ක්‍රිකට් වස­න්තය සුන්ද­රයි... ආස්වා­ද­ජ­න­කයි... | සිළුමිණ

ක්‍රිකට් වස­න්තය සුන්ද­රයි... ආස්වා­ද­ජ­න­කයි...

ඉන්ද්‍රචාපගෙ සමීපරූප සටහන අද 10 වැනි දා ලියන මොහොත වෙන කොට, ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය පටන් අරගෙන දවස් 11 ක් ගෙවිලා ගිහිං හමාරයි. (30-10) මේ දවස් ටිකේ මේ වෙනකොට හැම රටක්ම වගේ මැච් එකක් දෙකක් සෙල්ලම් කරලත් ඉවරයි. වැස්ස හරස් වෙච්ච රටවල් අතරට අපිත් අහුවුණ හැටි ඉන්ද්‍රචාප දැක්කා පකිස්තාන් මැච් එක දවසෙ. 11 තිබුණ බංග්ලාදේශ් මැච් එකට මොකද වුණේ කියල ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරෙ මොකුත් නෑ. අද 15 දා තවම ඔස්ට්‍රේලියාව එක්ක මැච් එක පටන් අරගෙන නෑ. ඒත් මැච් තුනක් සෙල්ලම් කරලා ලකුණු 3 ක් ගත්තම ඉතිරි මැච් 6 මොනව වෙයිද කියන බය ශ්‍රී ලංකාවෙ ක්‍රිකට්වලට ආදරේ කරන හැමෝගෙම හිතේ තියෙන වග නම් ඉන්ද්‍රචාප හොඳින්ම දන්නවා. මේ වෙලාවෙ ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට දකුණු අප්‍රිකාවෙ ජැක් කාලිස්ගෙ මූණ එකතුවෙන්නෙ ජැක් අපේ ක්‍රිකට් ලෝලීන් ගැන කියපු කතාවකුත් එක්ක. නිවේදිකාවක් කාලිස්ගෙන් අහනවා, ලෝකෙ හොඳම ක්‍රිකට් ප්‍රේක්ෂකයො ඉන්නෙ මොන රටේ ද කියලා. එයාගෙ උත්තරේ තමයි ශ්‍රී ලංකාවෙ කියන එක. කාලිස් කියනවා අපේ රටේ ක්‍රිකට් පිස්සො, එක දිගට මැච් 100 ක් පරදිනව බලාගෙන ඉඳල වුණත්, ආපහු 101 වැනි මැච් එකත් බලනව කියල. ඒක නම් හරියටම හරි කියල ඉන්ද්‍රචාපත් අත්දැකීමෙන්ම දන්නව. සාමාන්‍ය මැච් සීරීස් එකක් බලන කොටත් පිස්සු වැටෙන කට්ටිය අවුරුදු හතරකට වතාවක් තියෙන මේ වගේ දවස් ටිකක්, ලෝකෙ හොඳම ක්‍රිකට් ගහන රටවල් සෙල්ලම් කරන, ඒ රටවල් එක්ක අපේ පුංචි ශ්‍රී ලංකාවත් කරට කර ඉන්න හදන ක්‍රිකට් නොබලා ඉඳීවිද ? අපේ රටේ විතරක් නෙවි ලෝක කුසලානෙට තරග වදින හැම රටකම ක්‍රිකට් ලෝලීනට මේ මාස එකහමාරක කාලය වසන්ත සමයක්ම වගේ සුන්දර බව ඉන්ද්‍රචාප, එංගලන්ත, වේල්ස් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලට රොද බඳින දහස් ගාණක් දෙනාගෙ සමීපරූපවලින් දකිනවා.

