ගෙදර බිත්ති­ය­කට පුටු­ව­කට වඩා ළම­යෙක් වටින්නේ නැද්ද? | සිළුමිණ

ගෙදර බිත්ති­ය­කට පුටු­ව­කට වඩා ළම­යෙක් වටින්නේ නැද්ද?

අමාලි තමාට පහ­ර­දුන් කාන්තා­වගේ අත් බෑගය උදුරා ගත්ත විනා පෙරළා පහර දෙන්නට තැත් නොක­ළාය. ඇය එය අත­කින් එල්ලා­ගෙන දිව ගියේ අෂේන් නොසි­ටියේ නම් ප්‍රති­ප්‍ර­හාර එල්ල නොකොට පලා නොයන බව සිත­මිනි.

“මෙන්න හොරෙක්.. අනේ මගේ හෑන්ඩ් බෑග් එක...”

අම්මාගේ උච්ච ස්වරය ද පැන දුවන යෙහෙ­ළි­යගේ රුව ද එකට එක්ව කුඩා කොලුවා අත රැඳි බෝලය බිම දැමු­වේය. එහෙත් මෙවර ඔහු ඒ දෙස බැල්මක් පවා නොහෙ­ළු­වේය.

“ශිරෝමා...?”

පියාගේ හඬ පම­ණක් නොව ඉදි­රි­යට දිගු වූ දෑත ද ඔහු ගලවා ගත්තේය. අනා­ර­ක්ෂි­තව පාර පනින පුත්‍රයා දුටු නලින් බෙහෙ­වින් කැල­ඹු­ණේය.

“මොකද මේ...? කෝ අම්මා?” යි ඔහු ඇසුවේ අෂේන් වඩා ගනි­මිනි. පාරේ වම් පසට දිගු වූ කුඩා සුරත අනුව හිස නඟා බැලූ නලින් දුටුවේ සිය බිරිය පමණි. අත් බෑගය විසි කළ අමාලි වහා සැඟව ගන්නට සමත්ව සිටි­යාය.

“තව පොඩ්ඩෙන් පුතා වාහ­නේක හැප්පෙ­නවා... මොකක්ද ශිරෝමා...?”

ඔහු ශිරෝමා වෙත ගියේ ද කතා කළේ ද වාවා­ගත නොහෙන කෝප­යෙනි.

“ඒ බැල්ලි අහු­වුණා නම් මට මං හොඳ වැඩක් කර­නවා.” ඇය හති­ල­මින් ඒ නාඳු­නන යුව­ති­යට ශාප කළාය.

“ඔයා මෙහෙ­මද ළම­යව බලා­ගන්නෙ...? උසා­විය නෙමේ මොකා කීවත් මං ආ‍යෙ නම් ඔයාට ළම­යව දෙන්නෙ නෑ ශිරෝමා.”

ඇය දහ­දිය වැගි­රෙන මුහු­ණින් ඔහු දෙස බැලු­වාය.

“අර පට්ට හෙර මගේ හෑන්ඩ් බෑග් එක උදු‍ර­ගෙන පැනල දුවද්දි මං ළම­යගෙ අතින් අල්ලා­ගෙන සද්ද නැතිව ඉන්න ඕන කිය­ලද ඔයා කියන්නෙ...?”

තවත් කිසි­වක් නොපැ­වසූ ඔහු දරුවා ද වඩා­ගෙ­නම පාරේ පසෙක නැවැත්වූ මෝටර් රිය වෙත ඇවිද ගියේය. ශිරෝමා අත් බෑගය අහු­ලා­ගෙන වහා පිරික්සා බැලුවේ දිගින් දිග­ටම අමා­ලිට දෝෂා­රෝ­ප­ණය කර­මිනි.

නිල් පැහැය නෙත සන­හා­ලන නමුදු ඔහු වෙතින් කවර හෝ සොම්න­සක් පළ නොවීය. නිදි­ව­ර්ජිත රාත්‍රිය ඔහුගේ ප්‍රසන්න බව සොරා­ගත් සෙයකි.

“මං ගත්තු වැරදි තීරණේ විපාක විඳින්නෙ මේ පොඩි එකා. මට ඉව­සන්න බැරි ඒක තමා...” යි ඔහු මිමි­නුවේ තවම නින්දේ පසු­වන දරු­වාගේ හිස පිරි­ම­දි­මිනි. තව­මත් මව් තුරුලේ උණු­සුම විඳිය යුතු අෂේන් පිළි­බ­ඳ ඔහුට නොතැවී සිටිය නොහැක.

