වෙපන් එක බිම තියපු දාට අතට ගන්නෙ උදැල්ල | සිළුමිණ

වෙපන් එක බිම තියපු දාට අතට ගන්නෙ උදැල්ල

හිතේ හැටි­යට වවන්න උග­න්වන හමු­දාවේ ‘පැන්ෂන් කෝස්’ එකට දැන් වැඩිපුර එන්නෙ තරු­ණ­යන්

ඔබ මේ යන්නෙ පොළො­න්න­රුව, අර­ල­ගං­වි­ලට. එතැ­නි­නුත් තවත් ටිකක් එහාට.

හරි­යට ම කිව්වොත්, අර­ල­ගං­විල දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පාරේ, වෙහෙ­ර­ගල හන්දි­යෙන් දකු­ණට හැරිලා, තවත් කිලෝ මීටර දෙකක් ඇතු­ළට.

එහෙම යද්දි, පාර අයි­නෙදි ඔබ දකින නම නම්, ටිකක් දිගයි.

‘යුද හමුදා - කෘෂි­කර්ම පුහුණු පාසල සහ ආදර්ශ ගොවි­පළ - අර­ල­ගං­විල’

හමුදා ජීවි­තයෙ අභි­මා­නය තිබෙන්නෙ නිල ඇඳුමෙ. ඒ නිල ඇඳු­මයි ‘වෙපන්’ එකයි බාර­දීලා ආපහු ගෙදර ගිය දාට මොකද කරන්නෙ...

අවු­රුදු දහ­අ­ටේදි - විස්සෙදි හමු­දා­වට ඇවිත් වයස හත­ළිස් එක දෙක වෙද්දි විශ්‍රාම ගියාම මොකද කරන්නෙ...

එක එක්කෙනා, එක එක දේ කරාවි. ඒත් මේ ප්‍රශ්න දෙකට හොඳම උත්තරේ තියෙන්නෙ ඔය දිග නම ඇතුළේ.

ඉතින්, වස නැති තියා, මඩ... පස් එක්ක හැපෙන ගොවි­තැ­නක් වගා­වක් කරන්න පොඩි අය කෙසේ වෙතත්, හමු­දාවෙ ඉහළ නිල­වල අය කැමැ­ති­වේ­විද... ඔබට හිතේවි.

විශ්‍රාම යන්න කිට්ටු හමු­දාවෙ අයට, ගෙදර ගියත් වගා­වක් සාර්ථ­කව කර­ගන්න හැටි කියා දුන්නු මේ පාඨ­මා­ලාව ඉස්සර හැඳි­න්වුණේ ‘පැන්ෂන් කෝස් එක’ නමින්.

ඒත් අද, පැන්ෂන් යන්න හිත­ල­වත් නැති ජව­ස­ම්පන්න තරුණ සොල්දා­දුවො වගේ ම, සිය­ලුම රෙජි­මේන්තු සහ ඒකක නියෝ­ජ­නය කරන කැප්ටන්, ලුති­නන් කර්නල් තන­තු‍රු­වල නිල­ධා­රින් පවා අර­ල­ගං­වි­ලට එන්න, තමන්ගෙ වාරය එන­කල් බලා ඉන්නවා.

මොකද, සොබා දහම එක්ක කරන මේ වගාව අපූරු අත්දැ­කී­මක්. ඒ ව‍‍ෙග්ම, පාඨ­මා­ලාව මාස තුනක් වුණාට අවු­රු­ද්ද­ටම ඇතුළු කර­ගන්නෙ, කණ්ඩා­යම් තුනක් නිසා.

යුද හමුදා කෘෂි­කර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේ­ඩි­යර් බුව­නෙක ගුණ­රත්න, මේ කට­යුත්තෙ නිය­මුවා වගේ ම, ‘මහ ගොවියා’. පුද පූජා.... සිරිත් විරිත්... කෙම් ක්‍රම... කර්ණ මේ සියල්ල අකු­රට පිළි­ප­දි­මින්, මහ පොළොව සුව­පත් කරන හැටි මේ කණ්ඩා­ය­මට කියා දෙන පළමු ගුරු­ව­රයා ඔහු.

ඊළ­ඟට ඒ බර කරට ගන්නෙ, කැප්ටන් සුරංග බණ්ඩාර. රුහුණු සර­ස­වියේ කෘෂි­කර්ම උපා­ධි­යක් ඇති ඔහු ආධ්‍යා­ත්මික ජෛව­ග­තික සහ පාර­ම්ප­රික හෙළ ගොවි­තැන පිළි­බඳ දැනුම ඇති ප්‍රාමා­ණි­ක­යෙක්.

