සමාගම් 13ක් ආණ්ඩුවේ සල්ලි කෝටි 90ක් පිල්ලි ගහලා | Page 2 | සිළුමිණ

සමාගම් 13ක් ආණ්ඩුවේ සල්ලි කෝටි 90ක් පිල්ලි ගහලා

සහනාධාර ක්‍රමය යටතේ 2018 වස‍ෙර් මෙරටට පොහොර ගෙන්වූ ඇතැම් සමාගම් කෝටි 90ක් වටිනා පොහොර තොග කෘෂිකාර්මික කටයුතු සඳහා නොව පොහොරවලින් වෙනත් වාණිජ නිෂ්පාදන කරන සමාගම් 13කට ලබාදී‍මේ ජාවාරමක් පිළිබඳ හෙළිව තිබේ.

මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා අදාළ පොහොර සමාගම්වලට සහ අනෙකුත් සමාගම්වලට නඩු පවරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් හා ධීවර ඇමැති පී‍. හැරිසන් මහතා නියෝග කර ඇත. විවිධ භාණඩ නිෂ්පාදනය කරන සමාගමක් 2017 වසරේ පොහොර සහනාධාර නොලැබෙන අවස්ථාවේ මෙරටට පොහොර මෙට්‍රික් ටොන් 3000 ක් ගෙන්වා තිබුණත් 2018 වසරේදී එම සමාගම පොහොර ටොන් 1 ක්වත් ගෙන්වා නොමැත.

නමුත් ඒ සමාගම ද වසා නැති බවත් ඔවුන්ට අවශ්‍ය පොහොර, සහනාධාර පෙහොර මඟින් තොග වශයෙන් පොහොර සමාගම්වලින් ලබාගෙන ඇති බවට වාර්තාවී ඇතැයි ද ඇමැතිවරයා කියයි. 2017 වසරේදී පොහොර වෙනුවට මුදල් සහනාධාර ලබාද‍ීමේදී රජයට වියදම් වී ඇත්තේ රුපියල් බිලියන 15 ක් පමණි.

නමුත් 2018 වසරේදී කෙළින්ම සහනාධාර පොහොර ලබාදෙන විට රුපියල් බිලියන 35 ක මුදලක් රජයට වැය වී ඇත. ඒ අනුව රටේ ගොවීන්ට පමණක් අවශ්‍ය පොහොරවල වටිනාකම රුපියල් බිලියන 15 – 20 කට සීමා වන බවත් පසුගිය වසරේ පොහොර සඳහා වියදම රු. බිලියන 35 ක් වූයේ ඉහත අයුරින් පොහොර සමාගම් සහ පෞද්ගලික නිෂ්පාදන සමාගම් සිදු කරන මහා ජාවාරමේ ප්‍රතිඵලයක් වශයෙන් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ පිළිබඳව සියලු තොරතුරු ලැබී ඇති බවත් ඊට අවශ්‍ය නීතිමය පියවර හැකි ඉක්මනින් ගන්නා බව ඇමැතිවරයා කීය.

Comments