“අනේ මට සමා­වෙන්න මගේ වස්තුවේ” යි සිය පුත්‍ර­යා­ගෙන් සමාව අය­දි­න්නට පවා ඔහුට සිතිණ. ශිරෝමා ආද­ර­ණීය අම්මා කෙනෙක් වන බවට බල­වත් විශ්වා­ස­යක් ඔහු තුළ තිබිණ. එහෙත් ඇය නිර­තු­රුව සැල­කි­ලි­මත් වූයේ තමාගේ පෙනුම හැරුණු විට ගේදොර යාන වාහන යනාදී භෞතික සම්පත් පිළි­බඳ පමණි. අලං­කා­රය හා පවිත්‍ර බව කෙරෙහි ඇය දැක්වූ අසී­මිත අව­ධා­නය ද උන­න්දුව ද හේතු කොට­ගෙන නලින් හා අෂේන් වින්දේ බල­වත් හිරි­හැ­ර­යකි.

“හානේ... මොකක්ද මේ කළේ?” යි වරෙක ඇය මහ හඬින් කෑ ගසයි. ඒ බිත්තියේ කුඩා පැල්ල­මක් හෝ සෝපාවේ සීරී­මක් දුටු සැනිනි.

“අෂේන්”

පිය පුතු දෙදෙනා අත­රින් ඇය වර­ද­ක­රුවා වහා ‍තෝරා බේරා වෙන් කර ගනියි.

“මොකක්ද ශිරෝමා මේකෙ තේරුම? මේක හොටෙල් එකක් නෙමේ. ගෙයක්. ගේක මිනිස්සු ඉන්න­කොට කිලුටු වෙනවා අවුල් වෙනවා තමා. ඒක ඔය තරම් බෙරි­හන් දෙන්න දෙයක් නෙමේනේ.”

දරුවා වෙනු­වෙන් පෙරට එන සැමියා සමඟ බහින් බස්ව­න්නට ඇය කිසි විටෙ­කත් මැළි නොවෙයි. ඒ හැම අඬ දබ­ර­යක් ම අව­සන් වන්නේ ඇගේ ඉකි­බි­ඳු­ම­කිනි. කෝප­යෙන් නොව කල­කි­රී­මෙන් ඔද්ද­ල්වන තරුණ පියා කුඩා පුතු ළයෙහි හොවා ගනි­මින් සෝපාව මත වැති­රෙයි.

“බිත්ති­ය­කට පුටු­ව­කට වඩා වටින්නෙ නැද්ද ළම­යෙක්?”

“වැඩි­යෙන් වටින්නෙ මොකක්ද කියන එක නෙමේනෙ මෙතන තියෙන ප්‍රශ්නෙ. කවුරු වුණත් ගෙදර ලස්ස­නට පිරි­සි­දු­වට තියා ගන්න ඕන. ළම­යෙක් වැරැ­ද්දක් කර­න­කොට දඬු­වම් නොකර බෑනේ. ඔයා වගේ අහක බලා­ගෙන ඉඳලා හුර­තල් කරන්න බෑ මට නම්.”

“එහෙ­නම් ඉතිං පණ තියෙන ළම­යෙක් නෙමේ. පණ නැති බෝනි­ක්කෙක් තමා හරි­යන්නෙ මේ ගෙද­රට.”

එවන් බහි­න්බස් වීම් දැන් නොඇ­සෙන නමුදු තමා කුඩා දරු­වෙකු සමඟ අස­ර­ණව අනා­ථව ගියේ යැයි හැගෙන වේද­නා­බර සිති­වි­ල්ලෙන් නලින්ට ගැලව ගත නොහැක.

“අෂේන්... මගෙ වස්තුවේ මම යන්න ඕන” යි ඔහු කොඳුළේ අප­මණ සෙනෙ­හ­සිනි.