නේවා­සික මාස තුනේ පාඨ­මා­ලාව අව­සන් වෙද්දි, මේ කණ්ඩා­යම අර­ල­ගං­වි­ලින් ලබා ගත් අංශ හත­ළිස් එකක ප්‍රායෝ­ගික දැනු­මට අම­ත­රව ගන්නො­රුව, මහ­ඉ­ලු­ප්ප­ල්ලම වගේ ලංකාවේ ප්‍රධාන කෘෂි­කර්ම මධ්‍ය­ස්ථා­න­ය­කම සිදු­වන දේත් දැක බලා­ගෙන අව­සන්.

මොකක්ද මේ, ජෛව­ග­තික කෘෂි­ක­ර්මය... ටිකක් අමුතු වච­න­යක්. ඔබට වගේ ම, මටත් හිතුණා.

ජෛව­ග­තික කියන්නෙ, ජීවයේ ස්වභා­වය කියන අර්ථය. ස්වාභා­වික කෙම් ‍පොහොර ක්‍රම, කෘෂි­ක­ර්ම­යේදි මහ පොළොවෙ ජීවීන් සමඟ කරන ගනු­දෙ­නුව ඊට අදා­ළයි.

මේ අක්කර පහ පුරා හැම තැන­කම වගේ තිබෙන්නෙ වෙනස් දේ. විවිධ උසින් තිබෙන වගා­වන් අතර කෘමි වික­ර්ශක මල් පැළ තැනින් තැන. ඒවා එසේ හිටුවා තිබෙන්නෙ කෘමින්ගේ ඇස් රැව­ටෙන ලෙසින්.

කොහොම වුණත්, මේ ජෛව­ග­තික කෘෂි­ක­ර්මය පිළි­බඳ දේශන කරන ලංකාවෙ ජ්‍යෙෂ්ඨම ජ්‍යෙති­ෂ්‍ය­වේ­දි­නි­යක වන 89 හැවි­රිදි විමලා දේව­නා­රා­යන මහ­ත්මි­යගෙ දැනු­මත් අර­ල­ගං­වි­ලට තවම ලැබෙ­නවා.

කලා­ඔය පුහුණු මධ්‍ය­ස්ථා­න­යට විශාල සේව­යක් කළ බ්‍රිගේ­ඩි­යර් තිල­ක­රත්න කිය­න්නෙත්, ‍ෙජෙව­ගත කෘෂි­ක­ර්මය වෙනු­වෙන් යමක් කළ, තවත් පුද්ග­ල­යෙක්.

ගහට කොළට ආදරේ ඇති මිනි­සුන් සමූ­හ­යක් එකට එක්වූ විට, මහ­පො­ළොව සුව­පත් කළ හැකි බව බ්‍රිගේ­ඩි­යර් ගුණ­රත්න සිය දේශ­න­ව­ලදී නිතර පසක් කර­නවා. ඒ, මෙවැනි උදා­හ­රණ කොතෙ­කුත් ගෙන­හැර දක්ව­මින්.

කොහොම වුණත්, පාඨ­මා­ලා­වට අලු­තින් එන හැම කණ්ඩා­ය­මක්ම පළ­මුව, පොල් ගෙඩි­යක් එල්ලා පඬු­රක් ගැට ගසා, බාර හාර වෙන්නේ ‘සංහිඳ’ පාමුල. ඒ ඔවුන් වගාව උදෙසා වඳින පුදින තැන.

වෘක්ෂ රෝපණ ආනි­සංස, නව ග්‍රහ­යන්ට අදාළ වෘක්ෂ... සත් විධ උරු­ම­යන්... වාරි නිර්මි­ත­යන්... පාර­ම්ප­රික ඥානය, කෘෂි­කා­ර්මික ජීවන රටාව... බෞද්ධ සංස්කෘ­තිය... පිරි­පුන් තාක්ෂ­ණය... කෘෂි­කා­ර්මික භාෂාව පිළි­බඳ මෙහි එන ඕනෑම කෙන­කුට දැක­බලා ගන්න පුළු­වන් විදි­යට සට­හන් තබා ඇත්තෙ, ඒ ‘සංහිඳ’ අබි­ය­ස­මයි.

