සහරාන් ඉවරයි... දැන් කාත්තන්කුඩිය ආරක්ෂිත ද? | සිළුමිණ

සහරාන් ඉවරයි... දැන් කාත්තන්කුඩිය ආරක්ෂිත ද?

සහරාන්ගේ කල්ලිය හැර කාත්තන්කුඩියේ තවත් තව්හිද් ජමාද් කල්ලි හයක්

එක් කල්ලියකට අසාමාන්‍ය ලෙස අරාබියෙන් ආධාර

යුද සමයේ සමහර පුද්ගලයන්ට භාරදුන් ගිනි අවි අතුරුදන්

පාස්කු ප්‍රහාරය ලබාදුන් මාරාන්තික පණිවුඩයේ බර හෑල්ලු වෙමින් ඇත. එසේ වන්නේ ආරක්ෂක අංශ සහරාන් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාද් කණ්ඩායමේ ක්‍රියාකාරී ජාලය මුළුමනින්ම විසන්ධි කිරීම සමඟය. එහෙත් ජාතික ආරක්ෂාව ගැන සැලකීමේදී අප හමුවේ ඇති අනතුර සපුරා පහව ගොස් තිබේද යන්න ගැන යළිත් සබුද්ධිකව විමසීම වැදගත්ය. මක්නිසාදයත් බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ යළිත් තහවුරු කරමින් අඛණ්ඩව ලැබුණු බුද්ධි තොරතුරු අදහාගත නොහැකි සේ අත්හැර දමා නිශ්ක්‍රීය වූ බලධාරීන් පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළිදරව් වෙද්දී පුරවැසියන් ලෙස කවරදාටත් වඩා විචක්ෂණව සිදුවීම් දෙස බැලීමට අපට බල කරන බැවිනි.

සහරාන්ගේ අන්තවාදී කණ්ඩායම නිර්මාණය වන්නේ කාත්තන්කුඩියේය. කාත්තන්කුඩිය මුස්ලිම් අන්තවාදයේ තිඹිරිගෙය වන්නේ කෙසේද යන්න පිළිබඳ මේ රටේ බුද්ධි අංශ අවුරුදු ගණනාවක සිට නිරීක්ෂණය කළහ. ඒ පිළිබඳ සවිස්තර අර්ථකථන සහිත වාර්තා රාජ්‍ය ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කළහ. වර්ග කිලෝමීටර 6.5ක් වූ මේ නගරයේ ග්‍රාමසේවා කොට්ඨාස 18කි. පවුල් දල වශයෙන් 14105කි. ජනගහනය 47427කි. මුස්ලිම් පල්ලි 59ක් තිබේ. මද්‍රසා පාසල් 39ක් හා අරාබි විද්‍යාල පාසල් 03කි.

මෙහි වැසියෝ දැඩි ආගමික නැඹුරුවක් සහිත රැඩිකල් අදහස් සහිත පිරිසක් වන ආකාරය නිරීක්ෂණය වන්නේ මීට දශක දෙකකටත් පෙර සිටය. ඒ.එච්.එම් අෂ්රෝෆ් 1988 දී මුස්ලිම් කොංග්‍රය බිහි කරන්නට කාත්තන්කුඩියේ මව්ලානා කබුර්අඩි පල්ලියෙන් පදනම දමන්නේ ඒ ප්‍රවාණතාවේ දේශපාලනික වාසිය ලබාගන්නටය. ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම අනුගමනය කරන්නට යම් පමණකට හෝ බැඳී සිටින සමාජයක මේ දේශපාලන උත්පත්තියම දෝෂ සහිත වන්නේ ඒ නිසාය. මේ ආදර්ශය අනෙක් ජනකොටස්වල අන්තගාමී නැඹුරුවක් සහිත පිරිස් වෙත ප්‍රේෂණය වීමේ අනිටු පල සමස්ත සමාජ දේහයම අනර්ථයකට ඇද දමා ඇති අයුරු අද අපි අත්විඳිමින් හිඳිමු.

සන්නද්ධ වීමේ ඉතිහාසය

එය පසුගිය යුද්ධය ආරම්භ වීමටත් පෙර සිට සිදු වන්නකි. 1977 දී කාත්තන්කුඩිය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆරීඩ් මීරා ලෙබ්බෙ වතු ආරක්ෂාව සඳහා මුස්ලිම් ජාතිකයන් 30 දෙනකු වෙත බොර 12 ගිනි අවි නිකුත් කළේය. එහෙත් ඒ පිරිසේ හැසිරීම රජය අපහසුතාවට පත් කළ පරිසරයක් නිර්මාණය කළේය. අනතුරුව ප්‍රශ්නකාරී හැසිරීම් සහිත පුද්ගලයන්ගේ ගිනි අවි ප්‍රමාණයක් යළිත් රජයට බාර කෙරිණි.

