ධර්මා­ශෝක සුනි­ශ්චිත ජීවන චරි­ත­යක් ද? | සිළුමිණ

ධර්මා­ශෝක සුනි­ශ්චිත ජීවන චරි­ත­යක් ද?

අශෝ­ක­යන් අර­භයා බොහෝ පොත­පත ලියැවී ඇතත් අශෝක නම් කව­රෙක්ද? ඔහු­ගෙන් ඉටු වූ සේවය කුමක්ද? ඔහු ඉති­හා­ස­ගත වූයේ කවර හේතු­වක් නිසා දැයි දැන ගනු පිණිස ආචාර්ය ගුරුගේ පොත්පත් රැසක් තුල­නා­ත්ම­කව අධ්‍ය­ය­නය කර ඇති බව මේ මහා කෘති­යෙන් මොන­වට පැහැ­දිලි කරයි. 

කුම­ර­ජිත්

මුනි­සඳ සුමන සුරි­ඳු‍ෙග ඇරි­යුම විසිනේ
සිරි­පද තැබු සේක සම­නළ ගිරි මුදුනේ
මගේ හද කළු ගලේ යළි නොමැ­කෙන ලෙසිනේ
කොහො­මද මිහිඳු මිහි­ඳුගෙ සිරි­පද එබුණේ
(සාගර පල­න්සූ­රිය)

අද වැනි දිනක එනම් ක්‍රි.ව. 307 – 6 වර්ෂ­යෙහි දී මෞර්ය්‍ය වාංශික ධර්මා­ශෝක අධි­රා­ජ­යා­ණන්ගේ පුත්‍ර මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මූලි­ක­ත්ව­යෙන් ධර්ම­දූත පිරි­සක් මිහි­න්තලා කඳු මුදු­නෙහි දී දේවා­නම්පිය­තිස්ස මහ රජුන් හමු වූයේ අද වගේ දව­සක ය. පොසොන් පොහෝ දින­යක අප රටට බුදු දහම දායා­දය කිරී­මට මූලික වූ ධර්මා­ශෝක රජ­තුමා බෞද්ධ ජන­තා­වගේ සදා අනු­ස්ම­රණීය චරි­ත­යකි. ශ්‍රී ලංකා­ද්වී­ප­යෙහි සම්බුද්ධ ශාසන ප්‍රති­ෂ්ඨා­ප­න­යෙන් 2300 වසර පිරීම නිමිති කොට ගෙන ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ විසින් ඉංග්‍රීසි භාෂා­වෙන් පළ කරන ලද Asoka the Righteous-A Definitive Biography නමැති ග්‍රන්ථය නිකුත් කළේය. මේ කෘතිය 2005 වසරේ දී “ධර්මා­ශෝක සුනි­ශ්චිත ජීවන චරි­තය” සිංහල භාෂා­වෙන් ගොඩගේ ප්‍රකා­ශ­න­යක් ලෙස නිකුත් විය.

මේ කෘතියට පාදකවූ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරු‍ගේ ලියූ ග්‍රන්ථය පිටු 750 ක් පුරා දිව යයි. ආචාර්ය ගුරුගේ “අ‍ශෝක­යන් ගැන තවත් පොතක් ඇයි”? යන ප්‍රශ්න­යට පිළි­තුරු මේ කෘති­යෙන් සපයා ඇත.