වෙනත් දින­යන්හී අෂේන් ද ළදරු පාස­ලට ඇර­ලවා සේවා­ස්ථා­න­යට යාමට ඔහු පුරු­දුව සිටියි. එහෙත්, සතියේ දින­යක් වීත් අද ළදරු පාසල නොපැ­වැ­ත්වෙන බව පෙර දිනයේ දැනුම් දෙනු ලැබිණ. ළදරු පාසල් පාලි­කා­වගේ සමීප ඥාති­යෙ­කුගේ අව­ම­ඟුල් උත්ස­වය හේතු කොට­ගෙන නලින්ට එතල්ගේ පිහිට පත­න්නට සිදුවී තිබේ. නුදු­රෙහි වෙසෙන ඇය ඉතා කැමැ­ත්තෙන් අෂේන් වෙනු­වෙන් දිව එයි. එහෙත් කුඩා කොලුවා ඇය ප්‍රිය නොක­රයි.

“එතල් ආන්ටි එයි දැං. ඔන්න රණ්ඩු නොකර ඉන්න හො‍ඳේ. හව­සට මට නරක දෙයක් අහන්න ලැබෙන එකක් නෑ කියලා මම හිත­නවා..”

විවර වූ දෑස මෙන් ම ඇදව ගිය දෙතොල ද අෂේන් තුළ ඒ කෙසඟ වියළි ස්ත්‍රිය පිළි­බ­ඳව පවත්නා අම­නා­පය පැහැ­දි­ලිව පළ කළේය.

“එතල් ආන්ටි කියන දේ අහන්නෙ නැතුව දඟ කළොත් නම් ඉතිං මට ඔයාව ඔයාගේ අම්මට ම බාර දෙන්න වෙනවා අෂේන්.”

පියාගේ ඒ වචන සැල­කිය යුතු වෙන­සක් සිදු කළ බව පෙනිණ. ගිරිය යටින් කෑගැසූ කොලුවා ඇ‍ඳෙන් බිමට පැන්නේය. ඒ නොතැකූ නලින් කැඩ­ප­තට එබු­ණේය.

“මූණ හෝද­ගෙ­නම එන්න... මං තේ හැදුවා..” යි ඔහු පැව­සුවේ අෂේන්ගේ ම් බෙරි­හන් දීම් හා පැන දිවීම් හුරු­පු­රුදු ‍බැවිනි. එහෙ­යින් නාන කාම­ර­යට වන් කොලුවා නැව­තත් බෙරි­හන් දුන් කල දිව යනවා වෙනු­වට හිස පීර­මින් සිය පෙනුමේ කන­ස්සලු සහ­ගත බවක් ඇත්දැයි විප­රම් කළේය.

කාර්යා­ලයේ සග­යන් පිළි­බ­ඳව පියා කර­දර වන අතර පුතු බය බිරා­න්තව ගියේ නාන කාම­රය තුළ හොල්ම­නක් දුටු­වාක් මෙනි. ඒ තුළ ඔහු සිටිය යුත්තේ තනිව නමුදු තව­කෙකු හොල්මන් කිරීම නිසා නොක­ඩවා විලාප දුන්නේ ය.

වහා පෙරට පැන්න හොල්මන දරුවා දෑතින් අල්ලා ගත්තේය.

“කෑග­හන්න එපා අෂේන්.. අනේ කෑග­හන්න එපා” යි ඒ අද්භූත ජනක ආග­න්තු­කයා අයැද සිටි කල්හි ඔහු දෑස විවර කළේය.

“මාව අඳු­නන්න බැරිද? ඇයි අනේ මමනෙ අර පාක් එකේ උස ගහට නැඟලා ඔයාගේ බෝලෙ අරන් දුන්නෙ. ඔයාට මතක නැද්ද? ඔයාගෙ අම්මා ඊයේ මා එක්ක රණ්ඩු කළා මතක නැද්ද?”

අමාලි කියා­ගෙන ගියේ නාන කාම­රයේ දොර­ගුළු දැමී­මෙන් පසු­වය. ළම­යාගේ පියා වෙතින් සැඟවී සිටි­න්නට ඇයට වුව­මනා විය.

“ඔ... ඔයා? ඔයා...?”

භීතිය පහ වී යාමෙන් පසු අෂේන් සිත පැන නැගුණේ අප­මණ කුහු­ලකි. විම­ති­යකි.

“මං ඔයා­ලගෙ ගෙදර ආවෙ කොහො­මද කියාල නේද ඔයා ඔය අහන්න තෙප­ර­බාන්නේ?” යි ඇසූ අමාලි මඳ සිනා­වක් පෑවාය.