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් පිස්සන්ට, උණ හදාගත්ත ෆෑන්ස්ලට කවදාවත් අමතක නොවෙන වර්ල්ඩ් කප් ක්‍රිකට් තරගාවලිය නම් 1996 පළමුවැනි වතාවට කප් එක අපේ රටට ගෙනාපු වර්ල්ඩ් කප් එක. ඉන්ද්‍රචාපගෙ විතරක් නෙවි ඒ මැචස් බලපු හැම ශ්‍රී ලාංකිකයෙකුගෙම සමීපරූප අතර අර්ජුන රණතුංගගෙ කොල්ලන්ගෙ සමීපරූප ඇඳිල තියෙනව නොමැකෙන විදියට. සනත්, අරවින්ද, කළුවිතාරණ, මහානාම, ගුරුසිංහ, හෂාන්, වාස්, ධර්මසේන, මුරලි, ප්‍රමෝද්‍ය, පුෂ්පකුමාර, උපුල් චන්දන, මාවන් අතපත්තු සෙට් එක අපි කොහොම අමතක කරන්න ද? රූපවාහිනියෙන්ම මැචස් බලන, පත්තරවලින් විස්තර කියවන ඒ වර්ල්ඩ් කප් කාලෙ අද වගේ අන්තර්ජාල, සමාජ මාධ්‍ය, මුහුණු පොත්, ට්විටර් එහෙම තිබුණ නම් අපූරු කතා ටිකක් කියවන්න තිබුණ කියල ඉන්ද්‍රචාපට අද හිතෙන්නෙ මේ දවස්වල අපේ ක්‍රිකට් ගැන මුහුණු පොතේ ලියැවෙන සමහර පෝස්ට් කියෙව්වමයි. ඒව බොහොමයකම, උපහාසය, විහිළුව, හිනාව අඩු නැතුව. එක ක්‍රිකට් වෙබ් අඩවියක, ප්‍රශ්නයක් අහනව, හෙට ටීම් එකේ (11දා බංග්ලාදේශ්-ශ්‍රී ලංකා) බැටිං ඕඩර් එක කොහොම වෙන්න ඕනද කියලා. එක්කෙනෙක් කියනව,'උඹලට වැඩක් නැත්නම්, ගිහිං අම්මට පොල් ටිකක් ගාල දියං' කියල. ඒකට තවත් එක්කෙනෙක් අපූරු උත්තරයක් දෙනව මෙහෙම. 'මේ ආච්චිට හාල් ගරන ගමං ඉන්නෙ, ටක් ගාලා මේක ඉවර වෙලා යන්නං' කියල. තව ක්‍රිකට් ලෝලියෙක් එයාගෙ බැටිං ඕඩර් එක ලියනව මෙහෙම. මේ දවස්වල බුකියෙ වැඩිපුරම කතාවෙන ක්‍රීඩකයා තමයි මාතෘකාව. 1.කුසල් මෙන්ඩිස් 2.කුසල් මෙන්ඩිස් 3.කුසල් මෙන්ඩිස් 4.කුසල් මෙන්ඩිස් 5.කුසල් මෙන්ඩිස්. බලාගේන ගියාම 11 වෙනකල් එවන්නෙ කුසල් මෙන්ඩිස්මයි. ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර ඇඳුණු තවත් අපූරු මුහුණු පොත පෝස්ට් එකක් ෂෙයාර් කරල තිබුණෙ ඉන්ද්‍රචාපගෙ මිත්‍රයා, උපුල් ශාන්ත සන්නස්ගල. උපුල් ෂෙයාර් කරන්නෙ, සචින්ත ප්‍රොමොද් නාඔටුන්නගෙ පෝස්ටුවක්. උපුල් කියන්නෙ සචින්තගෙ භාෂා ප්‍රයෝග අපූරුයි කියල. වර්ල්ඩ් කප් ක්‍රිකට් ගහන රටවල ඉන්න සමහර ක්‍රීඩකයන්ගෙ නම් ඇහුවම බය හිතෙනවලු. මසකඩ්සා,මෝර්ටාසා, බ්‍රාත්වෙයිට්, හස්‍රාතුල්ලා... .ඒකට අපේ උන්ගෙ නම්? කුසල්, උපුල්, සුරංග, කුමාර, සඳකැන්. ඇහුවමත් හිත පිරෙනවලු. උපුල් කියන්නෙ මේ වගේ පෝස්ට් එකකින් හිත හිතා හිනාවෙන්න පුළුවන් කියලා. ඒක නම් ඇත්ත තමයි. හිත හිතා හිනාවෙන්න නෙවි, ඔය නම් ගම් අමතක නොවෙන්න අන්තිම ටීම් හතරටවත් ආවොත්? එහෙම වුණොත් හිනාවෙන්නෙ නෑ ආදරෙන් ඉඹ ගන්නව මිසක්.

Comments