පොසොන් පොහොය නිමිත්තෙන් විද්යුත් ත්‍රිපිටක 5000ක් | සිළුමිණ

පොසොන් පොහොය නිමිත්තෙන් විද්යුත් ත්‍රිපිටක 5000ක්

ලබු­නෝ­රුව ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති

පූජ්‍ය මානං­ක­ඩ­වල සුදස්සී හිමි

පාලි වී පූර්ව භජ ධාතු­වෙන් නිපත් “ විභ­ජති” යන ක්‍රියා­ප­දය බෙදා දැක්වීම්, විස්තර කිරීම්, වෙන් කොට දැක්වීම්, ආදී අර්ථ­යන්හි යෙදේ. මෙයින් බිඳුනු “විභජ්ජි” යන පදය ද බෙදා දැක්වීම අර්ථ­වත් කරයි. “විභජ්ජ වද­තීත විභ­ජ්ජ­වාදී” (වජි­ර­බුද්ධි ටීකා) යනු­වෙන් දැක්වෙන විග්‍ර­හ­යන්ට අනුව බෙදා දක්වා අරුත් ප්‍රකාශ කරන නිසාම විභ­ජ්ජ­වාද යන නම් යෙදී ඇත. සාර­ත්ථ­දී­පනී ටීකාව ට අනුව විභ­ජ්ජ­වාද යන පදය ආකාර කිහි­ප­ය­කට අර්ථ නිරුක්ති ගන්වා ඇත. එහිදී

1.වේනෙය භාව­යන් බෙදා දක්වන හෙයින්ද

2.ශාස්වත උච්ඡෙද ආදීය බෙදා දක්වන නිසාද

3.ඨප­නීය ප්‍රශ්න තැබූ නිසා ද රාගාදි ධර්ම­යන්ගේ සිඳීම නිසාද

4.අන්ත­ය­කට නොපැ­මිණ මැදුම් පිළි­වෙ­ලෙහි වූ පටි­ච්ච­ස­මු­ප්පා­දය දෙසූ නිසා ද බුදු­ර­ජා­ණන් වහන්සේ විභ­ජ­ජ­වාද යන නාම­යෙන් හඳුන්වා ඇත.

විභ­ජ­ජ­වාද යන යෙදුම විම­සී­මේදී ඉතා­මත් වැද­ගත් ම භාවි­තය ලෙස බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ චතු­ර්විධ පඤ්හ ‍ෙවෙය්‍යා­ක­ර­ණය හැඳි­න්විය හැකිය.

1.ඒකාන්ත ලෙස කරන විස්ස­ර්ජ­නය

2. විභ­ජ්ජ­වාද හෙවත් බෙදා දක්වා විස­ඳීම

3.තවත් ගැට­ලු­ව­කින් සිදු කරන විස්ස­ර්ජ­නය

4.ඨප­නීය විස්ස­ර්ජ­නය

මෙම ප්‍රශ්න විස්ස­ර්ජන ක්‍රම­වේද සතර තාර්කික පද­න­මක් මත ගොඩ නැගී ඇති ආකා­රය මෙය විම­ර්ශ­නය කර­න්න­කුට පෙනී යයි. නමුත් බොහෝ විට මේ ක්‍රම­වේද සත­රින් සමස්ත බුද්ධ දේශ­න­යම හැඳි­න්විය හැකි එකම න්‍යාය නම් විභ­ජ්ජ­වාද න්‍යායයි.

මේ විභ­ජ්ජ­වාද යන පද­යට තවත් වැද­ගත් කරු­ණක් වජ්ජි­ය­මා­හිත සූත්‍රය තුළ දැක්වෙයි. එහිදී වජ්ජි­ය­මා­හිත බ්‍රාහ්මණ තුමන් විසින් බුදු­ර­ජා­ණන් වහන්සේ පිළි­බ­ඳව අන්‍ය තීර්ථ­ක­යන්ට හඳුන්වා දෙනු ලබන්නේ සියලු තපස සහ දුෂ්කර පැවැත්ම ඒකාන්ත වශ­යෙන් ප්‍රති­ක්ෂේප නොක­රන අතර ගැර­හිය යුත්තාට ගර­හන ප්‍රශංසා කළ යුත්තාට ප්‍රශංසා කරන නිසාම විභ­ජ්ජ­වාදී නම් වන බවයි.

මේ අනුව ගත් කළ විභ­ජ්ජ­වාද යන්න බෞද්ධ දර්ශ­නය හා එහි ස්වභා­වය අර්ථ­ක­ථ­නය කිරී­මෙහි භාවිත වූවක් ලෙස සැල­කිය හැකිය.

නිකා­යා­න්තර සම්භ­වය විම­සී­මේදී ද විභ­ජ්ජ­වාද යනු­වෙන් ථේර­වා­ද­යෙන් බිඳි­ගිය එක් කොට­සක් හැඳින්වූ අත­රම එය වෙනම ශාඛා­වක් ලෙස ප්‍රව­ර්ධ­නය වූ බවට කිසිඳු සාධ­ක­යක් නැත.

විභ­ජ්ජ­වා­දය යන යෙදුම ශාස­නික ඉති­හා­සයේ පරි­භා­විත ඉතා­මත් සුවි­ශේ­ෂ­තම අව­ස්ථාව ලෙස හැඳි­න්විය හැක්කේ තෙවන ධර්ම සංගා­ය­නා­වයි. එකල ශාස­නික ප්‍රදීප්ත භාවය නිසාම ශාස­න­යට අන්‍ය තීර්ථ­ක­යන්ගෙන් එල්ල වූ බල­පෑම ඉතා­ විශාල විය.

