මතකද? | සිළුමිණ

මතකද?

හිට්ලර් ළමයින්ට ආදරේ ය. හිට්ලර් සත්තුන්ට ආදරේ ය. හිට්ලර් දුම් පානයට විරුද්ධ ය. ඔහු කිසිදාක මත්පැන් නොබීවේය. ඔහුගේ ගුණ වයා සද්දන්ත කටවුට්, රට පුරා ගැසූහ. පාසැල් පෙළ පොත්වල 'අසහාය හිට්ලර්' ගේ ගුණ වර්ණනා සහ ඡායාරූප ඇතුළත් විය. ඔහු ජාතිය අමතන රැලි වලට උන්මාදයෙන් මහ පිරිස් පැමිණියහ. 'හිට්ලර්ගෙන් තොර ලොවක් අපට නැත' කියා ජර්මානුවන් ලෝකය අල්ලන්නට ගියහ. අන්තිමට හිට්ලර් විනාශ විය. හිට්ලර් එක්කම ජර්මනියත් ලොව වියරු රටක් යන ලේබලය අලවා ගත්තේ ය. මවා පාන ලද සුරංගනා සටන් පාඨ වලින් ඔහු රාජ්‍ය බලය අල්ලා ගත්තේ ය. ඔහු සතුව තිබූ 'ලස්සන කතා' ඊට ඔහුට උපකාරී විය.

එතෙක් මෙතෙක් ලොව බිහි වූ සාහසික ම පාලකයන් අතර හිට්ලර්ට මුල් පුටුවක් හිමි වේ. මිලියන ගණනකගේ ජීවිත ස්වකීය ක්‍රෑර වියරුවෙන් හමාර කොට දැමූ සාහසික පාලකයා ලෙස හෙතෙම කුප්‍රකට ය.

අන්වර් හොක්සා, මුබාරක්, බෙන් අලි, වැනි හමුදා මිලිටරි පාලකයෝ රටවල් 'කුණු කූඩයට ඇද දැමූහ. ඉඩී අමීන් යනු එතෙක් මෙතෙක් පහළ වූ බිහිසුණු ම හමුදා පාලකයා ය. ඔහු වරක් කී මේ ප්‍රකාශය, මුහුඳ හත් ගවුවක් තිබියදී අමුඩ ගසන 'සිහින ජනපතිවරුන්ට' සහය දෙන්න යමෙක් සිතනවා නම් ඔහුගේ දැන ගැනීම පිණිසය." මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්.

"සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල්- ඒවා මම හිතන දේවල් ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුණාට, සමහර වෙලාවට මම දන්නවා පී.එච්.ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටේරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම වැඩ- කාරයෙක්!!!" - ඉඩි අමීන්

මේ ආණ්ඩුවට කරන චෝදනා අතර තිබෙන්නේ 'කරන දේවල් පේන්නේ නෑ'කියන එකය. ඒ කතාව සහතික ඇත්ත ය. පසුගියදා ආණ්ඩුව අලුතින් ලක්ෂ 6ට සමෘද්ධිය දුන්නේය. ගත්ත අය මිස දන්න අය අඩු ය. රාජ්‍ය සේවක වැටුප් නැංවීය. සද්ද නැත. චෝදනා ආ අමාත්‍යවරු කිහිප දෙනෙක් විටින් විට ඉල්ලා අස් විය. කවුරුත් ඒක අගේ කරන්නේ නැත. ස්වාධීන කොමිෂන් සභා ගෙනාවේය. කාටවත් ගානක්වත් නැත. ආණ්ඩුවට පලු යන්න බැන්නත් ප්‍රශ්නයක් නැත. රටපුරා නිවාස ඉදිවෙමින් තිබේ. එන්ටප්‍රයිස් ශ්‍රීලංකා යටතේ විශාල වැඩ කොටසක් සිදුවේ.

ගම්පෙරලියෙන් ගම නැංවේ. භික්ෂූන් වහන්සේලාට ඉතිහාසයේ පළමු වතාවට රක්ෂණයක් හිමි වේ. වසර 20ට පසු හමුදාවට දීමනා හිමි වේ. සුරක්ෂා තුළින් සිසු දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කෙරේ. මොරගහකන්ද ඇතුළු ව්‍යාපෘති ජාතියක හෙට දවස උදෙසා විසල් කටයුතු ය.

තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමම ආණ්ඩුව කළ විප්ලවයකි. අන්තර්ජාතික සහය, අනුග්‍රහය රටට ලැබී තිබේ. ස්වාසිලන්තයෙන් වාසි ගන්නට හිටි රාජපක්ෂලා වත්මන් ආණ්ඩුවේ විදෙස් පිළිවෙත ගැන ඊර්ෂ්‍යා කරන එක අරුමයක් නොවේ.