කතාව සංකීර්ණ වන්නේ පසුගිය යුද සමයේදීය. 1988 දී කාත්තන්කුඩිය නගරය මුල් කරගෙන ජිහාඩ් සංවිධානය පිහිටුවා ගන්නේ නික්රෝ ලතීෆ් නැමැත්තෙකි. එම ජිහාඩය පිහිටුවාගන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිවය. මේ සංවිධානය ක්‍රියත්මක වෙමින් පවතිද්දී 1990 දී එවකට ආරක්ෂක ඇමති රංජන් විජේරත්නගේ උපදෙස් පිට කාත්තන්කුඩි නගරයේ ආරක්ෂාවට මුස්ලිම් තරුණයන් 400ක් සඳහා යුද හමුදාව අවි පුහුණුව ලබා දුන්නේය. අනතුරුව SLNG 9 අනුඛණ්ඩයට ඇතුළත් කළේය. මේ පිරිස අතරට නික්රෝ ලතීෆ්ගේ ජිහාඩ් කණ්ඩායමේ පිරිසක්ද ඇතුළත් කරනු ලැබූහ.

මේ අතර 1990.08.03 දින කාත්තන්කුඩියේ මීරා ජුම්මා පල්ලයේ යාච්ඤාවේ යෙදී සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසකට එල්.ටී.ටී.ඊ ඝාතකයන්ගේ ප්‍රහාරයක් එල්ල විය. ඒ සිද්ධියත් සමඟ කාත්තන්කුඩියේ අබ්දුල් රාශික් මොහොමදු ෆායිස් නැමැති අයගේ ප්‍රධානත්වයෙන් පොලිස් ෆායිස් නැමැති සන්නද්ධ කණ්ඩායම බිහි විය. 2006 වන විට කාත්තන්කුඩියේ මුස්ලිම් තරුණයෝ 60 දෙනෙක් බුද්ධි රාජකාරි සඳහා හමුදා පුහුණුව සහිත යුද හමුදාවට බඳවාගනු ලැබූහ. එය කාත්තන්කුඩිය මුස්ලිම් බළකාය ලෙස හැඳින්විණි.

බුද්ධි වාර්තා හෙළි කරන පරිදි කාත්තන්කුඩිය ප්‍රදේශයේ ප්‍රබලම මුස්ලිම් දේශපාලකයෙකු යුද වාතාවරණය පැවති සමයේදී වරින් වර හමුදාව මඟින් මුස්ලිම් තරුණයන් පිරිසකට යුද හමුදා පුහුණුව හා අවි ආයුධ ලබා දී ඇත. යුද සමයේ මේ පුද්ගලයන් වෙත ලබාදුන් අවි ආයුධවලින් කොටසක් නැවත නිසි අයුරින් භාරදී නැති බවට වූ බුද්ධි වාර්තා විය. එම අවි ආයුද සොයාගැනීම පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාව බුද්ධි අංශ අවධාරණය කර තිබිණි.

තව්හිද් ජමාද් පිල්ලි

1979 ට එපිට වකවානුව කාත්තන්කුඩිය සාම්ප්‍රදායික ආසියානු මුස්ලිම්වරුන්ගේ නගරයකි. එහි ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්ති වූ සුන්නතුල් වල් ජමාත් හා තබ්ලික් ජමාත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය. ඒ සංහිඳියාව බිඳී යන්නේ සුන්නතුල් වල් ජමාත් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි අබ්දුල් ජවාත් රවුෆ් නැමැති මව්ලවිවරයා ආගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් අදහස් ප්‍රකාශ කළේ යැයි කියා සමස්ත ලංකා ජමියතුල් උපමා සංවිධානය විසින් ඉස්ලාම් ආගමින් ඉවත් කිරීමට යෝජනා කිරීමත් සමඟය. ඒ 1979 දීය.

අබ්දුල් ජවාත් රවුෆ් මවුලවිතැන ඒ අවස්ථාවේ සුන්නතුල් වල් ජමාත් ප්‍රතිපත්තිය අදහන “සමස්ත ලංකා අධ්‍යාත්මික සභාව” නැමැති සංවිධානය පිහිටුවා ගත්තේය.