“අශෝ­ක­යන් ගැන, ඔහු කළ කී දේ නොයෙක් භාෂා මාධ්‍ය­යෙන් මෙතෙක් ලියැවී තිබෙන පත පොත එකක් දෙකක් නොවේ. මහත් රාශි­යකි. අශෝක සෙල් ලිපි මුලින් සොයා ගත් දේශ ගවේ­ෂ­ක­යන් ලියා තැබූ සට­හන් වලින් පටන් ගෙන එම සෙල්ලිපි කියවා තේරුම් ගැනීම හා පරි­ව­ර්ත­නය කිරීම දක්වා ද, එතැන් සිට ‘අශෝක’ යනු කව­රෙ­ක්දැයි නිසැක ලෙස හඳුනා ගැනීමේ හා අදාළ ශිලා­ලේ­ඛන, පුරා­විද්‍යා ගවේ­ෂණ, පුරාණ භාෂා මූලා­ශ්‍රය යන මෙම මාධ්‍ය‍යන් ඇසු­රෙන් සොයා ගත් නොයෙ­කුත් සාක්ෂි අන්‍යෝන්‍ය වශ­යෙන් ගලපා ලීමේ විවිධ ව්‍යායා­ම­යන් දක්වා ද විසිරී පැතිරි ගිය එම ග්‍රන්ථ සම්භා­රය නිසා ම ‍මෙවන් කෘති­යක් සම්පා­ද­නය කිරීම අත්‍ය­වශ්‍ය කර්ත­ව්‍ය­යක් වී යයි කීම පර­ස්පර විරෝධි ප්‍රකා­ශ­යන් සේ පෙනී යා හැකි වුවද සත්‍ය ද එය මැයි.”

අශෝ­ක­යන් අර­භයා බොහෝ පොත­පත ලියැවී ඇතත් අශෝක නම් කව­රෙක්ද? ඔහු­ගෙන් ඉටු වූ සේවය කුමක්ද? ඔහු ඉති­හා­ස­ගත වූයේ කවර හේතු­වක් නිසා දැයි දැන ගනු පිණිස ආචාර්ය ගුරුගේ පොත්පත් රැසක් තුළ­නා­ත්ම­කව අධ්‍ය­ය­නය කර ඇති බව මේ මහා කෘති­යෙන් මොන­වට පැහැ­දිලි කරයි.

සියලු ආගම් කෙරෙහි දැක් වූ සමා­නා­ත්මතා නිසා අශෝක බෞද්ධ­යන්ගේ අප්‍ර­සා­ද­යට ලක්ව­න්නට ඇතැයි කර්න් (kern) පළ කළ මතය නිස්සාර ප්‍රලා­ප­ය­කැයි බැහැර කළ හැකි බව ආචාර්ය ගුරුගේ මත­යයි.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ දහ­නම වන සිය­ව­සෙහි විසූ අව­ර­දි­ගු­වකු වූ ඒ ප්‍රඥයා එදා එසේ කීවේ සිය සමීප වට පිටා­වෙන් ලද අත්දැ­කීම්, ඊට හාත්ප­සින් වෙනස් ආග­මික හැදි­යාව ඇති පෙර­දිග රට­කට ද එලෙ­සින් ම ආරෝ­ප­ණය කර­න්නට පෙළ­ඹුණු නිසා විය හැකි බව ද ඔහුගේ නිග­ම­න­යයි. එහෙත් ඊට සිය­ව­සක් තරම් පසු කලෙක දී රොමිලා තාපර් (Romila thapar – Asokan India and the Gupta Age, A cultural History of India) වැනි කෙනකු, අශෝ­ක­යන් බුදු­ස­මය කෙරෙහි පක්ෂ­පාතී වූයේ දේශ­පා­ලන වාසි ගැනීමේ චේත­නාව පෙර­දැරි කර ගෙනයයි කියන විට නම් ඉවසා නිහ­ඬව සිටීම අසීරු බව ද ඔහු පවසා ඇත. තව­දුර මේ කෘති­යෙන් අව­ර­දිග උග­තුන් කිහිප දෙනෙ­කුගේ දුර්මත බිඳ හෙළා ඇත.

“වින්සන්ට් ඒ. සුමිත් (Vincent A.smith – the Identity of piyadasi with Asoka maurya and some connected problems) තියුණු වාග්ප්‍ර­හාර එල්ල කර­මින් ශ්‍රී ලාංකීක මුලා­ශ්‍රය ග්‍රන්ථ පරි­භ­ව­යට ලක් කළේය.

