ඔයා මනා­ලි­යක් වෙන්නයි යන්නෙ | සිළුමිණ

ඔයා මනා­ලි­යක් වෙන්නයි යන්නෙ

මේ සිදුව ඇත්තේ කිසි සේත් විශ්වාස කළ නොහැකි දෙයකි. බෞද්ධයන් ලෙස පුනර්භවය පිළිබඳව විශ්වාසයක් පවතී. සෙසු ආගම්වල නැවත ඉපදීමක් ගැන සාකච්ඡාවක් වන්නේ නැත. හින්දු භක්තිකයකු වන රාම් මෝහන් තුමා ද එම අදහස බැහැර නොකරයි. කලින් මිථ්‍යාවක් ලෙස සිතූ යෝජනාව සාක්ෂි ඇතිව පිළිගනී.

දුවගේ සිහිනය වෙනුවෙන් ලංකාවට ආවේ සියල්ල ඉවත දමමිනි. එහෙත් රාම් මෝහන්ට එරෙහි කුමන්ත්‍රණයක් ඇති බව ඔහු දැන නොසිටින්ට ඇත. ඔහු මරා දමා ව්‍යාපාර අල්ලා ගැනීමට රහසිගත වැඩපිළිවෙළක් ඇති බව ඔහු කිසිසේත් නොසිතන්න ඇත. එහෙත් මේවා ලෝකයේ සිදුවන සුලභ සිදුවීම්ය.

“අයියා එන්න” කුමරිය යසස් පිළිගනිමින් කීවාය.

“කෝ... නීලක”

“අපි සර්ගෙ බොඩි ගාඩ්ලා එක්ක සාකච්ඡාවක් කළා.”

“මොකක්ද තීරණය කළේ. අප්පා යනවද?”

“නෑ. ඉස්සෙල්ලා අපි දෙන්නා ගිහින් තත්ත්වය බලලා සර්ව ගෙන්වනවා.”

“මට බයයි ඔය දෙන්නට මොනව හරි දෙයක් වුණොත් මම ඉඳලා වැඩක් නෑ.”

“නෑ නෑ. ඒ ගැන බය වෙන්ට එපා.”

“බය වෙන්ට එපා?”

සංජයට හා වෙනත් නෑදෑයන්ට අවශ්‍යව ඇත්තේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිවෙකුට එය ඉක්මවා යෑමට පුළුවන්කමක් නැත.

“මේ හැම දෙනාම පරද්දන ක්‍රම තියෙනවා. ටික දවසකට මේ වගකීම නීලකට දෙන්න.”

“ටික දවසකට නෙමේ ගොවිතැන් ටිකයි අනිත් බිස්නස් ටිකයි නීලකට දෙන්න කැමැතියි.”

“නවීන් ක්‍රිෂ්ණ කියන්නෙ කවුද?”

“ඇයි නීලකට කිව්වෙ නැද්ද එයා අප්පා‍ගෙ බිස්නස් එක ගන්න ලෑස්ති වෙන කෙනෙක්. මහා රාජ පරම්පරාවෙන් එන කෙනෙක්.”

ඔවුනතර නිහඬ බවක් ඇති වුණි. මේ ජීවිතය මේ අයුරින් විස‍ඳේවියැයි කුමරිය සිතු‍ෙව් නැත. නෑදෑ හිතවතුන් මා පියන් කිසිදාක නම් මේ තත්ත්වය සිතුවේ නැත. කිසිවෙක් සිතුවේ නැත.

“මමයි නීලකයි ඉන්දියාවට යන්නයි ඉන්නෙ.”

“අයියා ඔය දෙන්නා ඉන්දියාවට එනවට කැමැතියි. ඒත් තනියම යන්ට දෙන්ට බෑ. මාත් එනවා.”

“කුමාරිට එක සැරේටම යන්ට වෙන එකක් නෑ.” ඔහු සිනාසෙමින් කීවේය.

“මේ ගොල්ලන්ගෙ මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙන බව පේනවා. අනේ මොනාද කරන්න හදන්නෙ?”

“නීලකගෙන්ම අහන්න. එයා නැකැත් බලන්ට ගියා.”

“ඇයි ඒ නැකැත් බලන්නෙ.”

“පොඩි වෙඩින් එකක් තියෙනවා.”

“එ කාගෙද? අනේ මම ඇඳුම් ගෙනැල්ලත් නෑ. ඉන්න මම නංගිගෙන් අහල බලන්නම්. නංගි... නංගී” කුමරිය නන්දිතා දෙසට යමින් හඬ ගෑවාය.

නන්දිතා ගිය ගමන නතර කර දුව ආවාය.

