මුළු රටම අද චෝදනා කාමයක ගිලී ගිහින් | සිළුමිණ

මුළු රටම අද චෝදනා කාමයක ගිලී ගිහින්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රට ගොඩනැඟීමට පටන් ගත්තා විතරයි දැන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මුල් කරගෙන විධායකය හා ව්‍යවස්ථාදායකය අතර යළිත් අර්බුදයක් මතුව තිබෙනවා. මේ වාද-භේද අවසාන වශයෙන් රටේ අයහපතට නොවේද බලපාන්නේ‍?

තේරීම් කාරක සභාව පත් කළේ ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් මතයි. එහෙම ඉල්ලීමක් කළාම කථානායකවරයාට ඒ ඉල්ලීම ඉටු කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ තේරීම් කාරක සභාව පත් කරන්න පක්ෂ නායකයන් අතර එකඟත්වයක් ඇති වුණා. ඒ වගේ ම මේ තේරීම් කාරක සභාව පත් කළේ මොකටද කියා අප කල්පනා කරන්න ඕනෑ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හැමෝම හැමෝටම චෝදනා එල්ල කරගත්තා. රටම චෝදනාගාරයක් බවට පත් වුණා. මුළු රටම චෝදනාකාමයක ගිලී ගියා. ඒ අවස්ථාවේ තිබුණු හොඳම විකල්පය තමයි මේ ජාතික ආරක්ෂාවේ තිබුණු හිස්තැන, ඒ අභිරහස යට යන්න නොදී හෙළිදරව් කර ගැනීම. තේරීම් කාරක සභාවේ අරමුණ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. අවාසනාවකට ජනපතිවරයා මෙය තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට. මේ ගැටුම මෙලෙස ගෙනියන්න එපා‍ කියන ඉල්ලීම තමයි අපට කරන්න තියෙන්නේ.

බුද්ධි අංශ නිලධාරීන් පාර්ලි‍මේන්තු තේරීම් කාරක සභාවට ගෙනත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන බවට ආණ්ඩුවට චෝදනා නැ‍‍ඟෙනවා‍. ඊට ඔ‍බේ පිළිතුර කුමක්ද?

ඒක හදපු මතයක් මිස ඇත්ත නෙවේ. පළමු කරුණ තමයි මෙතැනට ගෙනාපු බුද්ධි අංශ නිලධාරීන් හොර රහසේ කටයුතු කළ අය හෝ ඒ අය බුද්ධි අංශවල වැඩ කරනවා කියා හැංගිලා කටයුතු කළ අය නොවේ. බුද්ධි අංශවල වර්ග දෙකක් ඉන්නවා. එළිදරව් නොවී වැඩ කරන පිරිස හා එළිදරව් වී වැඩ කරන පිරිස වශයෙන්. මෙතනට ආපු සියලු දෙනා එළිදරව් වී වැඩ කරන අයයි. තේරීම් කාරක සභාවේ විෂයම ජාතික ආරක්ෂාවට අදාළයි. මෙතන ඉන්න මන්ත්‍රීවරු විශේෂයෙන් ම ජයම්පති මන්ත්‍රීවරයා වැනි අය නිරාවරණය නොකරන තොරතුරු මොනවද කියන එක පිළිබඳ හොඳ වැටහීමක් තියන අයයි. මෙතන වෙලා තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි. මේ අභිරහස එළියට එනකොට වගකීම පැහැර හරපු අයට හීං දාඩිය දාලා.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව නතර කරන තුරු කැබිනට් රැස්වීම් නොපවත්වන බවට ජනපතිවරයා කළයි කියන ප්‍රකාශය කොතරම් තර්කානුකූල ද? ව්‍යවස්ථානුකූලද?