මුල් මූලා­ශ්‍රය කෘති අව­ඥා­වෙන් බැහැර කළ ඔහු කිය වූයේ අස­ම්පූර්ණ ද්විතී­යික මූලා­ශ්‍රය කෘති පම­ණකි. ඒ බව ඔහු ම පිළි­ග­ත්තේය. එහෙ­යින් ම ඔහුගේ අග­ති­ගාමී ප්‍රකා­ශ­ව­ලට සමාව දිය හැකිය. එහෙත් ලාංකීක වංස කථා­වල සඳ­හන් වන ධර්ම දූත­යන් සියලු දෙනා­ගේම නම් සාංචියේ හා සොනා­රියේ ස්තූප­ව­ලින් සොයා ගෙන ඇති දා කර­ඬු­වල දක්නට නොලැබී‍මේ හේතු­වෙන් එම වංස­කථා විශ්වාස කළ නොහැකි යයි ඩී.ආර්. භණ්ඩ­කාර් (D.R. Bhanadrakar – Asoka and his mission, Buddhist studies) වැන්න­කුට සමාව දිය හැකි ද?”

ආචාර්ය ගුරුගේ තම කෘතිය ලිවීමේ දී අපේ උග­තුන්ගේ කෘති රාශි­යක් පරි­ශී­ල­නය කර ඇත. වල්පොල රාහුල හිමි. වේර­ගොඩ අම­ර­මෝලි හිමි, පොල්වත්තේ බුද්ධ­දත්ත හිමි, ගම්මැ­ද්දේ­ගොඩ පුඤ­ඤ­සාර හිමි, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදි­කා­රම්, මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන, මහා­චාර්ය ගුණ­පාල මල­ල­සේ­කර චාල්ස් ද සිල්වා, ආචාර්ය චාල්ස් ගොඩ­කු­ඹුර, මහා­චාර්ය ඇන්. ඒ. ජය­වි­ක්‍රම, ආචාර්ය පී.බී. සන්න­ස්ගල, මහා­චාර්ය ඇම්. බී. ආරි­ය­පාල රැ. තෙන්න­කෝන්, එල්. පී. ඇන්. පෙරේරා, සුම­න­සේ­කර බණ්ඩා, ආදී උග­තුන් මෙන්ම ආචාර්ය සද්ධා­මං­ගල කරු­ණා­රත්න ලියූ “ධර්මා­ශෝක රජ­තුමා සහ බෞද්ධ ශිෂ්ටා­චා­රය” ගුණ­පාල සේනා­ධීර ලියූ “අසෝක සිරිත” ආචාර්ය අදි­කා­රම්ගේ ලියූ “අසෝක සිරිත සහ සෙල් ලිපි” කෘති ගැන එම කෘතියේ සඳ­හන් වෙයි.

ආචාර්ය ගුරුගේ කෘතියේ එන නිග­ම­නය මෙසේය.

“අශෝක අධි­රා­ජ්‍යයා විසින් මනුෂ්‍ය වර්ගයා වෙත කුමක් නම් දායාද කොට තබා ඇද්ද යන ප්‍රශ්නය කෙරෙහි අව­ධා­නය යොමු කරමු. මේ අතින් අශෝ­ක­යන් විසින් ඉටු කරන ලද විශි­ෂ්ට­තම මෙහෙය නම් බුදු සම­යට අද පවත්නා ලෝක ආග­මක තත්ත්ව­යෙන් හැඩ ගැසී­මට අවශ්‍ය වාතා­ව­ර­ණය හා අනු­ග්‍ර­හය ද පහ­සු­කම් ද සලසා දීමය. ඒ හැරුණු විට අශෝ­ක­ය­න්ගේම වද­නින් සෙල් මත කොටවා සදා කාලය හිමි කොට තබ­වන ලද ඔහුගේ ක්‍රියා හා දෘෂ්ටිය නිරූ­ප­ණය කෙරෙහි ලේඛන නිසා ඔවු­නට මේ විසි­වැනි සිය­වසේ දී අවංක පාල­ක­යන් අතර අනු­ගම්‍ය ආද­ර්ශ­යක් වශ­යෙන් ද මනුෂ්‍ය වර්ග­යාට කාරු­ණික පැවැත්ම පිළි­බඳ ව පාඩම් කියා දෙන ගුරු­ව­ර­යකු වශ­යෙන් ද නැවත පහළ වීමට වරම් ලැබී ඇත.”

