ඓතිහාසික සටනට ඉන්දියාව සහ පාකිස්තානය අද පිටියට | සිළුමිණ

ඓතිහාසික සටනට ඉන්දියාව සහ පාකිස්තානය අද පිටියට

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දැවැන්ත ම තරගය ලෙස හැඳින්විය හැකි ඉන්දියාව සහ පාකිස්තානය මැන්චෙස්ටර්හිදී අද තරග බිමට පිවිසෙයි. මෙතෙක් පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 11 දීම දෙපිළ තරග පිටියේ හමුවී ඇත්තේ අවස්ථා 6 කදී පමණි. ඒ 1992 - 2015 අතර කාලයේදී ය. මෙකී තරග හයේදීම පාකිස්තානය පරාජය කිරීමට ඉන්දියාව සමත්ව තිබේ.

සමුද්‍රාසන්න කලාපයේ එනම් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ප්‍රථම වරට සත්කාරකත්වය දරන ලද ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත් වුණේ 1992 දීය. එහිදී හාපුරා කියා ලෝක ශූරයන් වීමට ද ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානයට හැකි විය. අවසන් වරට දෙපිල මුණ ගැසුණේ ද ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සත්කාරකත්වය දරන ලද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය. එහිදී ද පහසුවෙන් පාකිස්තානය පරාජය කිරීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව එකී තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණි නමුත් එහිදී ඔස්ට්‍රේලියාව වෙතින් පරාජය විය.

ගෙවී ගිය තරග අතරින් වැඩිම අවධානයක් යොමු වූයේ ඉන්දියාව - ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාව - බ.ඉ‍‍. කොදෙව් සහ ශ්‍රී ලංකා - පාකිස්තානයත් තරග දෙසය‍. මෙහිදී ඔස්ට්‍රේලියාව සිය තරග දෙකෙන් බ.ඉ. කොදෙව් තරගය ජයගත් අතර ඉන්දියාව සමඟ පැවැති තරගය පරාජය විය. කොදෙව් සමඟ පැවැති තරගය ඕස්ට්‍රේලියාව ජය ගත්ත ද එහිදී තරග විනිසුරුවරුන්ට දැඩි විවේචන එල්ල විය. කොදෙව් ඔස්ට්‍රේලියානු තරගයේදී නවස‍ීලන්ත ජාතික ක්‍රිස් ගැෆනි විශේෂයෙන් ක්‍රිස් ගේල්ට ලබාදුන් කඩුල්ල මුවා කිරීමේ වරදට එරෙහි තීන්දු මෙහිදී ‍බොහෝ දෙනාගේ කතාබහට ලක් විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය වර්ෂාව නිසා සම්ප‍ූර්ණයෙන් ම අතහැර දමන ලදී. ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වර්ෂාව නිසා අතර හැර දමන ලද තෙවැනි තරගයයි. මෙකී තරග තුනෙන් දෙකකට ම ශ්‍රී ලංකාව එක්ව තිබීම විශේෂත්වයකි. 1979 ජූනි 13 - 14 – 15 දින තුනේදීම පැවැති වර්ෂාව නිසා බ.ඉ. කොදෙව් තරගය අතහැර දමා තිබේ. මීට අමතරව පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශ තරගය ද වර්ෂාව නිසා සම්පූර්ණයෙන් ම අතහැර දමා තිබේ.

මෙවර තරගාවලියේ තවත් දැඩි අවධානයක් යොමු වූ තරගයක් වූයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයයි. එහිදී ලකුණු 36 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය. මෙය ඉන්දියාව විසින් ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ පරාජය කරන ලද සිවුවන අවස්ථාව ලෙස ද සටහන් විය.

17 දා බ.ඉ. කොදෙව් සහ බංග්ලාදේශය තරග බිමට පිවිසෙයි. 1999 – 2011 දී දෙපිල අතර තරග 4 ක් පවත්වා තිබේ. මෙහිදී බ.ඉ. කොදෙව්වන් තරග තුනක් ජය ගෙන ඇති අතර ඉතිරි තරගය විසඳුමකින් තොරව අවසන්ව තිබේ. අවසන් වරට දෙපිල 2011 දී ඩකාහි මුණ ගැසුණු අතර කොදෙව්වෝ කඩුලු 09 කින් තරගය ජය ගැනීමට සමත් වූහ. එහිදී බංග්ලාදේශය සියලු දෙනා ලකුණු 58 කට සීමා විය. බංග්ලාදේශය දැවී ගිය මේ ලකුණු 58 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද සටහන් වෙයි.

