මොකක්ද මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව? | සිළුමිණ

මොකක්ද මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව?

බොරු හා වැරදි තොරතුරු දුන්නොත් අධිකරණයෙන් පවා දඬුවම්!

සියල්ල කළ යුත්තේ පාර්ලිමේන්තු උපදෙස් අනුවයි - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි

පාස්කු බෝම්බ ප්‍රහාරයට වග කිව යුත්තේ කවුරුද? එය වළක්වා නොගත්තේ මන්ද? ඉදිරියේදී යළි එවැනි ඛේදවාචකයක් ඇති වීම වළක්වාගත හැක්කේ කෙසේද? මෙවැනි තොරතුරු සොයන්නට පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත කරන ලද විශේෂ තේරීම් කාරක සභාව කෙරෙහි මේ වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ. මේ වන විට මෙම තේරීම් කාරක සභාව හමුවේ පාස්කු ප්‍රහාරයත් සමඟ කතාබහට ලක් වූ චරිත ගණනාවක් සිය සාක්ෂි ලබා දීමට පැමිණ ඇති අතර, මේ සාක්ෂිවලින් පාස්කු දා ප්‍රහාර සම්බන්ධයෙන් බොහෝ දෙනකු නොදන්නා තොරතුරු රැසක් සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් පවතියි.

මේ කතා-බහත් සමඟ අද වන විට බොහෝ දෙ‍නකු පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ගැන කතා කළද, එහි බලතල හා ක්‍රියාපටිපාටිය හරිහැටි නොදනිති.

පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන මේ ‘පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ පාර්ලිමේන්තුවට වග කියන කමිටුවකි. එහි කටයුතු සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තු අනුමැතියකිනි.

අප්‍රේල් 21 වැනිදා ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට පෙර අප පාර්ලිමේන්තුව විසින් විශේෂ කාරක සභාවක් පවත්වා ඇත්තේ පසුගිය වසරේ දින 52 දේශපාලන අස්ථාවරත්වය පැවැති කාලයේ පාර්ලිමේන්තුව තුළ දින තුනක් තුළ සිදු වූ විනය විරෝධි ක්‍රියා පිළිබඳ සොයන්නටය. එයද මෙය සේම කථානායකවරයා විසින් පත් කළ කමිටුවක් වන අතර, ඒ කමිටුව හමුවට විශේෂ පුද්ගලයන් සාක්ෂි සඳහා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ඇති නොවිණි. මන්ද යත්: එදා කමිටුවට අවශ්‍ය කරුණු සියල්ල ලබාගැනීමට පාර්ලිමේන්තු සභා ගැබ තුළ පටිගත කළ සජීව දර්ශන රූප රාමු තිබූ බැවිනි.

එහෙත් පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව පිහිටුවූ මේ විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු ඊට වඩා තරමක් වෙනස් ආකාරයක් ගත්තේය. අප්‍රේල් 21 ප්‍රහාරවලට අදාළ බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබි තිබුණේද, එවැනි ප්‍රහාර වැළැක්වීමට හා ඒවා අවම කිරීමට අදාල බලධාරීන් ප්‍රමානවත් පියවර ගත්තේද, නැද්ද, එවැනි ප්‍රහාර වැළැක්විමට හා ඒවා අවම කිරීමට නොහැකි වීමට හේතු වූ රාජ්‍ය යන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද, තිබුණේ නම් ඒ මොනවාද, එවැනි ත්‍රස්තවාදි ප්‍රහාරවලට දායක වු වෙනත් කරුණු තිබේද හා අනාගතයේ එවැනි ප්‍රහාර වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග යන නිශ්චිත කරුණු ඔස්සේ සාක්ෂි දීමට මේ වන විට රටේ විවිධ අංශ නියෝජනය කළ ආන්දෝලනයට තුඩු දුන් කිහිප දෙනකු මේ වන විට විශේෂ කාරක සභාවට පැමිණ තිබේ. ඒ අතර හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු වූහ.

