ඉහළ පන්තියෙන් ගිලිහෙන සමාජ වගකීම | සිළුමිණ

ඉහළ පන්තියෙන් ගිලිහෙන සමාජ වගකීම

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අනුෂ්ක දිල්හාර රත්නපුර මහ නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වැදුණේ ය. ඔහුට අවශ්‍ය වූයේ ජයග්‍රහණය කිරීම නොව තමන්ට ඇති සමාජ දේශපාලන අදහස් තම සහෝදර ජනතාවට ඒත්තු ගැන්වීම සදහා අවස්ථාවක් ලබා ගැනීම ය. බලාපොරොත්තු වූ පරිදිම ඔහු මැතිවරණයෙන් පරාජය විය. එහෙත් අනුෂ්කට තිබූ සමාජ දේශපාලන උනන්දුව පරාජය නොවීය.

පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු දිනක එනම් පසුගිය මැයි 19 වනදා දිල්හාර රත්නපුරයේ තම ගමේ කුඩා කන්දකට නැග්ගේ තම මිතුරන් කිහිපදෙනෙකු හා සමඟ ය. තම පුත්‍රයා ඡායාරූපකරණයට තදින් කැමැති නිසා අවට පරිසරය ඡායාරූපයට නැඟිම ඔහුගේ අරමුණ වූ බව වෘත්තියෙන් මිනින්දෝරුවකු වන අනුෂ්කගේ පියා පවසයි. එහෙත් අනුෂ්කගේ දේශපාලනය ගැනත් සමාජ ක්‍රියාකාරීකම් ගැනත් වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළුණු සිංහල බෞද්ධ ගමේ කිහිපදෙනෙකු අනුෂ්ක වටා දැල එළීය.

ඔවුහු පොලීසියට ඔත්තුව දුන්නේ රාජ්‍ය විරෝධී කණ්ඩායමක් ත්‍රස්ත ක්‍රියාවක් සදහා සූදානම් වන බවයි. ඒ අනුව පොලීසිය විසින් ඡායාරූපකරණය සඳහා ගොස් සිටි අනුෂ්ක දිල්හාර හා ඔහුගේ මුස්ලිම් ජාතික මිතුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. අනුෂ්කගේ නිවෙස වටලා කුරාණය පොතක් ද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් ද අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකා පොලීසියට නින්දාවක් එක් කරමිනි. ඒ අනුව අනුෂ්ක දිල්හාරත් ඔහුගේ දෙමිතුරන් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා ලදි.

අනුෂ්ක හා මිතුරන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත ද ඔවුන්ගේ නීතීඥයන් අධිකරණයේ දී කියා සිටියේ ඒ පනත යටතේ වරදක් වන කිසිම ක්‍රියාවක් අනුෂ්ක ඇතුළු පිරිස විසින් කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් ව ඇති බවයි. එහෙත් නොකළ වරදකට හා ඉදිරිපත් කළ නොහැකි සාක්ෂි යටතේ මේ තරුණයන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය ක්‍රියා කළේ ය.

මේ අතර පසුගිය මැයි 12 වන දා මිනුවන්ගොඩ ඇතිවූ ජාතිවාදී කළකෝලාහල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනීවි යැයි ආරංචි පැතිර ගිය ප්‍රසිද්ධ ගායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි නීපතිවරයා විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදි. ඊට හේතුවී ඇත්තේ අදාළ කලබල වලට මධුමාධව අරවින්දගේ සම්බන්ධයක් ඇතැයි ඔප්පු කරන්නට පොලීසියට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම ය.

මිනුවන්ගොඩ නගරයේ කලබල ඇතිවූ මොහොතේ මධුමාධව අරවින්ද ඒ නගරයේ පයින් ඇවිද යන අන්දම රූපවාහිනී ප්‍රේක්ෂයෝ හා සමාජ ජාල පරිහරණය කරන්නෝ දුටුවහ. මධුමාධවට මිනුවන්ගොඩ නගරයේ පයින් ඇවිද යෑමට බාධාවක් නැතත් ඔහුගේ දේශපාලන කල්ක්‍රියාව අනුව එවැනි අවස්ථාවක නගරයේ ඇවිදමින් යෑම සාධාරණ සැකයක් ඇති කරයි. ඔහු තම මුඛය විවෘත කළ සැනෙන් වෛරී සහගත ප්‍රකාශ සිදු කරයි. සම්බන්ධ වී සිටින්නේ ද වර්ගවාදය මූලික කරගත් දේශපාලන පක්ෂයකට ය. එවිට එවැන්නකු අවම වශයෙන් අත්අඩංගුවට හෝ ගෙන ප්‍රශ්න කරන්නට තරම් අවශ්‍යතාවක් පොලීසියට ඇති නොවීම විශ්මයජනක ය.