කැමැති නම් කෙන­කුට, පැල් රකි­න්නත් පැල් කවි­යක් දෙකක් මහ සද්දෙට ගායනා කර­න්න­ත් ­මෙහි තහ­න­මක් නැහැ. කව­දා­වත් නොවිඳි අත්දැ­කී­මක් ජීවි­ත­යට එකතු කර ගන්නට මාස තුන­කට පම­ණක් ලැබෙන සොඳුරු සහ අමිල වූ අව­ස්ථා­වක් බව හැ‍ඟෙන විට, මේ කිසිම දෙයක් ඔවුන් අත්හ­රින්නෙ නැතිව ඇති.

ගොවි විශ්වා­ස­යට අනුව, මේ මහ­පො­ළොව අයිති කර­ගෙන සිටින්නේ බහි­ර­වයා. මහ­පො­ළාව හර­න­වාට, ඌ තර­හයි. ‘හා හා පුරා’ කියා වැඩක් කර­න්නට පෙර බහි­ර­වයා මඟ හැරිය යුතු ඒ නිසා.

‘පුරා’ බහි­ර­ව­යාගේ බිරිඳ. උදලු තල­යෙන් පළමු පහර එල්ල කර­න්නට පෙර පැරැ­න්නන් ‘ආං පුරා...’ කිව්වෙ බහි­ර­ව­යාගේ අව­ධා­නය ‘පුරා’ වෙත යොමු කර­න්න­.

ඒ හඩ ඇසෙද්දිම, බහි­ර­වයා, ‘පුරා’ කොහි­දැයි ඉවත බලන අතර, ගොවියා හනික පළමු උදලු පහර ගැසිය යුතුයි. ඒ තමයි ‍බහිර­වයා මඟ හැර වැඩේ කරන හොඳම විදිය.

තර්ක විතර්ක... ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙවැනි කෙම­කට වැඩේ කළ විට, ටක්කෙ­ටම හරි­යන බව පැරැ­න්නන් විත­රක් නෙවෙයි, අර­ල­ගං­විල මේ අයත් දැන් අත්දැ­කී­මෙන් දන්නවා. කර්ණය, තිතිය, හෝරාව හරි­ය­ටම බලා ඔවුන් පැළ සිටු­ව­න්නෙත් ඒ නිසා­මයි.

ඇත් කර්ණ­යෙන් සිටවූ පැළ­යක් කොහේ හෝ යන බල්ලෙක් හාවෙක් හෝ පාගා තලා දමන බවත් එළු හෝ ගව කර්ණ­යෙන් සිටවූ පැළත් එසේ මොකෙක් ‍හෝ ඇවිත් කා දමන බවත් ඔවුන් අත්දැ­කී­මෙන් දන්නා දෙයක්. නමුත් සිංහ හෝ දිවි කර්ණ­යෙන් සිටුවන පැළ­යක් නොව වැටක් වුවද ශක්ති­මත්.

හේතුව, එම කර්ණය ක්‍රියා­ත්මක ඒ මොහො­තේදි, විශ්ව ශක්තිය පණ නැති වැට­කට වුවද ඉතා හොඳින් ආරෝ­ප­ණය වන නිසා.‍

මේ සියල්ල ගැන සැල­කි­ලි­මත් ඔවුන් බෝග­ව­ලට අවැසි හොඳම පොහොර නිප­දවා ගන්නේ ද සොබා­වික දේ ඇසු­රින්. ‘අං පොහොර’ ඉන් ප්‍රධාන දෙයක්. කිරි එළ­දෙ­නෙ­ක­ගෙන් හැළී ගිය අඟක් සහ ගොම පම­ණක් භාවිත කර හදන ‘අං පොහොර’ බල­වත් වන්නේ කෙම් ක්‍රම­යෙන් සහ විශ්ව ශක්ති­යෙන්.

එක අඟ­කට අමු­ගොම පුරවා වලක් හාරා, ඔවුන් එය උඩු අතට වළ දමන්නෙ වතා­ව­ත්ව­ලට අනුව. මාස හත­රක් ඒ විදි­යට තිබෙන අං කුහ­රයේ ඇති අමු ගොම­ව­ලට විශ්ව ශක්තිය උරා­ග­න්නවා.

හාර මාසෙ­කට පස්සෙ ආපහු අඟ ගොඩ ගන්නෙ පුද සත්කාර පව­ත්වලා. ඒ, ගොම ග්‍රෑම් එක­කට වතුර ලීටර් 25ක් දිය­ක­රලා මහ පොළො­වට ඉසින්නෙ බොහෙ‍ාම භක්ති­ය­කින්. හරි­යට පිරිත් පැන් ඉහි­නවා වගේ.