පසුගියදා පාස්කුදා ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවට චෝදනා පිට චෝදනා එල්ල විය. එහෙත් හාස්‍යට කරුණ නම් 'කොටකෙතන ඝාතකයෝ අල්ලන්න බැරි වූ සමහරු දැන් වීරයෝ වගේ කෑගසන එක ය.

පාස්කු ඉරිදා ප්‍රහාරකයෝත්, සහායකයෝත් මුල් දින කිහිපයේම එක්කෝ ඝාතනය විය; එක්කෝ අත් අඩංගුවට පත් විය. ලෝක පොලිස් කාරයාය කියන අමෙරිකාවටවත් එහෙම කරන්න බැරි විය.

පාර්ලිමේන්තු කාරක සභා හරහා බොහෝ දේ රටටම කියයි. නමුත් ඉතිහාසයේ අගවිනිසුරුවරිය නෙරපූ අලජ්ජි වැඩපිළිවෙල මිනිස්සුන්ට අමතක නැත.

1994 දී ශ්‍රීලනිප නායකත්වයෙන් තරඟ කළ පොදු පෙරමුණ දිනුවට පස්සේ අවුරුදු දෙකක් හැරුණු විට දෙදහස් පහළොව වෙනකම් "ආණ්ඩු" කළේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ය. හැබැයි ඒ ආණ්ඩුවත් බිහිසුණු යුගයකට යන්න වැඩි කලක් ගියේ නැත. ඒකාධිපතිවාදයේ උග්‍රතම දවස් උදා වුණේ "මහින්ද යුගය" එක්ක ය. ඒකාධිපතිවාදයේ බිහිසුණු රඟ රටක් හැටියට අත්විඳිමින් සිටියහ. රටට ආසියාවේ ආශ්චර්ය කැන්දාගෙන එන බවට පුරසාරම් දෙඩුවද ලෝකයෙන් කොන් වූ රටක් බවට පත්විය. නිදහසින් තොර වූ, මානව හිමිකම් සෝදාපාළු වූ, අයිතිවාසිකම් සුනුවිසුනු වූ, බල ලෝභය දෝරෙ ගැලූ, පවුල්වාදය ඔඩු දිවූ දශකයක් අවසන් කාර්තුවේ උදා වෙමින් තිබ්බේය.

පොල් ගෙඩි දෙකක් ඉස්සූ දරුවාට දඬුවම් දෙන රටකුත්, කතුන් සීයක් දූෂණය කළ ප්‍රාදේශීය සභාපතිවරුන් ඒවා උත්සව ශ්‍රීයෙන් සමරන රටකුත් නිර්මාණය විය.

ලස්සන වචනවලින් තොරොම්බල් කළ එහෙත් ඊට වඩා හාත්පසින් වෙනස් පැවැත්මක් සහිත රටක් නිර්මාණය වී තිබුණේ ය. ලෝකයට "පාට්" දාන පාලනයක් බිහිවී තිබුණේ ය. අන්තිමට කාත් කවුරුත් නැති හුදකලා "පාපන්දුවක් වී ලෝකයාගේ" පා පහරවල්වලට ලක්වූ රටක් නිර්මාණය විය. සුදු වෑන්, මරණ භීතිය, පළිගැනීම්, ජාතිවාදය, ආගම්වාදය, රටේ "එදාවේල" බවට පත්වී තිබුණේ ය. මිග් යානා ගනුදෙනුවෙන් මේ අය යටිමඩි ගසා ගත් මුදල අතිවිශාල ය. මේ ගැන රටට හෙළි කිරීම නිසා ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ජීවිතය පවා අහිමි විය. ක්‍රිෂ් ගනුදෙනුව, සීඑස්එන් නාලිකාව ස්ථාපිත කිරීම, සිරිලිය ගිණුම, සිල් රෙදි බෙදීම, දිවිනැඟුම ලිත් මුද්‍රණය, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, මාල්වානේ ඉදිකළ මාළිගාව, කතරගම මාලිගාව, ආදී ඒවා තව ඕනෑ තරම් ඇත. වත්මන් ආණ්ඩුවට චෝදනා කරන අයවළුන්ගේ නිරුවත හෙළි වන්නේ එලෙසිනි.

ජාතික සම්පත් විකිණීම පිළිබඳව ද මේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙයි. ඒ කල්පිටියේ දූපත් දෙකක්, සෝමාවතියේ අක්කර පන්දහසක්, උල්හිටියේ අක්කර එක්දහස් පන්සියයක්, පැල්වත්තේ තවත් විශාල ඉඩම් ප්‍රමාණයක්, අලුතින් ඉදිවන වරාය නගරයේ විශාල අක්කර ප්‍රමාණයක්, යුද හමුදා මූලස්ථානය පිහිටි භූමිය සින්නක්කරවම විකුණු රාපක්ෂලා මේ ආණ්ඩුවට ජාතික සම්පත් විකුණනවා යැයි චෝදනා කිරීම විහිලු සහගතය.