එහෙත් තව්හිද් ජමාද් ප්‍රතිපත්තිය කාත්තන්කුඩියේ මුල් බැසගන්නේ 1990 දීය. එය ආරම්භ කරන්නේ ඒ.එම්.අලියාර් (රියාද්) නැමැත්තෙකු විසිනි. සාම්ප්‍රදායික තබ්ලික් ජමාද් ප්‍රතිපත්තිය අදහමින් සිටි හෙතෙම සෞදි අරාබියේ අධ්‍යාපනය ලැබ පැමිණ Center Of Islamic Guidance නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. තව්හිද් ජමාද් ප්‍රතිපත්තිය මුලින්ම කාත්තන්කුඩියේ ස්ථාපිත කළේ ඔහුය.

2009 දී පැමිණ Center Of Islamic Guidance සංවිධානය දෙකඩ විය. එම බෙදී වෙන් වුණු පිරිස සමඟ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රතිපත්ති අනුගමනය කළ පිරිසක් එක්ව දාරුල් අදර් ( Darul Ather) නම් තව්හිද් ජමාද් ප්‍රතිපත්තිය අදහන සංවිධානයක් පිහිටුවා ගත්තේය. එය පිහිටුවා ගන්නේ මොහොමඩ් නවුෆර් නම් මව්ලවිවරයෙකි. සහරාන් මුලින්ම සම්බන්ධ වී සිටියේ දාරුල් අදර් සංවිධානයටය. එයින් බිඳී එන සහරාන් 2011 දී ජාතික තව්හිද් ජමාද් සංවිධානය පිහිටුවා ගන්නේය. මීට දෙවසරකට පෙර ඒ පිරිසේ අතිශය අන්තවාදී ක්‍රියා බුද්ධි අංශ විසින් හඳුනාගන්නේය. ඒ වන විට ඔවුහු කාත්තන්කුඩියට පමණක් සීමා වී සිටියහ.

මේ අතර සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයෙන් වෙන්වූ තවත් තරුණ පිරිසක් ඒ.එම්.මුලාෆර් නැමැත්තෙකුගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ ශාඛාවක් කාත්තන්කුඩියේ පිහිටුවූයේය. ඒ 2011 දීය. මීට අමතරව කාත්තන්කුඩියේ පීර් මොහොමඩ් නැමැති මව්ලවිගේ ප්‍රධානත්වයෙන් The Islamic Center නමින් තවත් තව්හිද් සංවිධානයක් බිහි විය. මේ අතර කාත්තන්කුඩියේ අනෙක් සියලුම මුස්ලිම්වරුන් අතරින් ප්‍රතික්ෂේප වූ සමස්ත ලංකා තරිකතුල් මුෆ්ලිහින් නම් සංවිධානයක් ද විය. එය පිහිටුවන ලද්දේ එම්.එස්.එම්.අබ්දුල්ලා නැමැත්තෙකි. ඔහුගේ අභාවයෙන් පසු එම සංවිධානයත් දෙකට බෙදී ගියේය.

සහරාන්ගේ ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමඟ තව්හිද් ජමාද් ප්‍රතිපත්තිය අනුගමනය කරන අන්තවාදී නැඹුරුවක් සහිත සංවිධාන හතක් කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වෙමින් තිබිණි. තව්හිද් ජමාද් ආගමික ප්‍රතිපත්තිය රැගෙන යන ඒ.එම්. අල්ලියාර් මව්ලවිගේ Center For Islamic Guidance සංවිධානයට විශාල ආධාර ප්‍රමාණයක් අරාබියෙන් ගලාගෙන එන ආකාරය බුද්ධි අංශ නිරීක්ෂණය කර තිබිණි. අනෙක් විශාල මුදල් ප්‍රමාණය ගලාගෙන ඇවිත් තිබුණේ ප්‍රබල දේශපාලකයෙකු විසින් මෙහෙයවන ලද Hira Foundation නම් ආයතනයට ය.

තව්හිද් ජමාදයේ බිහිසුණු අන්තවාදී කාලකණ්ණිකම පෙන්වා දෙමින් සහරාන් පුපුරුවාගෙන අපාගත වුණේය. ඔහුගේ කණ්ඩායම විනාශ වී ගියේය. එහෙත් කාත්තන්කුඩිය තවමත් අන්තවාදයෙන් නිදහස් නැති බව කියන්නේ කාත්තන්කුඩියේම මිනිස්සුය. නොකියනා හේතුවක් නිසා ඔවුහු යම් තැතිගැන්මකය. කාත්තන්කුඩියේ අනෙක් තව්හිද් ජමාද් කණ්ඩායම් සමාකාමී ද?. ඔවුන් අන්තවාදී මිනීමරුවන් වීමේ අවදානමක් නැද්ද?. එසේ නම් කාත්තන්කුඩියෙන් ඇසෙන මේ බියපත් මිනිසුන්ගේ කෙඳිරියේ යථාර්ථය කුමක් ද?. රට ඒ පිළිබඳ විමසිල්ලෙනි.

Comments