මහ­පො­ළොව සුව­පත් කරන මේ කෙම් ක්‍රම­යෙන් පස්සෙ ගහ­කොළ උද්දී­ප­නය වෙලා මල් පිපෙන්න ගන්නවා...

‘අං සිලිකා’ කිය­න්නෙත් තවත් එවැනි ම කෙම් ක්‍රම­ය­කින් හදා ගන්නා සාර්ථක පොහො­රක්. එක අඟ­කට අමු ගොම දමද්දි, අනෙක් අඟට දමන්නෙ සිලිකා වැලි. මේ අං දෙක වළ දම­න්නෙත් ගොඩට ගන්නෙත් වෙන් වෙන් වශ­යෙන් සීත සහ උෂ්ණ ඍතු­ව­ලට අනුව වීමත්, විශේ­ෂ­ත්ව­යක්.

ගොවි­තැන සහ වගාව වෙනු­වෙන් යදින පුදන ‘සංහිඳ’ පාමුල වළ දැමෙන ‘අං’ වගේ ම, ඒ ඇසුරේ හදා ගන්නා, ගැඩ­විලි පොහොර, මේ වගා බිමේ ඉතා වටි­නාම නයි­ට්‍ර­ජන් බහුල තවත් පොහොර විශේ­ෂ­යක්.

වැලි තට්ටු ගල් තට්ටු සහ ගොම තට්ටු තැන්පත් කළ බැරල තුළට ගැඩ­වි­ල්ලන් දමන්නේ ඉන් අන­තු­රු­ව. ඊළඟට, ගිනි­සි­රියා සහ පිදුරු ගැඩ­වි­ලන්ට උඩින්. ජල බිංදුව බැගින් බැර­ල­යට වැටීම සඳහා ඊට උඩින් එල්ලා ඇති කුඩා මුට්ටි­ය­කුත් ඒ අතර. බැර­ලය තුළ ඇති දේ කමින්, ඒ මත වැඩෙන බෝවන ගැඩ­වි­ල්ලන්ගේ සාරය මුසු වූ නයි­ට්‍ර­ජන් බහුල ද්‍රාව­ණය, පහ­ළින් තබා ඇති බඳු­න­කට වැටෙ­න්නට සලසා ඇත්තෙ බොහොම පරි­ස්ස­මට.

මාළු ඔළු සහ වරල් පල් කොට සාදා ගන්නා ‘ෆිෂ් ටොනික්’ එකත්, පල­තුරු කැබලි හකුරු සමඟ පල්කොට හදා ගන්නා ‘ෆෘට් ටොනික්’ එකත් ගහක වැලක ගෙඩි මල් පුබු­දු­ව­න්නට සමත් රන් හා වටිනා සොබා­වික පොහොර වර්ග කිය­ලයි, කපිතාන්ව­රයා කියන්නේ.

ගෙද­රදි ඔබ ඉව­ත­ලන මාළු සේදූ වතුර ටිකත්, ගහක වැලක මුලට හැළු­වොත් ගෙව­ත්තට එය, අපූරු සොබා­වික පො‍ෙහා­රක් වෙන්නෙ ඒ නිසා.

ඉතින්, ඔවුන්ගේ රන් බිමෙහි ඇවිද යන කොයි අතක වුවත් සම­න­ලුන් මෙන් ම, බත් කූරන්ද, සුලබ දර්ශ­න­යක්.

පොළො­වෙන් උඩට ඉස්සී සුදු පැහැ­යෙන් බබ­ළන රාබු වගා­වෙන් බ්‍රිගේ­ඩි­යර් ගුණ­රත්න, ළපටි ගෙඩි­යක් දෙකක් ගලවා ගත්තේත්, ඒවා පෙති­කපා, ලුණු ගම්මි­රිස් කුඩු දමා අපට පිළි­ගැ­න්වූ­වේත් මේ සියල්ල විඳින අතරේ. කෘත්‍රිම පොහො­ර­ව­ලින් තොර, ඒ අමු රාබු පෙති­වල රසය අමතක නොවන තරම්.

ගොයම පීදුණු පුංචි කුඹුරු කෑල්ල... මලින් පල­තු­රින් එළ­ව­ළු­ව­ලින් පිරී ගිය ගොවි බිම... දෙහි දොඩම් ගස්ව­ලින් හමා එන පැඟිරි සුවඳ.... අට පෙතියා, දාස් පෙතියා, කපුරු මල් සමූ­හය පිස හමා එන නැවුම් සුවඳ සිතට ගෙන එන්නේ අප­මණ සුව­යක්.