තමන්ට වාසිදායක ප්‍රදේශවලට උපරිම රාජ්‍ය බලය යොදා කඩින් කඩ මැතිවරණ පවත්වමින් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය කාබාසීනියා කරමින් මැතිවරණ සිතියම විකෘති කළ රාජපක්ෂලා අද මේ ආණ්ඩුවට චෝදනා කරන්නේ මැතිවරණ කල්දමනවා යැයි කියමිනි. ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ එදා රාජපක්ෂලා විසින් විකෘති කළ මැතිවරණ සිතියම යළි නිසි පරිසි සකස් කරන්නට ය. එය මැතිවරණ කල්දැමීමක් යැයි චෝදනා කරන රාජපක්ෂලා මැතිවරණ කඩින් කඩ පවත්වා අටට අහිමි කළ මුදල් ප්‍රමාණය කොතරම්ද?

එදා විවිධ ජාතිවාදී සංවිධානවලට රිසිසේ වැඩෙන්නට ඉඩ හරිමින් අලුත්ගම දර්ගා නගරයේ මහා ව්‍යවසනයක් සිදු කළ රාජපක්ෂලා අද වත්මන් රජයට චෝදනා කරන්නේ ජාතික සමඟිය නැති කළ බව කියමින් ය. ජාතික සංහිඳයාව වෙනුවෙන් වත්මන් රජය කරනා මෙහෙය අපමණය.ඒවා දකිද්දී ඉවසන්නට බරි දේශපාලන ආනථයින් ඒවාට අකුල් හෙළන්නේ රට තුල සමඟියක් ඇතිවුවහොත් එය ඔවුන්ගේ දේශපානයට බාධාවක් වන නිසා ය. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ රට ගිනි තබා හෝ රාජ්‍ය බලය ලබා ගන්නටය.

රටේ ආර්ථිකය වැනසූ බවට වත්මන් රජයට චෝදනා කරන්නේ ගිනි පොලියට ණය ලබා ගනිමින් රටම ණය උගුලක සිරකරවූ රාජපක්ෂලා ය. එදා ආර්ථික ඝාතයන් යැයි නම් දරා සිටි පුද්ගලයන් මුදල් අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් කරමින් රටේ ආර්ථිකය කාබාසීනියා කළ ආකාරය ඔවුන්ට අමතක වී ඇත. අහස උසට ගිය බඩුමිල, අසීමිත බදුබර, නිරන්තරයෙන් ඉහළ ගිය ඉන්ධන මිල ආදියෙන් පීඩා විඳිමින් සිටි ජනතාවට එදා සිටි ආර්ථික ඔස්තාර්ලා පැවසුවේ රුපියල් දෙදහස් පන්සියයකින් මාසයක් ජීවත් විය හැකි බව ය.

වත්මන් රජය මව්බිම පාවා දුන්බව කියන්නට තරම් මේ අයට අද අතීතය අමතක වී ඇත. ස්වාසීලන්තය වැනි රටවල් සමඟ පමණක් විදේශ සම්බන්ධතා ගොඩනඟා ගත් එවකට පාලකයේ තම හුරතලුන් ලවා තානාපතිවරුන්ට පහරදුන් ආකාරය අපට අමතක නැත. ඒ ඒ පාලකයන් සහ ඔවුගෙන් ගෝල බාලයන් විසින් විනාශ කළ විදේශ සම්බන්ධතා යළි ගොඩනැඟීමේ කාර්යය වත්මන් රජය ආරම්භ කර ඇත. ඒ නිසා ඒ රටවලින් වත්මන් පාලනයට පැසසුම් ද හිමි වේ. එදා සිටි ඒකාධිපතියන්ට මේ වෙනස දිරවන්නේ නැත. ජීඑස්පී සහනය අහිමි වීම, යුරෝපා මත්ස්‍ය තහනමට පවා අපට මුහුණ දෙන්නට සිදුවූයේ එදා පාලකයින්ගේ විදේශ සබඳතා පවත්වා ගැනීඹට දැක්වූ දුර්වලතාවය නිසාය. නමුත් වත්මන් රජය එසේ නැත. සුදුස්සන් සුදුසුතැන්වලට පත් කරමින් සාර්ථක විදේශ සම්බන්ධතා ජාලයක් ගොඩනඟමින් සිටී.

