මහා භාණ්ඩාගාරයට බිලියන 8ක් දුන් නාවික හමුදාව | සිළුමිණ

මහා භාණ්ඩාගාරයට බිලියන 8ක් දුන් නාවික හමුදාව

ව්‍යාපාරික ලෝකයේ දියුණුව රඳා පවතින්නේ එහි අන්තර්ජාතික සබඳතා අනුවය. එය රටකට මෙන්ම ඕනෑම ව්‍යාපාරයකටද පොදු වූ ලක්ෂණයකි. ඒ ව්‍යාපාරය විසින් ලබන්නා වූ ලාභය ඩොලරයට අනුව ඉහළ හෝ පහළ යන නමුත් ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට හැකිතරම් වෙර දරන බැවිනි. මෙහිදී රටකට එක්වරම එය කළ නොහැකි වුවත් එය ව්‍යාපාරික ආයතනයකට එය සිදු කිරීම අපහසු නොවේ.

අන්තර්ජාතික සබඳතා සහිතවම කටයුතු කළ යුතු ව්‍යාපාරික ආයතන බොහෝ ලාභ ලබන්නේ මේ නිසාය.

පාවෙන අවි ගබඩාද මේ අයුරින් උපරිම ලාභ ලැබිය හැකි සේවාවක්ය. පාවෙන අවි ගබඩා යනුවෙන් හඳුන්වන්නේ සාගරයේ නැංගුරම් ලා තිබෙන අවි ආයුධවලින් පූර්ණ වූ නෞකාවන්ය. එහි සුළු අවි වලට අමතරව රොකට් විදින හා අනෙකුත් යුද උපකරණ හා සියලු හදිසි අවශ්‍යතා උපකරණවලින් සමන්විතය. එසේ වුවත් මේවා යුද නැව් නොවේ. මෙම නැව් නාවික හමුදාවකට අයත් නොවන අතර පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම් විසින් පවත්වාගෙන යනු ලබයි. එම නෞකා අවි ගබඩා කිරීම වෙනුවෙන්ම පවත්වාගෙන යන අතර බොහෝ විටම ඒවා නැංගුරම් ලා සිටින්නේ අන්තර්ජාතික මුහුදේය. එය එක් රටකට අයත් මුහුදු සීමාවක් නොවේ. අන්තර්ජාතික මුහුදේ ගමන් ගන්නා භාණ්ඩ, ඉන්ධන, වායු හෝ වෙනත් නෞකාවන්ට අවශ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ ලබා දීම හෝ අවි ගබඩා කරගැනීම ඒ හරහා සිදු කරයි. එහෙත් ඒ ආරක්ෂක කටයුතු සිදු කරන්නේ අදාළ නෞකාවෙන් අවශ්‍ය සහාය ඉල්ලා සිටින්නේ නම් පමණකි.

එසේම රටකින් රටකට යන නෞකාවන්ට ආරක්ෂාව පිණිස රැගෙන යන අවි ආයුධ අනෙක් රටේ මුහුදු සීමාවෙන් ඇතුළට (ගොඩබිම සිට නාවික සැතපුම් 12ක් දක්වා වන ප්‍රදේශය) ගෙන යා නොහැකිය. ඒ සියලුම අවි ආයුධ පාවෙන අවි ගබඩාවකට බාර දී යා යුතුය.

අපේ රටේ 2011 වසරේ නොවැම්බර් මස නෞකා තුනකින් ආරම්භ කළ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව, 2015 වසරේ නොවැම්බර් මස 13 වන දා සිට නාවික හමුදාව වෙත පැවරුණු අතර, 2016 නොවැම්බර් මස 13 දා වන විට පමණක් රුපියල් කෝටි 233කට අධික මුදල් ප්‍රමාණයක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.