2019 මැයි 22 දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් ආකාරයට මේ කමිටුව සතු විශේෂ බලතල විග්‍රහ කර ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 100 සිට 110 දක්වා ඇති විධිවිධානවලට යටත්වය. මේ විධිවිධානවලට අනුව ස්ථාවර නියෝග අංක 100හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් වන්නේ නම් එය පාර්ලිමේන්තු යෝජනාවකින් සම්මත විය යුතුය. ඒ අනුව මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකිනි. එසේම ස්ථාවර නියෝගයන්ට අනුව අංක 101 දක්වා ඇත්තේ මේ විශේෂ කාරක සභාවට සිටිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවය. ඒ අනුව ඒ සංයුතිය 12 දෙනකුට අඩු සංඛ්‍යාවක් විය යුතු අතර, එයට වඩා වැඩි සංයුතියක් ඇති කිරීමට නම් පාර්ලිමේන්තු අවසරය තිබිය යුතුය. කෙසේ වෙතත් මේ විශේෂ කාරක සභාව ආරම්භයේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙන්ම පොදු ජන පෙරමුණු සහභාගිත්වයද මේ කාරක සභාවෙන් ඉවත් වූයේ විවිධ හේතු ඉදිරිපත් කරමිනි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව විශේෂ කාරක සභාවක තිබිය යුතු කරුණු මොනවාද යන්න නිශ්චිත වෙයි. ස්ථාවර නියෝග අංක 102 යටතේ මේ විශේෂ කාරක සභාවේ පරීක්ෂණයට භාජනය කරනු ලබන විෂයපථයේ සීමා නිශ්චිත කර දක්වා ඇත. එසේම එය යම් හේතුවක් මත යළිත් පුළුල් කිරීමට හෝ සීමා කිරීමට සිදු වේ නම් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ උපදෙස් අනුවම බව සඳහන්ය. විශේෂ කාරක සභාවේ පරීක්ෂණ කාලය අවසන් කරමින් පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන දිනයක මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඒ කාලසීමාව එම නියෝගයේ පැහැදිලිව දක්වා තිබිය යුතුය.

කෙසේ වෙතත් කාරක සභාව සිය පළමු රැස්වීමේ දිනයේ සිට මාස 3 ක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව විසින් නියම කරන වෙනත් කාලසීමාවක තම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි. යම් හෙයකින් එය දිගු කිරීමේ අවශ්‍යතාවක් කමිටුවට හැඟේ නම් එය කළ යුත්තේද පාර්ලිමේන්තුවේ උපදෙස් අනුවය. ස්ථාවර නියෝග අංක 106 මෙහි වැඩිමනත් දැක්වෙන අතර, එහි කාරක සභාවේ නියෝජනය පිළිබඳ නීති-රීති දක්වා ඇත. කාරක සභාවේ පූර්ව අවසරය නොලබා රැස්වීම් තුනකට සහභාගි වී නොසිටින යම් සාමාජික මන්ත්‍රීවරයකු සාමාජිකත්වය අත්හැර ගියා සේ සලකනු ලබයි. එසේම පුරප්පාඩූවලට නව පත්වීම් කිරීමේ බලය ඇත්තේද කථානායකවරයාටයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 108 යටතේ දක්වා ඇත්තේ මේ විශේෂ කාරක සභාවෙහි වැදගත්ම අංශයයි. එනම් සාක්ෂි විමසීමේ හා තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයයි. පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනි සිටින ලෙස යම් තැනැත්තෙක් කැදවීමට, යම් ලේඛණ හෝ වාර්තා ඉදිරිපත් කරන සේ නියම කිරීමට, එවන් පුද්ගලයෙකුගේ පාලනය යටතේ තිබෙන යම් පත්‍රිකාවක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛණයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට විශේෂ කාරක සභාවට බලය හිමි වෙයි. අවශ්‍යතාව අනුව රටේ ඔනැම පුරවැසියෙකු මේ සාක්ෂි විමසිමට කැඳවීමේ බලය කමිටුවට හිමි වන අතර ඔවුන් සතුව තිබෙන සියලු තොරතුරු ගැනීමේ හැකියාවද කමිටුව සතු වෙයි.

