වැස්ස ශ්‍රී ලංකාවට ආශීර්වාදයක් ද? | සිළුමිණ

වැස්ස ශ්‍රී ලංකාවට ආශීර්වාදයක් ද?

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ (ඊයේ තරගයට පෙර, ඔස්ට්‍රේලියාව සමඟ, ද ඕවල්) මෙතෙක් සහභාගි වූ තරග හතරෙන් දෙකක් ම වැස්සට සේදී ගියේ කාසියේ වාසියවත් උරගා බැලීමට පෙරය. පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ එකී තරග දෙකම බ්‍රිස්ටල්හිදී වැස්සට සේදුණේ දෙපිලට ම ප්‍රසාද ලකුණ බැගින් හිමි කර දෙමින්ය.

ශ්‍රී ලංකාව සහභාගි වූ සෙසු තරග දෙක කාර්ඩිෆ්හි පැවැති අතර එහිදී නවසීලන්තය සමඟ පැවැති තරගය කඩුලු 10කින් පරාජය වූ අතර, ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 34කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ හත් වතාවක් මුණ ගැසී තිබූ අතර එහිදී එකී තරග සියල්ලම ජය ගැනීමට පාකිස්තානය සමත් ව තිබේ. බංග්ලාදේශය සමඟ ශ්‍රී ලංකාව තරග තුනකදී මුණ ගැසී තිබූ අතර එකී තරග ශ්‍රී ලංකාව ජය හිමිකර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන විට පාකිස්තානයට සහ බංග්ලාදේශයට වඩා ICC ශ්‍රේණිගත කිරීම්වල පියවර කිහිපයක්ම පහතට වැටී සිටි අතර අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පවා එකි තරගාවලියේ පරාජය වී තිබුණි. වසර ගණනාවකට පසු ආසියානු කුසලාන තරගාවලියේ විශේෂයෙන් ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට මුණ නොගැසූණු තරගාවලියක් ලෙස ද එකී තරගාවලිය හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා තරගයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු හතරක් හිමි කර ගෙන තිබුණද, එය කිසිසේත් ම සතුටු විය හැකි කරුණක් නොවේ. මන්ද යත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් අවසානයේ පවා තවමත් ලෝක කුසලාන තරගාවලියේ ස්ථාවරයකට පැමිණ නැති බැවිනි.

සහජීවනයේ තරම

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තය සමඟ පැවැති තරගයේදී පන්දුවාර 29.2කට දැවි ගිය අතර, නවසීලන්තය ජයග්‍රාහි ඉලක්කය පන්දුවාර 16.1 කදී හඹා ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සහජීවනය කොතෙක් ද තම පන්දුවාර 50 පවා පන්දුවට පහර නොදී, නවසීලන්තයට ජය ගැනීමට ඇවැසි ඉලක්කය ද සකසා ගැනීමට ඇවැසි ඉඩකඩ ලබා දුන්නේය. ඇෆ්ගනිස්තානය සමඟ තරගයේදී පවා පන්දුවාර 41කට සීමා වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සිය ඉනිම අහවර කර ගත්තේය. ශ්‍රි ලංකා ඉනිමට කුසල් ජනිත් පන්දු 81කදී රැස් කළ ලකුණු 78 සහ අතිරේක ලකුණු 35 නොවන්නට අත්වන්නට තිබූ ඉරණම මීට වඩා හාත්පසින්ම වෙනස්වන්නට තිබුණි.

කෙසේ වෙතත් මේ තරග දෙක අවසානයේ ශ්‍රී ලංකා පුහුණුකරු ප්‍රකාශ කළේ කාර්ඩිෆ් තණ තීරුව තරගයට සුදුසු නොවන බවය. නමුත් එකි තණ තීරුවේම නවසීලන්තය කඩුලු දහයකින් ශ්‍රී ලංකාව පරාජය කිරීමත්, ඇෆ්ගන් තරගයේදී කුසල් ජනිත්ගෙන් විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා වූ බවත් හතුරුට අමතක වීම බැහැර කළ හැකි කරුණක් නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තරග පහක් ඉතිරිව තිබෙන අතර එහිදී වි‍ශේෂ යමක් නොකර නම් මේ තරගාවලියේ ඉදිරියට යෑම ගැන බලාපොරොත්තු තබා ගත නොහැකියි. ඉතිරිව ඇති තරග පහ ශ්‍රී ලංකාවට ලෙහෙසි පහසු නොවන බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

‍ අවසන් පූර්ව තරගයට යෑමට නම් අවම වශයෙන් තරග දෙකක් හෝ ජය ගත යුතු බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

‘අපි බලන්නෙ හැම තරගයක්ම දිනන්න. ප්‍රසාද ලකුණු සටහනේ උඩ ඉන්න කණ්ඩායම් සමග තමයි අපිට ඊළඟට තරග කරන්න තියෙන්නෙ. කොහොම වුණත් හැම තරගයක්ම අභියෝගයක්. බලාපොරොත්තු වෙනවා උපරිමය යොදලා අවසන් පූර්ව තරගයට එන්න.’’

‘වැස්ස කියන දේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇෆ්ගනිස්තානය සමග තරගය ජයග්‍රහණය කරලා දවස් 11 කට පස්සෙ තමයි ඔස්ට්‍රේලියාව (සෙනසුරාදා) සමග තරගයට සහභාගි වෙන්න වෙන්නෙ. අපි කැමැති නිකම් ප්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි තරග දිනලා අවසන් පුර්ව වටයට යන්නයි.”

Comments