ඇවන්ගාඩ් සමාගම විසින් සිදු කළ සියලු කාර්යයන් නාවික හමුදාවට පවරා දීමෙන් පසුව ඉටු වූ ප්‍රධානම කරුණු තුනක් ඇති බව මේ පිළිබඳ අදහස් දක්වමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා පවසයි . එයින් පළමුවැන්න ලෙස ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කාර්යයක් නාවික හමුදාව විසින් මේ කටයුතු කරන නිසා සිදු නොවන බවයි. එසේම සියලු අධීක්ෂණ කටයුතු නාවික හමුදාව මඟින්ම සිදු කිරීම නිසා අන්තර්ජාතික පිළි ගැනීම වැඩිවී ඇති බවත් කාර්යයන් සිදු කළ හැකි වපසරිය වැඩි වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සියලුම ආදායම් රජයට ඍජුවම ලබා දීමද මෙහිලා වැදගත් වන බවද නාවික හමුදාපතිවරයා පැවසීය. ඒ සඳහා අතරමැදියන් හෝ ලාභ ලබන්නන් නොමැත. නාවික හමුදාවට ඇවන්ගාඩ් හරහා ලැබෙන මුදල් ඍජුවම ආරක්ෂක අමාත්‍යාංශය හරහා මහා භාණ්ඩාගාරයට යොමු වේ.

ආදායම තර වන්නේ ඒ අයුරිනි. පසුගිය වකවානුවේ ආදායම හා සසඳා බලන කළ එය මැනවින් වටහා ගත හැකිය. ඒ අනුව 2015 වසරේ පමණක් ඇවන්ගාඩ් හරහා සේවා සැපයීමෙන් නාවික හමුදාව උපයා ඇති ආදායම රුපියල් කෝටි 36.01කි. එය 2016 වසරේ දැක්වෙන්නේ බිලියන 2.262ක් ලෙසිනි. 2017 වසරේදී උපයා දී ඇති ආදායම රුපියල් බිලියන 2.058කි.

2018 වසරේදී වැඩිම ආදායමක් උපයමින් රුපියල් බිලියන 2.312ක්ද උපයා ඇත. 2019 වසරේ මේ දක්වා (මැයි 27) රුපියල් කෝටි 95.52ක්ද උපයා ඇත. ඒ අනුව නාවික හමුදාව විසින් මේ දක්වා රජයට උපයා දී ඇති ආදායම රුපියල් බිලියන 8කි. ( 7957746515.58)

එය දේශීය ආර්ථිකයට ලබා දී ඇති විශාල දායකත්වයකි. ආරක්ෂක හමුදාවක් නඩත්තුවට රජය විසින් වැය කරනවා විනා ආරක්ෂක හමුදා විසින් රජයට මෙවන් ආදායමක් සපයා දී ඇති ප්‍රථම අවස්ථාව මෙය වේ.

මේ වන විට නාවික හමුදාව යටතේ දේශීය ආරක්ෂාව සපයනු ලබන දේශීය ඒජන්තවරුන් 29ක් හා විදේශීය ඒජන්තවරුන් 106ක් සිටින අතර ඒ සියලුම ඒජන්තවරුන් හරහා සමුද්‍ර ආරක්ෂාව අවශ්‍ය නෞකාවන්ට ආයුධ සුරක්ෂා කිරීමේ ඒ සේවාව සපයනු ඇත.

2015 වසරේ නොවැම්බර් මස 13 වැනිදා සිට 2019 වසරේ මැයි 27 වැනිදා දක්වා වූ කාලය තුළ නාවික හමුදාව හරහා මේ මෙහෙයුම් සිදු කිරීමේදී ආයුධ 53069ක් සුරක්ෂා කර බාර දී ඇති අතර ඒවා ගෙනා අය 13148ක් මෙහෙයවා ඇත.

අද වන විට නාවික හමුදාව විසින් මේ ව්‍යාපෘතිය තවත් සේවාවන් වැඩි කර රජයට ආදායම ලබා දෙන ප්‍රධාන ව්‍යාපෘතීන්ගෙන් එකක් බවට පත් කර ඇත.

හමුදාවක් විසින් ව්‍යාපාරික ලෝකයේ කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදු නොකළද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මේ සේවාව මඟින් රටට ආදායමක් ලැබෙන අතර ඒ හරහා අපට ගොඩ නැඟෙන අන්තර්ජාතික කීර්තියද අනෙකුත් සබඳතා සඳහා ඉවහල් වන අතර ඒ ඔස්සේ ආදායම් වැඩි කර ගත හැකි ක්‍රියාමාර්ගද අපට සලසා ගත හැකිය.

Comments