ලොකු වෙනසක් අනවශ්‍යයි - සංගා | සිළුමිණ

ලොකු වෙනසක් අනවශ්‍යයි - සංගා

ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට තණ තීරුවෙන් තණ තීරුවට කණ්ඩාය‍ෙම් යම් යම් වෙනස්කම් අවශ්‍ය වුවද සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු වෙනස්කම්වලට යෑම අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස එක්ව සිටින සංගා පවසයි.

මේ වගේ දැවැන්ත තරගාවලියක සාමාන්‍යයෙන් පිතිකරුවන් ලකුණු 280ක් වත් ලකුණු පුවරුවට එක් කරන්න ඕනෑ. එහෙම වුණොත් පන්දු යවන්නන්ට හොඳ අවස්ථාවක් තියෙනවා නිදහසේ තරගයට ඇවිත් කඩුලු දවා ගන්න සැලසුමක් හදා ගන්න. ඒකට පිතිකරුවන් අනිවාර්යෙන්ම ඒ වගකීම බාර ගන්න ඕනෑ. සංගා පිතිකරුවන්ගේ වගකීම් පිළිබඳ සඳහන් කරයි.

“ඇෆ්ගන් තරගය එතරම් අමාරුවෙන් දිනන්න ඕනෑ එකක් නොවෙයි. පන්දු යවන්නන් තමන්ගේ දක්ෂතාවලින් ඒ තරගය දිනලා දුන්නට, පිතිකරුවන් මග නොවැටුණා නම් අපට පහසුවෙන්ම ජය ගන්න තිබුණා.“

දිමුත් සහ කුසල් ජනිත් මෙතෙක් පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඇෆ්ගන් තරගවලදී යම් මට්ටමක ඉනිම් ගොඩ නගා ගත්තත් අනිත් පිතිකරුවන් අසාර්ථක වූ බවද සංගා පවසයි.

ශ්‍රී ලංකා මැද පෙළ සවිමත් කරන කුසල් මෙන්ඩිස් (0-2) ඇන්ජලෝ මැතිව්ස් (0-0) සහ ධනංජය ද සිල්වා (4-0) මෙතෙක් පැවැති තරග දෙකේදීම රැස් කර ඇත්තේ ලකුණු හයක් පමණි. නවසීලන්ත සහ ඇෆ්ගන් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට මෙය ප්‍රබල හේතුවක් වී තිබේ.

මේ තුන් දෙනාම මානසික ඒකාග්‍රතාව දැඩි කර ගෙන ක්‍රීඩා කළ යුතුයි. තණතීරුවේ ස්වභාවය, වගේම තරගය පවතින ආකාරය ගැන අවබෝධයෙන් මැද පිතිකරුවන්ගේ වගකීම මොකක්ද කියලා හිතලා ක්‍රීඩා කරන්න ඕනෑ.

සංගා මෙහිදි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ඔවුන් ක්‍රීඩා පිටියට එනකොට යම් මන්දගාමී භාවයක් වගේම තමන් ගැන විශ්වාසය අඩුවීමක් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය වහාම ඉවත් කර ගන්න ඕනෑ. හැම දෙයක්ම දැන් වෙනස් කරන්න වෙලාවක් නෑ. එහෙම දෙයක් වෙන්න ඕනෑ කියලා විශ්වාස කරන්නෙත් නැහැ. හැබැයි ඔවුන්ගේ වගකීම් නිසි ආකාරයෙන් තේරුම් ගන්න ඕනැ.

මේ අතර කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ පළමු පන්දු 12දී එනම් පන්දුවාර දෙක තුළදී දැවී යන බව පවසන සංගා මේ බව ඔවුන් තේරුම් බේරුම් කරගෙන නියම ආකාරයෙන් ක්‍රීඩා කිරීම තුළින් තණ තීරුව මෙන්ම තරගය දිවෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පළමු වගකීම බවද පෙන්වා දෙයි.

ඒ පන්දු 12දී නැත්නම් මුළු පන්දු වාර දෙක තුළදී අවබෝධයෙන් ක්‍රීඩා කරලා විකට් ආරක්ෂා කර ගන්නවා නම්, අනතුරුව දිගු ඉනිම් කරා ඔවුන්ට සාර්ථකව යා හැකි බවද සංගා පවසයි.

 

Comments