එදා තාරුණ්‍යයට හෙටක් , නිල් බලකාය වැනි සංවිධාන බිහි කරමින් තරැණ තරුණියන්ගේ හීන ඉත්තන් කරගෙන තමන්ගේ සිහින ඉටුකරගන්නට කටයුතු කළ රාජකුමාරවරුන්ගේ කෙරුවාවල් අමුතුවෙන් කියන්නට අවශ්‍යය නැත. හාස්‍යයට කරුණ වන්නේ එසේ තරුණ සිහින තම පාවඩ බවට පත්කරගක් මිනිසුන්ම වත්මන් රජය තරුණයින් මුළා කළ බව පැවසීමය. එසේම ජනතාව රවටන බවට වත්මන් රජයට චෝදනා කරන්නේ එදා සුදු අලි ව්‍යාපෘති තුළින් ජනතා මුදල් කාබාසීනියා කරන්නට කටයුතු කළ අයමය. නොරොච්චෝලේ, හම්බන්තොට වරාය, උමා ඔය ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ වැනි සුදු අලි ව්‍යාපෘති හරහා මේ දේශපාලන අනාථයින් ජනතාව කොතරම් නම් රුවටීමට ලක් කළාද? මේ අය ඒවා අද අමතක කර ඇත.

එදා සරත් ෆොන්සේකා මහතා සිරගත කරමින් , ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුධූරායෙන් ඉවත් කරමින්, ප්‍රගීත් එක්නැළිගොඩ වැනි මාධ්‍යවේදීන් අතුරුදන් කරමින්, ලසන්ත වික්‍රමතුංගලා වැනි මාධ්‍යවේදීන් මරාදමමින්, මාධ්‍යවේදීන්ට බලපෑම් කරමින්, මාධ්‍ය ආයතනවලට පහර දෙමින්, ගිනිතියමින්, ලලිත් කූගන්ලා අතුරුදන් කරමින් විරුද්ධවාදීන්ව දඩයම් කළ / විරුද්ධවාදීන්ව මර්ධනය කළ රාජපක්ෂලා අද වත්මන් රජයට චෝදනා කරන්නේ ප්‍රතිවාදීන් දඩයම් කළ බව කියමිනි.

දැරියන් සිය ගණන් දූෂණය කරමින් සාද පැවැත්වූ ප්‍රාදේශීය දේශපාලකයන්ට, විදේශික කාන්තාවන් දූෂණය කළ ප්‍රාදේශීය දේශපාලකයන්ට, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි දළදා මාළිගාව අබියස කාර් රේස් පදිමින් නාටිකාංගනාවන් නටවන්නට ඉඩ දුන් අය ම අද වත්මන් රජයට චෝදනා කරන්නේ රටේ සදාචාරය විනාශ කළ බව කියමින් ය.

එසේම වත්මන් රජය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිනොගන්නා බවට ද මේ අය චෝදනා කරති. නමුත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කිරීම සිදු නොකරන්නැයි සිව් නිකායේම මහනායක හිමිවරුන් ඉල්ලා සිටියද ඒ ඉල්ලීම එදා පාලකයන් තඹයකටවත් මායිම් කළේ නැත. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී රජපක්ෂලා මහා සංඝයාවහන්සේලාගේ අවවාද අනුශාසනා ලබන්නට සූදානම් වූයේ නැත. පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීම, රුවන්වැලිසෑයට වඩා උසකින් යුතු සඳ හිරු සෑය ගොඩනැඟීම, උමා ඔය බහුකාර්ය යෝජනාක්‍රමය ආරම්භ කිරීම, අරන්තලා භික්ෂු ඝාතනයේ චෝදනාව එල්ලවූ කරුණා අම්මාන්ට තනතුරු ලබා දීම, අලුතින් නිකායක් බිහි කිරීම වැනි අවස්ථාවල දී මහා සංඝරත්නය කළ ඉල්ලීම් එදා පාලකයන් තැකීමක් නොකළේය. ඒ මිනිසුන්ම මෙසේ හැසිරීම කණගාටුදායකය.

එවන් අතීතයකට උරුමකම් කියන අද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් ඒ අතීතය අමතක කරමින් කටයුතු කරන්නේ තමන්ගේ සහ තම සහචරයන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට මිසෙක රටටවත්, රටේ ජනතාවටවත් ආදරයකින් නොවන බව සබුද්ධික ජනතාව අවබෝධකර ගත යුතුය.

ඉතිහාසය අමතක වෙන්නනම් අපි මැරිලා ඉපදෙන්න ඕන' එහෙම කියන්නේ හිසක් වගේම ඒ හිසේ මොලයක් තිබෙන මිනිස්සු ය.

මානාභරණ

අදහස්