“ඉන්න අක්කා වැලිතලප හදනවා. ඒක කාලා තේ එකක් බොමු.”

“මේ මට තේ එපා. මට කියන්න නැතිව ඔයාලා මොනවද මේ කරන්නෙ.”

“ඔයා අඳින්න කැමති, ඉන්ඩියන් සාරි ද කැන්ඩියන්ද?”

“විශේෂයක් නෑ. මම කැමැති අපේ රටේ ඇඳුම් අඳින්නයි.”

“එතකොට ඔයාගෙ වෙඩින් ෆොටෝ එක. ඔයා පෙර ආත්මෙ ඉපදිලා තියෙන්නෙ උඩරට නම් ඔයා අඳින්ට ඇත්තෙ උඩරට සාරිය.”

නන්දිතා පවසන්නේ කුමක්දැයි කුමරියට තේරුණේ පසුවය.

“ඔයා මනමාලියෙක් වෙන්නයි යන්නෙ.”

කොච්චර ප්‍රශ්න ආවත් අප්පා කතා කර තිබුණේ ඉන්දියාවට ගිය පසු චාරිත්‍රානුකූලව මාළිගාවේදී මංගල්‍ය ගැනී‍මටය. රාජ්‍ය පාලනයේදී මෙවන් ප්‍රශ්න කොපමණ ආවත් ඒවාට මුහුණ දිය යුතුය.

“ඇයි කැමති නැද්ද?”

“කැමැති නිසා නේද මේ ඔක්කොම දාල ආවෙ.”

එය ලස්සන දඟකාර සිනාවකි.

“ගමනක් යන්න ලෑස්ති වෙන්න. අම්මාට කිව්වද?”

“අයියට හොරෙන් යන්නෙ. අම්මාට කිව්වා.”

ලංකාවේ ජීවත්වීම පහසුය. කිසිවෙක් තමා පිටස්තර ගැහැනියෙක් ලෙස සිතන්නේ නැත.

ඇය තමා කැඳවාගෙන ගියේ බියුටි සැලුනයක් වෙත බව හැඟී ගියේ පරිශ්‍රය දකින විටය.

“නංගි මේ කව්ද?” රූපලාවණ්‍ය ශිල්පිනිය ඇසුවේ කුමරියගේ රූ සපුව දෙස හොඳින් බලමිනි.

“අයියාගෙ මනමාලි.”

“අර පත්තරේ ආටිකල් එක ගියේ මේ කුමාරිකාව ගැනද?”

“ඔව් බෙංගාලයේ කුමාරිකාවක්.”

“ඒ වෙනස පේනවා. ඉන්ඩියන් විදිහටද අඳින්නෙ.”

“නෑ අක්කා මෙයා අඳින්නෙ උඩරට මනමාලියෙක් විදිහට. මොනවද අඩු.”

ඇය මොහොතක් කල්පනා කළාය. නන්දිතා පැවසූ පරිදි මැය කුමාරිකාවකි. මෙවැනි සම්ප්‍රදායික නොවන ඕනෑ තරම් දේවල් සිදුවිය හැකිය. ගමේ ගොඩේ මනාලියක් සරසනවාට වඩා මෙවන් කටයුත්තක් කිරීම තම තත්ත්වයට හොඳය.

“මුකුත් එපා. මා ළඟ බඩු තියෙනවා. කුමාරිකාවට මම අන්දවන්නම්.”

“තැන්ක්යූ වෙරි මච්. සමහර වෙලාවට මනමාලිට අන්දවන්න ඔයා‍ට ඉන්දියාවටත් යන්න වෙයි.”

“තැන්ක්යූ ෆොටෝ ගන්නවා නේද?”

“ඔව් යසස් අයියලාගෙ කැමරා යුනිට් එකක් තියෙනවා. ඒවා ඉන්ටනෙට් දමාවි.”

නොදන්නා සතුටක් සිතට පිවිස ඇත.

නීලකගේ මනාලිය වීමට ල‍ැබෙන්නේ නම් ඊට වඩා සතුටක් නැත.

තමා මෙම ගමන ආවේ හේතු සහිතවය.

පූර්ව ආත්ම භවයේ ඔහු හා ජීවත් වූවා නම් මේ තත්ත්වය උද්ගත වන්නේ නැත. ඔහුට බලවත් අසාධාරණයක් කර චපලියක් වීම නිසා මේ වෙනස වන්ට ඇත.

හෙළ සිරිතට අනුව විවාහ වී අප්පාගේ ආරක්ෂාවට නීලක කැඳවාගෙන යෑමට ඈ අදහස් කළාය.

 

ලබන සතියට

අදහස්