කැනඩාව (36) ශ්‍රී ලංකාවට 2003 දී, කැනඩාව (45) එංගලන්තයට 1979 දී, නැම්බියාව (45) ඔස්ට්‍රේලියාවට 2003 දී මෙසේ අඩු ලකුණුවලට දැවී ගොස් ඇති සෙසු කණ්ඩායම් ය.

18 දා එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය - මැන්චෙස්ටර් හිදී මුණ ගැසෙයි. දෙපිල අතර මෙතෙක් එක් තරගයක් පවත්වා තිබේ. එහි ජය එංගලන්තයට ය. ඒ 2015 දී ය.

19 දා නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව බර්මින්හැම්හිදී තරග කරයි. 1992 – 2015 දී දෙපිල තරග 7 කදී මුණගැසී ඇති අතර එහිදී දකුණු අප්‍රිකාව තරග 2 ක් ජයගෙන තිබේ. නවසීලන්තය තරග පහක් ජයගෙන තිබේ‍.

අවසන් වරට දෙපිල මුණ ගැසුණේ 2015 තරගාවලියේ අවසන් පූර්ව තරගයේදීය. එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ නවසීලන්තය එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තේ කඩුලු හතරකින් ය. එහිදී විශිෂ්ට ඉණිමක නිරතවූ ග්‍රාන්ට් එලියට් තරගයේ වීරයා විය. එලියට්ගේ උපන් ගම්පියස දකුණු අප්‍රිකාවේ වීම ද විශේෂත්වයකි.

20 දා ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය නොටිංහැම්හිදී තරග කරයි. ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් 1999 – 2007 දී තරග 2ක් පවත්වා තිබේ‍. එකී තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගෙන තිබේ‍‍. 21 දා එංගලන්තය සහ ශ්‍රී ලංකාව ලීඩ්ස්හිදී තරග කරයි. 1983 - 2015 දක්වා දිවෙන දෙපිලේ ලෝක කුසලාන තරගවල මෙතෙක් තරග 10 ක් ‍පවත්වා තිබේ. එංගලන්තය තරග 6 ක් සහ ශ්‍රී ලංකාව තරග 4 ක් ජය ගෙන තිබේ‍.‍

දෙපිල අවසන් වරට තරග කළේ පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදී එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව කඩුලු 9 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් විය. එංගලන්තය කඩුලු 6 කට ලකුණු 309 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 312 ක් රැස් කිරීමට සමත් විය. එහිදී විශිෂ්ට ශතක දෙකක් රැස් කිරීමට ළහිරු තිරිමාන්න (නොදැවී 139) සහ කුමාර සංගක්කාර (නොදැවී 117) සමත්වූහ.

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 4 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී දෙපිල මුණ ගැසුණු අතර එහිදී ද විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී එංගලන්තය කඩුලු 6 කට ලකුණු 229 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 231 ක් රැස් කිරීමට සමත් විය. එහිදී උපුල් තරංග (නොදැවී 102) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 105) ශතක රැස් කිරීමට සමත්වූහ. මේ අනුව දෙපිල අවසන් වරට මුණ ගැසුණු තරග ද්විත්වයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ශතක 4 ක් රැස් කර තිබේ‍.

22 දා බ.ඉ.කොදෙව් සහ නවසීලන්තය අතර මැන්චෙස්ටර්හිදී තරග කරයි. 1975 – 2015 අතර කාලයේ දෙපිල තරග 7 කදී මුණ ගැසී ඇති අතර එහිදී කොදෙව්වන් තරග 4 ක් ජයගෙන තිබේ. නවසීලන්තයට ජයග්‍රහණ 3 කි.

නවසීලන්තය සහ කොදෙව්වන් හාපුරා කියා මුණගැසුණේ 1975 අවසන් පූර්ව තරගයේදී ය. එහිදී කොදෙව්වෝ කඩුලු පහකින් නවසීලන්තය පරාජය කළහ. අවසන් වරට දෙපිල තරග කළේ 2015 දී සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ය. එහිදී ලකුණු 143 කින් කොදෙව්වන් පරාජය කිරීමට නවසීලන්තයට හැකි විය. එහිදී නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල් නොදැවී රැස් කළ ලකුණු 237 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පිතිකරුවකු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

22 දා ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය තරග කරයි‍. දෙපිල අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වෙන ප්‍රථම තරගය ද මෙහි වෙයි.

අදහස්