එහෙත් පොලිසියේ ඒ සානුකම්පාව රත්නපුරයේ අනුෂ්ක දිලාන් සම්බන්ධයෙන් ඇති වන්නේ නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවකු විය හැකි චෝදනාවක් තබා සාමාන්‍ය නීතිය යටතේ වරදකරුවකු කළ හැකි චෝදනාවක් හෝ එල්ල කරන්නට නොහැකි වුවත් අනුෂ්ක ඇතුළු මිතුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලීසිය කිසිම පැකිලීමක් නොදක්වයි. එසේම හමුදා ඇදුමක් යැයි සැකකරමින් අනුෂ්කගේ නිවෙසේ තිබූ ඇඳුමක් ද කුරාණයේ පිටපතක් ද සැකකරුවන් සන්තකයේ තිබූ අනීතික භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන්නට තරම් නින්දා සහගත වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය බරපතල වූ බව ඇත්තකි. සිවිල් පුරවැසියන් දෙස එකිනෙකා සැකයෙන් බැලීම වර්ධනය විය. එහෙත් ඒ නිසා එකම ආකාරයේ චෝදනා වලට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට පොලීසියට නොහැකිය. නමුත් පසුගිය කාලවකවානුව මුළුල්ලේ පොලීසිය හැසුරුණේ ඒ අන්දමිනි. අනුශ්ක පමණක් නොව තවත් බොහෝ මෙරට පුරවැසියෝ පොලීසියේ අඩත්තේට්ටමට ලක්ව බන්ධනාගාර ගත වූහ. සිවිල් පුරවැසියන්ට එරෙහිව රාජ්‍ය මර්දනය එසේ දියත් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට මුවා වෙමිනි.

එක් අතකින් සලකා බැලූ විට නීතිය ක්‍රියාත්මක කරවීමේ පොලීසියේ කාර්යභාරය මෙසේ වෙනස් ලෙස සැලකීමක් වන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා උද්ගත වූවක් ලෙසින් නොවේ. එය ශ්‍රී ලංකා පොලීසියේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත වීමටත් බැරි නැත. ඊට හේතුව වන්නේ ශක්තික සත්කුමාර නම් ලේඛකයාට විඳින්නට සිදුවී ඇති අසාධාරණය හා ගෝඨාභය රාජපක්ෂ විසින් විඳින්නා වූ සුවපහසුව නිසා ය. ශක්තික පොලීසියේ වරද නිසා තුන් මාසයකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටී. එහෙත් බරපතල අපරාධමය වරද සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දීත් ගෝඨාභය රාජපක්ෂ නිදහසේ සිටී. පොලීසියේ මේ හැසිරීම පුද්ගල මානව අයිතීන් සම්බන්ධයෙන් යළි සිතා බලන්නට පෙලඹවීමකි.

මානව අයිතීන් සම්බන්ධයෙන් පුළුල් ම ආරක්ෂාව ලැබුණේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි. ඒ අනුව මානව අයිතීන් ලෙස පිළිගෙන තිබූ යම් යම් කාරණා කඩවීමක දී ඒවාට එරෙහිව අධිකරණයේ පිහිට පතන්නට පුරවැසියන්ට අවස්ථාව උදා විය. නමුත් ඒ ව්‍යවස්ථාව මඟින් ම රාජ්‍යය නම් ආයතනය ශක්තිමත් වූ බැවින් රාජ්‍යයෙන් පුරවැසියන්ට එරෙහිව සිදුවන අයිතීන් උල්ලංඝනය විශාල විය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාව සදහා සම්මත කරගෙන ඇති විවිධ අපරාධමය වරද පිළිබඳ නීති මඟින් ද අවසානයේ සිදුවන්නේ පුද්ගල නිදහසට අකුල් හෙළීම ය.