ග්‍රන්ථය නිම කරන ආචාර්ය ගුරුගේ තම කෘතියේ විග්‍ර­හය අනුව කරුණු තුන­කට එළ­ඹෙයි.

1) අශෝ­ක­යන් තර­මක් රළු පරළු සමා­ජ­යක ප්‍රශ්න දෙස මුහු­කුරා ගිය නුව­ණින් හා අව­බෝ­ධ­යෙන් යුතුව බැලු ආකා­රය අගය කොට සැලකූ මුල් කාලයේ උග­තුන් අශෝ­ක­යන් ගත් දහම් මඟ ඉන්දි­යා­වට ගැළ­පෙ­න්න­කැයි මෙම ශත වර්ෂය ආර­ක්භයේ දී කල්පනා කළ නමුත් මනුෂ්‍ය වර්ග­යට ඔවුන් දැක් වූ ආද­ර්ශය සකල ලෝක­යට ම ගැළ­පෙන බව කල් නොයවා ම ඊළඟ පර­පුර විසින් පිළි­ගනු ලැබිණ. එසේ ඉන්දීය උග­තුන්ගේ ප්‍රති­චා­රය එත­රම් හිත­වාදී නොවීය. දීර්ඝ කාල­යක් තුළ විදේ­ශා­ධි­ප­ත්‍ය­යට යටත් ව සිටී­මෙන් විඳි අව­මා­නය නිසා දෝ ඔවුහු, ඉන්දිය දේශය ජාති­යක් වශ­යෙන් නැඟී සිටී­මෙන් හා ලෝක­ධි­ප­ත්‍ය­යක් ලැබී­මෙන් වළ­ක්වා­ලී­මට හේතු වන අන්ද­මින් ක්‍රියා කළ, ඊට නිසි සාර ධර්ම ව්‍යාප්ත කළ පුද්ග­ලයා වශ­යෙන් සලකා අශෝ­ක­යන්ට දඬු­වම් කළහ. අශෝ­ක­යන් අනු­ග­ම­න­යට නිසි ආද­ර්ශ­යක් වශ­යෙන් නැවත ඉදි­රි­යට ඒම පිළි­බඳ ගෞර­වය හිමි විය යුත්තේ මහත්මා ගාන්ධි තුමාට ජව­හ­ර්ලාල් නේරු තුමාට සහ අහිං­සාව තුළින් ඉන්දි­යාවේ නිද­හස් අර­ග­ලය මෙහෙය වූ ඔවුන්ගේ අනු­ගා­මි­ක­යන් ය.

2) මෙසේ ඉන්දීය දේශය නැව­තත් වරක් අශෝ­ක­යන්ට ඇඟෑ­ලු­ම්කම දක්ව­න්නට වූ පසු - ඉඳ­හිට නැඟුණු අව­ලාද බසක් නිසා සිත් දූෂ්‍ය වීමක් සිදු වූයේ වුවත් පිළි­ගත්හ. එම කරුණු දෙක මෙසේය.

පළ­මු­ව­නුව, සාමය හා අහිං­සාව , සත්‍යය හා සහ­න­ශී­ලී­ත්වය, කරු­ණාව හා පූර්ණ කැප­වීම අග­ය­මින් ඔහු දුන් පණි­වු­ඩය සෑම දේශ­ය­කට ම යෑම කාල­ය­කට ම උචිත වූවක් පම­ණක් නොව නූතන ලෝක­යට නැති ව ම බැරි එකක් ද බවය.