මෙහිදී බුද්ධි අංශ තොරතුරු මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබාගැනීමේදී කමිටුව විශේෂ අවධානයක් බාහිර පරිසරය කෙරේ යොමු කරන අතර, මාධ්‍ය ඉදිරියේ එවැනි තොරතුරු පිට කිරීම පිළිබඳ දෙවරක් සිතා බලන්නට සිදු වෙයි. දිවුරුම් දීමක් හෝ ප්‍රතිඥාවක් මත මේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරෙන අතර, සාක්ෂිකරුවන්ගෙන් වාචික පරීක්ෂණ මඟින් අදාළ කරුණු ස්ථීර කරගැනීමට හෝ නිශ්චය කරගැනීමට මෙහිදී කමිටුවට හැකි වෙයි. අවශ්‍ය වුව හොත් කාරක සභාවේ සහාය පිණිස අදාළ ක්ෂේත්‍රවල විෂය දැනුම ඇති පුද්ගලයන් සහ ප්‍රවීණයන් සම්බන්ධ කිරීමටද කමිටුවට බලය ඇත. පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කරන ආයතනයක් වන හෙයින් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන කාරක සභාවේ බලතල අධිකරණ බලතලවලට යම් ආකාරයකින් සමානත්වයක් ගනියි; නැති නම් අධිකරණයට එහා ගිය බලතලවලින් මේ පාර්ලිමේන්තු කාරක සභාව සමන්විත වෙයි. දඬුවම් කිරීමේ හැකියාවක් නැති වුවද අධිකරණයකට මෙන් නොව, යම් කරුණක් පිළිබඳ දිගු සොයා බැලීම් මේ කමිටුව හරහා සිදු කළ හැකියි. එසේ හෙයින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කමිටුව හමුවේ බොරු තොරතුරු සැපයීම, තොරතුරු දීම වුවමනාවෙන් පැහැරහැරීම, සාක්ෂි සඳහා කැඳවීම් වුවමනාවෙන් පැහැරහැරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අනුව දඬුවම් ලැබිය යුතු වරදකි. මේ කමිටුව ඉදිරියේ පෙනී සිටීමට යම් අයකුට නියෝග කළේ නම් ඔහුගේ සහභාගි වීම අනිවාර්යයෙන් සිදු විය යුතු අතර, ඉල්ලා සිටින සෑම තොරතුරක්ම අනිවාර්යයෙන්ම දීමට සාක්ෂි දෙන්නෝ බැඳී සිටිති.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 13 හා 15 වැනි වගන්තිවලින් විධිවිධාන සැලසෙන පරිදි පාර්ලිමේන්තුව විසින් හෝ තත් කාර්යය සඳහා විධිමත් ලෙස බලය දෙනු ලැබූ යම් කාරක සභාවක් විසින් පැමිණීම සඳහා හෝ ලියවිලි, පොත්, වාර්තා හෝ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා හෝ කරන ලද නියමයකට සිතා මතා අවනත නොවී සිටීම වරදක් බව අවධාරණය කර ඇත්තේය.

22(1) උපලේඛනයේ සඳහන්ව ඇති පරිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභා බලතල පැහැරහැරීම් මෙන්ම නොකර හැරීම් අතුරින් එක් එක් ක්‍රියාව හා නොකර හැරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් ලෙස හඳුන්වා දී ඇත්තේය. එසේම එහි වැඩිදුරටත් සඳහන් වන පරිදි පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ සෑම කඩ කිරීමක්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලැබිය යුතු කොටසේ වූ වරදක් වන්නේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛනයෙහි ‘ආ’ කොටසෙහි සඳහන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් හෝ අදාළව සිදු කරන්නා වූද පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ සෑම කඩ කිරීමක්ම තත් කාර්යය සඳහා මෙහි සලස්වනු ලබන විධිවිධාන යටතේ පාර්ලිමේන්තුව විසින් දඬුුවම් කරනු ලැබිය හැකි මේ කොටස යටතේ වැරුදි කරුවකු විය යුතුයැයි පවසා ඇත.

යම් හෙයකින් ඔහු වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔප්පු වුව හොත් ඔහුට අවුරුදු දෙකක් නොයික්මවන කාලයක සිර දඬුුුවමකට හෝ දඩයකට හෝ යටත් වෙයි. මෙය පාර්ලිමේන්තුව මඟින් ස්ථාපිත හා වගකියන කමිටුවක්ද වන හෙයින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ අධිකරණයක් මඟින් දඬුවම් නියම වන්නේ නීතිපතිවරයා මාර්ගයෙනි. ඉන් අනතුරුව කථානායකවරයා දැනුම්වත් වීම හරහා පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඉදිරි කටයුතු කළ යුතු වෙයි.

(පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි)

අදහස්