“මාත් ආවෙ ඔයා­ලත් එක්ක ඔයා­ලගේ කාර් එකේම තමා...” යි කී ඇය ශිරෝ­මාගේ අත් බෑගය විසි කර දමා නලින්ගේ වාහ­නයේ පසු­පස ආස­නය යට ගුලිව හුන් අයුරු පහත් හඬින් විස්තර කළාය. ඒ අත­ර­තුර කරා­මය ඇර තබ­න්නට ද වග­බලා ගත්තාය. අෂේන් කිසි­වෙකු සමඟ කතා කරන බවට කුකු­සක් නලින් තුළ පහළ නොවිය යුතුය. එහෙත් ඒ බවක් නොදත් දරුවා “තාත්තේ” යි හඬ නැඟු­වේය.

“අ... අනේ අෂේන්... තාත්තට කියන්න එපා” යි අමාලි බැගෑ­බර හඬින් ඉල්ලා සිටි­යාය.

“මොකද ළමයෝ?”

නලින්ගේ හඬ වැසි දොරට එපි­ටින් ඇසිණ. අමාලි දනින් වැටී කොලු­වාගේ මුව අත­කින් වසා ගත්තාය. එකෙ­නෙහි ළමා නෙත් හා යෞවන නෙත් සම්මුඛ විය. වචන සියක් දහ­ස­කින් වුව කළ නොහෙන යමක් එක් බැල්ම­කින් කළ හැකි බව සාක්ෂාත් කර­මින් අෂේන් හිස සැලු­වේය. ඇය සිය සුරත පහත හෙළු­වාය.

“අෂේන්... දොර අරින්න...”

නලින් දොර විවර කර­න්නට වෑයම් කළේය. එය අගුළු ලා තිබීම පිළි­බ­ඳව ඔහු නොස­තු­ටට පත් විය.

“ඇයි මේ දොර ලොක් කරලා..? මං කියලා තියෙ­නවා නේද දොර ලොක් කරන්න එපා කියලා.”

නලින් කතා කළේ නොස­තු­ටිනි. සිය පුත්‍රයා දිනෙන් දින මුරණ්ඩු වන බවක් ඔහුට හැඟිණ. දෙමා­පිය විර­ස­කය ද දික්ක­සා­දය ද දරු­වාට බල­පාන බව ඔහු සතිුවේ ඉම­හත් පශ්ච­ත්තා­ප­යෙනි. දරුවා වෙනු­වෙන් ශිරෝමා අර­ගල නොකළා නොවේ. එහෙත් ඔහු තමාගේ නිද­හ­සට බාධා­වක් වනු ඇතැයි සැකය හේතු කොට­ගෙන ඒ වෑයම මුළු­ම­නින්ම අවංක ‍වූයේ නැත. අෂේන් ද සිය මව වෙත යාම ප්‍රති­ක්ෂේප කළේය.

“කෝ ඉතිං... දොර අරින්න පුතා... මට පරක්කු වෙනවා ළමයෝ.”

නලින් මෙවර කතා කළේ මහත් නොඉ­ව­සි­ල්ලෙනි.

“ඉතිං තාත්තා යන්න. මම” යි කිය­මින් අෂේන් මහත් උව­ම­නා­වෙන් තමා දෙස බලා හිඳින යුව­තිය වෙත හැරී ඒ වැකිය සම්පූර්ණ කර ගන්නට උප­කාර කර­න්නැයි හඟ­වන බැල්මක් හෙළු­වේය. ඇය දිය නාන අභි­න­යක් පළ කළාය.

“මම... මම... නානවා තාත්තා... ඔයා යන්නකෝ.”

නෑම කෙසේ වෙතත් මුහුණ සේදී­මට ද සිය පුතු මැළි වන බව දන්නා නලින් විම­ති­යට පත් විය.

“ඔයා නානවා... මේ උදේම? කව­දා­වත් නැතිව...? ඒ මොකද අෂේන්...?”

“අනේ ඉතිං... ඔයා යන්නකෝ තාත්තා...”

“හරි ඉතිං... ඔයා නානවා නම් මම ඇතු­ළට එන්නම ඕනනේ.”

අමාලි යටි­තොළ විකා ගනි­මින් හිස කැසු­වාය. ඔහුගේ පැමි­ණීම වළ­ක්වා­ලන්නේ කෙලෙ­ස­දැයි කල්පනා කර­න්නාක් මෙනි.

ලබන සතියට‍...

අදහස්