දෙව­නුව, යුද්ධය පිටු දැකී­මෙන් හා ධර්ම­යට කැප­වී­මෙන් අශෝ­ක­යන් දැක් වූ ආද­ර්ශය ද, තම ධර්ම විජය ප්‍රති­පත්ති හා වැඩ සට­හන ක්‍රියා­ත්මක කිරීම සඳහා ඔහු ගත් ක්‍රියා මාර්ග ද, හේතු යුක්ති දක්වා අව­වාද අනු­ශා­සනා කිරීම සීමා­කාරි නීති රීති පැන­වී­මට වඩා අගනා බවට ඔහු තුළ පැවැති පූර්ණ අව­බෝ­ධය ද සෑම කාල­ය­ක­ටම සෑම දේශ­ය­කට ම ඔබිනා කරුණු බව ය.

3)අශෝක අධි­රා­ජ්‍ය­යාගේ ඇවෑ­මෙන් අධි­රා­ජ්‍යය බිඳ වැටී, ඔහුගේ ම නිජ විම තුළ ඔහු සහස් වස­ර­ක­ටත් වැඩි කාල­යක් ගරු බුහු­ම­න­කට අහිමි ව මත­ක­යෙ­නුදු ගිලිහී යෑම කෙසේ සිදු වූයේ වුවද, ඔහුගේ දෘෂ්ටිය ද මානව ශිෂ්ටා­චා­රය පවත්නා තාක් පර­පු­රෙන් පර­පුර මනුෂ්‍ය වර්ග­යාට ආභා­ෂ­යක් වනු ඇත.

අශෝක අධි­රා­ජ්‍ය­යාගේ ම ප්‍රාර්ථ­නය වූයේ ද මෙකී සෑම දෙයක් ම ඔහුගේ පුත්‍ර පෞත්‍ර­යන්, මී මුනු­බු­රන් වෙසෙන තාක් කල්, නොහොත් ඉර හඳ පවත්නා තාක් කල් පව­තීවා යනුයි. එම ප්‍රාර්ථ­නය ඉදිරි කාල­යේදී වුවත් ඉෂ්ට සිද්ධ වන්නට අව­කාශ නැත්තේ නොවේ. මක් නිසා ද යත් මානව වර්ග­යාට නැවත කව­දා­වත් ඔහු අම­තක කර දම­න්නට නුපු­ළු­වන් වන බැවිනි.

ප්‍රචණ්ඩ ක්‍රියා හා අවි ගැටුම්, ආධා­න­ගාහී අස­හ­න­ශීලී ආකල්ප, සීමා­න්තික තෘෂ්ණාව ක්‍රියා හා අවි ගැටුම්, ආධා­න­ගාහී අස­හ­න­ශීලී ආකල්ප, සීමා­න්තික තෘෂ්ණාව හා මන්දෝ­ක්සා­හය, වග­කී­ම­කින් තොරව සිදු කෙරෙන ජෛව­ගෝ­ලීය විනා­ශය ආදී අනන්ත හිරි­හැර පීඩා­ව­ලින් මිදී­මට ඉති­හා­ස­යෙන් යම් ආභා­ස­යක් ලැබිය වූ කල්හි මානව වර්ග­යාට ඔහු නොස­ලකා සිටී­මට නම් නුපු­ළු­වන් වේ මැයි.

අාචාර්ය ආනන්ද ගුරුගේ විසින් ඉංග්‍රීසි බසින් රචිත “ධර්මා­ශෝක සුනි­ශි­චිත ජීවන චරි­තය” කෘතිය සිංහ­ලට අනු­වා­දය කොට ඇත්තේ ජින­සෝම වීර­සූ­රිය, ජය­තිස්ස අබේ­කෝන් සහ නිශ්ශංස ජය­සේන විසිනි.

ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු වශ­යෙන් තන­තුරු හෙබවූ ආචාර්ය ගුරුගේ විශ්ව­වි­ද්‍යා­ල­යක සංස්කෘත හා වාග් විද්‍යා අංශයේ අධි­පති ලෙස ද නිව්යෝක් විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස ද යුනෙස්කෝ මූල­ස්ථා­නයේ ශ්‍රී ලංකා නිත්‍ය තානා­පති ධූරය ද දැරු­වේය. අභා­ව­ප්‍රාප්ත ආචාර්ය ගුරුගේ විසින් සිංහල, ඉංග්‍රීසි දෙබ­සින් ලියූ ග්‍රන්ථ රැස අතර සිංහල සාහිත්‍ය ප්‍රවේ­ශය, සිංහ­ලය හා සංස්කෘ­තිය, පුරාණ සංස්කෘ­තිය, සංස්කෘත කාව්‍යය හා නාට­කය, දඹ­දිව බෞද්ධ කලාව, The society of the Ramayana, Facets of Buddhism, Anagarika Dharmpala, ආදී කෘති කැපී පෙනෙයි.

1994 වසරේ ආචාර්ය ගුරුගේ විසින් සැකැසූ “විසි­වස් විසි­තු­නක හෙළ බොදු හැදි­යාව” කෘතිය මේ පොසොන් පොහෝ දා හැම බෞද්ධ­ය­කුම කිය­විය යුතු අගනා ග්‍රන්ථ­යකි. එය අනු­බුදු මිහිඳු මහ රහ­තන් වහන්සේ සිරි­ලක පා තැබූ මොහොතේ සිට බුදු සසුන හා ඒ හා සබැඳි විශිෂ්ට සංස්කෘ­තික දායා­දය රැක ගැනී­මට අත දුන් හැම ලක් වැසි­යෙ­කුට ම උප­හා­ර­යක් ලෙස මෙම ග්‍රන්ථය ප්‍රකා­ශ­න­යට පත් කර ඇත. එව­කට මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ ‍නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් එඩ්මන්ඩ් ජය­සූ­රිය මහතා හා එහි අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මෙම කෘතිය පාඨ­ක­යන් අතට පත් කිරී­මට විශාල වැඩ කොට­සක් කර ඇති බව පැවසේ. මේ පිළි­බ­ඳව ආචාර්ය ගුරුගේ මහතා මේ කෘතිය ගැන මේසේ පවසා තිබුණි.

“මෞර්ය වාංශික ධර්මා­ශෝක අධි­රා­ජ්‍ය­යාගේ පුත්‍ර මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙහි බට ධර්ම­දූත පිරිස මිහි­න්තලා කඳු මුදු­නෙහි දී ශ්‍රී ලංකා­ධි­පති දේවා­න­ම්පි­ය­ තිස්ස මහ රජුන් හමු වූයේ පොසොන් පුණු පොහෝ දිනක දීය. එම අධි­රා­ජ්‍ය­යා­ණන්ගේ දිය­ණිය වූ සංඝ­මිත්තා මෙහෙ­ණින් වහන්සේ ශ්‍රී මහා බෝධි ශාඛා­වක් ද රැගෙන මෙහි පැමිණ භික්ෂුණි ශාස­නය පිහි­ටු­වන ලද්දේ ඉන් වස­ර­කට පසුය. ඒ ශ්‍රේෂ්ඨ­තම ශාස­නික නාය­ක­යන් දෙනම ගේ අප්‍ර­ති­හත ධෛර්යෙන් ඇර­ඹුණු අස­හාය ශාස­නික සාමා­ජික හා සාංස්කෘත සංව­ර්ධ­න­යෙහි ඉති­හා­සය නොක­ඩවා සවි­ස්ත­රව පවතී.”

අද වැනි පොසොන් පොහෝ දින­යක අද ජීව­තුන් අතර නැති මෙරට සිටි විශි­ෂ්ට­තම පඬි­ව­ර­යෙකු වූ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ සූරීන්ගේ උදාර සේවාව අපේ මත­කය එක් වෙයි.

ඡායා­රූප පිට­පත් කිරීම - ලාල් සෙන­රත්

Comments