන්තර්ජාතික සම්මා­නිත කලා­ක­රු­වන් ඇගයූ වටිනා සොඳුරු මොහො­තක්...

මෙරට සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ නිර්මාණකරුවන්, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සිටින්නේ අතළොස්සක් වැනි සුළු ප්‍රමාණයකි. මේ අතළොස්ස අපේ රටට ආඩම්බරයක් සේම අභිමානයකි. ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයක් උපයෝගී කරගෙන සිය දක්ෂතාව, උත්සාහය, උන්නදුව සහ කැපවීම නිසාම රටට ගෞරවයක් ලබාදුන් මෙම කලාකරුවන් අගැයීමත්, ඔවුන් ගෞරවාදරයට ඔසවා තැබීමත් ලාංකිකයන් වන සැමගේ යුතුකමකි.

එවැනි යුතුකමක් ඉටුකළ අනගි අවස්ථාවක් ඉකුත් සදුඳා (10) නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදි සිදු වුණි. ඒ 2019 වසරේදි අන්තර්ජාතික සම්මානයට පාත්‍රවු කලාකරුවන් ඇගයීමට ලක්කිරීමයි. නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

මෙහිදී සම්මානයට පාත්‍ර වු කලාකරුවන් අට දෙනෙකි. ඔවුන් නම් ප්‍රංශයේ (2019) නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේ දි 'පාංශු' චිත්‍රපටය විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම නිළිය ලෙසින් රංගාභිෂේක වු නීටා ප්‍රනාන්දු, ප්‍රංශයේ (2019) නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේදි 'පාංශු' චිත්‍රපටය විදේශ භාෂිත සිනමා අංශයේ දක්ෂතම ඇඳුම් නිර්මාණශිල්පියා වූ කුමාර කරව්දෙණිය, ප්‍රංශයේ (2019) නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේදි 'පාංශු' චිත්‍රපටයට විදේශ භාෂිත සිනමා අංශයේ නිර්දේශිත තිර රචකයාට හිමි සම්මානය දිනු විසාකේස චන්ද්‍රසේකරම්, ජපානයේ 14 වැනි ඔසාකා ආසියානු චිත්‍රපට උලෙළේදි 'අසන්ධිමිත්තා' චිත්‍රපටයේ හොඳම රංගනවේදිනිය වු නිල්මිණි සිගේරා, මොස්කව් නුවර පැවැති අන්තර්ජාතික සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළේ දි 'නිහැඬියාව' කෙටි චිත්‍රපටය වෙනුවෙන් රන් සම්මානය හා 'කිරි මුට්ටිය' කෙටි චිත්‍රපටය වෙනුවෙන් කෙටි චිත්‍රපට විශේෂ ඩිප්ලෝමා සහතිකලාභියා වු රංග බණ්ඩාරනායක, මොස්කව් නුවර පැවැති අන්තර්ජාතික සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළේදි 'අලි කතාව' කෙටි චිත්‍රපටය වෙනුවෙන් කෙටි චිත්‍රපට විශේෂ ඩිප්ලෝමා සහතිකලාභියා වු නිශාදි රුවන්මලී, මොස්කව් නුවර පැවැති අන්තර්ජාතික සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළේ දි' හිමාලයෝ' කෙටි චිත්‍රපටය වෙනුවෙන් කෙටි චිත්‍රපට විශේෂ ඩිප්ලෝමා සහතික ලාභියා වු අතුල පීරිස්, මොස්කව් නුවර පැවැති අන්තර්ජාතික සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළේදි 'සිරිලක තෙරේසා' කෙටි චිත්‍රපටය වෙනුවෙන් විශේෂ ඩිප්ලෝමා සහතිකලාභියා වු ශිරාන් රත්නායක යන කලාකරුවන් සහ කලාකාරිණියෝ පිරිසයි. මේ සම්මානලාභීන් අට දෙනාටම සම්මානය සමඟ මුදල් ත්‍යාගයක්ද අමාත්‍යවරයා අතින් පිරිනැමිණි.

මෙහිදී කලාකරුවන් ඇමතූ සජිත් පේමදාස අමාත්‍යවරයා 'ඔබලාගේ ජයග්‍රහණය තුළින් රටට ලබාදුන් ඉමහත් ගෞරවය ඉතා සතුටෙන් ආඩම්බරයෙන් සමරනවා. ඒ වගේම ඔබලාගේ ඉදිරි වැඩ සඳහා අපෙන් ඉටු විය යුතු දේ අපි කරනවා. සම්මානලාභී ඔබ හිතේ තියෙන අදහස් අප වෙත යොමු කරන්න. එම යෝජනා සක්‍රිය කරන්න අපි බැඳී ඉන්නවා. අන්තර්ජාතිකව ඔබලා ලැබූ ජයග්‍රහණය සුළුකොට තකන්න බෑ. එම ජයග්‍රහණය සුවිශේෂියි. එනිසා අමාත්‍යාංශයක් හැටියට සංස්කෘතික දෙපාර්තමේන්තුවත්, චිත්‍රපට සංස්ථාවත් අදහස් කරගෙන ඉන්නවා සිනමාව කෙරෙහි වැඩි නැඹුරුවක් කරන්න. ඒ සඳහා ඔබලා ලැබු ජයග්‍රහණ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කර ඔබ තවදුරටත් ශක්තිමත් කරනවා. අපේ රටේ සිනමා ක්ෂේත්‍රය කාලයක් පුරා විවිධ ප්‍රතිපත්ති තුළ කඩා වැටිලා. එනිසාවෙන් අමාත්‍යංශය, සංස්ථාව, සියලුම පාර්ශ­්වකරුවන් එක් වී මේ ගමන නිවැරැදි කරනවා. අක්‍රමවත්, ක්‍රියාකාරි නොවන ගැටලු සොයා බලා දේශීය සිනමාවේ උන්නතිය උදෙසා වැඩකරනවා.'

මෙහිදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සහ සම්මානනීය වූ කලාකරුවෝ සහ කලාකාරිනියෝ අදහස් දැක්වූහ. 

Comments