අක්කර පහක් පුරා විහි­දුණු මේ සියල්ල වට­කොට වවා ඇති ඇසළ... බුළු කුඹුක්... ඇහැටු... මී ආදි රූස්ස ගස් සමූ­හ­යත් ඒවා විඳි­මින් ලද, ඔවුන්ගේ මැටි පැලේ තේ පැන් සංග්‍ර­හයත්, කල­කින් ලද අම­තක නොවන මිහිරි අත්දැ­කී­මක්.

පීදී­ගෙන එන මලට... කර­ලට... ගෙඩි­යට හානි කරන කෘමීන්ට මේ ගොවි පාස­ලේදි ලැබෙන්නෙ අමුතු දඬු­වම් බවත් නොකි­යාම බැහැ.

එනම්, කෘමීන් අක­මැති මල් වර්ග, හැම පාත්ති­ය­කම අහු­මුලු අතර විවිධ උසින් වගා කර තිබී­මයි. දාස් පෙතියා සුවඳ.... කපුරු මල් සුවඳ.... නැත්නම් ගොටු­කොළ... සුවඳ එකට මුසු­වෙලා, හුළ­ගත් එක්ක මේ ගොවි­බිම පුරා හමා යද්දි මලට, ගෙඩි­යට හානි කරන්න එන කෘමීන් පළා යන්නෙ පැත්තෙ­වත් නොඉ­ඳ.

“ආදර්ශ ගොවි­ප­ළක් නිසා, හැම බෝග­යක් ම මෙතැන වගා කෙරෙන්නෙ එකට. විවිධ උසින්. ගොය­මට... තල වැස්සෙදි වපු­රන තල වගා­වට වගේ ම, එළ­වළු වගාව, හතු වගාව... මේ කොයි දේටත් හෙළ ගොවි­තැනේ භාවිත කළ හැකි කෙම් ක්‍රම තිබෙ­නවා. වස විස නැතිව වගා කරන්න පුළු­වන් ඒ හැම ක්‍රම­යක් ම අපි ඔවුන්ට කියා දෙනවා...”

කැප්ටන් බණ්ඩාර කියන්නේ, සිය සාම්ප්‍ර­දා­යික ගොවි­තැන හා කෙම් ක්‍රම ගැන.

මාස තුන­කට එන කට්ටි­යක් කොහො­මද මේ තරම් දේ ඉගෙන ගන්නෙ... ඔබට හිතේවි.

දින හැටෙන් ඵල දරන මෑ, බණ්ඩක්කා, මිරිස්, වට්ටක්කා වගේ එළ­වළුත්, මේ කාලය ඇතු­ළත ඵල දරා අව­සන්. ඒ නිසා හැම වෙලා­වෙම ඊළඟ කණ්ඩා­ය­මට, හැම දේම වගා කළ හැකි හිස් පාත්ති ඉබේ හැදෙ­නවා.

ගමෙන් රටෙන් ගිළිහී යන අපේ කම, අපේ ක්‍රම තවත් පර­ම්පරා ගණ­න­කට දායාද කර දෙන්න වෙර දන මේ හොඳ හිත් ඇති මිනි­සුන් මෙන් ම, මේ බිමත් හරි­යට ‘ගස් යට විශ්ව­වි­ද්‍යාල’ වගේ.

අර­ල­ගං­විල ජීව­ත්වන හෝ මේ රටේ සාම්ප්‍ර­දා­යික හෙළ ගොවි­තැ­නට ලැදි­යා­වක් ඇති ඔබ කාට වුණත් සැබෑ උන­න්දු­වක් තිබේ නම්, මෙහි ඉගෙ­නීමේ විරල අව­ස්ථාව උදා­කර ගන්න­ අමාරු නැහැ.

මහ­පො­ළොව සුව­පත් කර­වන, වස විසෙන් ‍තොර ගොවි­තැන දෑතට හුරු කර­වන, අර­ල­ගං­විල මේ රන් බිමට දව­සක් හෝ ඔබත් ගොඩ වන්න.

මොකද, ඔවුන් ඔබට සොබා­ද­හමේ ජීවි­තය කියා දෙන නිසා.

ඡායා­රූප - ගයාන් පුෂ්පික

අදහස්