අඩුපාඩු හදා ගත්තොත් ඕනෑම පිලක් පරදවන්න පුළුවන් - කුසල් ජනිත් | සිළුමිණ

අඩුපාඩු හදා ගත්තොත් ඕනෑම පිලක් පරදවන්න පුළුවන් - කුසල් ජනිත්

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කළ තරග හතරෙන් දෙකක් ම වැස්සට සේදී ගියේය. පැවැති තරග දෙකේදි කුසල් ජනිත් පෙරේරා යම්තම් හෝ පිත්තෙන් යමක් කිරීමට වෙර දැරූ බව පෙනේ.

මට හිතනවා හැම වෙලාවේම නිවුණු චරිතයක් විදියට ඉන්න. කුසල් ජනිත් පවසයි. ක්‍රීඩා පිටියට ගියාම පන්දු ඕවර් 40ක් විතර ක්‍රීඩා කරන්න මම උත්සාහ කරනවා. හැබැයි හුඟක් වෙලාවට ඒ උත්සාහය අ‍පතේ ගිහින් තියෙනවා.

මම පුංචි කාලේ දකුණත් පිතිකරුවෙක්. සනත් අයියාව දැක්කට පස්සේ තමයි වමතින් ගහන්න පුරුදු වුණේ.

සනත් අයියා ගහන විදියට ම ගහන්න පුරුදු වු‍ණා. මහන්සි වුණා. මේ තරගාවලියට එන කොට මම වුණත් මගේ අඩුපාඩු දැන ගෙන හිටියා. අපි අපේ අඩුපාඩු හදාගෙන ක්‍රීඩා කළොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්.

මම විකට් රකින්නත් කැමැතියි. මොකද පන්දුව හොඳට පෙනෙන නිසා. පන්දුවට පහර දෙන විටත් මට හොඳ පහරවල් කරා යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ විකට් එක පිටි පස්සේ රාජකාරිය නිසා කියලා හිතනවා. යැයි කුසල් ජනිත් පෙරේරා පවසයි.

මම පන්දුවට පහර දෙන්න යන කොට මගේම සැලසුමකට තමයි ක්‍රීඩා කරන්නේ. ඇෆ්ගන් තරගය ගත්තොත් දෙපැත්තටම දෝලනය වෙච්ච තරගයක්. කොහොම වුණත් මම හැම වෙලාවේම පන්දු යවන්නන්ට පීඩනය යොදවන්න දෙන්නේ නෑ. උපරිමයෙන් ම මගේ අතට තරගයක පාලනය ගන්න උත්සාහ කරනවා. සමහර වේලාවට මෙය සාර්ථක වෙනවා.

සමහර තරගවල හොඳට මුල ක්‍රීඩා කරලා කඩාගෙන වැටෙන අවස්ථා නැතුව නෙවෙයි. ඒක තමයි ක්‍රිකට්වල ස්වභාවය. සමහර වෙලාවට හොඳට ක්‍රීඩා කරගෙන යන කොට වැටෙනවා. සමහර වෙලාවට මුලින් වැටිලා ඉනිම ගොඩ ගන්න පුළුවන් අවස්ථා එනවා. මේක ක්‍රිකට්වල සාමාන්‍ය දෙයක්. හැබැයි මොනම අවස්ථාවකවත් ලකුණු පුවරුව නවතින්න දෙන්න හොඳ නෑ.

අපි මොන තරම් විකට්ටුව රැක ගෙන හිටියත් වැඩක් නෑ. ලකුණු පුවරුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇෆ්ගන් තරගය ගත්තත් ලකුණු 250 කට වගේ යන්න තමයි මම ට්‍රයි කළේ. අපිට හැම තරගයකටම යන කොට මානසික ඒකාග්‍රතාවය ඉහළ මට්ටමක තියා ගන්න ඕනෑ. අපි මොන තරම් පුහුණුවීම් කළත් ඔලුව හදා ගන්නේ නැතුව තරගයකට යන්න බෑ. තමන් දන්න දේ තරගයකදී උරගා බලන්න තමයි තියෙන්නේ.

එංගලන්ත ක්‍රීඩාපිටි සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා හුඟක් වෙනස්. සමහර ඒවා කෙළින් ළඟයි. දෙපැත්තෙන් දුරයි. සමහර ඒවා මේකේ අනිත් පැත්ත. හැම පිතිකරුවකුගේම ඔලුවේ මේ දේ තියෙනවා. මම හැම වෙලාවේම කෙළින් පහරවල්වලට යන්න තමයි ප්ලෑන් කරන්නේ.

Comments