ඒ ප්‍රකාශය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කළ ප්‍රකාශයක්. ජනපතිවරයා ඔහුට පැවරී තියන වගකීම පැහැර හැරපු අවස්ථාවක්. ජනාධිපති ධූරයේ බලය දරනවා නම් ඒ බලයට දී තිබෙන වරප්‍රසාද ජනපතිවරයා භුක්ති විඳිනවා නම් වගකීමක් දරන්න ඕනෑ. මේක ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන වගකීමෙන් බැහැරවීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තියේ තිබෙනවා ජනපතිවරයා විධායකයේ ප්‍රධානියා කියලා. විධායකයේ ප්‍රධානියා කියන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියායි. 42 වගන්තියේ තියනවා ජනපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වගේ ම සාමාජිකයෙක්ද වන්නේය කියා. ඒ වගේම එහි අතුරු වගන්තියකින් කියනවා කැබිනට් මණ්ඩලයේ යථා පැවැත්ම අඛණ්ඩ පැවැත්ම ජනපතිවරයාට බාර වී තිබෙනවා කියලා. අප ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ජනපතිවරයාට සිය වගකීම ඉෂ්ට කරන්න කියලයි. කසඩ නීතිඥයන්ගේ උපදෙස් පිට ගිහින් දේශපාලනයේදී තමා හරි හම්බ කරගත් කීර්තිය සමාජ ප්‍රාග්ධනය විනාශ කරගන්න එපා කියා ජනපතිවරයාගෙන් අපි ඉල්ලනවා.

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කියා තිබෙනවා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය සුළුතරයක් වුවත් ලෝකයේ බහුතර ජනගහනය මුස්ලිම් බව. ඒ නිසා කාගෙවත් බලපෑම්වලට යටත් නොවන බවත් ඔහු කියනවා. ඊට ඔබේ ප්‍රතිචාරය?

ඒක හිස්බුල්ලා අලුතින් කියන්න ඕනෑ කාරණයක් නෙවෙයි. මේ රටේ මිනිස්සු දන්නවා සිංහල අය ඉන්නේ මේ රටේ විතරයි කියලා. එහෙම කියලා තර්ජනය කරන්න එන්න එපා කියා අපි හිස්බුල්ලා මහතාට කියනවා.

රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බව ජාතික හෙළ උරුමයත් දිගින් දිගටම කීවා. එවැන්නක් ප්‍රකාශ කළේ කවර නම් තාර්කික කරුණු කාරණා මත පිහිටලා ද?

අප කිව්වේ රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයා ඉවත් කරන්න කියලා නොවෙයි; පරීක්ෂණවලට ඉඩදීලා රිෂාඩ් ඇමැතිවරයාට අස්වෙන්න කියලයි අපි කිව්වේ. පරීක්ෂණවලට මුහුණ දෙන්න. ඒවායින් වැරදිකරු වුණොත් දඬුවම් විඳින්න ඕනෑ. නිවැරැදිකරු වුණොත් ඔහුට යළිත් කැබිනට් මණ්ඩලයට එන්න පුළුවන්. අදටත් අප ඒ ස්ථාවරයේ ඉන්නවා. දැන් ජනපතිවරයාට වගකීමක් තියනවා මේ පරීක්ෂණ කටයුතු නීතිය හා සාමය බාර ඇමැතිවරයා විදියට ඉක්මන් කරන්න.

තේරීම් කාරක සභාව නතර නො‍කළොත් මුස්ලිම් ඇමැතිවරුන්ට යළි දිවුරුම් දිය නොහැකි බවටත් වාර්තා පළ වෙනවා. ඒකේ ඇත්ත නැත්ත මොකක්ද?

තේරීම් කාරක සභාව හොයන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුද කියන එකයි. ඒ ගැන නිශ්චිත චෝදනා ඇමැතිවරුන්ට එනවා නම් ඒ ඇමැතිවරුන් ඉල්ලා අස් වී ඒ චෝදනාවලට මුහුණ දෙන එකයි කරන්න ඕනෑ. මේවා බරපතළ චෝදනා. මේවාට අපරාධ පරීක්ෂණයක් තමයි කරන්න ඕනෑ.

ඉදිරි ජනපතිවරණයේදී අපේක්ෂකයකු විදියට ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් චම්පික රණවක මහතාගේ නමත් කියවෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

චම්පික රණවක මහතා ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණයට වඩා මං මෙහෙම කියන්නම්: මේ රටට දැන් අවශ්‍ය වෙලා තිබෙනවා දැන-උගත්, ප්‍රඥා සම්පන්න, කෙළින් වැඩ කරන, ලෝකය ගැන දන්න, ජාතික නායකත්වයක්. ඒකේ හිඩැස තමයි දැන් පේන්න තිබෙන්නේ. ඒ වෙනුවෙන් පාඨලී චම්පික රණවක මහතාටත් හොඳටම සුදුසුකම් තිබෙනවා.

Comments