ලාභ කීර්ති කතා සසු­නට ඇතුළු වූ අන්‍ය තීර්ථ­ක­යන් විසින් සසුන තම මත­වා­ද­යන් ඔස්සේ වන­ස­මින් පැවති කාල­ව­ක­වා­නු­වක බුදු සසුන එම තත්ත්ව­යෙන් බේරා ගැනීම සහ ථේර­වාද බෞද්ධ භික්ෂූන් වහ­න්සේලා සිවුරු පෙර­වා­ගත් අන්‍යා­ග­මික පැවි­ද්ද­න්ගෙන් වෙන් කොට හඳුනා ගැනී­මට භාවිත කරන ලද ප්‍රධා­න­තම නිර්ණා­ය­කය විභ­ජ්ජ­වාද යන්නයි.

එහිදී “කිංවාදී සම්මා­ස­ම්බුද්ධ” ති? බුදු­ර­ජා­ණන් වහන්සේ කින­ම්වා­දී­දැයි සියලු භික්ෂූ­න්ගෙන් විම­සන ලද අතර විභ­ජ්ජ­වා­දය මත පිහිටා පිළි­තුරු දුන් හා විග්‍රහ කළ භික්ෂූන් වහ­න්සේලා හැරෙ­න්නට අනෙක් සැට දහ­ස­කට පමණ ප්‍රමා­ණ­යක් සිවුරු හරවා බැහැර කරන ලදී. ඒ අනුව විභ­ජ්ජ­වාද යන යෙදුම හුදෙක් ප්‍රශ්න විස­ඳීමේ ක්‍රම­ය­කට පම­ණක් සීමා නොවුණු බව පැහැ­දි­ලිය. එය ශාස­නය නිරු­පද්‍රැතව පව­ත්ව­න්නට උප­කාර වූ න්‍යායා­ත්මක ක්‍රම‍ෙ­ව්ද­යක පරි­භා­විත වූවැ­කයි කීම යුක්ති සහ­ග­තය.

විභ­ජ්ජ­වා­දයේ නූතන මුහු­ණු­වර

විභ­ජ්ජ­වා­දයේ නූතන මුහු­ණු­ව­රද අපට අර්ථ ගැන්විය හැක්කේ එදා තෙවන සංගා­යනාව කළ සිදු වූ සිද්ධිය හා සාම්‍ය සමාජ තත්ත්ව­යක් මතය. එදා චීවර ධාරීවූ අන්‍ය­ති­ර්ථ­ක­ය­න්ගෙන් එල්ල වූ අර්බු­ද­යම අද ශ්‍රමණ ප්‍රති­රූ­ප­ක­යන් වෙතින් ද එල්ල වී ඇත. ඉතා­මත් සංවි­ධාන ගතව සිදු කරන එම ක්‍රම­න්ත්‍ර­ණ­කාරී පිළි­වෙත මෙතෙක් නිරු­ප­ද්‍රැ­තව පැවත ආ ථේර­වාද සම්ප්‍ර­දා­යට මෙන්ම පෙළ, අටුවා, ටීකා­වන්ට දැඩි බල­පෑ­මක් එල්ල­කොට ඇත.

ධර්මය වේශ­යෙන්ම සිදු­වන එම අධර්ම මත­වාද පිරි­සිදු ධර්මයේ පැවැ­ත්මට බාධා­වක් ව ඇත. සැග­වුණු බොදු­මග අලු­තෙන් මතු වූ බවට පාරම් බාන ඔවුන් විසින් අපූර්ව නිරුක්ති සැප­යී­මක්ද කරනු ලබයි. නම­ස්කා­රයේ බුදු­ගුණ නවයේ සිට පටි­ච්ච­ස­මු­ප්පා­දය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්ත දක්වාම අවි­ධි­මත් පද බෙදීම මගින් අර්ථ කථන සප­යන අතර එය කිසි­සෙත්ම පෙළ දහ­මට අනු­ගත නැත.

මෙවැනි මිථ්‍යා­ම­ත­යන් මථ­නය කොට පිරි­සිදු ථේර­වාද බුදු දහම සුරැ­කීම නූතන විභ­ජ්ජ­වා­දයේ අර­මුණ බවට පත්ව ඇත.

එහිදී මහා­සං­ඝ­ර­ත්නය හා ගිහි පිරිස වෙත පිරිසුදු පෙළ දහම සම්ප්‍රේ­ෂ­ණය කිරීම පර­මා­ර්ථ­යක් වන අත­රම එහි ප්‍රධා­න­තම වැඩ­ස­ට­හන ජුනි මස 29 වැනි දින කොළඹ සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට අවශ්‍ය කට­යුතු දැන­ට­මත් සූදා­නම් වෙමින් පවතී. එහිදී 5000 මහ සංඝ­ර­ත්නය උදෙසා විද්යුත් ත්‍රිපි­ට­ක (ත්‍රිපි­ටක පරි­ශී­ල­නය සඳ­හාම වෙන් වූ) ටැබ් 5000ක් පූජා කිරී­මට බලා­පො­රොත්තු වන අත­රම එම­ගින් මහා භික්ෂූන් වහ­න්සේ­ලාගේ ධර්ම­ඥා­නය වැඩි දියුණු කිරී­මට ප්‍රබල හේතු­වක් වනු ඇත.

අදහස්