2005 වර්ෂයේ දී ජනාධිපති ධූරයට මහින්ද රාජපක්ෂ බලයට පත්වූ පසුව රාජ්‍යයේ ස්වරූපය වෙනස් විය. ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව නිසා රාජ්‍යය ජාතික ආරක්ෂාව මූලික කරගෙන පෝෂණය වී ශක්තිමත් විය. එකල පුද්ගල මානව අයිතීන් උල්ලංඝනය වූයේ ජාතික ආරක්ෂාවට වැඩි වැදගත්කමක් ලබා දුන් නිසා ය. එනිසා 2015 පැවැති ජනාධිපතිවරණය වනවිට මහජන අභිලාශය වර්ධනය වූයේ පුද්ගල මානව අයිතීන් ආරක්ෂා වන පාලන ක්‍රමයක් ඇති කර ගැනීම සඳහා ය. එනිසා විරසකව පැවැති ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා යම් යම් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක විය. එනිසාම ජාතික ආරක්ෂාව සත පහකට මායිම් නොකිරීම නිසා රටේ අරාජික සමයක් උදා වූ අතර එය ද පුද්ගල මානව අයිතීන්ට බරපතල තර්ජනයක් එල්ල කරන්නක් වී ඇත.

නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන ගොස් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වගකීම ඇත්තේ පොලීසියට ය. ශ්‍රී ලංකා පොලීසියට දේශපාලන ප්‍රතිපත්ති කාරණා සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා අමාත්‍යංශයක් ද අමාත්‍යවරයකු ද සිටී. රාජ්‍යයේ ප්‍රතිපත්තිය අනුව පොලීසිය ක්‍රියා නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහා පියවර ගත යුත්තේ ආණ්ඩුවයි. ආණ්ඩුව එසේ පියවර නොගන්නේ නම් එය සමාජයේ දේශපාලන සංවාදය පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයකි. අද උදා වී ඇත්තේ 2015 වර්ෂයේ දී දේශපාලන වෙනසක් සිදුවුව ද එය මහජන අභිලාශ නියෝජනය කරන පුළුල් ප්‍රතිසංස්කරණයන්ගෙන් යුතු සමාජ වෙනසක් දක්වා ගෙන යෑමට ආණ්ඩුවේ දේශපාලනය ශක්තිමත් නොවීමේ ගැටලුවකි.

ආණ්ඩුව අද පවතින්නේ දෙකට දෙවාරයේ ය. පැහැදිලිව ම කිව යුත්තේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර ආණ්ඩුවේ මත ගැටුමක් ද එනිසා පුළුල් බෙදීමක් ද පවතින බවයි. එය රාජ්‍ය පාලනය ගෙන යෑමේ දී බරපතල බාධාවකි. නමුත් මේ රටේ පාලක පන්තියට මේ අර්බූදය ඉක්ම යෑමට ශක්තියක් නොමැති තත්ත්වයක් උදා වී ඇත. නමුත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මහජනයාට වගකියන මහජනයාට ආදරය කරන ස්ථාවරයක් දෙපාර්ශ්වයට ම තිබෙන්නේ නම් මේ අර්බූදයන් ඉක්මවා යෑම ඒ හැටි අපහසු කරුණක් නොවේ.

නමුත් දෙපාර්ශ්වයේ ම ඇත්තේ උඩගුකම පිළිබඳ මානසිකත්වයකි.

රාජ්‍ය කරවන ආණ්ඩුවකට සමගියෙන් තම රාජකාරිය ඉෂ්ඨ කරන්නට නොහැකි නම් ඒ වෙනුවෙන් සංවේදී විය යුත්තේත් සමාජ වගකීම දැරිය යුත්තේත් සමාජයේ අවබෝධයක් සහිත ඉහළ පන්තියයි.

එහෙත් විවිධ අන්තවාද ඔස්සේ අනෙකා සැක කරමින් සිටින සමාජයක් නිර්මාණය වී ඇති නිසා තම සමාජ වගකීම් සපුරාලන්නට තරම් එම සමාජ තීරුවට ඉස්පාසුවක් නොමැති වී තිබේ. ජන කොටස් අතර සැකය, වෛරය හා ක්‍රෝධය වර්ධනය වූ විට සිදුවන්නේ සමාජයේ ඒකාග්‍රතාව හා බල තුලනය අහෝසි වී යෑමයි. එනිසා රාජ්‍යයේ ශක්තිය ද හීනවී යෑමයි.

ශ්‍රී ලංකා සමාජයට අද මුහුණදෙන්නට සිදුවී ඇත්තේ එම අවාසනාවන්ත ඉරණමට ය.

අදහස්